අතින් අතට පියඹා යන සිරිලක කුරුලු මිතුරෝ ශ්‍රී ලංකා මුදල් නෝට්‌ටු කොළවල නිරූපිත දැඩි ලෙස ආරක්ෂිත ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින්...
සොබාදහම මිල කළ හැකි ද? කිසි දා එසේ කළ නො හැකි ය. සොබාදහමේ අගය මේ යෑයි මුදලින් හෝ මිල කර දැක්‌විය නො හැකි වන්නේ, මිනිසා සොබාදහමේ නිර්මාණයක් වීමත්, මුදල් මිනිසාගේ නිර්මාණයක් වීමත් නිසාවෙනි. සොබාදහම, මිහි මත සරනා සියලු ජීවීන් අතරින් කාරුණිකත්වයේ දැත් නිබඳව ම පාන්නේ මනසින් උසස් මිනිසුන් වෙත බව වටහාගැනුමට තරමේ විවේකී නුවණක් මිනිසා සතු නො වීම සැබැවින් ම කණගාටුවට කාරණයකි. තමන් විසින් ම නිර්මාණය කර පසුව සියලු මානවයන් අතරේ සම්මත ඒකකයක් ලෙස භාවිතයට ගනිමින් සියලු මිනිස් අවශ්‍යතා සඳහා යොදාගන්නා සහ මිනිස් ජීවිතයේ සියල්ලක් රน පවතින්නේ ඒ මත යෑයි අර්ථකථනයන් සපයාගැනෙනා මුදල්, නිසි කළමනාකරණයකින් තොර ව භාවිතය යනු මිනිස් පරිහානියට ප්‍රධාන ම හේතුවක් වන බවත් සිහි කටයුතු ය.
ශ්‍රී ලාංකේය ජනයා අතරේ 2010 වසරේ සිට භාවිතයට පැමිණි මුදල් නෝට්‌ටු කිහිපයක් පිළිබඳ ව කතා කළ යුතු බව තීරණය කළේ එම මුදල්වල අගයට එහා ගිය සංරක්ෂණ පණිවිඩයක් ද මේ මුදල් පරිශීලනය ඔස්‌සේ කරළියට පැමිණ ඇති බැවින් ය. එවැනි වූ මුදල් අතර වර්තමාන ජන ජීවිතයේ සුලබ ව භාවිත වන මුදල් නෝට්‌ටු වන රුපියල් විස්‌ස (20), රුපියල් පනහ (50), රුපියල් සියය (100), රුපියල් පන් සියය (500), රුපියල් දහස (1000) සහ රුපියල් පන් දහස (5000) සඳහන් කළ හැකි ය.
2010 වසරට පෙර අප රට තුළ ව්‍යවහාරික මුදල් නෝට්‌ටුවල දිය සලකුණ (water mark) ලෙස භාවිතයට ගෙන තිබුණ රාජ්‍ය ලාංඡනයේ නිරූපිත කඩුවක් අතින් ගත් සිංහ සලකුණ යෙදීම සිදු විය. එහෙත් 2010 වසරේ සිට ව්‍යවහාරයට පැමිණි මුදල් නෝට්‌ටු සියල්ලේ ම දිය සලකුණ ලෙස ඉන් පෙර වසරවල දී යොදාගත් කඩුව අතැති සිංහ රුව වෙනුවට ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින්ගේ රූපකායන් යොදාගෙන ඇත. ඉනිදු නො නැවතී ඒ ඒ මුදල් නෝට්‌ටු සඳහා යොදාගත් ආවේණික පක්ෂියාගේ සොබාවික පැහැයට සමාන වන ආකාරයට මුදල් නෝට්‌ටුව වර්ණ ගන්වා තිබීමත් සුවිශේෂී වූ කරුණකි. එසේ ම දිය සලකුණ සඳහා යොදාගත් පක්ෂියාගේ පැහැදිලි රූපය, මුදල් කොළයේ එක් පසෙක පැහැදිලි ව චිත්‍රණය කර ඇත. මේ ආකාරයට මුදල් නෝට්‌ටු හයක පහත සඳහන් ශ්‍රී ලංකාවට ආවේණික විහඟුන් හය දෙනා නිරූපණය කිරීම, මොවුන් සංරක්ෂණයේ ඇති වැදගත්කම යළි යළිත් සිහිපත් කරවයි.
ශ්‍රී ලංකා පඬුවන් බස්‌සා -
* ඉංග්‍රිසි නම - Sri Lanka Serendib Scops Owl
* විද්‍යාත්මක නම - Otus thilohoffmanni
* අයත් පක්ෂි පවුල - STRIGIDAE/ මා මුහුණු කුලය
පඬුවන් බස්‌සාගේ හැඩය
සෙසු බකමුහුණු විශේෂවලට සාපේක්ෂ ව ඉතා කුඩා හුරුබුහුටියෙකි. එනම් සෙන්ටි මීටර් 15 - 20ත් අතර අගයක් ගනී. මුහුණ ළා දුඹුරු වර්ණයෙන් යුක්‌ත ය. ඇස වටා ඇති කවය දුඹුරු කළු මිශ්‍ර පාටකි. ඇහි බැම සුදු පාට ය. හොට සහ පාද සුදු වර්ණයෙන් දිස් වුව ද හොඳින් නිරීක්ෂණය කිරීමේ දී එහි ඇති ළා රෝස සහ ළා දුඹුරු මිශ්‍රිත ව ඇති ආකාරය දැකගත හැකි ය. ළය සහ උදරය ළා පඬු පාටකි. එහි තද දුඹුරු සහ කළු මිශ්‍රිත පැල්ලම් වැටී ඇත. ගෙල ප්‍රදේශයෙන් පටන් ගෙන පෙඳය තෙක් දිව යන දුඹුරු පැහැය පෙඳය ආසන්නයට වන්නට ළා පැහැයට හැරේ. සියුම් කළු වර්ණයෙන් යුක්‌ත පැල්ලම් සිරුර පුරා ම විහි දී ඇත. පියාසර පිහාටු තද දුඹුරු පාටින් යුක්‌ත ය. පෙඳය සිරුරට සාපේක්ෂ ව ඉතා කෙටි ය. පියාපත් යුගල හකුළාගත් විටෙක පියාසර පිහාටුවලින් පෙඳය ආවරණය වේ. පසෙකට වී බැලූ විටෙක දී මුළු සිරුර ම පාහේ ළා දුඹුරු වර්ණයෙන් දිස් වේ.
කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් වෙන් ව හඳුනාගැනීම
පිරිමි පක්ෂියාගේ ඇසෙහි තාරා මණ්‌ඩලය කහ හෝ තැඹිලි පැහැති ය. ඉංගිරියාව රතු පැහැති ය. කිරිල්ලියගේ ඇසේ තාරා මණ්‌ඩලය සහ ඉංගිරියාව මුළුමනින් ම කහ පැහැති ය.
පඬුවන් බස්‌සාගේ හැසිරීම් රටාව
ප්‍රධාන වශයෙන් රාත්‍රි කාලයේ දී තෝරාගත් ප්‍රදේශයක් තුළ ගැවසෙන ඉතා ම කුලෑටි ගති සහිත පක්ෂියෙකි. රංචු ලෙසත්, යුවළ ලෙසත් ගැවසේ. තමන්ට ම හිමි වූ හඬක් නැඟීම විශේෂිත ය.
පඬුවන් බස්‌සාගේ කැදැලි තැනීම
වෙනත් බස්‌සන් විශේෂයන් හා සමැ වූ කැදැලි තැනීමේ පුරුදු, මේ පක්ෂියා තුළින් ද දැකගත හැකි ය. එනම් කැදැල්ල තනන්නේ ගසක පිහිටි බෙනයක් තුළ ය. බෙනය පතුලේ, කිසිදු හෝ අමුද්‍රව්‍යයක් භාවිතයට නො ගෙන රළු මතුපිට මත ම බිත්තර දමයි.
පඬුවන් බස්‌සාගේ ආහාර පුරුදු
රාත්‍රිය පුරා පියාසරමින් තමන්ට ගොදුරු කරගැනීමට පහසු ඕනෑ ම වර්ගයක කුඩා සතුන් ගොදුරු කරගනියි. ඒ අතරට කුඩා සර්ප විශේෂ, මීයන්, කටුස්‌සන්, සිකනලුන්, හූනන්, කෘමි විශේෂ අයත් ය.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය
පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තර මොහුගේ කදිම නිවහන් වේ. එනම් සිංහරාජය ප්‍රකට නිජබිම වන අතරේ රෑන කන්ද, කිතුල්ගල, මොරපිටිය, ගිලීමලේ, එරත්න ආදි ප්‍රදේශ ඇසුරේ ද වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා අඳුරු නිල් මැසිමාරාවා -
නිල් පැහැයෙන් රුපියල් පනහේ කොළය මත නිරූපණය කර ඇත.
* ඉංග්‍රීසි නම - Sri Lanka Dull BlueFlycatcher / Dusky Blue Flycatcher
* විද්‍යාත්මක නම - Eumyias sordidus
* අයත් කුලය - MUSCICAPIDAE / මැසිමාර කුලය
හැඩය සහ ප්‍රමාණය
ගේ කුරුල්ලකුගේ දේහ ප්‍රමාණය හා සමැ වූ ශරීරයකට හිමිකම් කියයි (සෙන්ටිමීටර 12-15). නමට සරිලන අයුරින් ම අඳුරු පැහැති ය. එහෙත් හොඳින් විපරම් කර බැලුව හොත් මේ පක්ෂියා සතු අනගි වර්ණ සංකලනයන් දැක බලාගත හැකි ය. හොට සහ පාද යුගලය කළු පාට ය. ඇස ද කළු පැහැති ය. ඇස වටා ඇස් වාටිය සුදු පාට මුදුවක් හා සමැ ව දිස් වේ. එයට හේතුව වන්නේ ඇස වටා ප්‍රදේශය ළා නිල්, අළු සහ සුදු යන වර්ණයන් මුහු ව එකී වර්ණයෙන් පාට වැටී කැපී පෙනෙන සේ පිහිටා තිබීම ය. හොටයේ උඩු හනුවෙන් පටන්ගන්නා තිරස් අතට දිව යන කළු පැහැති පැල්ලම ඇස වටා ප්‍රදේශය ද ආවරණය කරමින් හොටයේ යටි හනුව තෙක් විහි දී ඇත. හිස් මුදුන ප්‍රදේශය, ගෙල ප්‍රදේශය, පිට ප්‍රදේශය සහ නිතඹ ප්‍රදේශය ළා නිල් මිශ්‍ර අළු පාටකි. නළලත ප්‍රදේශයේ දී නිල් පැහැය දීප්තිමත් ව දැකගත හැකි ය. ගෙල යට ප්‍රදේශය (උගුර) ළා නිල් මිශ්‍ර කළු පාටකි. යටි කය ප්‍රදේශය එනම් පපුව සහ යටි බඩ ළා නිල් මිශ්‍ර අළු පාටකි. එම ළා නිල් මිශ්‍ර අළු පාට යටි බඩ ප්‍රදේශය අවසන් ව පෙඳය ආරම්භ වත් ම සුදු පැහැයට හැරී ඇත. පියාපත් යුගලය ද අළු පාටකි. යටි පෙඳ ඇවිරි අළුවන් සුදු ය.
කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් වෙන් ව හඳුනාගැනීම
කුරුල්ලාට සාපේක්ෂ ව කිරිල්ලිය අඳුරු බවින් වැඩි ය. එකී මිනුම් දණ්‌ඩ ප්‍රයෝජනයට ගෙන බැලීමේ දී නළලත දීප්තිමත් ව නිල් වර්ණය දරන්නන් පිරිමි පක්ෂින් වශයෙනුත්, නළලත පැහැය අඳුරු නිල් වර්ණය දරන්නන් ගැහැනු පක්ෂින් වශයෙනුත් වෙන් කර හඳුනාගත හැකි වෙයි. එසේ ම පරිණත නො වූ නාඹර වියේ පසු වන අඳුරු නිල් මැසිමාරාවෝ දුඹුරු පාටට හුරු වර්ණයක් දරති. ඔවුන්ගේ හිස, ළය, පිට සහ පියාපත් යුගලයන් මත කහ මිශ්‍රිත වූ දුඹුරු පැහැ පුල්ලි රටාවන් දැකගත හැකි ය.
