Skip to main content

83 කළු ජුලියට දැන් වසර 32 යි

ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා කාලය තුළදී වන අතර එය සිදුවී 2015 ජුලි 24වැනිදාට වසර 32කි. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ ආශිර්වාද‍යෙන් සහ එජාප ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළු ජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව ද්‍රවිඩ ජනතාවගේ ආකල්පය විය.
ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාල වලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769කි. සිදුවූ මං‍කොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. එහෙත් නිල නොවන සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 2,000ක් වූ අතර නිවාස 8,000ක්ද කඩ සාප්පු 5,000ක්ද විනාශ වූ අතර ද්‍රවිඩ ජාතිකයින් 150,000ක් පමණ අවතැන් විය. අලාභ හානියට පත්වූ දේපලවල  වටිනාකම ඇමරිකානු ඩොලර් දශලක්ෂ 300කට ආසන්න බව කියති.
dharman02දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවති 1981 ගිනිතබා විනාශකල යාපනය පුස්තකාලය.
උතුරේ ප්‍රශ්ණය, උතුරු නැගෙනහිර අර්බුදය, ජනවාර්ගික ප්‍රශ්ණය, ඊළම, ෆෙඩරල් වාදය, ආදි විවිධ නම්වලින් හැදින්වෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් අඩසිය වසක කාලය තුළ විවිධ එකඟතා සහ ගිවිසුම්ද ඇති කරගෙන තිබේ. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා ද්‍රවිඩ සංවිධාන සන්නද්ධ ක්‍රියාවලියක්ද 70 දශක‍ය මුල් භාගයේ ආරම්භ කල අතර ඉකුත් දශක තුනක කාලය තුළ එම ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඝාතනයට ලක්වූ උතුරේ සහ දකුණේ පිරිස 60,000කට ආසන්නය.
එජාප ආණ්ඩු කාලයේදී යුද්ධය නිමා කිරීමේ අරමුණින් ඉන්දියාව සමඟ හොර රහසින් ගිවිසුමක් 1987 ජුලි 29 වැනිදා ගිවිසුමක් අත්සන් කල අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දිය හමුදා භටයින් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් 1987 ජුලි සිට 1990 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකලද එය අසාර්ථක විය. එම ඉන්දිය හමුදාව ශ්‍රි ලංකාවට බලහත්කාරයෙන් පැමිණීමට විරෝධය දැක්වීමද ජවිපෙ දෙවැනි කැරල්ලේ එක් ප්‍රධාන අරමුණක් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ දකුණේ ජනයාගේ සංඛ්‍යාව 41,813කි.  අනතුරව වසර 2009 මැයි 19වැනිදා තිස් වසරක යුද්ධය මුළුමනින් පරාජය කර රටට සාමය උදා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය.
dharman03.අසු තුනේ කළු ජුලියට නිහඬ පිලිවෙතක් අනුගමනය කල ජනාධිපති ජයවර්ධන සහ සංවිධානාත්මක පිරිස් මෙහෙයූ බවට චෝදනා ලත් ඇමති සිරිල් මැතිව්.
 ෆෙඩරල් පක්ෂය 1949දී එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් අතර රාජ්‍ය භාෂා පනතට එරෙහිව 1957 අගොස්තු මාසයේදී සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් පවත්වන බවට එමගින් නිවේදනය කරන ලදී. ද්‍රවිඩ බෙදුම්වාදයට විසදුම් වශයෙන් මුලින් ඇතිකරගනු ලැබූ එකඟතාවය සැලකෙන්නේ 1957 ජුලි 26වැනිදා ඇතිකරගනු ලැබූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමය. මේ පිළිබදව අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායකයින් අතර 1957 ජුනි 26 වැනිදා හොරගොල්ලේදී රහසිගත සාකච්ඡාවක්ද පැවැත්විණි. එම රහසිගත සාකච්ඡා පසුව 1957 ජුලි 9වැනිදා අගමැති කාර්යාලයේදීද 1957 ජුලි 14වැනිදා රොස්මීඩ් පෙදෙසේද, සෙනට් මන්ත්‍රී මණ්ඩල ‍ගොඩනැගිල්ලේද පැවැත්විණි. තීරණාත්මක සාකච්ඡා පැවතියේ 1957 ජුලි 25වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 අත්සන් කෙරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ විරෝධතා නිසා එම ගිවිසුම ක්‍රියාත්මක ‍‍නොවීය.
dharman04a
බොරැල්ල කනත්තට 83 ජුලි 24 පැමිණි පිරිස පලවාහරින පොලිස් අධිකාරි අබ්දුල් ගෆූර්.
