87 මැයි දින තහනමට එරෙහිව ජීවිත 2ක් දිවිපුදා අළු නොවූ අරගලය-ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා
ලෝක මැයි දින ඉතිහාසයද අභිමානවත්ය. ඇමරිකානු කම්කරුවෝ පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් සටන්කර තෙවන දිනය වූයේ 1886 මැයි 3වැනිදාය. හේමාකට් චත්‍රරශ්‍රයේ පැවති ජන රැළියේදී පොලිස් නිලධාරින් වෙත අත්බෝම්බයක් දමා ගැසුවේයයි චෝදනා කොට ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් ආර්. පාර්ඩ්න්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච්, ඔස්කා නීබේ ඇතුළු අය බන්ධනාගාර ගත කෙරිණි. ජුරි සභාවේ තීරණය අනුව ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි. මොවුනට දඬුවම් දෙන දිනයට පෙරදින ලුවිස් ලන්ග් ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේය. පසුව මයිකල් සහ සැමුවෙල්ට ලබාදී තිබු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්විය. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම විය. අනෙකුත් සෙසු කම්කරු නායකයින් 5 දෙනා 1887 නොවැම්බර් 11වැනිදා එල්ලා මරාදමන ලදී. වසර 1893 ජුනි 26වැනිදා ඉලිනොයිස් ආණ්ඩුකාරවරයා කම්කරු නයකයින් 8 දෙනාම චෝදනාවලට නිවැරදිකරුවන් යැයි ප්‍රකාශකල අතර ජීවිතාන්තය තෙක් සිරදඬුවම් කල දෙදෙනාම නිදහස් විය. පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගුරූ එම කම්කරු නායකයින් සිහිකිරීමට 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කල අතර ඒ අනුව මැයි 1වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදුවූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927දී බව ලංකා කම්කරු සංගමයේ ඊ.ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැළිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්ටෝරියා(විහාර මහා දේවි) දක්වා ගමන්කර එහිදී රැස්වීම පැවැත්වු බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්ස්වාදීහුද මැයි දින රැළියක් පැවැත්වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැළියක් කොළඹ ප්‍රයිස් පිටියේදී වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැළිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්කලේ 1956දී අගමැති බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ යෝජනාවකි.
කම්කරු නායක ඊ. ඒ. ගුණසිංහයන් 1957 මැයි 1වැනිදා ප්‍රකාශ කළේ මැයි දිනය තවදුරටත් කම්කරු උත්සවයක් නොව තම ශක්තිය ප්‍රදර්ශනය කරන උත්සවයක් බවට 1956න් පසු පත්වූ බවය. දැවැන්ත වාමාංශික එක්සත් මැයි දින පෙලපාලියක් 1963 පැවති අතර එය සමරනු ලැබුවේ සමසමාජය, කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ මගිනි. 1971 අප්‍රේල් කැරැල්ල ඇතිවීමත් සමගම හටගත් වාතාවරණය නිසා එවර මැයි දිනය සංවිධානාත්මකව නොපැවතිණි. එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්කෘතික උළෙලක් ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්වා ආකර්ෂණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජුලි තහනමි පසු එහි අනුගාමී සංවිධානයක්වූ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැළි නව නගරශාලාවේදී පවත්වන ලදී. වසර 1984දී සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක්වී එක්සත් මැයි රැළියක්ද පවත්වන ලදී.
හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් 1977දී හිමිකරගත් එජාප ආණ්ඩුව විරුද්ධ පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කරමින් රාජ්‍ය සහ මැර බලයද යොදා ගනිමින් රට පාලනය කල අතර නීතියේ පාලනය බිඳ වැටිණි. දේශපාලන පක්ෂ තහනම් කළේය. වැඩවර්ජන සහ සිසු උද්ඝෝෂණද තිරස්චින ලෙස මර්ධනය කළේය. පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා දුෂිත බවට චෝදනාලත් ජනමත විචාරණයක් පැවැත්වූ අතර ශ්‍රීලංකාව අභ්‍යන්තර කැරළි සහ යුද්ධ වලට මැදිවී ලේ ගලන ප්‍රචණ්ඩ රටක් බවට පත්විය. මේවාට එරෙහිව ජන කොටස් සංවිධානාත්මකව ඉදිරියට පැමිණෙමින් සිටියහ. මෙම වකවානුවේ එනම් 1987 අප්‍රේල් 15 වැනිදා අළුයම මහනුවර පල්ලකැලේ හමුදා කඳවුරට කඩා වැදුණු ජවිපෙ කැරළිකරුවන් ඉන් ටී 56 ස්වයංක්‍රීය අවි 12ක්, උප යාන්ත්‍රික එස්.එම්.ජී. තුවක්කු 7ක් සහ පතුරන් තොගයක් අත්පත්කරගෙන පළා යෑමට සමත්ව තිබිණි. එහෙත් ඔවුන් කවුරුන්දැයි නිශ්ෂිතව හඳුනාගැනීමට සති කිහිපයක් ගතවිය. එම හමුදා කඳවුර ප්‍රහාරය ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර මෙහෙයවූ අතර එය ආක්‍රමණය කල බලකායේ නායකයා වූයේ පුහුණු හමුදා සෙබලෙකුවූ වේයන්ගොඩ පදිංචි රත්නායක පතිරණගේ මහින්ද ජයවර්ධනය.
දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17වැනිදා කොළඹ බලා එමින් තිබූ බස් රථවලට වෙඩි තබා මගින් 126 දෙනෙකු ඝාතනය කල අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4කට පසු එනම් 1987 අප්‍රේල් 21වැනිදා පස්වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොලේදී කාර් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක් ඝාතනයට ලක් කරන ලදී. බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්ථානයට ගිය පිරිස අතර ශ්‍රිලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලියුම්කරුද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අළුයම වන තෙක්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇදිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක් වශයෙන්ද 1987 අප්‍රේල් 22වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. .
විදිබට දහස් සංඛ්‍යාතික පිරිස් 1987 අප්‍රේල් 22වැනිදා ආරක්ෂාව ඉල්ලමින් මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට ඇදිරි නිතියද නොතකා පෙළපාලියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22වැනිදා 1987 මැයි දින රැස්වීම් සහ පෙලපාලි තහනම් කල අතර එය 1987 මැයි 22වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියළු මැයි දින රැළි සහ පෙළපාලි තහනම් කරන ලදී. ේබිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයන් වූයේ රැස්වීම 1987 මාර්තු 31 නුගේගොඩදී පවත්වා තිබිණි.
රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැළියක් සහ පෙළපාලියක් පැවැත්වීමට මව්බිම සුරකීමේ ව්‍යාපාරය තීරණය කළේය. මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1986 ජුලි 26වැනිදා කොළඹ දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ වූවකි. එහි අදිසි හස්තයවූ ජනතා විමුක්ති පෙරමුණ එය ගොඩනැගීමේදි අනුගමනය කල උපක්‍රමික ප්‍රවේශය වූයේ දේශපාලනික වශයෙන් මව්බිම සුරකීම සඳහා ඒකාබද්ධ කලයුතු බලවේගයන් ඒකරාශි කිරීම සහ නිද්‍රාශීලිත්වයට මෙන්ම අක්‍රීයකොට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැනනැගී ඇති තත්ත්වයට එරෙහිව අවදිකිරීමේ උත්සාහයක්ය. ඒ වන විට මව්බිම සුරකීමේ ව්‍යාපාරය 1986 සැප්තැම්බර් 19වැනිදා මහනුවරදී 4,000ක් අධික සහභාගිවූ මහා සඟ සමුළුවක් පවත්වා තිබූ අතර රටපුරා පවත්වන රැස්වීම් 17ක් යටතේ පළමු රැස්වීම 1987 මාර්තු 31 නුගේගොඩදීද පවත්වා තිබිණි. මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ නායකයන් වූයේ කොළඹ අග්‍රශ්‍රාවක ධර්ම පීඨයේ අතිපූජ්‍ය හැඩිගල්ලේ පඥාතිස්ස හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාඳුළුවාවේ සෝභිත හිමි, ඉත්තෑපානේ ධර්මාලංකාර හිමි, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම හිමි, ජනතා සටන් පෙරමුණේ කැඳවුම්කරු ප්‍රනාන්දුපුලේලේ තංගරාජා සහ සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ගාමිණී ගුණසේකරය.
මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22වැනිදා සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක් පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්ති ජනතා පක්ෂයේ නිහාල් පෙරේරාද දෙවරක් එක්විය. ලියුම්කරු මේ සියළු රැස්වීම් ආවරණය කළේය.
ආණ්ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක් දමා රැස්වීමක් පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්ට්, මහජන සහ නවසමසමාජ පක්ෂද එක්විය. පොලිසිය කඳුළු ගෑස් දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර් සිල්වාටද සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස් ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රිලනිප රැස්වීම ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී කුඩා ප්‍රමාණයෙන් පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.
වඩාත්ම සටන්කාමි සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300කට ආසන්න කැරළි මර්ධන පොලිස් කණ්ඩායමක් 1987 මැයි 1වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්නට ලැබිණි. ගපූර් එහිදී ලියුම්කරුට කියා සිටියේ කිසිදු මැයි පෙළපාලියක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස් දුන් බවය. පස්වරු 2.05ට මැයි දින රැස්වීම ආරම්භ වන විට 2,000කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස මහා නායක හිමිය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ රැස්වීමේ අරමුණ පැහැදිලිකල අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස් ප්‍රකාශ කලහ. විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක් සභා සම්මත කරන ලදී.
රැස්වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළ කරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කලහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්ය. රබර් උණ්ඩය. අවසානයේ වෙඩි තැබිම සිදුවිය. ජේෂ්ඨ පොලිස් අධිකාරි ගපූර්ගේ උපදෙස් පරිදි වෙඩි තැබීමට නියෝග කලේ කැරළි මර්ධන කණ්ඩායමේ නායකයාවූ උප පොලිස් පරික්ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. සහකාර පොලිස් අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහ, ගපූර්ගේ දෙවැනියා විය. විනාඩි ගණනාවක්ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරහේන්පිට සමන්ත රත්නායක, රත්නපුර ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
- සරසවි සිසු රණවකගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පානදුර කුරුප්පුමුල්ලේ සිට පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 1987 මැයි 4වැනිදා ගමන්ගත් අයුරු.
මෙසේ වෙඩිවැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ පදිංචි ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසු පානදුර පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යෑමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක් ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන් වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසැල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි.
සරසවි සිසු රණවකගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පානදුර කුරුප්පුමුල්ලේ සිට පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය දක්වා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 1987 මැයි 4වැනිදා ගමන්ගත් අයුරු.
ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩ්‍රියාවත්තේ නිවසට ලියුම්කරු එදිනම රාත්‍රීයේ යන විට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කල ලෙස්ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රිලනිපයට ලැදිවීම නිසා අනේකවිධි දේශපාලන පලිගැනීමේ මාරුවීම් වලට ලක්වූ අයෙකි. ලෙස්ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක්වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6වැනියාවූ ලෙස්ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය. ජවිපෙ ලෙස්ලිට කොක්ක ගැසුවේ 1982දීය. ලෙස්ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය. ලෙස්ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3වැනිදා පස්වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්ලිගේ නිවසේ ගතකල ලියුම්කරුට දැකගන්නට හැකිවූයේ පොලිස් නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක් රැස්වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස් අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කලහ. මෑතකදී ලෙස්ලිගේ නිවසට ගිය ලියුම්කරුට පවුලේ අය කියා සිටියේ ලෙස්ලිගේ මරණ සහතිකයද තවමත් නොලැබූ බවකි.
සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුුතු යෙදී තිබුනේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි( කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12වැනිදා දිවියෙන් සමුගත්තේය.) පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ 1963 දෙසැම්බර් 2වැනිදා උපන් කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයනවිට ඔහු මෙන්ම ඔහුගේ නැඟණියවූ කිත්මිණීද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමණාකරණවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිනීද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියළු පොලිස් බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාලි පවත්වා පසුව රැස්වීමක්ද තබා විසිර ගියහ.
එජාප ආණ්ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක් බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරික්ෂණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවූයේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කල අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරික්ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතන වලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරික්ෂණ 1987 මැයි 14වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්.ද සිල්වා ඉදිරියේ විභාග විය. මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විජේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නිතිඥ රංජිත් අබේසූරිය, සරත් විජේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නිතිඥවරුන් පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියැසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියළු සිද්ධි මාලාවන් වාර්තාකල එකම ජනමාධ්‍යවේදියා වූයේද ලියුම්කරුය.
අදාළ පරික්ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක් රැස්වී මැයි දින මරණ පරික්ෂණ සාක්ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරික්ෂණයන්හි සාක්කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28වැනිදාය. පරික්ෂණ මාස 9ක් තිස්සේ විභාගයට ගත්තේය. සාක්ෂි සටහන් පොත පිටු 1,800කි. පරික්ෂණය අවසන් වූයේ 1988 අගෝස්තු 2වැනිදාය. මෙහි තවත් එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්ෂි දුන් දහදෙනාගේම සාක්කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක් ලෙස මහාධිකරණ විනිසුරු දැක්වූයේ පොලිසිය කලබල අවස්ථාවේදී කිසිම විටක නාරහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කලද රජයේ සහකාර රස පරික්ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරික්ෂණයේ අවසන් නිගමන සහ පරික්ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී. අවසානයේ එයද හමස් පෙට්ටියට ගිය මරණ පරික්ෂණ නිගමන ඇතුලක් තවත් එක් වාර්තාවක් පමණක් බවට පත්විය.
ලාංකීය දේශපාලන ව්‍යාපාරයේ සම්ප්‍රදායක ගමන්මඟ වෙනස්කල තීරණාත්මක සිදුවීමක් ලෙස 1987 මැයි දින තහනමට එරෙහිව කල අරගලය හැදින්විය හැකිය. ලාංකීය රැඩිකල් භික්ෂූහුද, ශිෂ්‍ය ව්‍යාපාරයද, සටන්කාමී කම්කරුවෝද එයට එරෙහිව නැගී සිටියහ. මර්ධනකාරි එජාප ආණ්ඩුවට එරෙහිව ඇරඹූ දෙවන වෙඩිමුරයද එය විය. ඉන් ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි ප්‍රබල තරංග මාලාවන් ජන සටනට ගෙන ආවේ නව ජවයකි. කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන්වැද අවසානයේ සිය දිවි පුදකරමින් මිහිකත වැළඳගත් 1940 ජනවාරි 10 ගෝවින්දන්, 1947 ජුනි 5 වී කන්දසාමි, 1953 අගෝස්තු 12 හර්තාලයේදී මාතුපාල, අල්විස්, රබෙල්, පියසේන, වික්‍රමසේන, සාදිරිස්, නිකලස් සහ පෙරියතම්බි, 1980 ජුනි 5 රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාල මෙන් 1987 මැයි 1වැනිදා ඝාතනයට ලක්වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ ලෙස්ලි ආනන්ද කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තෙවන වසර සිසු කිත්සිරි මෙවන් රණවකද ඉතිහාසයට එක්වී හමාරය.
Comments
Post a Comment