Skip to main content

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...



ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු.



මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ,

1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම.

2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම.

3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම.

4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි.



ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු.

එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්, ඒවා විවිධ භෞතික ස්‌වභාවයන් ගෙන් පවතින බවත්, අපි පසුගිය සතියේ ලිපියෙන් සාකච්ඡා කළෙමු. පවුඩර්/කුඩු, පෙති, කරල්, දියර, එන්නත්, ආලේපන, ස්‌ප්‍රේ සහ ආඝ්‍රාන ඖෂධ මින් සමහරකි.

ඉතින් මෙලෙස විවිධ විලාසයන් ගෙන් අපට ලැබෙන ඖෂධ අප ඉතා විමර්ශනශීලී ව පරිහරණය කළ යුතු ය. ඒ මක්‌නිසා ද යත් ඖෂධවලින් ලෙඩ හොඳ වනවා මෙන් ම, වැරැදි ලෙස භාවිතයෙන් ලෙඩ වැඩි වන්නත් හැකි බැවිනි. එනම්, කිසි ම ඖෂධයක්‌ සම්පූර්ණයෙන් ම ආරක්ෂිත නො වේ.



ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී පහත කරුණු සලකා බලමු

1. නිවැරැදි ඖෂධය බව සැක හැර දැනගන්න

ඔබ ලබාගන්නා ඖෂධයේ නම ඔබ විසින් දැනගෙන සිටිය යුතු බව අපි මීට පෙරත් පැවසුවෙමු. ෆාමසියෙන් ඖෂධ ලබාගැනීමේ දී මෙන් ම, භාවිතයට ප්‍රථම ද ඔබ ඖෂධයේ නම පරීක්ෂා කර බැලිය යුතු ය. ඖෂධ මුල් අසුරණවල (original packaging) ම තබාගැනීම වැදගත් වන්නේ මේ නිසා ය.

ඖෂධයේ අඩංගු ක්‍රියාකාරී අමුද්‍රව්‍ය හඳුනාගන්නට පුරුදු වන්න. ඖෂධයේ ක්‍රියාකාරීත්වය සිදු කරන්නේ මේ අමුද්‍රව්‍ය ය. එය නිරන්තර ව ම ඖෂධ පිළිබඳ කරුණු අඩංගු ලේබලයේ ඉහළින් ම ලැයිස්‌තුගත කර තිබේ. මේ සඳහා අප පළමු ලිපියෙහි ඉදිරිපත් කළ, ඖෂධ නාමය සහ වෙළෙඳ නාමය වෙන් කර හඳුනාගන්නා ආකාරය ඉවහල් වනු ඇත.

යම් හෙයකින් ඔබට වෙළෙඳ නාම දෙකකින් එක ම ඖෂධ නාමය සහිත ඖෂධ දෙකක්‌ එක වර භාවිත කිරීමට උපදෙස්‌ දී ඇත්නම්, ඒ පිළිබඳ ව වෛද්‍යවරයකු හෝ හෙදියක හෝ ඖෂධවේදියකු හමු වී පරීක්ෂා කරගන්න. උදාහරණයක්‌ ලෙස ඔබට උණ සහ හිසරදය සඳහා එක ම ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු කර ඇති එකිනෙකට වෙනස්‌ ඖෂධ දෙකක්‌ භාවිත කිරීමට සිදු වන අවස්‌ථාවක්‌ සලකන්න. මෙවිට මාත්‍රාව දෙගුණ වී අධි මාත්‍රාවක්‌ ශරීරගත වීමට ඉඩ ඇති බැවින්, භාවිතයට පෙර නිසි උපදෙස්‌ ලබාගැනීමට සැලකිලිමත් වන්න. මෙය දරුවන්ට ඖෂධ ලබා දෙන ඔබ ඉතා සුපරීක්ෂාකාරී ව පරීක්ෂා කළ යුතු දෙයකි.



2. නිවැරැදි පුද්ගලයා

තමාට පවතින රෝග තත්ත්වය ම පැවතුණ ද, තමාගේ යහළුවකුට හෝ පවුලේ සාමාජිකයකුට හෝ නියම කරන ලද ඖෂධ ඔබ කිසි විටකත් පාවිච්චි නො කළ යුතු ය. මීට ප්‍රධාන ම හේතුව නම් අප එකිනෙකාගේ ශරීර අභ්‍යන්තර ස්‌වභාවය වෙනස්‌ වීමයි. වෛද්‍යවරයකු ඖෂධ නියම කරන්නේ එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.