සමගි පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී වූ යාපන නගරාධිපති දුරේ අප්පා 1976දී ද්‍රවිඩ බෙදුම්වාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු 1982 වන විට උතුරු පළාත ගිනියම් වෙමින් පැවතිණි. 1982 ජුලි මසදී පොලිස් භටයින් 4 දෙනක් යාපනය නෙල්අඩි හන්දියේද මරා දැමූ අතර 1982 ‍ඔක්තෝබර් මස වාවකච්චේරි පොලිස් ස්ථානයට කඩා වැදී භටයින් තිදෙනෙකු මරා ත්‍රස්තවාදීන් ආයුධ පැහැර ගෙන යන ලදී. එජාප ආණ්ඩුව මගින් 1982දී සිය පාර්ලිමේන්තු නිල කාලය දික්කර ගැනීම සදහා ජනමත විචාරය පැවැත්වූ අතර එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද සියයට 54.7ක් ලැබිණි.
ජනාධිපතිවරණයද 1982 ඔක්තෝබර් 21වැනිදා පැවති අතර ඉන් එජාප අපේක්ෂක ජනාධිපති ජයවර්ධන ඡන්ද සියයට 52.91ක් ලබා ගනිමින් ජයග්‍රහකයා බවට පත්විය. එම ජනමත විචාරණ සහ ජනාධිපති මැතිවරණය අතිශයින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර හොර ඡන්ද දැමීම් මහා පරිමාණයෙන් සිදුවිය. විපක්ෂයේ අපේක්ෂකයා වන ශ්‍රිලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව සිය ඡන්දය පාවිච්චි කිරීමට ගිය අවස්ථාවේදී ඔහුගේ ඡන්දය හොරෙන් දමා තිබිණි.
dharman05
කොටුව දුම්රියපොළ ඉදිරිපිට විනාශයට පත්වූ කඩ සාප්පු.
එයට පෙර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් එජාප අපේක්ෂකයෙකු වූ ඒ. තංගරාජා මැයි 24වැනිදා වෙඩිතබා ඝාතනය කල අතර මැයි 30වැනිදා මැතිරණ ප්‍රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයින් දෙදෙනෙකුද ඝාතනය කරන ලදී. ඉන් ප්‍රකෝපයට පත් ආණ්ඩු හිතවාදි පිරිස් ‍1981දී ග්‍රන්ථ සහ අත්පිටපත් 97,000ක් පමණ තිබූ 1935දි ආරම්භ කරන ලද යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. සංවර්ධන සභා මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන එජාප ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප‍දෙනෙකු යාපනයට යවන ලදී. ඇමතිවරු වූ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර විය.
වසර 1983 ජුලි 15වැනිදා හමුදාව එල්ල කල ප්‍රහාරයකින් චාවකච්චේරි මිසාලයේදී කොටි ත්‍රස්තවාදීන් වූ ලූකස් චාල්ස් ඇන්තනි නොහොත් සීලන්ද රාමනාදන් අරුල්නාදන් යන දෙදෙනා මිය ගොස් තිබිණි. මින් සීලන් යනු කොටි නායක ප්‍රභාකරන්ගේ එවකට සිටි සමීපතමයෙකි. එම මරණ වෙනුවෙන් පලිගැනීමට තීරණය කල කොටි කණ්ඩායම සිදුකළේ නිරුනෙල්වේලි පාරේ බිම් බෝම්බ වැලලීමය.
dharman06a
කොළඹ කඩ සාප්පු කොල්ලකන සංවිධානාත්මක පිරිස්.
ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගේ නායකත්වයෙන් 15කගෙන් යුත් භට කණ්ඩායමක් 1983 ජුලි 23වැනිදා රාත්‍රී කාලයේදී මාර්ග පරික්ෂාවක නිරත විය. ඔවුන් ගියේ යු.හ. 4889 දරණ ජිප් රථයෙන් සහ 26 ශ්‍රී 3193 දරණ ට්‍රක් රථයෙනි. ප්‍රභාකරන්ගේ සමීපතමයෙකු වන සෙල්ලක්කිලි අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුමේදී මාර්ග පරික්ෂා කර ගුරු නගර් කඳවුරට වාර්තා කරන ලෙසට ඔවුන්ට නියෝග දී තිබිණි.