හැසිරීම් රටාව
තමන් ජීවත් වන ප්‍රදේශයේ උස් ස්‌ථානයන්හි සිට තීව්‍ර සරින් නාදය කිරීම මොවුන් සතු පොදු වූ චර්යා රටාවක් වෙයි. තව ද එකී අනන්‍යතාව ම මේ පක්ෂින් සෙසු පක්ෂි විශේෂයන් ගෙන් වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණයක් ද වේ. අඳුරු නිල් මැසිමාරාවන් විසින් තමන් හට වෙන් කරගත් වසමවල් පවත්වාගෙන යනු ලබයි. උදැසන සහ සවස් සමයන්හි දී තම වසමේ උස් ස්‌ථානයක සිට තියුණු සරින් ගැයෙන ගී හඬ සන්වලින් සෙස්‌සනට හඟවන්නේ තම වසමේ අයිතියයි. ඉතින් එකී නියෝග නො තකා වෙනෙකකු එම වසම ආක්‍රමණය කරන්නේ නම් ඒ පිළිබඳ ව දෙවරක් සිතිය යුතු ය. මන්ද යත් මොවුන් ආක්‍රමණශීලී විහඟුන් කාණ්‌ඩයක් බැවිනි. අඳුරු නිල් මැසි මාරාවන්ගේ අභිජනන සමය යනු පරිසරය විචිත්‍රවත් වූ විහඟ ගීතයන් ගෙන් වර්ණවත් වන සමයක් වශයෙන් ද හැඳින්විය හැකි ය. උස් ගසක මුදුනත හිඳ අවට විමසමින් ස්‌වර හයකින් පමණ වූ සංකලනයකින් සමන්විත වූ මිහිරිතම වූත්, අපූර්වතම වූත් ගීත ගැයීමේ ලා මනා හැකියාවක් මොවුන් සතු බවට පක්ෂි නීරීක්ෂණ වාර්තා සාක්ෂි දරයි.
තනි තනි වත් - යුවළ වශයෙනුත්, වනපෙත තුළත්, ගෙවතු ආශ්‍රිත තුරු හිස් මතත්, සංචාරය කිරීමට ප්‍රියයෝ ය. බොහෝ අවස්‌ථාවන්හි දී නොඋස් ගස් මතට වී හිඳිමින් ගුවනේ සරනා කුඩා කෘමි සතුන් දඩයමේ (flycatcher) නිරත වෙයි.
කැදැලි තැනීම
වසරේ මැද භාගය මේ පක්ෂින්ගේ අභිජනන සමය වශයෙන් හඳුනාගත හැකි ය. එනම් මෙසමයේ දී මොවුහු අලසකම් දුරලා ක්‍රියාශීලී වෙති. තම සහකාරිය හා සමඟ එකතු ව කැදැලි තනයි. බිත්තර රකියි. පැටවුන් පෝෂණය කරයි. මවු පාර්ශ්වයෙන් සහ පිය පාර්ශ්වයෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් සම සම ව භාරගෙන ඉටු කරයි. ඉවුරු, කණ්‌ඩි, ගොඩැලි සහිත භූ ලක්ෂණවලින් යුක්‌ත ස්‌ථානයන්හි පිහිටි කුහරයක හෝ බෙනයක හෝ පෙඳ පාසි ආදි මෘදු ද්‍රව්‍ය සහ නොයෙකුත් කෙඳි වර්ග ද භාවිතයට ගනිමින් කැදැලි තැනීම සිදු කරයි. එම කැදැලි කෝප්පාකාර වූ හැඩරුවක් ගනියි. කැදැලි පොළොව මට්‌ටමේ සිට එතරම් උසක නො පිහිටයි. සිසිල් බව නිරන්තර ව ම රැඳී ඇති ස්‌ථාන අවට කැදැලි තැනීමට ප්‍රිය ය. තනාගත් කැදැලි තුළට පිවිසෙන කිරිල්ලිය වරකට බිත්තර 02 - 03ත් අතර සංඛ්‍යාවක් දමන බව වාර්තා වී ඇත. ඒවා ළා රෝස වර්ණයට හුරු අතර පසුබිමේ නිලට හුරු රතු වන් තිත් වැටී ඇත.
ආහාර පුරුදු
ගුවනෙහි දඩයම් කරන්නකු වශයෙන් ප්‍රකට ය. එසේ ඩැහැගන්නා ගොදුරු අතරේ මැස්‌සන් වර්ග, බත් කූරන්, සලබයන් ආදි වුවන්ට හිමි වන්නේ විශේෂත්වයකි. අමතර වශයෙන් දළඹුවන්, පලතුරු වර්ග ද බුදියි. ගඳපානා (Lantana camara) ආදි වූ කුඩා, කුඩා ඵල වර්ගවලට ද ප්‍රිය ය.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය
කදිම තුරු වැස්‌මෙන් හෙබි නිරන්තර ව ම සිසිල් බව රැඳි ස්‌ථානයන්හි ගැවසීමට කැමැති ය. වියළි කලාපයේ ගංගා ආශ්‍රිත ගංගාධර වනපෙත් තුළින් ද වාර්තා වී ඇත. පහතරට කඳුකරය මායිමේත්, කඳුකරයේ කැළෑ ආශ්‍රිත වත්, ගස් කොළන්වලින් ගහන ගෙවතු ඇසුරේත්, තෙත් කලාපයේත් ව්‍යාප්ත ව සිටියි. ස්‌ථාන වශයෙන් ගත් කල නුවරඑළිය ගැල්වෙස් ලෑන්ඩ් ජාතික උද්‍යානය, හග්ගල, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය, නකල්ස්, මහනුවර උඩවත්ත කැලය, සිංහරාජය ආදි වූ ස්‌වාභාවික වනපෙත්වල සුන්දරත්වය තව තවත් ප්‍රකට කිරීමේ ලා මෙවැනි වූ විහඟුන්ගේ රංගනයන් බෙහෙවින් ම දායක වී ඇත.
ශ්‍රී ලංකා රතු දෙමළිච්චා -
රතු පැහැයෙන් රුපියල් 100 කොළය තුළ චිත්‍රණය කර ඇත.
