පතිරාජ හැරුණු විට අනිත් සියලූ නිර්මාණකරුවෝ ස්ත‍්‍රීත්වය සූරාකෑවා...! එතුමා ප‍්‍රධාන නිළියව අනියම් අඹුකමට ගන්න කිසිම විටෙක කල්පනා කළේ නෑ...!
පතිරාජ හැරුණු විට අනිත් සියලූ නිර්මාණකරුවෝ ස්ත‍්‍රීත්වය සූරාකෑවා...! එතුමා ප‍්‍රධාන නිළියව අනියම් අඹුකමට ගන්න කිසිම විටෙක කල්පනා කළේ නෑ..
අනෝමා ජනාදරී කියන කතාව

බුලිත ප‍්‍රදීප් කුමාර
අනෝමා ජනාදරී අපේ සමාජය තුළ ජනාදරයට පත්ව ඇත්තේ පුරුෂාධිපත්‍යය නිසා පීඩනයට පත් ශ‍්‍රී ලාංකික කාන්තාව ගැන වැඩිපුර කතා කරන කාන්තාවක ලෙසය. විශේෂයෙන්ම ‘සිනමාව තුළ නිරූපිත ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රිය. කලාවේ නාමයෙන් සූරාකෑමට ලක්වන අයුරු ගැන ඇය වැඩි අවධානයක් යොමු කරමින් කතා කළේ එසේ සූරාකෑමට ලක්වූ සිනමාවේදීන් අතර සිටින එක් සුවිශේෂී චරිතයක් ලෙස ද පෙනී සිටිමිනි. මේ සූරාකෑමට එරෙහි ස්ත‍්‍රීත්වයට නායකත්වය දෙමින් අනවරත අරගලයක යෙදෙන ඇය පසුගිය දිනක අප හා මෙසේ කතාබහ කළේ ඇය රඟපෑ සුවිශේෂී චිත‍්‍රපට ත‍්‍රිත්වයක් මුල් කරගෙන පැවැත්වෙන ‘අනෝමා ජනාදරී ප‍්‍රත්‍යාවලෝකන සිනමා උළෙල. මුල්කරගෙනයි. මෙම සිනමා උළෙල සැප්තැම්බර් 23 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇත. වම් ඉවුරේ සිනමාව තුළ නිරූපිත ස්ත‍්‍රිය පසුකාලීනව සිනමා කර්මාන්තය තුළ සූරාකෑමට ලක්වූ ආකාරය විවරණය කරමින් ඇය කතා කරන්න පටන් ගත්තාය.
ප‍්‍රශ්නය - සාමාන්‍යයෙන් කාන්තාවන් තුළ දක්නට නොලැබෙන ස්ත‍්‍රීවාදී නැඹුරුවක් හා අසාමාන්‍ය සටන්කාමිත්වයක් අපි ඔබ කෙරෙන් දකිනවා... අනෝමා ජනාදරී නම් සිනමාවේදිනිය තුළ සටන්කාමී ස්ත‍්‍රීවාදිනිය නිර්මාණය වූයේ කොහොමද කියලා මම ඇහුවොත්...?
පිළිතුර - එතකොට මට දිග උත්තරයක් දෙන්න වේවි. මොකද ඒක මට පුංචි කාලෙම ලැබිච්ච දෙයක් නිසා. මම ඒක කෙටියෙන් කියන්නම්. පුංචි කාලෙම මට අපේ ගෙදර ඇතුලෙ අර්බුද දෙකකට මුහුණ පාන්න වෙනවා. එකක් තමයි ගෙදර පුංචි දැරිවියෝ වන අපට නැති නිදහසක් අම්මල තාත්තල අපේ පිරිමි සහෝදරයන්ට ලබාදෙනවා. එයාලා සෙල්ලම් කරනවා” ගස් නගිනවා” බයිසිකල් පදිනවා” බෝල ගහනවා” නිදහසේ ඇවිදිනවා... හැබැයි මේ හැම එකක්ම අපට තහනම්... මම මෙන්න මෙතනදි තමයි අම්මත් එක්ක අරගල කරන්න පටන් ගන්නේ ඇයි අපට වෙනමත් පිරිමින්ට වෙනමත් සලකන්නෙ කියන කාරණාව මත. ඒක එක පැත්තක්.