එසේ ම කුඩා දරුවන් සඳහා ඖෂධ ෆාමසියෙන් ලබාගැනීමේ දී, බෙහෙත් වට්‌ටෝරුවේ අඩංගු වුව ද දරුවාගේ වයස ඖෂධවේදියාට පවසන්න. දරුවන්ට ඖෂධ ලබාගන්නා ඔබ කිසි විටකත් ඖෂධවේදියා ඉක්‌මන් කිරීම හෝ කලබල කිරීම හෝ නො කළ යුතු ය. මිල දී ගැනීමට ප්‍රථම නැවතත්, ඖෂධ දරුවකුට උචිත පරිදි ලබා දී ඇතැයි සැක හැර දැනගන්න.

පවුලේ සාමාජිකයන්ගේ ඖෂධ සියල්ල එක තැනක අසුරන්නට එපා. විශේෂයෙන් ම දරුවන්ගේ ඖෂධ වෙන ම තබන්න. මෙමඟින් ඖෂධ අනිසි ලෙස භාවිතයට ඇති අවස්‌ථා අවම වේ. උදාහරණයක්‌ ලෙස දියවැඩියාවට ගන්නා ඖෂධ එම රෝගය නැති වැඩිහිටියකු හෝ කුඩා දරුවකු හෝ භාවිත කළ හොත් කුමක්‌ සිදු වේ වි ද?



3. නිවැරැදි මාත්‍රාවන් ගෙන්

ඉංග්‍රීසි බෙහෙත් එහෙමත් නැත්නම් AllopathicMedicines අප ප්‍රධාන වශයෙන් ම සැලකිය යුතු ලක්ෂණය වන්නේ ඖෂධ මාත්‍රාවයි. ඖෂධ මාත්‍රාව යනු ඖෂධයකින් බලාපොරොත්තු වන සුවය ලබාගැනීම සඳහා එක්‌ වරක දී එය භාවිත කළ යුතු ප්‍රමාණයයි. නියමිත මාත්‍රාව ලබාගැනීම නිවැරැදි ක්‍රමයයි. අධි මාත්‍රාව විෂ වන අතර, අඩු මාත්‍රාව ලෙඩ සුව නො කරයි.

එක ම වෙළෙඳ නාමයෙන් / ඖෂධ නාමයෙන් පවතින ඖෂධ විවිධ ප්‍රබලතාවන්ට (strength) අනුව අලෙවි කරනු ලබයි. එනම් ළදරු, ළමා හෝ වැඩිහිටි ආදි වශයෙනි. මාත්‍රාව සහ උපදෙස්‌ ද විවිධ වයස්‌ කාණ්‌ඩ හා බර කාණ්‌ඩ සඳහා වෙනස්‌ විය හැකි ය.

ඖෂධයක්‌ සමඟ මාත්‍රාව මැනීම සඳහා ලබා දෙන මැනුම් උපකරණ (measuring cup,dropper) පමණක්‌ ඖෂධ මැනීම සඳහා භාවිත කළ යුතු ය. තේ හැන්දෙන්, මේස හැන්දෙන් මනින විට ඖෂධ මාත්‍රාව වැරැදීමට වැඩි ඉඩක්‌ පවතී. කිසිසේත් ම ද්‍රවමය ඖෂධ, බෝතලයෙන් සෘජු ව ම පානය කිරීමෙන් වළකින්න. මේස හැන්දක්‌ හා තේ හැන්දක්‌ හෝ අතර වෙනස හඳුනාගන්න. තේ හැන්දක මෙන් තුන් ගුණයක ප්‍රමාණයක්‌ මේස හැන්දක්‌ තුළ පවතී. තේ හැන්දක පවතින ප්‍රමාණය දළ වශයෙන් මිලි ලීටර් 5කි (5 පක). භාවිතයෙන් පසුව මේ උපකරණ සබන් සහ වතුර යොදා පිරිසිදු කරගැනීම ඉතා වැදගත් වන්නේ ඉන් ඔබේ පවුලේ එක්‌ අයකු ගෙන් වෙනත් අයකුට විෂබීජ සම්ප්‍රේෂණය වීම වැළැක්‌වීමට ය.