* ඉංග්‍රීසී නම - SriLanka Orange Billed Babbler
* විද්‍යාත්මක නම - Turdoides rufescens
* අයත් වන පක්ෂි පවුල - TIMALIIDAE / දෙමළිචි කුලය
හැඩය සහ ප්‍රමාණය
අප රට තුළ සැම ප්‍රදේශයක දී ම හමු වන පොදු දෙමළිච්චාගේ නිවුන් සහෝදරයකු හා ශරීර ස්‌වරූපයෙන් සමානකමක් දැක්‌වුව ද වර්ණයෙන් කැපී පෙනෙන රතු වන් දුඹුරු පාට කුරුල්ලෙකි. හොටත්, දෙපා යුගලත් කහ - තැඹිලි මිශ්‍ර පාටකි. සිරුර ඉතා ම දීප්තිමත් ය. පියාපත් යුගලයත්, පිට සහ පෙඳයත් රතු, දුඹුරු මිශ්‍ර පාටකින් යුතු ය. තරමක් තද වර්ණයෙන් සමන්විත වන අතර වඩාත් ම සමීප වන්නේ රතු වර්ණයට ය. උගුර, ගෙල, යටි කය යන ප්‍රදේශ උඩු කයට සාපේක්ෂ ව ළා පාටකින් යුක්‌ත ය. ඇසෙහි ඉංගිරියාව කළු පැහැති වන අතර තාරා මණ්‌ඩලය සුදු පැහැති ය. ඇස සමීපයේ සම, නිරුවත් වන අතර එය කහ පාටින් යුතු ය.
හැසිරීම් රටාව
වැසි වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයන්හි බිම, කොළ රොඩු අවුස්‌සමින්, හත් දෙනා - අට දෙනා හෝ ඊට වැඩි සංඛ්‍යාවලින් සමන්විත රංචු වශයෙන් ඔබ-මොබ හැසිරෙයි. රංචුව එකතුව දුක, සතුට ආදි වූ හැඟීම් හඟවනු වස් නඟන නාදය වනපෙත් පුරාවට පැතිර යන්නේ ය. කලහකාරී අවස්‌ථාවන්හි නඟන නාදයෙන් වනපෙත තුළ පවතින්නා වූ ගුප්ත නිහඬතාව මඳකට නැති ව ගොස් මහත් ගාලගෝට්‌ටි ස්‌වභාවයක් නිර්මාණය වන්නේ ය. ඉදින් එකී ක්‍රියාවලියේ නිර්මාතෘවරයා හට 'කරච්චල්කාරයා' යනුවෙන් කුරුලු ලෝලීන් විසින් නමක් පටබැඳී තිබීම සාධාරණීයකරණය කිරීමට හැකි ය. රතු දෙමළිච්චා කලබලකාරයකු සේ ම ඉතා ම ක්‍රියාශීලී පක්ෂියෙකි. කණගාටුවට කාරණය වන්නේ මෙකී දඟකාරයාගේ දඟ වැඩ අපූර්ව වූ වනාන්තර තුළ සැඟවී පැවැතීම ය. එනම් මේ පක්ෂිහු ගම්මාන ආශ්‍රිත ප්‍රදේශයන්හි ගැවසීමට රුචියක් නො දක්‌වති. හුදෙකලාව පිළිබඳ ව ප්‍රශ්න නො කරනා, තම තමන්ට උරුම අනන්‍යතාවට ගරු කරනා නිහඬ ගුප්ත වනපෙතට රුචියක් දක්‌වයි.
කැදැලි තැනීම
පොළෝ මට්‌ටමේ සිට අඩි 07 - 08ක් පමණ උසක තම කැදැල්ල තනාගනී. එය පඳුරක හෝ අතු අගිස්‌සට හෝ වන්නට පිහිටි ආවරණය වූ ගසක අතු දෙබලක වියළි කොළ, වැල් ආදිය උපයෝගි කරගනිමින් විවෘත කෝප්පයක් හා සමාන වූ අපූරු කැදැල්ලක් වෙයි. වසරකට වරක් ස්‌වකීය පරම්පරාව අනාගතයට දායාද කරනු වස් බිත්තර දැමීමත්, පැටවුන් පෝෂණය කිරීමත් කරනු ලබන්නේ (අභිජනන සමය) වසරේ මුල මාර්තු, ජූලි හෝ වසරේ අග අගෝස්‌තු සිට ඔක්‌තෝබර් අතර කාල සීමාව තුළ දී ය. ප්‍රමාණයෙන් අඟල් 01කට ආසන්න බිත්තර 02 - 03ත් අතර සංඛ්‍යාවක් කිරිල්ලිය විසින් වරකට දමනු ලබයි. පසුව බිත්තර උණුහුමින් රැක බලාගෙන තම පැටවුන් මෙලොව එළිය දකින තුරුත්, පියාසර හැකියාව ලබා තනි ව වනපෙත තුළ සැරිසරන තරමට ශක්‌තිමත් කුරුල්ලන් වන තුරුත් වෙහෙසී කටයුතු කිරීමේ වගකීමත්, යුතුකමත් මා-පිය දෙපාර්ශ්වය විසින් ම සහයෝගයෙන් ඉටු කරනු ලබයි. තව ද කිරිල්ලිය, බිත්තර රකිනා කාලය තුළ දී ඇයගේ ආරක්ෂාව පිළිබඳ ව රතු දෙමළිච්චා අවධානයෙන් පසු වන බවට මොවුන්ගේ චර්යා රටා ආශ්‍රිත ව සිදු කරනු ලැබූ අධ්‍යයන මඟින් හෙළි වී ඇත.
ආහාර පුරුදු
ප්‍රධාන වශයෙන් වනාන්තර බිම පහුරුගා (කොළ රොඩු ඒ මේ අත පෙරළා) සොයාගනු ලබන කෘමි සතුන් ගොදුරු කරගැනීමට ඉතා කැමැති ය. අමතර ව සොයාගනු ලබන වනාන්තරයේ මිහිරිතම පලතුරු වර්ග ද ආහාර කොට ගනියි. බොහෝ විට බිම් මට්‌ටමේ ම ගැවසෙමින් ආහාර ගැනීම රතු දෙමළිච්චාගේ අනන්‍යතාවකි.