අනිත් කාරණාව තමයි අම්මයි තාත්තයි බාප්පයි කියන තුන්දෙනා අතර අපේ ගෙදර ඇතිවන තුන්කොන් අර්බුදය. අපට මේකෙ ඇතුළාන්තය තේරෙන්නෙ නැති වුණත් පිරිමින් විසින් කාන්තාව හිංසනයට පීඩාවට පත්කරලා ලිංගිකව සූරාකන අන්දම මම මගේ පුංචි වයසෙදි දකිනවා... විශේෂයෙන් බාප්පා විසින් අපේ අම්මට” ගෙදර ඉන්න අනිකුත් ස්ත‍්‍රීන්ට කරන හිරිහැර පීඩා මම දකිනවා. පුංචි මටත් ඒ බලපෑම්වලට ලක්වන්න සිදු වනවා. එතන ඉඳලා තමයි මං බාප්පට වෛර කරන්න පටන් ගන්නේ. මේ සිද්ධි පුංචි මගේ හිත ඇතුලෙ විශාල පරිවර්තනයක් ඇති කරනවා... මානසික වශයෙන් මට මහ විශාල පීඩනයක් ලබා දෙනවා. ඔන්න ඔය කතාව තමයි මම ‘‘මගේ කතාව.. කියලා ලියලා මුද්‍රණය කරලා එළිදක්වලා තියෙන්නේ.
ප‍්‍රශ්නය - ඒ කිව්වේ ඔබ පුරුෂාධිපත්‍යට එරෙහිව සටන පටන් ගන්නේ ගෙදරින්...?
පිළිතුර - හරියට හරි... ඕක තමයි මගේ ගමනේ මුල. ඊට පස්සේ මම හැම දෙයක්ම වෙනස් විදියට දකින්න පටන් ගන්නවා. ටික ටික වියපත් වෙනකොට මම අපේ ගෙදරට එන යන අය අපිව ඇසුරු කරන විදිය අල්ලන විදිය ආදරේ කරන විදිය අමතන විදිහ වඩා ගන්න විදිය ළඟින් වාඩි කර ගන්න විදිය ගැන සැලකිලිමත් වෙනවා... සමහර තැන්වලදී මම දකිනවා වෙනසක්... මේ වෙනස තුළ තමයි මම තේරුම් ගන්නේ සූරාකෑම කියන්නේ මොකක්ද කියලා.
ඔය අතරේ අපේ තාත්තා මට ගෙනත් දෙනවා රුසියානු පොත්පත්. මම ඒව කියවනවා. ඒ තුළින් මම විශාල සමාජ දැනුම් සම්භාරයක් ලබනවා. ඔන්න ඔය කාලේ තමයි මට උවමනා වෙන්නේ මේ පවුල් පරිසරයෙන් මිදිලා වැට කඩුලූ කඩාගෙන ඉස්සරහට යන්න නම් කොහොම හරි ‘කැම්පස්. එකට යන්න ඕන කියලා. එහෙම නොගියා නම් මම දන්නවා අපේ අම්මලා මාව ලොකු මහත් කරලා කාටහරි බන්දලා දීලා නිදහස් වෙන්න උත්සාහ කරනවා කියලා. මට ඕන වෙනවා ඒකෙන් මිදෙන්න.
ප‍්‍රශ්නය - උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය වෙත යන ඔබ කලාව ඇසුරු කරන්න පටන් ගන්නේ කොහොමද කියලා කිව්වොත්...?
