මඤ්ඤොක්‌කා අල ඉතා ම හොඳ ශක්‌ති ප්‍රභවයකි. එසේ ම ඇතැම් විටමින, ඛනිජ ලවණ සහ තන්තු වැඩි ප්‍රමාණයක් එහි අන්තර්ගත වේ. අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් පැවතීම සහ විෂ සංඝටක පැවතීම මඤ්ඤොක්‌කාවල අවාසි සහගත ලක්‍ෂණයන් වේ.
මඤ්ඤොක්‌කා අලවල අඩංගු ප්‍රධාන ම විෂ සංඝටකය වනුයේ ලිනමරින් (Linamarin) නැමැති සයනොජෙනික ග්ලයිකොසයිඩයයි. එසේ ම ලොටුස්‌ට්‍රලින් (Lotaustralin) සංයෝගය ද මඳ වශයෙන් (<10%ර) අඩංගු වේ. මේ සයනොජෙනික ග්ලයිකොසයිඩ මඤ්ඤොක්‌කා අලවල පවතින අන්තර්ජන්‍ය (Endogenous) එන්සයිමයක් වන ලිනමරේස් (Linamarase) මඟින් හයිඩ්‍රජන් සයනයිඩ් (HCN) බවට ජල විච්ඡේදනය වේ.
මඤ්ඤොක්‌කා අලයෙහි අඩංගු සයනයිඩ ප්‍රමාණය අනුව ජාත්‍යන්තර ආහාර සංවිධානය (FAO) මඟින් මඤ්ඤොක්‌කා කාණ්‌ඩ 3කට වර්ගීකරණය කර ඇත. ඒවා නම්,
1. උපද්‍රවයක් නැති / අවම විෂ සහිත ප්‍රභේද (Innocuous) - සයනයිඩ ප්‍රමාණය 50ppmවලට වඩා අඩු
2. මධ්‍යම / තරමක් විෂ සහිත ප්‍රභේද (Moderately poisonous) - සයනයිඩ ප්‍රමාණය 50 -100ppm අතර
3. අන්තරාදායක / උග්‍ර විෂ සහිත ප්‍රභේද (Dangerously poisonous) - සයනයිඩ ප්‍රමාණය 100ppmට වැඩි
මඤ්ඤොක්‌කා අල විවිධ පිරිසැකසුම් ක්‍රමවලට බඳුන් කිරීමේ දී සයනොජෙනික ග්ලයිකොසයිඩ, ලිනමරේස් එන්සයිමය සමඟ එක් වීම නිසා හයිඩ්‍රජන් සයනයිඩ බවට ජල විච්ඡේදනය වී අලයෙන් ඉවත් වීම සිදු වේ. නිසි පරිදි පිරිසැකසුම් නො කළ මඤ්ඤොක්‌කා ආහාරයට ගත් විට ඒවායේ අඩංගු අවශේෂ ලිනමරින් අප ශරීරයට ඇතුළු වේ. අප ආහාර මාර්ගයේ දී මේ ලිනමරීන්, ග්ලුකෝස් සහ ඇසිටෝන් සයනොහයිඩී්‍රන් (Acetone cyanohydrin) අණු බවට ජල විච්ඡේදනය වන අතර පසුව ඇසිටෝන් සයනොහයිඩී්‍රන් හයිඩ්‍රජන සයනයිඩ බවට ඛණ්‌ඩනය වේ. එසේ නිපදවෙන සයනයිඩ අප රුධිරයට වේගයෙන් අවශෝෂණය වේ. අප ශරීරයේ අක්‌මාවේ දී මේ සයනයිඩ විෂහරණය වී, විෂ අඩු අණු බවට පත් කර, මුත්‍ර මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි.
මඤ්ඤොක්‌කා නිසි පරිදි සකස් කිරීම එහි අඩංගු විෂ ප්‍රමාණය අවම කිරීමට හේතු වනු සේ ම, මඤ්ඤොක්‌කාවල ආහාරමය ගුණය සහ රසය ඉහළ නැංවීමටත්, වැඩි කාලයක් ගබඩා කර තබාගනිමින් ආහාරයට ගැනීමටත් ඉඩ සලසා දෙයි.
මඤ්ඤොක්‌කා ආහාරයට ගැනීම ඉහළ නැංවීම සහ කර්මාන්ත සඳහා භාවිතය ඉහළ නැංවීම උදෙසා, විවිධ පිරිසැකසුම් ක්‍රම මඟින් මඤ්ඤොක්‌කා අලයෙහි අඩංගු විෂ සංඝටක ප්‍රමාණය වෙනස් වීම නිර්ණය කිරීමට පර්යේෂණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එහි ප්‍රතිඵල වගුවේ දක්‌වා ඇත (වගුව බලන්න).
එසේ ම මඤ්ඤොක්‌කා අල පිරිසැකසීමේ දී කැපීමට වඩා පීරි ගෑම සහ කෙටීම සයනයිඩ ප්‍රමාණය අඩු කිරීමට දායක වන බවත්, මඤ්ඤොක්‌කා අල තැම්බීමේ දී කැබැලි ප්‍රමාණයෙන් කුඩා කිරීම, තැම්බීමට දමන ජල ප්‍රමාණය වැඩි කිරීම, වැඩි වේලාවක් විවෘත බඳුනක තැම්බීම මඟින් සයනයිඩ ප්‍රමාණය අඩු වීම වඩාත් ප්‍රබල කිරීමට දායක වන බවත්, තහවුරු වී ඇත. එසේ ම තැම්බීමට ගන්නා ජලය කිහිප වරක් පෙරා හැරීම ද සයනයිඩ් ප්‍රමාණය අඩු කිරීමට දායක වන බව තහවුරු වී ඇත.
ස්‌තූතිය :-
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඉන්දිරා වික්‍රමසිංහ, මහාචාර්ය ජගත් වංසපාල සහ ජාතික හරිත ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේන පීරිස් මහතා පර්යේෂණ දායකත්වය දැක්‌වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ මූල්‍ය ප්‍රතිපාදනවල දායකත්වයෙන් පර්යේෂණ කටයුතු සිදු කෙරේ. එම දිරිගැන්වීම ඉමහත් කෘතවේදී ව අගය කරනු ලැබේ.
Comments
Post a Comment