Skip to main content

බොරැල්ල කනත්තෙ පළමුවෙන්ම භූමිදාන කර ඇත්තේ අවුරුදු පනස් පහක වැන්දඹු කාන්තාවක්. ඒ 1866 ඔක්තෝබර් විසි අටවෙනි දා..

හාත්පස වැසීගිය වැහි බීරම් අඳුරත් එක්ක ඒ හැන්දෑවෙ බොරැල්ල කනත්තේ තිබුණේ මහා පාළු මූසල බවක්. සිකුරාදාවක් නිසා වැඩිය මිනි ගෙනෙන්නෙත් නැති නිසා මිනිස් පුලුටක්වත් පේන තෙක්මානයක හිටියෙ නැහැ. නාරාහේන්පිට පාරෙන් කනත්තට ඇතුළු වුණ මාව මුණගැහෙන්න මගේ මිත්‍රයා බලාගෙන හිටියා.
ඔහු කලින් කියලා තිබුණ විදියට මම හමුවෙන්න යන පුද්ගලයගේ කනත්තේ සේවා කාලය අවුරුදු පනස් එකක්. කොළඹ නගර සභාව යටතේ ඔහු කනත්තේ හරියටම අවුරුදු හතළිහක් රාජකාරි කළා. අවුරුදු හැටෙන් විශ්‍රාම ගත්තයින් පස්සෙ බොරැල්ල කනත්තේම රෝමානු කතෝලික කොටස කාලයක් ගතකළා. මම හමුවෙන කාලේ ඔහු වැඩ කළේ බොරැල්ල කනත්තේ ඇංග්ලිකන් කොටසේ.
අවුරුදු හැත්තෑ එකක් වන ඔහුගේ ජීවිත කාලයේ ඔහු අවුරුදු පනස් එකක්ම ගත කරල තියෙන්නෙ සොහොන් කොත් අතරේ.
කවුරුත් ඔහුව දන්නෙ කළු අයියා කියලා.
කළු අයියාව මුණ ගැහෙන්න යන අතරේ මට බොරැල්ල කනත්තෙ අතීත කතාව සිහිපත් වුණා.
බොරැල්ල කනත්තෙ පළමුවෙන්ම භූමිදාන කර ඇත්තේ අවුරුදු පනස් පහක වැන්දඹු කාන්තාවක්. ඒ 1866 ඔක්තෝබර් විසි අටවෙනි දා.
අටවැනි සියවසේ මැද භාගයේ කොළඹ ආණ්ඩු කරමින් සිටි ඉංග්‍රීසි පාලකයන් සුසාන භූමියක් සඳහා කොළඹින් ප්‍රදේශයක් සෙව්වා. ඔවුන් තෝරාගත්තේ බොරැල්ලේ මෙම බිම්කඩ.
මෙහි බිම් ප්‍රමාණය අක්කර හතළිස් අටක් පමණ වෙනවා. සොහොන් කොත් හෙවත් ස්මාරක හැට දාහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.
මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න සොහොන් ගෙවල් කීපයකුත් මෙහි තියෙනවා. පිටස්තර පුද්ගලයකුට ඇතුළට යා හැකි ලෙස මෙම සො​හොන් ගෙවල් තනා ඇත. මෙම සොහොන් ගෙවල් තුළ අභ්‍යන්තරයේ ඇති මේසයක් මත මළවුන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් බඳුන් තැන්පත් කරන්න පුළුවනි.
දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ පිටකොටුවේ තිබුණ “මේබල් ස්ටෝර්ස්” ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරයේ හිමිකරුවා තමන් ජීවත්ව සිටියේදීම මෙවැනි ​සොහොන් ගෙයක් හදලා තියෙනවා. සෑම සති අන්තයකම තම මිතුරන් සමග සොහොන් ගෙයට එන ඔහු එතුළට වී කමින් බොමින් සතුටින් ගතකළා. නමුත් ජීවිතයේ අවසානයේ ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වී ඔහු තැනින් තැන ඇවිදිමින් මියගියා. ඔහුට අර සොහොන් ගෙයි තම භෂ්මාවශේෂ තියන්න අවස්ථාව ලැබුණේ නැහැ.
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කියල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බොරැල්ල කනත්තේ තියෙනවා. ඒවා පාලනය වෙන්නේ කොළඹ මහ නගර සභාවෙන්. රෝමානු කතෝලික පිරිස වෙත වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ රෝමානු කතෝලික සභාවෙන්. ඇංග්ලිකන්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ ඇංග්ලිකන් සභාවෙන්.
