Skip to main content

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය

අදින් වසර 275 කට පෙර ප්‍රංශයේදී කරත්තයෙන් ඇරඹුණු ගිලන් රථ සේවය




ගිලන් රථ නළා හඬ ඇසුණු පමණින් ශිෂ්ට සමාජය මහ මඟ ඉඩ හදාදෙති. ඒ ජීවිතයක වටිනාකමට ගරු කිරීමක් ලෙස ය. ගිලන් රථය ද ආසන්නම ප්‍රතිකාර ඒකකය වෙත හැකි ඉක්මනින් ළඟාවීමට උත්සහ දරන්නේ කලට වේලාවට ප්‍රතිකාර ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගැනීමටය. නූතන ගිලන් රථවල පහසුකම් බොහෝය. දියුණු රටවල ශල්‍යකර්ම කිරීමේ පහසුකම් පවා ගිලන් රථ තුළ සපයා දී ඇත. අතිශය හදිසි අවස්ථාවල ගුවන් ගිලන් රථ සේවයන් ද අද බොහෝ රටවල ප්‍රයෝජනයට ගැනේ. මෙම ගිලන් රථවල ආරම්භය සොයා බැලූ කල, එය වසර 275 වැනි දුරකට යයි මුලින්ම මෙය බිහිවූයේ ගිලන් කරත්ත සේවයක් ලෙස ප්‍රංශයේ ය. 

දහඅට වැනි සියවස වෙන විට යුරෝපයේ රටවල් අතර මෙන් ම වෙනත් රටවල ද අභ්‍යන්තරයේ ද යුද්ධ එමට විය. මෙම සටන්වලින් බොහෝ දෙනෙකු මියගියහ. මෙම මරණවලට ප්‍රධාන හේතුව වූයේ සටනේ දී ලද බරපතළ තුවාල නොව, එම තුවාලවලට නිසි කලට ප්‍රතිකාර නොලැබීම ය. තුවාලකරුවන් යුදපිටියෙන් ඉවත් කරගැනීම සඳහා සටන නිම වෙනතුරු බලා සිටිය යුතු විය. සටන දිනූ පක්ෂය කළේ තුවාල ලද ප්‍රතිවාදීන් සතු දේ කොල්ලකා ඔවුන් මරාදැමීම හෝ, වේදනා සහිත මරණයකට පත්වෙන තුරු යුද බිමේ අතහැර යාමය. 

වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම විද්‍යාව පිළිබඳව ගැඹුරින් හැදෑරූ ප්‍රංශ ජාතික දොමිනික් ජාන් ලැරී යන අය ප්‍රංශ විප්ලවීය හමුදාවට බැඳුනේ 1792 දී ය. මෙම හමුදාව ජර්මනියේ දේශ සීමාවේදී කළ සටන්වල දී නිසි කලට ප්‍රතිකාර නොලැබීමෙන් මියයන හේවායන්ගේ සංඛ්‍යාව ප්‍රමාණිකව ඉහළ අගයක් ගැනීම පිළිබඳව ලැරීගේ අවධානය යොමු විය. මේ අනුව සටන් බිමේ දී තුවාල ලබන හේවායන් වහාම ප්‍රතිකාර සඳහා ගෙන යන ක්‍රමවේදයක් ලෙස මුල්ම ගිලන් කරත්ත සේවය ඇරඹිණි. 

ලැරීගේ අදහසට අනුව නිර්මාණය වූ මුල්ම ගිලන් කරත්තය පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවන්නේ නම්, එය අර්ධ කවාකාර පියස්සක් සහිත ඉදිරිපස සහ පසුපස විවෘත කළ හැකි දොරපියන් දෙක බැගින් වූ මුළුමනින් ම ආවරණය වූ කරත්තයකි. මෙය කොටළුවන් හෝ අශ්වයන් හෝ විසින් ඇදගෙන යා යුතු විය. මෙම කරත්තය තුළ රෝගීන් ප්‍රවාහනය සඳහා එකපිට එක වන සේ තට්ටු හතරක් විය. සෑම තට්ටුවකම රෝගීන්ට පහසුවක් ගෙනදෙන අයුරින් මෙට්ට දමා තිබුණු අතර, මෙම මෙට්ට පහසුවෙන් සෝදා පිරිසිදු කරගැනීම හැකි වෙන සේ පදම් කළ සමින් ආවරණය කර තිබුණි. මෙම කරත්ත මගින් ප්‍රවාහනය කරනු ලබන තුවාලකරුවන්ට හොඳින් වාතාශ්‍රය ලබාදීම සඳහා කරත්තයේ දෙපසින් ද, ඉදිරිපස සහ පසුපසින් ද, කවුළු දෙක බැගින් විය. 