කුරුල්ලා සහ කිරිල්ලිය වෙන් වෙන් ව හඳුනාගැනීම
හැඩරුව අතින් දෙදෙනා ම එක හා සමාන වුවත් කුරුල්ලාට සාපේක්ෂ ව කිරිල්ලිය ළා පැහැති ය. වර්ණයෙන් දීප්තිමත් නැත. කුරුල්ලා පැහැපත් ය. වර්ණයෙන් දීප්තිමත් ය.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය
පහතරට තෙත් කලාපයේ සහ ඒ ආශ්‍රිත කඳුකර වනාන්තරවල වාසය කරයි. වැසි වනාන්තර ආශ්‍රිත වනපෙත්වලට වඩාත් කැමැති ය. සිංහරාජ අඩවිය, කිතුල්ගල ආශ්‍රිත වනාන්තරවලටත්, කඳුකරයේ ඉහළට වන්නට පිහිටා ඇති හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයටත් රතු දෙමළිච්චන් වඩාත් ප්‍රිය බවක් දක්‌වන්නේ වාසය සඳහා හිතකර වූ පාරිසරික සාධක මිනිස් අතින් නො කිළිටි එකී වනපෙත් තුළ සුරක්ෂිත ව ඇති නිසාවෙනි. ශ්‍රී පාද වනපෙත ද ඒ යටතට අයත් ය.
ශ්‍රී ලංකා අළු ගිරවා -
දම් පැහැයෙන් රුපියල් 500 කොළය තුළ චිත්‍රණය කර ඇත.
* ඉංග්‍රීසී නම - Sri Lanka Layard's Para-keet / Emerald Collared Parakeet
* විද්‍යාත්මක නම - Psittacula calthropae
* අයත් පක්ෂි පවුල -PSITTACIDAE / ගිරා කුලය
සිරුරේ හැඩය
උස්, තුරු මුදුන් මතට ම වී කාලය ගත කිරීමට වැඩි රුචි බවක් දක්‌වන ගිරා විශේෂයක් වන අළු ගිරවා අපේ රටේ වාර්තා වන සෙසු ගිරා විශේෂ පහ අතරින් ගිරා මලිත්තා හැරුණු විට ආවේණික අනෙක් ගිරා විශේෂය ලෙස නම් කළ හැකි ය. අළු ගිරවා, ගිරා මලිත්තා හැරුණු විට සෙසු ගිරා විශේෂයන්ට වඩා සිරුරෙන් කුඩා ය. ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 26 - 31ත් අතරේ සිරුරකට හිමිකම් කියයි. අළු ගිරවාගේ (පිරිමි) කුරුල්ලාගේ හොට රතු පාට වන අතර හිස අළු සහ නිල් පාටකි. අළු ගිරවියගේ (ගැහැනු) හොට කළු පැහැ වන අතර, හිස ළා කොළ පැහැති ය. සෙසු වර්ණ දෙදෙනාට ම පොදු ය. ඇස වටා පෙදෙස ළා කොළ පැහැති ය. එය හිසේ අළු පැහැ වර්ණය සමඟ මුසු වේ. හිස පිටුපස උඩු කොටස, පිට ඇරැඹුම, ගෙල යටි පෙදෙස් ළා කොළ පැහැති ය. පිට පෙදෙස, නිතඹ පෙදෙස අළු පැහැති ය. වලිගය උඩු ආවරණය තද නිල් සහ කොළ මිශ්‍ර වී වඩා තද නිල් පැහැයෙන් හැඩ ව ඇත. පෙඳ පිහාටු යටි පෙදෙස් කහ පාටින් හැඩ වී ඇති නිසාවෙන් පෙඳය ඈතට දිස් වන්නේ නිල් පැහැති පසුබිමට මුහු වූ කහ පැහැයෙනි. මෙකී දැකුම සෙසු ගිරා විශේෂයන් ගෙන් අළු ගිරවා වෙන් කර හඳුනාගත හැකි ශාරීරික හැඩගැන්වුමක් සේ හැඳින්විය හැකි ය. පාද අළු, දුඹුරු පැහැ වන අතර ප්‍රධාන වශයෙන් ශරීරය කොළ පැහැති ය.
හැසිරීම් රටාව
වනාන්තරයේ උස් තුරු හිස් මත ගැවසෙමින් ජීවත් වීමට ප්‍රිය ය. යුවළක් ලෙසටත්, කුඩා කුඩා රංචු ලෙසටත් ගැවසෙනු නිරීක්ෂිත ය. "ඈක්... ඈක්... ඈක්..." අනුකරණැති ව කටුක හඬකින් කෑගසයි.
කැදැලි තැනීම
පොළෝ මට්‌ටමේ සිට ඉහළට වන්නට (අඩි 40 - 60ත් අතර සීමාවේ) පිහිටි දිරා ගිය ගසක අත්තක හෝ කඳේ පිහිටි බෙනයක්, අභිජනන සමය තුළ දී බිජු දැමීම සඳහා ගිරවිය විසින් භාවිතයට ගනු ලබයි. වසරේ මුල එනම් ජනවාරි - මැයි සහ ජූලි - සැප්තැම්බර් අළු ගිරවුන්ගේ අභිජනන සමය වන අතර වරෙක දී ගිරවිය සුදු පැහැ බිත්තර 02 - 03ත් අතර සංඛ්‍යාවක් දමයි. බිත්තර රැකීම සහ පැටවුන් පෝෂණය කිරීම මා-පිය දෙපාර්ශ්වය විසින් ම සිදු කෙරෙයි. දිවයින පුරා සුලබ ව්‍යාප්තියක් සහිත රෑන ගිරවුන් සමඟ අළු ගිරවුන් කෝලාහල කරගන්නේ අභිජනන සමයට සමගාමී ව ය. ඒ බිත්තර දැමීම සඳහා ගස් බෙන බෙදාගැනීමේ දී සිදු වන ක්‍රියාවලියකි. රෑන ගිරවාට සාපේක්ෂ ව අළු ගිරවා සිරුරින් කුඩා බැවින් මෙවැනි අවස්‌ථාවන්හි දී ජයගන්නේ මාල ගිරවුන් ය. අළු ගිරවාට සාපේක්ෂ ව මාල ගිරවාගේ ව්‍යාප්තිය වැඩි ය.