1928 ඉඳලා ජපන් ජාතිකයින් වෙනුවෙන් බොරැල්ල කනත්තෙ කොටසක් වෙන්වෙලා තියෙනවා. එහි නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්. එම කොටස මිනීවළවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.
මෙයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය කියලා කොටසකුත් තියෙනවා. 1935-1942 දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාවේ අවසන් කටයුතු සිදුකළ එංගලන්තය, අප්‍රිකාව නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල යුද හමුදා නිලධාරීන්ගේ ස්මාරක ද මෙහි තියෙනවා.
කොළඹ බොරැල්ල කනත්ත ආසන්නයේ සිට මධ්‍යම රාත්‍රියේ කුලී රථවලට අතපාන සුදු ඇඳුමෙන් සැරසුණ අද්භූත කාන්තාවක පිළිබඳව ඉස්සර කතාවක් තිබුණා.
ඒ හැර බොරැල්ල කනත්තෙ හොල්මන් ගැන විවිධ කතා මිනිස්සු අතර තියෙනවා. මට ඕනෑ වුණේ කළු අයියගෙන් මේ ගැන විස්තර දැනගන්න.
ඒ හැන්දෑවේ මායි මගේ මිත්‍රයයි යද්දි කළු අයිය ගල් පල්ලිය, පල්ලැහැ සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටියා.
මගේ මිත්‍රයා මාව අඳුන්නලා දුන්නා.
“කළු අයියා ​​බොරැල්ල කනත්තේ ඉන්න හොල්මන් ගැන කතා කරන්නයි මම ආවෙ” කළු අයියා ඉදිරිපිට සොහොන් කොතක් උඩ වාඩිවුණා. මම කිව්වා..
“මොන හොල්මන් ද මහත්තයා” කළු අයියා කතා කළේ ඩෝන්ට් කෙයාර් ගණනට.
“කළු අයියනේ දැනට බොරැල්ල කනත්තේ ඉන්න පරණම සේවකයා. එතකොට කතන්දර ගොඩක් දන්නව ඇති නේ” මම කිව්වා.
කළු අයියා ටිකින් ටික තමන්ගෙ අත්දැකීම් හෙළිකරන්න පටන් ගත්තා.
“මහත්තයෝ, මේක තෝමස් පෙරේරා ගැන කියන කතාන්දරයක්.”
“කමක් නැහැ කියන්නකො.”
“එදත් සිකුරාදා දවසක්. සිකුරාදාට කනත්ත හරි පාළුයි. මහ මූසල පාටක් තියෙන්නේ. හවස් වරුවේ කනත්තේ ගේට්ටුව වහලා තිබුණේ. තෝමස් අයියයි. එයාගෙ සගයයි කනත්ත අතුගාලා කුණුවලට ගිනි තියලා රෝමානු කතෝලික කොටසට වෙලා ඉඳගෙන හිටියා.”
“ගිනි ගොඩ ළඟද?”
“නැහැ ගිනි ගොඩ​ට ටිකක් එහායින්”
“ඉතින්?”
“මේ දෙන්න මෙතැන ඉද්දි දැක්කලු මෝචරිය ඉස්සරහ ටයි කෝට් ඇඳල තොප්පියක් දාගත්ත මහත්තයෙක් හිටගෙන ඉන්නවා.”
“ඉතින්?”
“දෙන්න හිතුවලු ගේට්ටුව වහන්න ඉස්සර කනත්තට ඇතුළු වුණ කෙනෙක්. ගේට්ටුව වහල හින්ද යන්න බැරිව බලාගෙන ඉන්නව කියලා. තෝමස් අයිය එක්ක හිටිය යාළුව, කිව්වලු මම මහත්තයාට ගේට්ටුව ඇරල දීලා සම්තිං පාරක් කඩාගෙන එන්නම් කියලා.
“දෙන්නාමද මෝචරිය ළඟට ගියේ?”
“නැහැ යාළුවා විතරයි.”
“ඊට පස්සේ?”
“යාළුවා ​මෝචරිය ළඟට ගියාම මහත්තයා එතැන නැහැල්ලු.”
“ඉතින්?”
