ඔබයි ඖෂධයි - 3 ලිපියෙන් අපි ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළා. අද ලිපියෙන් අපි ඖෂධයක් ශරීරගත කළ පසු ඖෂධයේ සිදු වන වෙනස්‌කම් ගැන කතා කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ,
1. ශරීරය තුළ සිදු වන ඖෂධ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ
2. මාත්‍රාව නිවැරැදි ව ලබාගැනීමේ වටිනාකම පැහැදිලි කිරීමයි
ඖෂධ සහ ඖෂධයේ ක්‍රියාකාරීත්වය අතර වෙනස හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඖෂධයේ ක්‍රියාකාරිත්වය යනු ජෛව රසායනික යාන්ත්‍රණයක් මඟින් ජීවී දේහ තුළ ප්‍රතිචාරයක් නිපදවීමයි.
ශරීරය තුළ දී ඖෂධවලට කුමක් සිදු වේ ද?
ඔබ ඖෂධයක් ලබාගත් පසු එය රුධිරය තුළට අවශෝෂණය වේ (Absorption). මෙය සාමාන්‍යයෙන් අප ආහාර ගත් පසු ආහාරවල පෝෂ්‍ය කොටස් රුධිරයට අවශෝෂණය වන ක්‍රමවේදයට සමාන වේ. ඉන් පසු ශරීරය තුළ ඖෂධය බෙදාහැරීම සිදු වේ (Distribution). මෙලෙස රුධිරයට අවශෝෂණය වන ඖෂධ එක් මොහොතක දී එහි උපරිම සාන්ද්‍රණයට ළඟා වේ. අනතුරු ව ශරීරය පුරා විහිදුණු ඖෂධ අප බලාපොරොත්තු වන ක්‍රියාකාරීත්වය ලබා දුන් විගස බිඳ වැටීම සිදු වේ (Metabolism). ඒත් සමඟ ම මේ බිඳ වැටුණු අනු කොටස් ශරීරයෙන් ඉවත් වීම සිදු වේ (Elimination). මේ මූලික ක්‍රමවේදය සැම ඖෂධයක් සඳහා ම අදාළ ය.
පහත දැක්‌වෙන ප්‍රස්‌තාරය ඇසුරින් රුධිරයේ ඖෂධ සාන්ද්‍රණය වෙනස් වන ආකාරය වටහාගැනීමට උත්සාහ කරමු.
ඔබ ඖෂධ ලබාගන්නා වේලාව t = 0 ලෙස සිතන්න. C Max වන විට රුධිරයේ උපරිම ඖෂධ සාන්ද්‍රණය පවතින අතර ඉන් පසු සාන්ද්‍රණය පහළ වැටීමට පටන්ගනී. ඖෂධයෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීමට නම්, රුධිරයේ ඖෂධය අපේක්ෂිත සාන්ද්‍රණයෙන් පැවතිය යුතු ය. එබැවින් එක්‌තරා මට්‌ටමකට වඩා ඖෂධ සාන්ද්‍රණය පහළ වැටුණු විට, එමඟින් ඖෂධීය ගුණ නො ලැබේ. මේ නිසා, අවශ්‍ය ඖෂධ සාන්ද්‍රණය, රෝගය සුව වන තෙක් පවත්වාගැනීමට අප ප්‍රතිකාර කරන මුළු කාලය පුරා දිනකට වාර කීපයක් බැගින් ඖෂධය ලබා ගත යුතු වේ.
පහත දැක්‌වෙන ප්‍රස්‌තාරය ඇසුරින් ඖෂධ මාත්‍රා කීපයක් කාල පරතරවලින් ලබාගන්නා විට රුධිරයේ ඖෂධ සාන්ද්‍රණය වෙනස් වන ආකාරය වටහාගැනීමට උත්සාහ කරමු.
මෙමඟින් සිරුර තුළ ඖෂධ සාන්ද්‍රණය, C min හෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවම සාන්ද්‍රණයේ පවත්වාගනී. මෙලෙස ඖෂධ සාන්ද්‍රණය නියමිත මට්‌ටමෙන් පවත්වාගැනීමට නම්, වෛද්‍යවරයා නිර්දේශ කළ කාල පරතරයෙන්, නියම කළ මාත්‍රාවෙන් ඖෂධ ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
මාත්‍රාවක් ඉතා ඉක්‌මනින් ලබාගැනීම, එම ඖෂධ මට්‌ටම් බොහෝ සෙයින් වැඩි වීමට හේතු විය හැකි ය. මේ නිසා, ඔබට එක් මාත්‍රාවක් ලබාගැනීමට අමතක වුව ද, කිසි විටෙකත් මාත්‍රා දෙකක් එකතු කොට එක් වර නො ගත යුතු ය. එමෙන් ම මාත්‍රාවක් අතහැරීම හෝ මාත්‍රාවන් දෙකක් අතර බොහෝ වෙලාවක් තැබීම හෝ ඔබේ ශරීරයේ ඖෂධ මට්‌ටම අඩු කිරීමට හේතු විය හැකි ය. ඉන් ඖෂධයේ නිසි ක්‍රියාකාරීත්වය වළකී.