ලැරීගේ මෙම ගිලන් කරත්තය මුලින්ම සේවය සඳහා යෙදවූවේ 1793 මොගොන්සා සටනේදී ය. මෙම සටන මෙහෙය වූ ජෙනරාල්වරු පසුව කීවේ මෙම ගිලන් කරත්ත සේවය හේතුවෙන් දේශප්‍රේමී හේවායන් දහස් ගණනකගේ ජීවිත බේරුණු බව ය. මෙම ජෙනරාල්වරුන් අතර නැපෝලියන් බොනපාට් නමින් තරුණ ජෙනරාල්වරයකු ද විය. පසුව නැපෝලියන් ඉතාලිය ආක්‍රමණය කිරීමේ දී ලැරීගේ ගිලන් කරත්ත සේවයේ ආධාරය ලබාගත්තේ ය. 1797 දී නැපෝලියන් බොනපාට්ගේ අණින් ගිලන් කරත්ත සේවය යවත්කාලීන කරන ලදී. 

නැපෝලියන් බොනපාට් 1798 ඊජිප්තුව ආක්‍රමණය කිරීමේ දී ඒ සඳහා යැවීමට ගිලන් කරත්ත ඇණි තුනක් ලැරී විසින් සූදානම් කර තිබුණි. මේ සෑම ඇණියක් ම ගිලන් කරත්ත 16 කින් සමන්විත විය. ඒ සමගම වෛද්‍යවරුන් පහළොස් දෙනෙකු ද සාත්තු සේවකයන් ලෙස තවත් පිරිසක් ද සේවයේ යෙදවීය. කාන්තාරයේ වැලි මත කොටළුවන් විසින් හෝ ඔටුවන් විසින් හෝ ඇදගෙන යා හැකි ලෙස නිමවා තිබුණු මෙම ගිලන් කරත්ත හමුදාව දුටු නැපෝලියන් කීවේ එය ශතවර්ෂයේ හොඳම හඳුන්වාදීම බව ය. 1799 දී ඊජිප්තුවේ අබුකීර් සටන ජයගත හැකි වූවේ ලැරීගේ ගිලන් කරත්ත සේවයේ කාර්යක්ෂමතාව හේතුවෙන්, තුවාල ලද හේවායන් වහාම ප්‍රතිකර ලබා නැවත සටන් බිමට පැමිණීම නිසා යයි ප්‍රකාශ කරන ලද්දේ නැපෝලියන් විසින් ම ය. 

කරත්ත ලෙස 1792 දී ඇරඹි ගිලන් රථ සේවය අද වෙන විට පියාසර කරන අවස්ථාවකට ද පැමිණ ඇත. කුමන තරාතිරමක අයෙකුගේ වුවද ජීවිතයේ වටිනාකම සලකා රෝගී අවස්ථාවක වහාම ප්‍රතිකාර ඒකක වෙත ගෙන යාම ගිලන් රථයක වගකීම ය. එම වගකීම සාර්ථකව ඉටුකරගැනීම සඳහා මාර්ග නීතිරීති ද සැකසී ඇත. එම නීතිරීති ගරුකිරීම ජීවිතයක වටිනාකම හඳුනන ශිෂ්ට සමාජයේ වගකීම ය