“යාළුවා මෝචරිය ළඟට ගිහිල්ල හැරිලා බලද්දී දැක්කලු මහත්තයා එයාගෙ ඉස්සරහින් යනවා. එයා මහත්තයාගේ පිටි පස්සෙන් යද්දි මහත්තයා එක පාරම අතුරුදන් වෙලා. පස්සෙ මිනිහ තෝමස් අයියට කතාව කියල අර ගිනිගොඩ ළඟට ගියාලු.”
“ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?”
“තෝමස් අයියා ඉස්සරින්ම දැක්කෙ යාළුවා බීඩිය පත්තුකර ගන්න ගිනි ගොඩට පාත්වෙනවා වගේ. ඒ එක්කම කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කළා වගේ. දඩෝස් ගාලා ගිනි ගොඩට වැටුණා.”
“පපුවෙ අමාරුවක් වගේ හැදිල වැටුණද?”
“ඒක කොහොමද දන්නේ නැහැ. මිනිහගෙ පිට පුරාවට පත ඇඟිලි පහක ලකුණු තිබුණා?”
“ජීවත් වුණාද?”
“ඉස්පිරිතාලෙට ගෙනිච්චා වැඩක් වුණේ නැහැ. සිරුර ගිනි ගැනීම නිසා සිද්ධවුණ මරණයක් කියලයි තීරණය කළේ.”
“ඊට පස්සෙත් ඔය මහත්තයාගේ අවතාරේ ​බොරැල්ල කනත්තේ හොල්මන් කළේ නැතිද?
“මොකද නැත්තෙ. ආයෙමත් ඔය මෝචරිය ඉස්සරහම මේකත් වුණේ 1965 විතර කාලේ. සිරිල් කියලා අපේම මිනිහෙක් තමයි දැකල තියෙන්නෙ.”
“කියන්නකො”
“මිනිහ බොරැල්ලෙ ෂෝ එකක් බලල එද්දි දැක්කලු මහත්තයෙක් මෝචරිය ඉස්සරහ ඉන්නව”
“මහ රෑ ද?”
“නැහැ දෙකයි තිහේ ෂෝ එක බලල එද්දි හවස හයට විතර ඇතිලු”
“ඉතින් මිනිහ හිතුවා වළක් බලන්න ආපු මහත්තයෙක් කියලා. මිනිහ ඉක්මනට මේ පැත්තෙන් ආවා. ගණනක් කඩා ගන්න හිතාගෙන”
“ඊළඟට මිනිහා දැකලා තියෙන්නෙ මෝචරිය ඇතුළට මහත්තයා යනවා වගේ. ඒත් ඒ අහලකවත් මහත්තයා නැහැ. මිනිහ දතකට පූට්ටුවෙලා මෝචරිය පඩිය උඩ මුනින්තලා වැටුණා. වැටිල්ලට මිනිහගෙ ඉස්සරහ දත් පේළියම කැඩිලා තිබුණා. සිරිල්ගෙ පිටෙත්, ගිනිගොඩේ වැටුණ මිනිහගේ වගේ කළු පත ඇඟිලි පහක පාරක් තිබුණා. ඉස්පිරිතාලෙට ගිය සිරිල් ගෙදර ආවේ දවස් තුනකට පස්සෙ.”
“වෙන මොනවද ඔය වගේ දේවල් වෙලා තියෙන්නේ?”
“ඔය ආදාහනාගාරය ළඟත් මහා අපූරු වැඩ සිද්ධවෙනවා. දවසක් අපේ ගුණසේකර කියලා කෙනෙක් ආදාහනාගාරය ළඟ නිදාගෙන ඉඳලා තියෙනවා.”
“මහ රෑකද?”
“නැහැ. හවස හයයි තිහට විතර ඇති. ගුණසේකර නිකමට ආදාහනාගාරය ළඟ ඇලවෙලා ඉඳලා තියෙනවා. එක පාරම කොහොන්ද මන්ද ගල් අහුරක් වැටිලා තියෙනවා. ගුණසේකර හිතුව කවුරු හරි බයකරන්න ගල් අහුරක් විසිකරන්න ඇති කියලා. මිනිහා හොඳට වට පිට බැලුවා. කවුරුත් නැහැ. ආයෙත් ඇලවුණා. මෙන්න ආයෙත් ගල් අහුරු වැටෙන්න ගත්තා. මිනිහා නැගිටලා”
අප ළඟට ඇවිල්ලා කතාව කිව්වා.