එදින රාත්‍රී 11.28ට ඌරුම්පිරායි හන්දිය පසුකොට විනාඩි 5ක් පමණ ගත වෙද්දී හෙන හඬක් නඟමින් ඇතිවූ පිපිරුමකට ජිප්රිය හසුවිය. වෙඩි ප්‍රහාර හා බෝම්බ වර්ෂාවක් මෙන් පතිත විණි. ජිප් රථය පැදවූයේ කෝප්‍රල් ජී.ආර්. පෙරේරාය. 22කුගෙන් සමන්විත වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාර හමුවේ දිවි රැක ගැනීමට සමත්වූයේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස් කෝප්‍රල් සුමතිපාල පමණි. භටයින් 13දෙනෙකු මියගොස් තිබිණි. එවකට යුධ හමුදාපතිවූයේ ජනරාල් තිස්ස වීරතුංගය. එම සිරුරුවල අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට මිනී වලවල් 14ක් හාරා තිබිණි. කෝප්‍රල් උපාලි පෙරේරාද මිය ගිය බවට සලකා තිබිණි. එහෙත් ඔහු බරපතල තුවාල ලබා ජීවත් විය.
එසේ මියගිය හමුදාවේ 13 දෙනාගේ කණ්ඩායමට දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන, සැරයන් එස්.අයි. තිලකරත්න, කෝප්‍රල් ජී.ආර්. පෙරේරා(රියදුරු), ලාන්ස් කෝප්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළුන් වන ඒ.ඩී. මාතපිටිය, එම්.බී සුනිල්, ඒ.ජේ. විජේසිංහ, කේ.පී කරුණාරත්න, පී.ජී. රාජතිලක, එස්.එස් අරසිංහ, ජී. රොබට්, ඒ.එස් මනතුංග(රියදුරු) සහ ජේ.ආර්. ප්‍රනාන්දු යන අය අයත් වූහ.
dharman07.
කළබලකාරි පිරිස් මහමඟ ගමන් කරමින්.
උතුරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට පත්වූ සෙබළුන් 13 දෙනා මළ සිරුරු 1983 ජුලි 24වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කනත්තට ගෙන එන බවට කීවද රාත්‍රී 7වන තෙක් එම මළ සිරුරු ගෙන ආවේ නැත. පිරිස නොසන්සුන් වූ අතර පොලිස් අධිකාරි ගෆූර් විසින් කලබලකාරී කිහිප දෙනෙකුට පහරදීමත් සමඟ කොළඹ කනත්ත ගාලගෝට්ටියක් බවට පත්වූ අයුරු එම ස්ථානයේදී සිද්ධිය සියසින් දුටු ලියුම්කරුට මතකය. කුපිත වූ පිරිස බොරැල්ල සහ ඒ අවට තිබූ ද්‍රවිඩ කඩසාප්පු සහ නිවෙස් වලට ප්‍රහාර එල්ල කලහ. එය එදිනම රාත්‍රී මුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිදුවෙනු දක්නට ලැබිණි. ඒ අතරතුර බොරැල්ලේ කනත්තේ වල දැමීමට ගිය සෙබළුන්ගේ මළ සිරුරැ යළිත් හමුදා මූලස්ථානයට ගෙනවිත් ගම්වලට පිටත්කර යැවීමට බලධාරින් තීරණය කරන විටද සියල්ල සිදුවෙමින් පැවතිණි.
ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධන කොළඹට ඇදිරිනීතිය පැනවූයේ පැය 24ක් ගතවීමෙන් පසුවය. එනම් 1983 ජුලි 26වැනිදාය. ඒ වන විටත් ද්‍රවිඩ ජනයාට එරෙහි කෝලාහලය සංවිධානාත්මක මට්ටමින් කොළඹ සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හි දියත් වෙමින් පැවතිණි. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වු සිරිල් මැතිව් එම ක්‍රියාවලියට සෘජුවම දායක වූ බවට බරපතල චෝදනා විය. ඔහුගේ සහ ආණ්ඩු හිතවාදී ඇතැම් ආධාරකරුවෝ ද්‍රවිඩ නිවෙස් සොයා ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද හිමි නාම ලේඛනද අතැතිවය. වැල්ලවත්තේ මැර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයේ ප්‍රධානියෙකි. ගල්කිස්සේ කෝලාහල ‍වලට නායකත්වය දුන්නේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. පිටකොටුවේ කඩසාප්පු 442ක් විනාශ කරමින් සහ ජීවිත හානි සිදුකිරීමේ අණදෙන්නා වූයේ දේශපාලනයට සම්බන්ධ පතාලයේ දාමරිකයෙකි. ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ කලබල වලින් පසුව දින පහක් ගොස් 1983 ජුලි 28වැනිදා රාත්‍රීයේය.
dharman08.
බොරැල්ල බස්නැවතුම් පො‍ළේ කළු ජූලියේදී ඇතිවූ සිදුවීමක්.