ඔබේ දරුවාගේ බර දැන සිටින්න. සමහර ඖෂධවල මාත්‍රාව තීරණය වන්නේ ශරීර ස්‌කන්ධය මත ය. කිසි සේත් ම වැඩිහිටි මාත්‍රාව අනුව හෝ දළ වශයෙන් සිතා තම දරුවාට ඖෂධ ලබා දීමට යැමෙන් වළකින්න. ඖෂධයේ දරුවාගේ බරට අදාළ මාත්‍රාව සඳහන් නො වන්නේ නම්, ඒ පිළිබඳ ව වෛද්‍යවරයකු හෝ හෙදියක හෝ ඖෂධවේදියකු ගෙන් විමසා දැනගන්න.



4. නිවැරැදි වෙලාවට


ඖෂධවේදීන් පවසන ආකාරයට ඖෂධය නියමාකාරයෙන් ප්‍රතිඵල ගෙන දෙනුයේ නොකඩවා එක ම වෙලාවක දිනපතා ඖෂධය ලබාගැනීමෙනි. ඔබට පහසු වෙලාව අනුව ද එය රน පවතියි. එසේ ම සමහර ඖෂධ ලබාගත යුත්තේ උදැසන හිස්‌ බඩට වේ. එනම් උදැසන තේ එකටත් ප්‍රථම ව ය. එසේ ම ප්‍රතිජීවක ඖෂධ නිවැරැදි ව ම නිර්දේශ කරන ලද වේලා පරතරයෙන් ම ලබාගත යුතු ය. උදාහරණ ලෙස සමහර ඖෂධ පැය 12කට වරක්‌, සමහර ඖෂධ පැය 8කට වරක්‌ සහ සමහර ඖෂධ පැය 4කට වරක්‌ ආදි ලෙස වෙනස්‌ විය හැකි ය.

ඖෂධ ආහාර සමඟ දක්‌වන සංකූලතා අවම කිරීමට ඒවා කෑමට පෙර හෝ පසු හෝ ගැනීමට කියනු ලැබේ. මේ උපදෙස්‌ පිළිපැදීම ඉතා ම වැදගත් වේ. මීට හේතු වන කරුණු කාරණා අපි ඉදිරි ලිපියක දී විස්‌තර කරමු.



5. නිවැරැදි ක්‍රමවේදයෙන්

නිරන්තර ව ම ඔබ සතු ඖෂධයේ ලේබලයේ අඩංගු කරුණු / උපදෙස්‌ අනුගමනය කරන්න. ඔබ ඖෂධය ලබාගැනීමට ප්‍රථම සැම අවස්‌ථාවක ම ලේබලය කියවන්න. ඖෂධ ලබාගැනීමට උපදෙස්‌ දී ඇති ආකාරය ඖෂධවේදියා ගෙන් විමසා දැනගන්න. බොන ඖෂධ, ආශ්වාස කරන ඖෂධ, ඇඟ ගල්වන ඖෂධ, ඇසට, කනට, නාසයට දමන ඖෂධ, තුවාලවලට දමන ඖෂධ, ගුද මාර්ගයට, යෝනි මාර්ගයට දමන ඖෂධ කිසි විටකත් අනෙකුත් ක්‍රමවලින් භාවිත නො කළ යුතු ය.

පහත කරුණු හොඳින් සලකා බලන්න.

* 'භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්න' යෑයි උපදෙස්‌ දී ඇත්නම්, බෝතලය හොඳින් සොලවා, හොඳින් මිශ්‍ර වූ ද්‍රවණයක්‌ ඇත් දැයි ඇසින් බලන්න. කැටි හෝ බෝතලය පතුලේ දිය නො වී ඝන ද්‍රව්‍ය ලෙස පවතී නම්, එම දියර ඖෂධය භාවිතයට සුදුසු නො වේ.

* 'භාවිතයට පෙර වතුර දමා සාදා ගැනීම'ට උපදෙස්‌ ලැබුණේ නම්, උණු කර, නිවාගත් පානීය ජලය මේ සඳහා භාවිත කරන්න. කිසි විටකත් උණුසුම් ජලය එකතු නො කරන්න. එසේ ම ලකුණු කර ඇති සීමාවට හෝ එකතු කරන්නට යෑයි පැවසූ ප්‍රමාණයට වඩා ජලය එක්‌ කිරීමෙන් ද වළකින්න. ඔබ වැඩිපුර වතුර එක්‌ කළොත්, මාත්‍රාව අඩුවෙන් ශරීරගත වේ.