පිළිතුර - එතනදී ඉතාම වැදගත් පරිවර්තනයක් සිදු වෙනවා. විශ්වවිද්‍යාල සිසුවියක් විදිහට තමයි මම ඔය කාලයේ සෝවියට් මිත‍්‍රත්ව සංගමය විසින් පවත්වනු ලබන වැඩමුළුවලට සහභාගි වෙලා සමාජවාදී කලාව ඉගෙනගන්න පටන් ගන්නේ. ඩග්ලස් සිරිවර්ධන” එච්. ඒ. පෙරේරාලා වගේ ගුරුවරු එතන ඉගැන්නුවා. අපි සමාජවාදී කලාව ඉගෙන ගත්තා. දැන් දැන් මොනවා කරත් ඩග්ලස් සිරිවර්ධන මහත්මයා තමයි මට ‘‘කලාවේ දේශපාලනය.. ගැන කියලා දුන්නේ. ඒ අතරේ මම ඔහුගේ ‘‘හිට්ලර්.. නාට්‍යයේ රඟපානවා. වැඩමුළුව තවදුරටත් ඉදිරියට යනවා... වැඩමුළුවේදී මට අශෝක හඳගම කියන පුද්ගලයා මුණගැහෙනවා. ඔහුගේ අදහස් එක්ක මගේ අදහස් එකතු වෙනවා... අපි විශාල නිර්මාණ සංඛ්‍යාවක් බිහි කරනවා. අපි විවාහ වෙනවා. ජීවිතය ඔන්න ඔහොමයි.
ප‍්‍රශ්නය - ඔන්න ඔතනදි තමයි ඔබ ‘‘සිංහල සිනමාවේ නිරූපිත ස්ත‍්‍රිය.. කියන මාතෘකාව ගැන කතා කරන්න අවශ්‍ය සමාජ පරිසරය හා සමාජ වටපිටාව සකසා ගන්නේ.. ශ‍්‍රී ලාංකීය සිනමාකරුවන් ස්වීය නිර්මාණ සඳහා කාන්තාව භාවිත කිරීම සම්බන්ධයෙන් ඔබට ලොකු විවේචනයක් තිබෙන බව අපි දන්නවා. ඔවුන්ගේ දෘෂ්ටිය ගැන ඔබේ තක්සේරුව මොකක්ද...?
පිළිතුර - මට මේ ගැන කතා කරද්දී ටිකක් මුලට යන්න වෙනවා. වාමාංශික දේශපාලන අදහස් ප‍්‍රචලිත කරමින් සිනමාකරණයේ යෙදුණු” දෙවෙනි කැරැල්ලේ ආරම්භකයනේ ධර්මසේන පතිරාජ. එතැන් පටන් එම මඟ දිගේ ඉදිරියට යෑමට උත්සහ කරමින්” මගේ සිනමා විවරණයට හසුවන නිර්මාණකරුවන් කිහිප දෙනා මම මුලින්ම නම් කරන්නම්...
ධර්මසේන පතිරාජ” වසන්ත ඔබේසේකර” තිස්ස අබේසේකර” ධර්මසිරි බණ්ඩාරනායක” අශෝක හඳගම” ප‍්‍රසන්න විතානගේ” විමුක්ති ජයසුන්දර” ප‍්‍රසන්න ජයකොඩි” සංජීව පුෂ්ප කුමාර කියන අය තමයි අපිට මේ ඉවුරේ සිනමාකරුවන් විදියට හඳුනා ගන්න ලැබෙන්නේ. මේ පරපුර ආරම්භයේදී පතිරාජයන් ‘‘බඹරු ඇවිත්.. චිත‍්‍රපටයේ ධනපති පංතිය විසින් පීඩිත පන්තිය සූරාකෑම ඇතුලේ ලිංගික සූරාකෑම ද ඇතුළත් බව හෙලන් හා බේබි මහත්තයා කියන චරිත දෙක ආශ‍්‍රයෙන් ඉතාම ලස්සනට පිළිබිඹු කරලා තියෙනවා. අහස් ගව්ව” පාර දිගේ වැනි චිත‍්‍රපටවලිනුත් පතිරාජ මෙම ලිංගික සූරාකෑම මැනවින් පෙන්නුම් කළා තමයි. ඒත් ඊට වඩා ඉතාමත් විශිෂ්ට විදිහට බඹරු ඇවිත් චිත‍්‍රපටියේ මේ ලිංගික සූරාකෑම කිසිදු අඩුවක් නැතුව ප‍්‍රතිනිර්මාණය කරනවා... හැබැයි කොතනකවත් එයා හෙලන්ගේ නිරුවත පෙන්නුවද... නැහැ... ඒ දේ නොකර නිර්මාණාත්මකව චිත‍්‍රපටය පවත්වාගෙන යන්න අවශ්‍ය විනය හා ශක්තිය ඔහුට තිබුණා. ශක්තිය ලබාගත්තෙ කොහොමද? ඒකට බලපෑ කාරණා කිහිපයක් තියෙනවා.