ඔබේ ශරීරයෙන්, රුධිරය තුළට අවශෝෂණය වන ඖෂධ ප්‍රමාණය එය ලබාගන්නා ආකාරය මත රඳා පවතින්නේ කෙසේ ද?
සාමාන්‍යයෙන් බෙහෙත් පෙත්තක් රුධිරයට අවශෝෂණය වන්නේ එය ගිලීමෙන් පසු අමාශයික බිත්ති හරහා ය. මේවාට විනාඩි කිහිපයකට පසු ක්‍රියාකාරී විය හැකි වුව ද සාමාන්‍යයෙන් රුධිරය තුළ ඉහළ සාන්ද්‍රණයකට ළඟා වීමට පැයක් හෝ දෙකක් හෝ ගත වේ. එන්නත් මාර්ගයෙන් ලබාගන්නා ඖෂධ සෘජු ව ම රුධිරයට එන්නත් කිරීමෙන් එය ඉතා ඉක්‌මනින් ක්‍රියා කරයි. කෙසේ වෙතත් ඖෂධ, ශරීරයේ විවිධ කොටස්‌වල විවිධාකාරයෙන් හැසිරේ (මොළය, අනෙකුත් ශාරීරික තරල සහ විවිධ සෛල තුළ ඖෂධ සාන්ද්‍රණය අවශ්‍ය මට්‌ටමට පැමිණීමටත්, ඖෂධ බැහැර කිරීමටත් ගත වන කාලය වෙනස් විය හැකි ය). එම නිසා ප්‍රතිකර්ම සිදු කරන රෝගය ශරීරයේ පවතින ස්‌ථානය අනුව නියම කරන ඖෂධය, මාත්‍රාව, දිනකට ගත යුතු වාර ප්‍රමාණය සහ ප්‍රතිකාර කරන දින ගණන තීරණය වේ.
ඖෂධයක් කෙතරම් ඉක්‌මනින්, කෙතරම් ප්‍රමාණයකින් රුධිරයට අවශෝෂණය වනවා ද යන්න සාධක කීපයක් මත රඳා පවතී. ඒවා නම්
* ඖෂධය නිර්මාණය කරන ලද ආකාරය (Design) සහ නිෂ්පාදනය කරන ක්‍රමවේදය (Method of manufacture).
* ක්‍රියාකාරී ඖෂධයේ භෞතික හා රසායනික ලéණ
* අඩංගු අනෙකුත් ද්‍රව්‍ය
* ඖෂධය ලබාගන්නා පුද්ගලයාගේ කායික විද්‍යාත්මක ලéණ
* ඖෂධය ගබඩා කර ඇති ආකාරය
එක ම ක්‍රියාකාරී මූලද්‍රව්‍යයක් පවතින ඖෂධ, විවිධාකාර ලෙස නිෂ්පාදනය කළ හැකි ය. පෙති, කරල්, දියර, එන්නත් උදාහරණ කීපයකි. එවිට විවිධ නිෂ්පාදනවලින් අවශෝෂණය වන ප්‍රමාණය විවිධ වේ. රෝගියාට භාවිත කිරීමට පහසු වන ආකාරයට ඖෂධ නිෂ්පාදනය තෝරා නිර්දේශ කරනු ලබයි. ඖෂධවේදියාට ද මේ සඳහා දායක විය හැකි ය.
පෙති -
පෙත්තක්, ඖෂධ ඉක්‌මනින් නිදහස් කරන්නේ නම්, ඖෂධයේ රුධිර මට්‌ටම ඉක්‌මනින් වැඩි විය හැකි ය. පාලනය නො කළ හොත් අනපේක්ෂිත ඖෂධ විෂ වීමකට හේතු විය හැකි ය. එමෙන් ම පෙත්ත මඟින් ඖෂධය ඉක්‌මනින් නිදහස් නො වන්නේ නම් ඖෂධයේ වැඩි ප්‍රමාණයක් මළපහ සමඟ පිට වීමට හැකි ය. ඖෂධ නිෂ්පාදකයන් පෙති සකස් කරනුයේ අපේක්ෂිත වේගයකින් ඖෂධය නිදහස් කළ හැකි අයුරිනි.
කරල් -
ඖෂධය සහ ආකලන ද්‍රව්‍ය ජෙලටිනීමය කවරයක් තුළ අඩංගු වේ. එය තෙත් සහිත වූ විට කවරය ඉදිමී එහි අඩංගු ද්‍රව්‍ය නිදහස් වේ. මෙය සාමාන්‍යයෙන් ඉතා ඉක්‌මනින් සිදු වේ. ඖෂධයේ ප්‍රමාණය සහ ආකලන ද්‍රව්‍යවල ගුණ මෙය දිය වීමේ සහ අවශෝෂණය වීමේ ඉක්‌මන් බවට බලපායි. ඝන ද්‍රව්‍යවලින් පිරී ඇති කරල්වලට වඩා දියරමය ද්‍රව්‍යවලින් පිරී ඇති කරල් ඉතා ඉක්‌මනින් අවශෝෂණයට යත්න දරයි.