ආහාර පුරුදු
ඝන පොත්ත සහිත ඇට වර්ග, පලතුරු, ඵල ආදිය බුදීමට වැඩි ලොල් බවක් දක්‌වයි. එකී භෝජන පුරුදු වෙනුවෙන් ම සකස් වූ සවිමත් වූ හොටක් ගිරවුන් සතු ව පවතී. හොටේ උඩු හනුව බෙහෙවින් පහතට නැමිය හැකි වීමත්, හොට හිස් කබලෙන් ස්‌වාධීන ව ඉහළ සහ පහළ චලනය කළ හැකි වීමත්, උඩු හනුවට සාපේක්ෂ ව යටි හනුව කුඩා වීමත් සොබාදහම විසින් ගිරවුන්ගේ භෝජන පුරුදු සඳහා ම ලබා දී ඇති අනුවර්තනයන් වේ.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තය
කඳුකරයේ මීටර් 1,750 දක්‌වා ඉහළ පෙදෙස්, කඳුකරයට බටහිර බෑවුමට වන්නට පිහිටි තෙත් කලාපයන් ඇසුරේ, වියළි කලාපයේ ජලාශ්‍රිත පෙදෙස් ඇසුරේත්, කඳුකරයේ පහත්බිම් ඇසුරේත්, අතරමැදි කලාපයේත් ව්‍යාප්ත ව සිටියි.
ගිරා මලිත්තා -
කොළ පැහැයෙන් රුපියල් 1000 කොළය තුළ චිත්‍රණය කර ඇත.
* ඉංග්‍රීසී නම - Sri Lanka Hanging Parrot
* විද්‍යාත්මක නම - Loriculus beryllinus
* අයත් පක්ෂි පවුල - PSITTACIDAE / ගිරා කුලය
සිරුරේ හැඩය
ගේ කුරුල්ලකුගේ ශරීර ප්‍රමාණය හා සම වූ හුරුබුහුටි සිරුරක් හිමි ගිරා පෝතකයෙකි. සෙන්ටී මීටර් 12 - 14ත් අතරේ වර්ධනය අගයක් පෙන්වයි. ගිරා මලිත්තගේ පිරිමි පක්ෂින්, කිරිල්ලියට සාපේක්ෂ ව පැහැයෙන් වැඩි ය. හොට, පාද කහ පාටැති ය. නළලත තද රතු පාටැති ය. නළලත රතු පැහැය අවසන් වත් ම බෙල්ලේ පසුපස ප්‍රදේශයෙන් ඇරැඹී ළා කොළ පාට කහ පාට හා මිශ්‍ර ව දිදුලන කොළ පැහැයෙන් හැඩ වී ඇත. කුරුල්ලාගේ කම්මුලේ යට ප්‍රදේශයෙන් ආරම්භ වී නිකට, උගුර සහ ළපැත්ත ඇරැඹුම තෙක් දිව යන තද නිල් පැහැ පැල්ලම කිරිල්ලියගේ ළා නිල් පැහැති ය.
හැසිරීම් රටාව
ගස්‌වලින් වැසුණු අඳුරු අතුපතරේ ගැවසීමට ප්‍රිය බවක් දක්‌වයි. හුදෙකලාව ජීවත් වීමට මෙන් ම තුරුහිස් මත ඔබ-මොබ සරමින් ජීවත් වීමටත් සමෝ සම ව ප්‍රිය බවක් දක්‌වයි. බිම් මට්‌ටමේ ගැවසෙනු නම් දැකීමට අපහසු ය. ස්‌වකීය මූලික ම අවැසිතාව වන ජලය පානය හැරුණු කල දවසේ ඉතිරි කාලය ගත කරන්නේ තුරු හිස් මත ය. ගම්මාන ආශ්‍රිත ව ව්‍යාප්ත ව ඇති පොල් සහ කිතුල් වගාවන් ඇසුරේ ගැවසීමේ ලා ප්‍රිය බවක් දක්‌වයි. එකී පුරුද්ද හේතු කරගෙන ගිරා මලිත්තා - පොල් ගිරවා නමින් ඇමතීමට ද ඇතැම් ගැමියෝ පුරුදු ව සිටිති. ගෙඡ්ජි සමූහයක් මඳ වශයෙන් චලනය කරන විට උපදින හඬ හා සමැ වූ නාදයකින් කෑගසයි. එවැනි කෑගැසීම් එකිනෙකට සම්බන්ධ නො වූවත් යම් අපූර්වත්වයක් මෙවැනි කෑ ගැසීම් තුළත් ගැබ් ව ඇත. එම හඬ "ටී... වී... ටී... වී... ටීවීට් - ටී... වී... ටී... වී... ටීවීට්" වැනි අනුකරණයක් සහිත ය. රාත්‍රියට ගස්‌වල අතු යටි පැත්තේ එල්ලෙමින් ලැගීමේ පුරුද්ද නිසාවෙන් ගිරාමලිත්තා 'වවුල් ගිරා' (Bat Parrot's) ලෙසිනුත් හඳුන්වයි. මෙවැනි හැසිරීම් සහිත විහඟුන් Loriculus ගණයට අයත් ය.
කැදැලි තැනීම
සෙසු ගිරා විශේෂයන්ගේ කැදැලිවලට සාපේක්ෂ ව ගත් කල අපූර්වතම කැදැල්ලක් තනයි. කැදැල්ල තැනීම වෙනුවෙන් ගසක බෙනය තෝරාගනු ලබන්නේ ගිරවිය විසින් ය. පළමු ව තද කොළ පැහැති තෘණ වර්ග සොයමින් පියාසරන ඇය එම ශාක පත්‍රවල දාර හොඳින් දිගට හීනියට ඉරාගෙන එම තීරු තමන්ගේ පෙඳ පිහාටු එනම් වල්ගයේ පිහාටු අතරේ තද වන සේ හිර කිරීම සිදු කරගෙන අනතුරු ව කැදැල්ල තැනීම සඳහා අවශ්‍ය පරිදි ගමන් වාර කිහිපයක් ම මෙවැනි වූ ක්‍රියාකාරකම්වල නිරත වීම ප්‍රකට වූ හැසිරීම් රටාවකි. මෙසේ ගෙන ආ තෘණ
රැහැන් බෙනයේ පතුළ මත රඳවමින් අවැසි සුවපහසු බව සලසාගනියි. ගිරාමලිත්තිය තමන්ගේ කැදැලි තනන සමය යනු ඇයගේ රූ සොබාව පෙර කී චර්යාව හරහා ලස්‌සන වන සමයක් ලෙසත් නම් කළ හැකි ය. මන්ද යත් කිරිල්ලිය විසින් සිදු කරනු ලබන කැදැලි තනන තෘණ පටි ප්‍රවාහනය කරන ජන්ම පුරුද්ද නිසාවෙන් පුංචි සිරුරකට දිගු රැහැන් සහිත පෙඳයක් ලැබුණා සේ ඒ සමය තුළ දී ගිරා මලිත්තිය දිස් වේ. වසරේ මුල් භාගයේ පෙබරවාරි - මාර්තු අතර බිත්තර දැමීමට සූදානම් වේ. එසේ වුවත් යහපත් වූ පාරිසරික හා ආහාර පුරුදු මත යළිත් ජූලි - සැප්තැම්බර් අතර වුව ද අභිජනනය සිදු විය හැකි ය. කිරිල්ලිය වරෙක දී සුදු පැහැ සෙන්ටිමීටර 02ක් පමණ වන බිත්තර 02 - 03ත් අතර සංඛ්‍යාවක් දමයි. කුඩා පැටවුන්ගේ හිස් පුංචි අවධියේ කොළ පැහැති ය. ලොකු වත් ම මා-පිය හැඩ හුරුතාව හා ගති ලක්ෂණවලට උරුමකම් කියයි.