එක... ඔහු මේ චිත‍්‍රපටය නිර්මාණය කළේ ඔහුගේ බිරිඳගේ මුදලින්... ඒක නිසා කාවවත් සතුටු කරන්න ප‍්‍රධාන නිළිය නිරුවත් කරන්න ඔහුට උවමනා වුණේ නැහැ.
දෙවනුව ප‍්‍රධාන නිළියව තමන්ගේ අඹුකමට හෝ අනියම් අඹුකමට තියාගන්න කිසිම විටෙක කල්පනා කළේ නෑ ධර්මසේන පතිරාජ. මා ඉහත කී සිනමාකරුවන්ගෙන් ධර්මසේන පතිරාජ කියන සිනමාකරුවා සුවිශේෂී වශයෙන් වෙනස් වන්නේ මෙන්න මේ කාරණාව මතයි. නිළියට ගෙවිය යුතු වෘත්තීය ගෙවීම පැහැර හැරියේ නෑ ධර්මසේන පතිරාජ. ඒවගේම අධ්‍යක්ෂවරයා හා ප‍්‍රධාන නිළිය අතර තිබෙන මානව බැඳීම කිසිවිටකත්” මැරෙනතුරු උල්ලංඝනය කළේ නැහැ මේ පතිරාජ කියන සිනමාකරුවා. ඔන්න ඕක තමයි ධර්මසේන පතිරාජ කියන නිර්මාණකරුවාගේ සමාජ දේශපාලනික වාමාංශික සිනමා දැක්ම... අන්න එහෙම තමයි අපේ රටේ සිනමාවේ දෙවෙනි කැරැල්ල යුග පුරුෂයා තමන්ගේ සෞන්දර්යාත්මක කාර්යභාරය සමාජය වෙනුවෙන් ඉටුකර තැබුවේ.
ප‍්‍රශ්නය - ධර්මසේන පතිරාජ හෙළිපෙහෙළි කරපු ඒ සිනමා නිර්මාණ මාර්ගයේ ගිය හා නොගිය සිනමාකරුවන් ගැනත් ඔබට හොඳ විවේචනයක් තියෙනවා..?
පිළිතුර - මම එහෙම කවුරු ගැන කියන්නද... මෙහෙමයි මම කියන්නේ... පතිරාජ හෙළි පෙහෙළි කළ මඟ ඔස්සේ ගියා නෙවෙයි. පතිරාජගේ සිනමා භාවිතාව ඇතුලේ නොකරන්න ඕන සියලූම දේවල් අනිත් මිනිස්සු කළා. මම ඉතින් ඒවා එකින් එක කියන්න යන්නේ නැහැ... හැබැයි උදාහරණ එකක් දෙකක් කියන්නම්....
පළඟැටියෝ චිත‍්‍රපටය ගැන කතා කරමුකෝ... පළඟැටියෝ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළියව ප‍්‍රධාන නළුවාට සිප ගන්න එක දර්ශනයක් පුහුණු කරන්න ප‍්‍රධාන නළුවා පැත්තකින් හිටවගෙන අධ්‍යක්ෂවරයා විසින් එම නිළියව 26 වතාවක් සිප ගන්නවා. අර නිළිය මවිතයට පත්වනවා. සූරාකෑම උපරිමයෙන්... අන්තිමේ ඇයට මේ චිත‍්‍රපටයෙන් පසුව සිය පෙම්වතා අහිමි වෙනවා. ඔහු ඇයව දාලා යනවා. ඇය ගිහිල්ලා සමාජ අපවාදවලින් බේරෙන්න ඈත පළාතක අප‍්‍රසිද්ධියේ ජීවත් වෙනවා. අවසානයේ සොර මුළක් ඇවිල්ලා ඇයව මරාදාලා යනවා.... ඔන්න පළඟැටියෝ චිත‍්‍රපටයේ ලිංගික සූරාකෑමේ ප‍්‍රතිඵලය.