* සමහර ඖෂධ විවෘත කළ පසු භාවිත කළ හැක්‌කේ කෙටි කාලයකි. උදාහරණ ලෙස, ජලය එක්‌ කොට සාදාගන්නා ප්‍රතිජීවක ඖෂධ දින 7ක්‌ 14ක්‌ වැනි කාලයක දී භාවිතයෙන් ඉවත් කළ යුතු ය. ඇසට, කනට සහ නාසයට දමන ඖෂධ මසකට පසු භාවිත නො කළ යුතු ය. මේ තොරතුරු ඖෂධ ලේබලයේ අඩංගු වන අතර, ඔබට බලාගැනීමට අපහසු නම්, ඖෂධවේදියා ගෙන් විමසන්න.

* එසේ ම ඇසට, කනට සහ නාසයට බෙහෙත් දමන විට, ඖෂධ බෝතලයේ කෙළවර ඇඟේ තැවරීමට ඉඩ නො තබන්න. අතින් ඇල්ලීම ද නො කරන්න. තව ද ඕනෑ ම ඖෂධ අඩංගු භාජනයක්‌ විවෘත කළ පසු ඉක්‌මනින් ම වසා දමන්න. පෙති, කරල් ඖෂධ ජ්රාවලින් වෙන් කරගන්නා විට, ඒ මොහොතේ භාවිත කරන කරල හෝ පෙත්ත හෝ පමණක්‌ වෙන් කරගන්න. අනෙක්‌ ඖෂධවල ආවරණයට හානි නො කරන්න.

ඉහත සඳහන් කළ ප්‍රධාන ම කරුණු පහට අමතර ව, පහත කරුණු ද සලකා බැලිය යුතු ය.

ඇතැම් ඖෂධ එකවිට භාවිතයට ගැනීමට නුසුදුසු වේ. භාවිතයට පෙර වෛද්‍ය උපදෙස්‌ ලබාගන්න. ඇතැම් විට තනි ව භාවිතයේ දී නිවැරැදි වූ බොහෝ ඖෂධ එක විට භාවිතය නුසුදුසු විය හැකි ය. යම් කිසි බෙහෙත් වට්‌ටෝරුවක්‌ සමඟ හෝ තනි ව හෝ ෆාමසියෙන් ලබාගන්නා OTC ඖෂධ, අනෙකුත් පෝෂණ අතිරේක සහ විටමින් වර්ග, ආහාර සමඟ, අනෙකුත් ඖෂධ සමඟ අන්තර් ක්‍රියා කළ හැකි ය. මේ පිළිබඳ සවිස්‌තරාත්මක ලිපියක්‌ අපි ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

ඖෂධ විෂ වීම වළක්‌වාගැනීමට, දරුවන්ට විවෘත කළ නො හැකි මූඩියක්‌ / වැස්‌මක්‌ භාවිත කරන්න. භාවිත කිරීමෙන් පසු සැම විට ම නැවතත් හොඳින් ඖෂධ වසා තබන්න. යකඩ අඩංගු ඖෂධ පිළිබඳව වැඩිපුර අවධානය යොමු කරන්න. යකඩ සහිත ඖෂධ කුඩා දරුවන්ගේ ඖෂධ විෂ වීමෙන් සිදු වන මරණවලට ප්‍රධාන ම හේතුවක්‌ ලෙස හඳුනාගෙන ඇත. ආරක්ෂිත ස්‌ථානයක ඖෂධ ගබඩා කර තබන්න. කුඩා දරුවන් සිතන පරිදි ඖෂධ ඉතා රසවත් ය, අලංකාර ය. ළමා ඖෂධ බොහෝ සමාගම් මඟින් නිපදවනු ලබන්නේ රසවත් බවින් යුක්‌ත ව ය. මින් කුඩා දරුවන්ට ඖෂධ ලබා දීම පහසු කාර්යයක්‌ බවට පත් වේ. සමහර ඖෂධ පෙති සැපිය හැකි ටොෆී වැනි ය. දියරමය ඖෂධ කුඩා ළමයින් සඳහා තිබෙන රස කළ බීම වැනි ය. ඖෂධ යනු රසකැවිලි නො වේ. එබැවින් සියලු ම ඖෂධ සහ විටමින් දරුවන්ගේ සහ සතුන්ගේ ඇස නො ගැටෙන ලෙස හා ළඟා විය නො හැකි අයුරින් ගබඩා කරන්න.

ඇසුරුම විවෘත කිරීමට ප්‍රථම tamper evidentpackaging features පිළිබඳ ව අවධානය යොමු කරන්න. මේවා ලේබලයේ විස්‌තර කොට ඇත.