Comments

Popular posts from this blog

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළු සිසුන්

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු

මානසික ආතතියත් සමඟ අපි ලෙඩ වන අයුරු   2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30   113 ඔබ උදේ නැගිටිනවා. වැඩට යන්න ලෑස්ති වෙනවා. ගෙදර වැඩ ටික වෙලාවට ඉවර කරගන්න බැරි වෙනවා. පාරට ආවත් වෙලාවට බස් එක ගන්න බැරි වෙනවා. වැඩට යනකොට විනාඩි 45ක් පරක්කු වෙනවා. වැඩ ගොඩගැහිලා. ඔබට ඔබ සටහන් ගෙදර අය සමඟත් මුළු ජීවිතේ ගැනත් තරහක් වගේම කලකිරීමක් ඇති වෙනවා. එදා මුළු දවසම අසුබවාදී සිතුවිලිවලින් පිරිලා. ඉතින් ඔබ දන්නවද මේක තමයි ‘කල් පවතින ආතතිය’ (Chronic stress) ඔබේ ජීවිතයේ පසුගිය එක සතියක් අරගෙන බලන්න. මනසට වද දෙන තරහා යන නොසන්සුන් වෙන, ඊර්ෂ්‍යා සහගත, සිතුවිලි ඇතිවෙන, දුක හිතෙන අවස්ථා සහ සිතුවිලිවලින් පිරිලා. මෙම ආතතිය සමඟ එන කෝටිසෝල් නැමති හෝමෝනය පමණක් නෙවෙයි අපේ ප්‍රතිශක්තිය බිඳ දමන සයිටොකයින් (Cytokines) නැමැති ප්‍රෝටීන ද ශ්‍රාවය වෙනවා. ඉක්මනින් ඔබ ලෙඩ වෙනවා. හෘදයාබාධ, දියවැඩියාව, අංශභාගය, මානසික අවපීඩනය වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙනවා. අපි සුගත් සහ ධම්මිගේ කතාව ඇසුරින් මේ ගැන තවත් ගැඹුරින් සොයා බලමු. 1. සුගත් සහ ධම්මිගේ කතාව සුගත්ගේ වයස අවු. 40යි. ඔහු බැංකුවක කළමනාකරුවෙක්. ධම්මිගේ වයස

ඡන්දදායකයා අඩුවෙන්ම ඡන්ද පොළට ගිය භීෂණයෙන් පිරුණු ජනාධිපතිවරණය

ඡන්දදායකයා අඩුවෙන්ම ඡන්ද පොළට ගිය භීෂණයෙන් පිරුණු ජනාධිපතිවරණය දකුණු ආසියාවේ සර්වජන ඡන්ද බලය ලැබූ ප‍්‍රථම රට බවට ශී‍්‍ර ලංකාව පත් වූයේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය මගින් රාජ්‍ය මන්ත‍්‍රණ සභා ක‍්‍රමය ඇරඹීමත් සමගය. ඒ නිසා මෙරට ඡන්දදායකයා දේශපාලන අත්දැකීම් බහුල පුද්ගලයෙක් බවට පත්ව සිටී. ඒ බව එක් එක් පාර්ලිමේන්තු මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී පාවිච්චි කර ඇති ඡන්ද ප‍්‍රතිශතයෙන් පෙනී යයි.    1947 ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දදායකයන් 3048145 අතරින් 1701150 ක් හෙවත් 55.8% ක් ඡන්දය භාවිතා කළ අතර එතැන් පටන් 2015 දක්වා අවස්ථා තුනකදී හැර ඡන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය 70% ඉක්මවා ඇත. පැවති ජාතික මැතිවරණ 22 කදී මේ තත්ත්වය පැහැදිලි වේ. ලංකාවේ වැඩිම ඡන්ද දායක ප‍්‍රතිශතයන් ඡන්දය භාවිතා කළ මැතිවරණය 1977 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ ප‍්‍රතිශතය 86.7% ක් විය. දකුණු ආසියාවේ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය මෙතරම් ඉහළ මට්ටමක පවතින වෙනත් කිසිදු රටක් නොමැත.    ජනාධිපතිවරණ ඉතිහාසයේ 1988 හැර අනෙකුත් සෑම මැතිවරණයකදීම ඡන්ද දායකයා 70% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා ක