Skip to main content

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම හා වෙරළබඩ කලාපවල අනාගතය...



 


ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම බහුවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ නිරන්තර කතිකාවන්ට බඳුන් වන්නක්‌ වන අතර මේ සංසිද්ධිය නිසා උපද්‍රව හා ආපදා නිර්මාණය ද හඳුනාගත හැකි ය. උපද්‍රව හා ආපදාවල විද්‍යාත්මක අධ්‍යයනයන් උදෙසා ගොඩනැඟුණු ආපදා කළමනාකරණය විෂය පථය හරහා මහ පොළොවේ විවිධ අවකාශීය තලයන්හි සුරක්ෂිතභාවය හා ආපදාවලට නැඹුරුව පිළිබඳ විග්‍රහ කිරීමේ ශක්‍යතාව පවතින අතර අවැසි නම් තෝරාගත් භූගෝලීය ප්‍රදේශයක්‌ අනුසාරයෙන් වුව ද එවැනි විග්‍රහයක්‌ කළ හැකි ය. ඒ අනුව මේ ලිපිය තුළින් ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම තුළ අපේක්ෂිත අනාගත ප්‍රක්ෂේපණයන් ලොව සුවිශේෂී භූගෝලීය කලාපයක්‌ වන වෙරළබඩ කලාපය ඉලක්‌ක කරගනිමින් විග්‍රහ කොට ඇති අතර එහි දී ආපදා කළමනාකරණය තුළ හඳුනාගැනෙන මූලිකාංග ද්විත්වයක්‌ වන අවදානම (Risk) හා උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය (Vulnerability), විග්‍රහය තුළට අවැසි පරිදි සම්බන්ධ කොට ඇත.

ලිපියට ප්‍රවේශයක්‌ ලෙස කෙටියෙන් වුවත් පැහැදිලි ව අවදානම හා උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය පිළිබඳව හඳුනාගැනීම වැදගත් ය. ඒ අනුව සරල ව දැක්‌වූ විට, උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය (Vulnerability) යනු, යම් උපද්‍රවයක්‌ තුළින් වන හානිය අවම කරගැනීමට හා පාලනය කරගැනීමට පවතින අවම හැකියාවයි. අවදානම (Risk) යනු උපද්‍රවයක්‌ තුළින් සෘණාත්මක බලපෑම් ඇති වීමට පවතින හැකියාව වේ.

ලෝකයේ රටවල් අතරින් භූමියෙන් සම්පූර්ණයෙන් ම වට වූ රටවල් (Land lockedcountries) හැරුණු විට අනෙක්‌වා අවම වශයෙන් එක්‌ පැත්තකින් හෝ සමුද්‍රයට මායිම් වී නිර්මාණය කරන වෙරළකින් යුක්‌ත ය. නූතන සංවර්ධන සංදර්භයෙහි මෙන් ම ඓතිහාසික ජාත්‍යන්තර සම්බන්ධතාවල දී පවා වෙරළක්‌ හිමි රටවලට සුවිශේෂී වාසි සහගත තත්ත්වයන් හිමි වේ. අතීතයේ මුහුදු සේද මාවත ඔස්‌සේ ලෝ ප්‍රකට වෙළෙඳ මධ්‍යස්‌ථාන බවට පත් වූ රටවල, ඒ පසුපස තිබූ භෞතික සාධකය වෙරළක්‌ තිබීම ය. ශ්‍රී ලංකාව ද එවැනි එක්‌ රටකි. තව ද, නූතන ලෝකයේ සංවර්ධිත රටවල් හා නව කාර්මික රටවල් සැලකූ විට එම රටවල් බොහොමයක ගෝලීය වැදගත්කමකින් යුක්‌ත නගර මෙන් ම කාර්යබහුල ම වරායන් දැකිය හැකි ය. ලොස්‌ ඇන්ජලිස්‌, ශැංහයි, රියෝ ද ජැනීරෝ, මුම්බායි එවැනි නගර වන අතර ශැංහයි හා සිංගප්පූරුව යනු ලොව කාර්යබහුල ම වරායන් වේ. වරාය ආශ්‍රිත නගර, අගනගර වූ අවස්‌ථා ලොව යටත්විජිත බවට පත් වූ රටවලවල දැකිය හැකි අතර ඒවා එම රටවල අනෙක්‌ නගර පරයා වර්ධනය වූ අගේ්‍රශ නගර ලෙසින් ද වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය එවැනි නගරයකට නිදසුනකි. මෙලෙස ලොව වෙරළබඩ ප්‍රදේශ තුන් කල්හි ම, සංවර්ධනය ඇතුළු සමාජ ආර්ථික පසුතලය හැඩගැස්‌වීමට අවශ්‍ය පදනම සම්පාදනය කොට දී තිබේ. මේ පසුබිම තුළ ලොව වෙරළ තීරයන් ජනාධික ප්‍රදේශ බවට පත් ව ඇත. ඒ පිළිබඳ සංඛ්‍යාත්මක අගයන් පිරික්‌සීමේ දී ලොව මිලියන 145ක්‌ පමණ ජනතාව මාධ්‍ය මුහුදු මට්‌ටමේ සිට මීටර 1ක පමණ උසකින් පවතින ප්‍රදේශවල ජීවත් වන අතර ආසියානු කලාපයේ සියයට 70ක්‌ පමණ ජීවත් වනුයේ පෙර දැක්‌වූ මීටර 1ක උච්චත්වයක්‌ තුළ ය. ලොව ශීඝ්‍ර ජනගහන වර්ධනය සමඟ මේ අගයයන් කාලීන ව වෙනස්‌ වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම තුළ ආපදා නිර්මාණයෙහි ලා දේශගුණ විපර්යාස අතිශය වැදගත් වේ. අන්තගාමී මානව ක්‍රියාවලි (හරිතාගාර වායු විමෝචනය වැනි)වල ප්‍රතිඵල හා ඇතැම් මතවාදයන්ට අනුව කියවෙන භෞතික ක්‍රියාවලි (සූර්ය ලපවල ක්‍රියාකාරිත්වය වැනි) නිසා උද්දීපනය වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම හරහා ලෝකයේ මේ කාලයේ බහුල ව සාකච්ඡාවට බඳුන් වන දේශගුණ විපර්යාසවලට පසුබිම සම්පාදනය වන අතර ධ්‍රැවාසන්නයේ පවතින ග්ලැසියර දිය වී යැම එහි ප්‍රධාන පෙළේ බලපෑමකි. එවිට වහා ම විය හැකි ප්‍රතිඵලය සමුද්‍ර ජල මට්‌ටම ඉහළ යැමයි. එවිට වෙරළාසන්න පහත්බිම් සමුද්‍ර ජලයෙන් යට වීමේ අවදානම ඇති වේ. දැනට එළි දක්‌වා ඇති නව වාර්තාවලට අනුව වර්ෂ 2100 වන විට සෙන්ටිමීටර 26 සිට 77 පමණ අගයකින් සමුද්‍ර ජල මට්‌ටම ඉහළ යා හැකි බව ප්‍රකාශ වන අතර එවැන්නක දී කලින් සඳහන් කළ ප්‍රජාව ජීවත් වන වෙරළාසන්න ජනාවාස ජලයෙන් යට වීමේ අවදානම සහිත ය.