ප‍්‍රශ්නය - මේවා කාලයේ වැලි තලාව මතින් වැහිල ගිහිල්ලා තියෙන දේවල්... මේ නිර්මාණවලට පාදක වුණු සමහර පුද්ගලයන් අද ජීවතුන් අතර ඇත්තේත් නෑ... ඒ නිසා කතා කළ යුතු වුවත් බොහෝ දෙනෙක් මේ ගැන අමතක කර දමා ඉවරයි... එවන් වටපිටාවක ඔබට මේ වගේ දේවල් මතු කරන්න තරම් ශක්තියක් ලැබුණේ කොහොමද..?
පිළිතුර - ඒ ගැන කතා කිරීම හරිම වැදගත්... මට ඒ ශක්තිය ලැබෙන්නේ මම මේ රටේ සිනමාවේ තුන්වැනි කැරැල්ලේ යුග පුරුෂයකුගේ බිරිඳ වීම. අශෝක හඳගමගේ බිරිඳ වීම. ඊට පස්සේ බලමු කොහොමද ධර්මසේන පතිරාජයන්ගේ භාවිතාව අශෝක හඳගමගේ සිනමාව තුළ නිශේධනය කරන ආකාරය.
අශෝක හඳගම මේකට ඉතාම සරල න්‍යායක් පාවිච්චි කරනවා. අපි ඔය කතා කරපු කිසිම සිනමාකරුවෙක් තමන්ගේ සිනමා නිර්මාණය සඳහා ප‍්‍රධාන නිළිය ලෙස තමන්ගෙ බිරිඳව පාවිච්චි කරලා නෑ. නමුත් අශෝක හඳගම පළමුව නිළිය තමන්ගේ බිරිඳ කරගෙන ඇගේ ලිංගිකත්වය තමන්ගේ භුක්තියට සරිකර ගන්නවා. දෙවනුව සැමියා තමන්ගේ බිරිඳව ගෙදර ඇඳ උඩ කුටුම්බය ඇතුලේ නිරුවත් කරන අතරම තමන්ගේ සිනමා නිර්මාණයේදී කැමරාව ඉදිරියේත් නිරුවත් කරන්න පියවර ගන්නවා.
ප‍්‍රශ්නය ඒක නෙවෙයි... ඒ අතර ඔහු බලහත්කාරය භාවිතා කරමින් පිටපතේ නැති දර්ශනවලට පවා ඇඳ උඩදී කැමරාව ඉදිරියේ තමන්ගේ බිරිඳව පාවිච්චි කරනවා. ‘මේ මගේ සඳයි. චිත‍්‍රපටයේ එක් දර්ශනයක් තියෙනවා ලිංගික කර්තව්‍යයකින් පස්සේ මමත් සෞම්‍ය ලියනගේත් ඇඳ උඩ වැතිර සිටින... ඒකේ කොතනකවත් නැහැ ප‍්‍රධාන නිළිය ඇඳ මත පපුව නිරාවරණය කරගෙන වැතිර සිටී කියලා. නමුත් මේ අධ්‍යක්ෂවරයා කැමරාව ඉදිරියේදී එම අවස්ථාවේ ක්ෂණිකව මගේ කිසිදු අනුදැනුමකින් තොරව හැට්ටය විවෘත කරනවා. ඒ තමයි පළවෙනි වතාව මා සම්බන්ධයෙන් කැමරාව ඉදිරියේ ඔහුගේ අත්තනෝමතය භාවිතා කරන... ඒ තමයි ඔහු තමන්ගේ නිළිය වන බිරිඳ ව තම නිර්මාණය සඳහා අවභාවිතා කරන හැටි.