වැලිකඩ සිරගෙදර සිටි දෙමළ සිරකරුවන් ප්‍රථමයෙන් 35 දෙනෙකුද 18 දෙනෙකුද අනුක්‍රමික ප්‍රහාරයන් දෙකක් 1983 ජුලි 25වැනිදා සහ 27වැනිදා එල්ල කරමින්  53 දෙනෙකු මරා දමන ලදී. ඒ අතර ටෙලෝ සංවිධානයේ නිර්මාතෘවරයා වූ කුට්ටිමනීද සන්නද්ධ ව්‍යාපාරයේ තවත් ආරම්භකයෙකු වූ ජෙගන්ද විය. කොස්තාපල්වරයෙකුට 1979දී වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරුවූ කුට්ටිමනීට 1982 අගෝස්තු 13වැනිදා කොළඹ මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කොට තිබිණි.
ජනාධිපති ජයවර්ධන දින 4ක් යන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. එයට දින 5කට පෙරාතුව 1983 ජුලි 18වැනිදා ජනාධිපති ජයවර්ධන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ මාධ්‍යවේදී ග්‍රැහැම් ඩෝඩ් සමඟ කල සාකච්ඡාවකදී කියා සිටියේ “යාපන‍ය ජනතාවගේ මතය කුමක් වූවද තමාට කමක් නැති බවය. දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබදව ඇති ඔවුන්ගේ මතය ගැන සිතිය නොහැකි බවය.” දින කිහිපයක් ගතවීමෙන් පසු කොළඹ ගම්පහ කළුතර ඇදිරිනීතිය සීමා කල අතර හමුදා මුර සේවා ක්‍රියාත්මක විය.  අවිගත් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් තිදෙනෙකු කොටුව බෝගහ අසළ ගොඩනැගිල්ලක ඉහළ මහලකට නැගී 1983 ජුලි 27වැනිදා වෙඩි තැබීමක් සිදුකල අතර ඉන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යළිත් උණුසුම් විය.
කළු ජූලි කෝලහල ලැව් ගින්නක් සේ 1983 ජුලි 24වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා රටපුරා පැතිර ගිය අතර උතුරු නැගෙනහිර පදිංචි සිංහල පවුල්ද සංවිධානාත්මක ද්‍රවිඩ පිරිස් විසින් එම ප්‍රදේශ වලින් දකුණට පලවා හරින ලදී. එම සිය ගණනක් සිංහල පිරිස්ද උතුරු නැගෙනහිරදී තිරස්ථීන ලෙස ඝාතනය කල අතර ඔවුන්ගේ නිවාස, කඩසාප්පු විනාශ කල අතර සියළු දේපලද අවසානයේදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී.
dharman09a
කළු ජූලියෙන් පසු පාර්ලිමේන්තු නියෝජනය අහිමිවූ විපක්ෂ නායක ඒ. අමිර්තලිංගම් ඇතුළු දෙමළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටවන අයුරු.
දෙමළ සංහාරයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ විවේචන වලට පිළිතුරක් වශයෙන් එජාප ආණ්ඩු සිදුකලේ වාමාංශික පක්ෂ 3ක් 1981 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. එජාප නායක ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කළු ජූලිය අන්තවාදී වාමාංශිකයන් විසින් දියත් කල ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා වී ඇති බැවින් එම තීරණය ගත් බවය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජයේ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට භාරවිමෙන් පසු කොප සහ නව සමසමාජ පක්ෂවල තහනම ඉවත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ එසේ භාර නොවු අතර  තහනම ඉවත් කරන ලෙස නිරතුරුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී. ජවිපෙ අනතුරුව රහසිගත දේශපාලනයකට යොමු වි දෙවන වරටත් කැරැල්ලක් 1986 දියත්කල අතර එය 1989 නොවැම්බර් 13වැනිදා ජවිපෙ නායක රෝහණ විජේවීරද ඝාතනය වී 41,813 දෙනෙකු මරමුවට පත්විය.
එජාප ආණ්ඩුව අවසානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට යැයි කියමින් හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක දිගට පාර්ලිමේන්තුවේ විවාද කර 1983 අ‍ගෝස්තු 8වැනිදා සම්මත කර ගත්තේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම වෙනම රාජ්‍යක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට ප්‍රතිඥා දිය යුතුය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය නිසා ඔවුනට එසේ දියුරුම් දිය නොහැකි විය. ඒ අනුව උතුරු පළාතේ සියළුම මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ ආර්. සම්බන්ධන්ද ඇතුළු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද අයත්ව දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 1983 ඔක්තෝබර් 23වැනිදා අහෝසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් වෙනුවට ශ්‍රිලනිපයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක බවට 1983 නොවැම්බර් 8වැනිදා පත්කරගනු ලැබුවේ ශ්‍රිලනිප මන්ත්‍රීන් 9කගේද මඑපෙ මන්ත්‍රී දි‍නේෂ් ගුණවර්ධන සහ කොපයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගමගේ සහායෙනි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...