Skip to main content

ඉන්දු-ලංකා ගිවිසුම වසර 29කට පෙර බිහිවූ හැටි

වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර‍ගේ උපදෙස් පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමති ලලත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4වැනිදා පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමති ඒ.සී.එස්. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය.
වසර 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැං‍ගලෝරයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්ති මෙහෙයුම තවදුරටත් කරගෙන යෑම නතරකිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සදහා ආරක්ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතරකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්හ.
එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සිය 2වැනි කැරැල්ල 1986දී බෞතීස්ම කරමින් කියා සිටියහ. ජවිපෙ මතුකල ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්බිමෙන් සියයට 30ක් සහ වෙරළින් සියයට 60ක් දෙමළ බෙදුම්වාදින්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින්  මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැගී සිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය
dharman27071602ඉන්දීය අගමැති සහ ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දු ලංකා ගිවිසුමට කොළඹදී 1987 ජුලි 29 වැනිදා අත්සන් තැබූ මොහොත. අමාත්‍යවරුන් වන ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසානායක, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද මෙහි වෙති.
ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි.
ඉන්දිය ගුවන් ආක්‍රමණයට එරෙහිව ඉන්දීය තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් ගේ කොළඹ නිල නිවස ඉදිරිපිට දිනපතා විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එවකට ශ්‍රී ලංකා‍වේ සිටි ඉන්දිය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් ඉන්දිය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතරවන ලෙසටද උපදෙස් දුන්හ.මේ සියල්ල අතරතුරදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ජේ.එන්.ඩික්සිත්,මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා  ගිවිසුමට පිඹුරුපත්  සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන නළුවන් විය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.
dharman27071603ඉන්දීය අගමැතිවරයා යළි ඉන්දියාවට යැමට පෙර 1987 ජුලි 30 හමුදා පෙළපාලිය පිරික්සීම සඳහා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙළෙන් පෙළට ගමන් කරමින් සිටිය දී පෙළපාලියේ සිටි නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි රයිෆල් බඳෙන් ඉන්දීය අගමැතිවරයාට පහර දුන් අවස්ථාව
 ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජුරි 1987 ජුලි 21වැනිදා යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වල නායකයින් හමුවී සාකච්ඡා කෙරෙනි. මහ කොමසාරිස් ඩික්සිත් මදුරාසියට ගොස් ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින්ද හමුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ එහිදී කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධකර වෙනම පළාත් සභාවක් පිහිටුවිය යුතු බවය. ඩික්සිත් එම යෝජනා නවදිල්ලියට රැගෙන ගොස් ඉන්දිය රජයට සහ අගමැති රජිව් ගාන්ධිට දැනුම් දුන්නේය. ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 23 වැනිදා එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැඳවූ අතර ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප්‍රශ්නය විසදීමට කටයුතු කරන බව කියා සිටියේය. එජාප මන්ත්‍රීවරුන් එය අනුමත කළෝය.
Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.
Sri Lanka. Monk seated on the ground surrounded by tear gas. Pettah bus stand, Colombo, 28th July 1987. Protest at the signing of the Indo Lanka Peace Accord between India and Sri Lanka.කොටුව බෝගහ අසල 1987 ජුලි 28දී පොලිස් කඳුළු ගෑස් සහ වෙඩි උණ්ඩ හමුවේ විසිර ගිය 20,000 සෙනඟ අතරින් නොසැලී සිටි එකම තැනැත්තා-කෑගල්ලේ විමල සාමනේර හිමියෝ
ඉන්දියා‍ව මදුරෙයි සිට 1987 ජුලි 24වැනිදා පස්වරු‍වේ යාපනයට පැමිණි ඉන්දිය හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මගින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රථමයෙන් මදුරාසියට සහ පසුව නවදිල්ලියට කැඳවාගෙන ගොස් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද මුණ ගස්සා ඉන්දු ලංකා ගිවිසුමකට ඔහු එකඟ කරවා ගැනීමට උත්සාහ දැරීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනිකුත් දෙමළ සන්නද්ධ සංවිධාන එයට එකඟ විය. ජුලි 25 සහ 26 යන  දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබදව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්‍රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක් හෝටලයේදීය.  එල්.ටී.ටී.ඊ සංවිධානයට අතුරු පාලනයේ වැඩි බලයක් ලබාදීමටද එහි සාමාජිකයින් එහි නව පාලනයට අන්තර්ග්‍රහණය වන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දිය අගමැති රජිව් ගාන්ධි විසින් ප්‍රභාකරන් හමුවේදී එකඟ විය.
ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස ගිවිසුම ගැන ආරංචි වී 1987 ජුලි 26 වැනිදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියේය. අගමැතිවරයාටද නොදන්වා ජනාධිපති ජයවර්ධන එකඟවූ ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳව ප්‍රේමදාස සිය නොසතුට පළ කළේය. යෝජිත රහස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද 1987 ජුලි 24වැනිදා රැස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ යන විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රබල විරෝධයක් දැක්වූහ. ආණ්ඩුව සිදුකළේ පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් වැඩි ඡන්ද 65කින් සම්මතකර ගැනීමය.  පානදුරේදී 1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබද ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.
dharman27071605ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා පැවති විරෝධයේදී ප්‍රථම වරට මියගිය මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆට් පෙරේරා අවසන් හුස්ම හෙළු අන්දම(පහළ) සහ ඔහුගේ ඡායාරූපය(ඉහළ)
යෝජිත ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළදී විරෝධතා ව්‍යාපාරයක් උදෑසන 8ට ආරම්භ විණි. එදින උදෑසන 6.30ට පමණ ලියුම්කරු එය වාර්තා කිරීමට කොටුවට ගිය අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන එච්.බී හේරත්, ගුණරත්න වණසිංහද මධ්‍යම කාරක සභිකයින් වන ගාමිණී විජේගුණසේකර, තංගරාජා ඇතුළු කිහිප දෙනෙක්ද ජවිපෙ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් සිය ගණනක්ද පැමිණි තිබිණි. එදින එළිවන විට ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට සහ එජාප ආණ්ඩුවට එරෙහිව කොළඹ පමණක් නොව මුළු රටේම බොහෝ ප්‍රධාන නගරයන් රක්ත වර්ණ පෝස්ටර් වලින්ද සටන් වැකි වලින්ද කළු කොඩිවලින්ද සරසා තිබුණු බව දැනගන්නට ලැබිණි.
විරෝධතා ව්‍යාපාරය මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය විසින් කැඳවා තිබිණි. එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වමින් මව්බිම සුරකීමේ සංවිධානය නැමති ශ්‍රිලනිපයට හිතවත් සංවිධානය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ලද අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරු රැසක්ද විය. සියළු සංවිධාන කටයුතු සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මගිනි. විරෝධතා ව්‍යාපාරයට රටපුරා අදිසි නායකත්වය දුන්නේ ජවිපෙ මගිනි.
dharman27071606ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අගමැති ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 29 පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව.
එදින එනම් 1987 ජුලි 28වැනිදා පෙරවරු 11.30වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක්වීමෙන් අවට මංමාවත් සියල්ලම වැසී ගියේය. සෙත් පිරිත් හඬ දසතින් පැතිර ගියේය. පොලිසිය මගින් කඳුළු ගෑස් එල්ල කර සිදුකල බැටන් ප්‍රහාරයත් සමඟම ජනගඟ කැළඹිණි. වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. පිරිස් සංවිධානාත්මකව සතර දිසාවට පෙළපාලි 10ක්  පමණ ගමන් කල අතර එක් පෙළපාලියකට දහසකට අධික පිරිසක් අයත් වූහ. විරෝධතාකරුවන් බස්රථ ඇතුළු රජයේ දෙපල ගිනි තැබූහ. කළු දුම්රොඩු අහසට නැගිණි.
ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේ ප්‍රථමයෙන්ම වෙඩි තැබීමෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාය. එහිදී ලියුම්කරු ඔහුගේ සිරැර හඳුනාගත් අතර ක්ලිෆඩ්ගේ පියා සේවය කරන කොටුව මිලර්ස් ආයතනයට පණිවියක් යැවීය. එම ස්ථානයේදීම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූ පිරිස 21කි. මියගිය සහ තුවාලකරුවන් අවට සිටි අය විසින් රෝහළට ගෙන යන ලදී. බෝගහ අසළින් ඇරඹූ ගිවිසුම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රටපුරාම පැතිර ගිය අතර 1987 ජුලි 27 සිට අගොස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් මිය ගිය බවද භික්ෂූන් 56ක් ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබූ බවද එම දින පහ තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජයේ නිල වාර්තාවල සදහන් විය. ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 1වැනිදා වෙඩිතබා ඝාතනය කර තිබිණි.  
dharman27071607ඉන්දීය හමුදාවේ අවසාන සේනාංකය 1990 මාර්තු 24වැනිදා ත්‍රිකුණාමලයෙන් ඉන්දියාව බලා පිටත්වූ අවස්ථාව.
එජාප ආණ්ඩුව 1987 ජුලි 28වැනිදා රාත්‍රී සිට මුළු රටේම ඇදිරි නීතිය පැනවීය. රට පුරා විරෝධතා පෙළපාලි අගෝස්තු 2වැනිදා දක්වා පැවැත්වූයේ එම ඇදිරිනීතියද බිඳගෙනය. ජනාධිපති ජයවර්ධනට අමතරව ගිවිසුමේදී ප්‍රධාන භූමිකාවක් සිදුකළේ ඇමති ගාමිණී දිසානායකය. ඇමති ඇතුලත්මුදලි සහ අගමැති ප්‍රේමදාස නිහඬ පිලිවෙතක් අනුගමනය කළෝය. රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟින් ලංකාවට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. කටුනායක ගුවන්තොටු පොලෙන් ඔවූහු ගුවන්යානා හෙළිකොප්ටර්වල නැගී ගාලුමෝදරට පැමිණියෝය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ.
ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජුලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ.
dharman27071608ද්‍රවිඩ කොටි නායක ප්‍රභාකරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, සහ ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං(වමේ සිට) ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යාපනයේදී.
ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිලිගැනිමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්ඩලයේ බොහෝ දෙනෙක් පමණ සහභාගී නොවූහ.  එයට සහභාගිවන ලෙසට ඉන්දීය අගමැතිවරයා විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකට කල ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. තද” ලියුමක් සිරිමා බණ්ඩාරනායක එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයෙකු විසින් පෙරවරු 11.30ට අගමැති රජීව්ට අතින් භාරදෙන ලදී.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජේම්ස් ස්පෙන්  එක්වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක් එම ස්ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව චෝදනා කළේ අත්සන් කරන තෙක් රහසක්ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක් එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.
රටපුරාම ලක්ෂ ගණන් ජනයා ඇදිරිනීති‍ය නොතකා වීදිවලට බැස විරෝධතා ව්‍යාපාර පවත්වද්දී ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයෝ විසින් 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. ලියුම්කරුද එයට එක්වී සිටියහ.
අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙලින් පෙලට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කලද එය වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලියට කලින් යොදා ගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.
ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනානාංක වශයෙන් ගොඩ බටහ.  එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් සියළු දෙනාම ඉන්දීය යුධ ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර අගමැති ගාන්ධි යන්නට පෙරදීම 1987 ජුලි 29 වැනිදා පස්වරුවන විට ඉන්දීය හමුදා ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාන ගත වී සිය කටයුතු ඇරඹුහ.
නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30ක් පමණ දුරින් සකස්කල අට්ටාලයකය. දිවයින පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද බන්දු එස්. කොඩිකාරද විය.
ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කලේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ බටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. එක රැයකින් පත්තර ලෝකයේ වීරයෙකු වූ සේන විදානගම සිය ඡායාරූපය කැමරාවේ සටහන් කරගත්තේ එවිටය. තමාගේ ඡායාරූප රීලය  මේස් කකුලේ සඟවාගෙන ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පලකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවී තිබිණි. 
රජිව් ගාන්ධිට පහරදීම පිළිබද වගකිම දේශ‍ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ මගින් පිළිගෙන තිබිණි. එමෙන්ම එදින සවස් වරුව වන විට ඇදිරිනීතියද නොතකා ඒ පිළිබද වගකිමේ ලිපි මාධ්‍ය වලට කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‍ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය.
රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත්  පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කල බලහත්කාර ක්‍රියාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පෙනී සිටියහ.
නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත් කිරිම පිලිබදව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06ක සිරදඬුවමක් යුද්ධාධිකරණය නියම කළේය.  පසුව ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද විශේෂ සමාවක් යටතේ 1990 අප්‍රේල් 03වැනිදා මුදාහරිනු ලැබීය. සිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි.
ඉන්දීය හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් එම වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය ඉන්දීය නිලධාරින් සහ භටයන් සංඛ්‍යාව 1,500ක් පමණ වේ. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ඇතුළු 8,000ක් පමණ ඉන්දීය හමුදාව මගින් ඝාතනයට ලක්විය. ඉන්දීය හමුදා සේනාංක ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීම 1989 ඔක්තෝබර් 25වැනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරඹූ අතර  ඉන්දීය හමුදාවේ අන්තිම සේනාංකය 1990 මාර්තු 13 වැනිදා ත්‍රිකුණාමලයෙන් සමුගෙන ඉන්දියාව බලා පිටත් විය.
ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරනා ඉටු කිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභතෝකෝටික ගැටළුවන්ටය. ඉන්දු-ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකනෙකට බැදී පවතින්නකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රධාන අරමුණක්ද වූයේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම වන අතර එම කැරැල්ලේදි ඝාතනයට සහ අතුරුදහන්වූ සංඛ්‍යාව 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.
ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි(46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනයට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන(90) වසර 1996 නොවැම්බර් 01වැනිදා මිය ගියේය.  කොටි නායක ප්‍රභාකරන්(54) වසර 2009 මැයි 18වැනිදා යුද්ධයේදී මියගොස් තිබිණි
දෙමළ බෙදුම්වාදී සටන නතර කිරීමට 1987 ඉන්දු ලංකා ගිවිසුමටද නොහැකි වීමෙන් පසු එජාප ආණ්ඩුව 2002දී බලයට පත්වීමෙන් පසු දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ නොර්වේ රාජ්‍ය හරහා ප්‍රභාකරන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර අත්සන් කල සටන්විරාම ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇතිකර ගනු ලැබූවද එයද සාර්ථක නොවීය. එහෙත් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ගෙනගිය 30 වසරක යුද්ධය සහමුළින්ම පරදවා 2009 මැයි 18වැනිදා විජයග්‍රහණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්විය. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුණු අළුයට ගිනි පුපුරු තවමත් නිමාවක් නැත

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...