ප‍්‍රශ්නය - මේ චිත‍්‍රපට දර්ශනය සඳහා ඔබ අකැමැත්තක් ප‍්‍රකාශ කරලා නැහැ. එහෙම නම් කොහොමද අවභාවිතාවක් කියලා කියන්නේ.?
පිළිතුර - මේ දර්ශනය සඳහා පෙනී සිටියේ මම... ඒ ඇඟ මගේ. නිරුවත මගේ. මගේ ශ‍්‍රමය. මගේ කාලය මගේ මහන්සිය වැය කළේ. එහෙම නම් ඒ ශ‍්‍රමයට” ඒ කාලයට” ඒ කැපකිරීමට යම් මුදලක් ගෙවන්න අවශ්‍ය නැද්ද...? ඒකට වටිනාකමක් නැද්ද? වටිනාකමක් නොගෙවා භුක්තියට සරිකරගත් මාව ඒ සඳහා පාවිච්චි කිරීම අවභාවිතාවක් නෙවෙයිද... ඔහු පුවත්පතකට ප‍්‍රකාශ කරල තිබුණා අප අතර නැති ගිවිසුමක් වෙනුවෙන් මම මොකටද මුදල් ගෙවන්නේ කියලා....
ප‍්‍රශ්නය - ඒ කියන්නේ ඔබ රඟපාන ලද ඔහුගේ චිත‍්‍රපට නිර්මාණ සඳහා ඔබට යම් ගෙවීමක් කළේ නැහැ කියන එකද...?
පිළිතුර - මේ මගේ සඳයි චිත‍්‍රපටයට” තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයට ඊට පෙර කරපු චිත‍්‍රපටයට මට එක රුපියලක්වත් ගෙවලා නෑ. ඒ විතරක් නෙවෙයි” ටෙලි නාට්‍ය ඇතුළු ඔහු සමඟ කළ කිසිදු නිර්මාණයකට මට සතයක් ගෙවලා නෑ. ඔහු අද ගමන් බිමන් යන්නේ අවුඩියක. මම යන්නේ පාරේ ත‍්‍රීවිලර්වල. පතිරාජ හෙළි පෙහෙළි කළ ගමන් මග ඔස්සේ අපේ සිනමාව ඉදිරියට ගෙන යන්න කැප වුණ සිනමාකරුවන්ගේ වත්මන් තත්ත්වය ඔන්න ඕකයි.
ප‍්‍රශ්නය - මෙතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවනේ අනෝමා... සිංහල සිනමාවේ නිරූපිත ස්ත‍්‍රියගේ අයිතිවාසිකම් හා ගෞරවය වෙනුවෙන් සටන් වදින ඔබ ඒ ගැන සටන් කළ යුතු අවස්ථාවේ සටන් කරලා නෑ.
පිළිතුර - ඇත්ත වශයෙන්ම මම අතිශයින් විශ්වාස කළා මේ සමාජවාදී කලාකරුවා වෙනුවෙන් සියයට දෙසීයක් මම මගේ දායකත්වය දිය යුතුයි කියලා. මේ රටේ ස්ත‍්‍රීත්වය වෙනුවෙන්. මේ රටේ කලාව වෙනුවෙන්. සමාජය වෙනුවෙන්... ඒ සඳහා අපි අතර නොලියවුණු ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුම ප‍්‍රකාරව ඔහු මට චරිතයක් ලබා දෙනවා. මම ඒ චරිතයට සාධාරණය ඉෂ්ට කරමින් මගේ දායකත්වය සපයනවා. අපි දෙන්නා ඒ නිර්මාණය අරන් ලෝකෙට යනවා කියලා. හැබැයි ඒ අතරේ කඩාපාත් වෙන වෙනත් වෙනත් අර්බුදවලින් කඩතොළු වෙනකොට මේ අපේ සබඳතාවය අපට සිද්ධ වෙනවා ඈත්ව යන්න. ඒ අනුව තමයි මම කියන්නේ දැන් හොඳටම ඇති... උඹේ නිර්මාණවලට මම මගේ දායකත්වය” මං මගේ ගැහැනුකම” මම මගේ නිරුවත” මම මගේ කැපකිරීම නම් මගේ දක්ෂතාවය ලබාදුන්නා ඇති. මීට පස්සේ ඒ කිසිවක් උඹට මගෙන් නැහැ කියලයි අපි දෙන්න දෙපසට යන්නේ.