“ඔය වගේ අද්භූත දේවල් වෙන්නේ හවසට රෑට විතරද?”
“දවල් දොළහට. හවස හය හමාරට කිසිම කෙනෙකුට ඔය ආදාහනාගාරය ළඟ නිදාගන්න බැහැ.”
“තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවාද?”
“ආදාහනාගාරය ළඟ පන්සල ළඟ ගිරිගරුඬ මේසයක් තියෙනවා.”
“මොකටද ඒක තියෙන්නේ?”
“ආදාහනය කරන්න එන මිනී ඔය කිරි ගරුඬ මේසය උඩ තියලා තමයි පාංශු කූලය දෙන්නේ.”
දවසක් පුංචි බොරැල්ලේ බර්නාඩ් කියලා කෙනෙක් ඔය මාබල් ටේබල් එක උඩ ඇලවෙලා සිටියා.”
“කීයට විතරද?”
“දවල් දොළහට විතර. අපි හතර පස් දෙනෙක් එයට එහාහින් කතා කරකර හිටියා. මෙන්න එකපාරටම බර්නාඩ් ඇස් උඩ තියාගෙන නැගිට්ටා. කවුදෝ බෙල්ල මිරිකන්න හැදුවා කියලා.”
“ගුරුකම් අතේ කටයුතුත් බොරැල්ල කනත්ත ඇතුළෙ වෙනවද”
“මෙන්න මෙහෙම වෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ දරුවකුට පවුලේ අයකුට අපලයි කියල කට්ටඬි මහත්තයකු කියනවා. කට්ටඬියා එතකොට තිබෙනවා ඕකට මම වැඩක් කරලා දෙන්නම්. මම බිත්තරයක් ජීවන් කරලා දෙන්නම්. රෑ දොළහට එහෙම නැතිනම් දවල් දොළහට එහෙම නැතිනම් හවස හයට කනත්ත ඇතුළේ ගහලා බිඳින්න කියලා.”
“ඊට පස්සේ?”
“ඊට පස්සේ කට්ටඬිය බිත්තරයක සායම් කරලා රූප ඇඳලා කීයක් හරි ලොකු ගණනක් කඩාගෙන ගෙදර අයට දෙනවා. ගෙදර කෙනෙක් අර කිව්ව වෙලාවට බිත්තරය අරගෙන කනත්තට එනවා.”
“කළු අයියලට අහුවෙනවා ඇති”
“සමහර අය බිත්තරය අතේ තියාගෙන ඉද්දී අපි දැක්කොත් අහනවා. එතකොට ගෙදර අය කියනවා ගුරුකම් අතේ වැඩකට බිත්තරය ගෙනාවා කියලා”.
“ඔය ගොල්ලෝ ඉඩ දෙනවද”
“ඇත්ත කියන්න එපායැ මහත්තයා. බොරුවට සුදනා වෙලා වැඩක් නැහැනේ. අපි එහෙම අහපුවම අපිට රුපියල් තුන් හාර සියයක් අත මිට මොළවනවා. අපි අයින්වෙලා යනවා.”
“වැඬේ වැරදි නැද්ද?”
“ඕනෑ නම් ඔහොම එන අයට නිකම් යන ගමන් කුලුනක ගහලා බිත්තර බින්දෑකිනේ. පාරේ යන ගමන් කනත්තෙන් පිට ඉඳලත් සොහොන් කොතක ගැහැව්වැකිනේ. එහෙව් එකේ අපි සුළු සංතෝෂමක් ගත්තට වැරදිද?උදේ හතේ ඉඳන් හත වෙනකම් ඕනෑම කෙනෙකුට කනත්තට එන්න පුළුවන්. මරණයකට ආවාය කිව්වැකි තමන්ගේ නෑයෙකුගේ සොහොන් කොතක් බලන්න ආවාය කිව්වැකි.”
“එතකොට වෙන මොනවද කනත්තේ වෙන්නේ”
“කනත්තට ජෝඩු එනවා. කාරෙකේ එන්නේ. අහපුවම කියන්නේ අම්මගෙ එහෙම නැතිනම් තාත්තාගෙ වළ බලන්නය කියලා. තවත් ජෝඩු පයින් එනවා. ඇවිල්ලා සංතෝෂවෙලා යනවා. ඒවා අපිට වළක්වන්න අමාරුයි මහත්තයා.”
සටහන - පීටර් කැනියුට් පෙරේරා

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...