ආහාර පුරුදු
ප්‍රකට මධුවන්තයෝ ය. ඒ සඳහා ම වූ ශාරීරික හැඩගැසීමක් ලෙස හිස පොළොව දෙසට සිටින පරිදි එල්ලී සිටීමේ හැකියාව විශේෂයෙන් ම සඳහන් කළ හැකි ය. කුඩා පලතුරු යුෂ වර්ග, කුඩා බීජ වර්ග ද බුක්‌ති විඳියි. මධු පැණියට ඇති ලොල් බව නිසා පොල් සහ කිතුල් මංඩි ආශ්‍රිත ව ගැවසෙනු ද වාර්තා වේ. මී රා (තෙලිඡ්ජ) කොල්ලය සිදු කරන විහෙ`ගකි. පමණ ඉක්‌ම වා තෙලිඡ්ජ බිව් විට දී බමන මතින් ගස් පල්ලේ වැටීමත්, ඉලක්‌කයකින් තොර ව ගස් ඔබ-මොබ ඉබාගාතේ පියාසැරීමත් නිරීක්ෂණය කළ හැකි ය.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය
තෙත් කලාපයේත්, කඳුරටේ මීටර් 1,500 දක්‌වා ඉහළ ප්‍රදේශයේ ඝන තුරු වැසුම් සහිත පෙදෙස්‌වලත්, කඳුකරය ආශ්‍රිත පහත රට වියළි කලාපයේත්, අතරමැදි කලාපයෙත් යහපත් ව්‍යාප්තියක් සහිත ය. උතුරට වන්නට දුලබ ය.
පීතකන් කොණ්‌ඩයා -
කහ පැහැයෙන් රුපියල් 5000 කොළයේ චිත්‍රණය කර ඇත.
* ඉංග්‍රීසී නම - Yellow Eared Bulbul
* විද්‍යාත්මක නම - Pycnonotus penicillatus
* අයත් පක්ෂි පවුල - PYCNONOTIDAE / ගුලුගුඩු කුලය
සිරුරේ හැඩය
සෙන්ටිමීටර් 18 - 21ත් අතර වූ සිරුරකට හිමිකම් කියයි. හිස දෙපස ඇස්‌වලට පිටුපසින් සවන් පිල් ගොමු දෙකක් හා සමැ ව පිහිටා ඇති කහ පැහැ පිහාටු ගොමු දෙක ප්‍රකට වූ හැඳුනුම් ලකුණකි. මේ දැකුම නිසාවෙන් සිරිලක ඔටුනු පළන් කුමාරයා යන පටබැඳි නමත් මේ පක්ෂියාට හිමි වී ඇත. එහෙත් මේ පිහාටු ගොමු දෙක සවන් පත් (කන් පෙති) සේ වරදවා වටහා නො ගත යුතු ය. දුටු පමණින් කහ පැහැති පක්ෂියකු ලෙස දිස් වුවත් හොඳින් නිරීක්ෂණය කරන්න. එවිට විවිධ පැහැයන්හි එකතුවකින් මේ පක්ෂියා හැඩ වී ඇති සැටියක් දැකගත හැකි ය. හිස කළු පැහැති ය, ඇස්‌වලට ඉහළින් සහ නළල දෙපසින් දිව යන සුදු පැහැය නිකට සහ බෙල්ල මතිත් වැටී ඇත. උඩු කය අඳුරු කොළ- දුඹුරු - කහ සම්මිශ්‍රණයකි. යටි බඩවත පෙදෙස, ළය කහ සහ කොළ වර්ණයන්හි එකමුතුවකි. අත්තටු යටි පෙදෙස් කහ පැහැති ය. කුරුල්ලාට සාපේක්ෂ ව කිරිල්ලිය පැහැයෙන් අඩු ය.
හැසිරීම් රටාව
යුවළ සහ රැළ ලෙසත් හැසිරේ. මියුරු සරින් ගී තාල ගයනා පක්ෂින් අතරේ ළතෙත් ගී ගයනා පක්ෂියකු නො වූවත්, ස්‌වකීය ළබැඳිය අබිමුව ප්‍රේමාන්විත ව නඟනා හඬ හුදෙකලා වන දිවියට එක් කරනුයේ අපූර්වතම වූ මිහිරියාවකි. "වීට්... වීට්..." සරින් නඟනා හඬ ප්‍රේමණීය ය. සැක සිතක්, බියක් හෝ ජීවිතයට තර්ජනකාරී අවස්‌ථාවක් එල්ල වූ විට දී තරහ ස්‌වරූපයෙන් "ක්‍රර්... ක්‍රර්...." හඬ ඒක නින්නාද වේ. සෙස්‌සන්ට අනතුරු හැඟවීම සඳහා ද එම හඬ යොදාගනියි. නිදහසේ පියඹා යන විට දී පියකරු වූ සියුරුවම් බෑමක් නඟයි. වනය ප්‍රබෝධවත් කරවයි.