හඳගම ගැන ගොඩක් කතා කරපු මම අනෙකුත් නිර්මාණකරුවෝ ගැනත් පොදුවේ කරුණු එකක් දෙකක් කතා කරන්න කැමතියි. ඔය ඉන්න අධ්‍යක්ෂවරුන්ගෙන් බොහෝදෙනෙක් පවුල් සංස්ථාව තුළ තමන්ගේ බිරිඳ සිරකාරියක්. ඒ වුණාට නිර්මාණ ඇතුළේ ගැහැණිය ගැන සත්ව කරුණාවෙන් කතා කරනවා. බිරිඳට හෝ පෙම්වතියට සලකන්නෙ මහා නරක විදිහට. ඔවුන්ව නිර්මාණ සඳහා දායක කර ගත්තේ නැතත් සමහරුන්ට ගෙවල්වලින් හෙල්ලෙන්න දුන්නේ නැහැ. සමහරුන්ට අමුත්තන් හමුවීම තහනම්. සමහරු ඇඳුම් ගලවලා මාරු කරනවා වගේ බිරින්දෑවරු මාරු කළා. තවත් සමහරුන්ට දරුවෝ හදන්න තහනම්... ස්ත‍්‍රීත්වය පිළිබිඹු කරන චිත‍්‍රපට හදනවා කියන පතිරාජගේ පරපුරේ චිත‍්‍රපටකරුවන්ගෙන් ඕක ද සමාජය බලාපොරොත්තු වෙච්ච සමාජ යථාර්ථවාදී කලාව. ඇත්තම වශයෙන්ම මේකයි හේතුව... මේ හැම නිර්මාණකරුවෙක් ම පිරිමි... ආසියාතික පිරිමි... ආසියාතික පිරිමියා හැම විටම මේ සමාජය ඇතුලේ” මේ ආගම තුළින් කාන්තාව සුළුකොට තකනවා... ස්ත‍්‍රියත් අපි හා සමානම මානුෂික සත්වයෙක් කියන එක ඉතාම වේගයෙන් අමතක කරල දානවා... අපේ මේ සිනමාකරුවෝ හය හත් දෙනා අන්න ඒ දේ නොකළා නම් අද අපේ සිනමාව කොතනද කියලා හොයන්න බැරි තරම් ලෝක පර්යාය වශයෙන් දියුණු තත්ත්වයකට පත් වෙලා ඉවරයි.
මම දැන් මේ මෙතනින් එහාට මේ නිර්මාණකරුවන් ගැන මුකුත් කියන්න යන්නේ නෑ. වචනයක් දෙකක් ප‍්‍රත්‍යාවලෝකන සිනමා උළෙල ගැන කතා කරලා මේ සංවාදය නවත්තන්න මං කැමතියි. සිනමා උළෙලේ පළමු දිනයේ වන 23 වැනිදා අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න. චිත‍්‍රපටයත්” 24 වැනිදා ‘මේ මගේ සඳයි. චිත‍්‍රපටයත්” 25 වැනිදා සංජීව පුෂ්පකුමාරගේ ”දැවෙන විහඟුන්” චිත‍්‍රපටයත් ප‍්‍රදර්ශනය කෙරෙනවා. හවස 5.30 ට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා. සෑම චිත‍්‍රපටයක් අවසානයේම ඒ හා බැඳුණු සංවාදයක් පවත්වන්නත් සහෘද රසික කැළ සූදානම්. ආරාධනා විවෘතයි. මගේ රඟපෑම් ගැන පුංචි හෝ තක්සේරුවක් හිතේ ඇති කරගන්න ඉඩක් තිබුණොත් ඇවිත් යන්න කියන සහෘද කර ආරාධනය කරමින් මම එහෙනම් නතර වෙනවා.
Comments
Post a Comment