ඇසුරුම විවෘත කිරීමට ප්‍රථම tamper evident packaging features පිළිබඳ ව අවධානය යොමු කරන්න. මේවා ලේබලයේ විස්‌තර කොට ඇත. ඖෂධය මිල දී ගැනීමට ප්‍රථම පිටත ඇසුරුමේ පළුදු වීම් ලකුණු ඇද්දැයි හොඳින් නිරීක්ෂණය කරන්න. පෙති හෝ කරල් අනෙක්‌ ඒවායෙන් වෙනස්‌ වන්නේ දැයි හොඳින් බලන්න. ඇසුරුම්වල කැපුම්, සීරීම් හෝ වෙනත් නුසුදුසු යමක්‌ වී ඇත්නම් ඒවා භාවිතයෙන් වළකින්න. නිෂ්පාදනය නිවැරැදි තත්ත්වයෙන් නො පවතින්නේ නම් වෙනත් අයකුට පවසන්න. සැක සහිත කිසිදු ඖෂධ, භාවිතයට හෝ මිල දී ගැනීමට හෝ නො යන්න. නිරන්තර ව ම ගබඩා කළමනාකරුට ප්‍රශ්න සහිත නිෂ්පාදන ඉවත් කිරීමට පවසන්න. ඕනෑ ම ඖෂධයක්‌ ලබාගැනීමට ප්‍රථම ඔබ නැවතී එය හොඳින් පරීක්ෂා කළ යුතු ය. භාවිතයට ප්‍රථම ද නැවතත් පරීක්ෂා කළ යුතු ය.

ඖෂධ භාවිත කිරීම පිළිබඳ විශේෂ තොරතුරු සඳහන් කර ඇති සැම විට ම ඒවා අනුගමනය කරන්න.

උදාහරණ ලෙස :-

* උපදෙස්‌ දී ඇති ප්‍රමාණයට වඩා භාවිත නො කරන්න.

* උදරයේ අපහසුතා ඇති වන්නේ නම් ආහාර හා කිරි සමඟ ලබාගන්න.

* නිදිබර ගතිය ඇති විය හැකි ය.

* 'ඇස්‌වල තැවරීමෙන් වළකින්න' ආදිය දැක්‌විය හැකි ය.

සමහර විට ඔබට ඖෂධ භාවිතය අතරමැද නවතා දැමීමට සිදු විය හැකි ය. පහත සඳහන් කරුණු පිළිබඳ විමසිලිමත් ව සිට, භාවිතය නවතා වෛද්‍යවරයකු අමතන්න. භාවිතය නැවතීමට හේතු විය හැක්‌කේ,

* ඔබට ආසාත්මිකතා ඇති වන්නේ නම්,

* උදර වේදනාව, වමනය දැමීම හෝ කැරකැවිල්ල වැනි අපහසුතා ඇති වන්නේ නම්,

* සමාන්‍ය දින ගණනක්‌ ගත වූ පසුත් ඔබට සුවයක්‌ නො දැනේ නම්,

සමහර අවස්‌ථාවල සක්‍රීය අමුද්‍රව්‍ය පමණක්‌ නො ව, අක්‍රීය අමුද්‍රව්‍යවලින් ද ආසාත්මිකතා ඇති විය හැකි ය. එම නිසා ලේබලයේ ඇති අමුද්‍රව්‍ය ලැයිස්‌තුව කියවීම වැදගත් ය. ලේබලය කියවන්න. ඔබට ආසාත්මිකතා ඇති කරවන කවර අමුද්‍රව්‍යයක්‌ ඇත්නම්, ඒ බව අදාළ වෛද්‍යවරයකුට හෝ හෙදියකට හෝ ඖෂධවේදියකුට හෝ පවසන්න.

කිසි විටෙකත් අඳුරේ සිට ඖෂධ ලබා නො ගන්න.

සාරාංශයක්‌ ලෙස ඖෂධ මඟින් බලාපොරොත්තු වන උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම්, ඖෂධ නිෂ්පාදකයා, ඖෂධවේදියා සහ ලේබලය මඟින් ලබා දෙන උපදෙස්‌වලට අනුකූල ව, සිහි නුවණින්, කලබලයකින් තොර ව ඖෂධ ලබාගත යුතු ය.

මීළඟ ලිපියෙන් ඖෂධයක්‌ ශරීරගත කළ පසු ඖෂධයේ සිදු වන වෙනස්‌කම් ගැන කතා කරමු.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...