ආන්ත්‍රික ආවරණ සහිත පෙති (Enteric coated tablets)
මුඛ මාර්ගයෙන් ලබා දෙන ඖෂධ ආමාශය තුළ දී හානි වීමත් ආමාශයික යුෂයෙන් ජීර්ණය වීමත් සිදු වන්නේ නම් පෙත්තක් හෝ කරලක් හෝ කුඩා අන්ත්‍රයට ළඟා වන තුරු දිය වීමෙන් වළක්‌වන ආවරණ භාවිත කෙරෙයි. මේ ආරක්ෂිත ආවරණය, Enteric coating ලෙස හඳුන්වයි. මේ ආවරණය දිය වීමට නම් අඩු ආම්ලික පරිසරයකට පැමිණිය යුතු ය. කුඩා අන්ත්‍රයේ අඩු ආම්ලික තත්ත්ව යටතේ ජීර්ණ එන්සයිම මඟින් සිදු වේ.
ඖෂධ නිදහස් වීම පාලනය කරන ලද නිෂ්පාදන (Controlled-release formula-tions)
සමහර ඖෂධ නිෂ්පාදන විශේෂයෙන් ම ඔවුන්ගේ ක්‍රියාකාරී මූලද්‍රව්‍ය, සෙමින් හෝ නැවත නැවත කුඩා ප්‍රමාණවලින් කාලයත් සමඟ නිදහස් කළ හැකි අයුරින් නිමවා ඇත. සාමාන්‍යයෙන් පැය 12ක කාල වේලාවක් හෝ ඊට වැඩි කාලයක් තිස්‌සේ ඖෂධ නිදහස් කිරීම මෙමඟින් සිදු වේ.
ඉහත සඳහන් කළ නිෂ්පාදන තත්ත්වවලට අමතර ව රෝගියාගේ කායික විද්‍යාත්මක ලéණ ද ඖෂධ අවශෝෂණය කෙරෙහි බලපානු ලබයි. කායික විද්‍යාත්මක ලéණවලට ඇතුළත් වන්නේ,
* ආමාශය හිස් වීමට කෙතරම් කාලයක් ගත වේ ද?
* ආමාශයේ ආම්ලිකතාව කොපමණ ද?
* ඖෂධය කෙතරම් ඉක්‌මනින් ආහාර ජීර්ණ පද්ධතිය තුළ ගමන් කරනවා ද?
අනෙකුත් කරුණු ලෙස පුද්ගලයන්ගේ වයස, ලිංගිකත්වය, කායික විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයේ මට්‌ටම සහ මානසික පීඩන මට්‌ටම ඇතුළත් වේ.
ආමාශයේ පවතින ආහාර, අනෙකුත් ඖෂධ සහ ජීර්ණාබාධ අවශෝෂණයට බලපෑ හැකි ය. උදාහරණයක් ලෙස තන්තු වැඩි ආහාර සහ කැල්සියම් අතිරේක ඖෂධය සමඟ බැඳී අවශෝෂණය වැළැක්‌වීමට වුව ද හැකි ය. විරේක සහ පාචනය ආහාර මාර්ගයේ ද්‍රව්‍ය පරිවහන වේගය වැඩි කරයි. එවිට ද ඖෂධ අවශෝෂණය අඩු කරයි. ආහාර මාර්ගයේ කොටස් ඉවත් කිරීමේ ශල්‍යකර්ම (ආමාශ හා මහා අන්ත්‍රයේ) ද ඖෂධ අවශෝෂණයට බලපෑ හැකි ය.
ඔබයි ඖෂධයි - 2 ලිපියේ සඳහන් කළ පරිදි ඖෂධ ගබඩා කරන ආකාරය සහ උෂ්ණත්වය, ඖෂධ ශරීරය තුළ අවශෝෂණයට බලපෑම් කළ හැකි ය. සමහර වැරැදි ගබඩා ක්‍රම, ඖෂධ පිරිහීමට සහ අකාර්යéම වී හානිදායක තත්ත්වයට ඖෂධ පත් කළ හැකි ය. සමහර නිෂ්පාදන ශීතකරණයේ හෝ සිසිල්, වියළි අඳුරු ස්‌ථානවල තැබිය යුතු ය. ගබඩා උපදෙස්, කල් ඉකුත් වීමේ දින පිළිබඳ ව නිරන්තර ව ම එම උපදෙස් පිළිපැදිය යුතු ම ය.
සාරාංශයක් ලෙස ගත් විට ඖෂධ මඟින් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම්, ඒවා නිර්දේශ කරන ලද මාත්‍රාවෙන්, නියමිත කාල පරතරයෙන්, මුළු ප්‍රතිකර්ම කාලය පුරා ම ලබා ගත යුතු ය.
මීළඟ ලිපියෙන් ඖෂධ සහ ආහාර අතර ඇති විය හැකි අන්තර් ක්‍රියා පිළිබඳව සාකච්ඡා කරමු.
Comments
Post a Comment