කැදැලි තැනීම
සැඟව පිහිටන සේ කැදැලි තනයි. වටපිටාව ආරක්ෂිත යෑයි හැඟුණොත් විවෘත ස්‌ථානයක වුව ද කැදැලි පිහිටා තිබිය හැකි ය. එසේ වුවත් අවට පරිසරය සමඟ මුහු වන පරිදි කැදැල්ල තැනීමට වග බලාගනියි. උසින් අඩු ගසක දෙබලක් මත හෝ පඳුරක් තුළ හෝ තනනා කැදැල්ල කෝප්පාකාර හැඩැති ය. කැදැල්ල ඇතුළතත්, පිටතත් මෘදු හරිත පැහැ පෙඳ පාසි ආදිය යොදාගනිමින් සරසාගනියි. ඊට අමතර ව කැදැලි අමුද්‍රව්‍ය ලෙස සියුම් මුල් කැබැලි, කෙඳි වර්ග ද භාවිතයට ගනියි. කිරිල්ලිය වරකට බිත්තර 02ක් පමණ දමයි. සුවැදි සමය පෙබරවාරි - මැයි සහ අගෝස්‌තු - ඔක්‌තෝබර් අතර දිව යයි. බිත්තර සෙන්ටිමීටර 1 - 2.5ත් අතරේ විශාලත්වයක් ගන්නා අතර සුදු මිශ්‍ර රෝස පැහැ පසුබිමේ දම්, දුඹුරු, රතු, අළු වන් තිත් සලකුණු සහිත ය. කැදැල්ල තුළ රැඳී සිටිනා විට දී ආගන්තුකයකු කැදැල්ල සමීපයට පැමිණෙන්නේ නම් වහා ම කෑගසමින් කැදැල්ලෙන් නික්‌ම යනුයේ ආගන්තුකයාගේ අවධානය තමන් වෙත නතු කරගනිමින් ය. එය කැදැල්ල ආරක්ෂා කරගැනීමේ උපායක් ලෙස ද භාවිතයට ගනියි.
ආහාර පුරුදු
වන ඵල වර්ගවලට අමතර ව කුඩා කෘමි විශේෂයන් ද ගොදුරු කරගනියි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය
තෙත් - සිහිල් කඳුකර වනපෙත් ඇසුරේ දී ස්‌වකීය දෛනික දිවිසැරිය පවත්වාගෙන යැමට වැඩි කැමැත්තක් දක්‌වයි. එනිසා ම මධ්‍යම කඳුකරයේ ඉහළට වන්නට වැඩි වශයෙනුත්, කඳුකරයට බටහිර බෑවුමේ පිහිටා ඇති තෙත් කලාපීය පෙදෙස්‌වල දුලබ ඝනත්වයකිනුත් වාසය කරයි. වන පෙතක පමණක් ම නො ව තමන්ගේ වාසය සඳහා මීටර් 100ට ඉහළ කලාපයේ ශාක වැස්‌මකින් හෙබි ගෙවතු ආශ්‍රිත ව වුව ද හමු වේ. මීටර් 1,300ට ඉහළට වන්නට සුලබ පැතිරීමක් සහිත ය. ඒ අතරේ හපුතලේ තංගමලේ, හක්‌ගල, ගැල්වේස් ලෑන්ඩ්, හෝර්ටන්තැන්න, සිංහරාජය කදිම ගැවසුම් බිම් ය.
පෙර සඳහන් කළ ආකාරයට මුදල් නෝට්‌ටු හයකින් අපේ අතට පත් වන ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින් සය දෙනාගේ ජීවන තොරතුරුවලින් තෝරාගත් බිඳුවක් මේ අයුරින් එක් කළේ ඔවුන් සතු ජෛව විවිධත්වීය අගය යම් තාක් දුරකට හෝ අවබෝධ කරවනු රිසියෙනි. මන්ද යත් මෙවැනි සත්ත්වයන් සංරක්ෂණයේ ලා පළමු පියවර වන්නේ ඔවුන් නිවැරැදි ව හඳුනාගැනීමයි. සොබාදහමේ එකිනෙකට බැඳී ඇති පුරුක් හා සමැ ව කුඩා කෘමි විශේෂයන්හි සිට විසල් වූ අලි - ඇත් - තල්මහ වැනි වූ සත්ත්වයන් දක්‌වා වන නියෝජනයේ සැම පුරුකක් ම ඉතා ම වැදගත් වූ මෙහෙයක් ජෛව විවිධත්ව විෂයේ ලා නිහඬ ව ම ඉටු කරයි. එහි අගය බොහෝ මිනිසුන්ට නො හැඟෙන්නේ ආර්ථිකමය වූ වටිනාකම මුලට ගෙන සියල්ලක් ම අගය කිරීමට සහ වටහාගැනීමට උත්සාහ කිරීම නිසාවෙන් බව ද සිහි කටයුතු ය. එබැවින් පෙර සඳහන් කළ මුදල් නෝට්‌ටුවල අගය අනුව ඒවා සුරක්ෂිත කරගැනීමට ඔබ වෙහෙසෙන්නේ යම් සේ ද ඒ මුදල් නෝට්‌ටු හරහා ඔබ අතට පත් වන ශ්‍රී ලංකාවට ආවේණික විහඟුන් සය දෙනා නිවැරැදි ව හඳුනාගනිමින් පුරවැසියකු ලෙස මේ 'අනගි කුරුලු සම්පතේ හෙට දිනය වෙනුවෙන් ඔවුන්ගේ නිවැසි බිම් ආරක්ෂා කරමුයි' යන පණිවිඩය යථාර්ථයක් කිරීමට අවැසි සහයෝගය අදාළ පාර්ශ්වයන් වෙත නොමසුරු ව ලබා දීමටත්, ඒ සඳහා තමන්ට කළ හැකි දේ කිරීමටත් නො පමා ව ඉදිරිපත් වන්න.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ සිව්වැනි උපලේඛනය යටතේ ශ්‍රී ලංකාවට ආවේණික පෙර සඳහන් කළ පක්ෂින් සය දෙනා ම දැඩි ලෙස ආරක්ෂිත පක්ෂින් ලෙස නම් කර ඇත. එබැවින් එවැනි සත්ත්වයකු ළඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම, විකිණීම, මැරීම, ශරීර කොටසක් හෝ ළඟ තබාගෙන සිටීම, කැදැල්ලකට හෝ හානි කිරීම ආදි කුමන කාර්යයක හෝ නියෑළීම දඬුවම් ලැබිය හැකි වරදක් බව තරයේ ම සිහි තබාගත යුතු ය.
Comments
Post a Comment