ගෝලීය උෂ්ණත්ව විචලනයන් සමඟ වෙනස්‌ වන උෂ්ණත්වය මූලික වූ දේශගුණික සංරචකයන් නිසා කුණාටු, අධික වර්ෂාව ආදිය හදිසියේ ඇති වීමට ඉඩ ඇති අතර මෙවැනි උපද්‍රවවල තීව්‍රතාව මෙන් ම ඇති විය හැකි වාර ගණන පුළුල් පරාසයක විචලනය විය හැකි ය. මීට අමතර ව මේ විග්‍රහයේ දී විස්‌තර නො කළත්, සුනාමි තත්ත්වයක්‌ හරහා ද වෙරළබඩ ප්‍රදේශ අවදානමට පාත්‍ර වේ.

ගෝලීය ප්‍රවේශයකින් මේ පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ලෝකයේ පවතින සැම වෙරළබඩ කලාපයක ම පවතින අවදානම සැලකිල්ලට ගත හැකි ය. ඉහළ යන සාගර ජල මට්‌ටම සමඟ වෙරළාසන්න ව පවතින පහත්බිම් ජලයෙන් යට වීම මූලික ව ඕනෑ ම වෙරළ කලාපයක ඇති වන ප්‍රතිඵලයකි. එහි දී අධි ජන සංකේන්ද්‍රණ සහිත නේවාසික ප්‍රදේශ හා වෙරළබඩ නාගරික හා කාර්මික සේවා මධ්‍යස්‌ථාන ද එහි දී අවදානමට ගොදුරු වන අතර ආපදා තත්ත්වයක දී විශාල පිරිසකගේ සුබ සාධනය උදෙසා ලෝකයේ බොහෝ රටවලට සිය ආර්ථික ශක්‌තිය වැය කිරීමට සිදු වේ.

පාරිසරික වශයෙන් වෙරළාසන්න හා තදාශ්‍රිත වනාන්තර පරිසර පද්ධති ආදියට ලවණතාව නිසා ගැටලු ඇති වන අතර ඇතැම් විට ස්‌වාභාවික භෞමික පරිසර ජලයෙන් යට විය හැකි ය. ස්‌වාභාවික වනාන්තර ඇතුළු ඒවායේ අනෙකුත් ජෛව ප්‍රජාව මේ නිසා විනාශ වීමේ අවදානමට ලක්‌ වේ.

වර්තමානයේ දී ද පහසුවෙන් අත්දැකිය හැකි උපද්‍රව තත්ත්වයක්‌ වන වෙරළබඩ කුණාටු සහ වර්ෂාව අනුසාරයෙන් වෙරළබඩ ජනාවාසවලට අවධානය යොමු කිරීමේ දී වෙරළබඩ කුණාටුවක දී වේගවත් සුළං මෙන් ම මුහුදු රැළි නිසා විශාල ප්‍රදේශයක්‌ අවදානමට ලක්‌ වන බව කිව හැකි ය. එහි දී ද ඉහළ ජන සංකේන්ද්‍රණ සහිත ප්‍රදේශ, වෙරළාශ්‍රිත කාර්මික ප්‍රදේශ ආදියට ඉහළ බලපෑම් ඇති වේ. වර්ෂ 2005 මෙක්‌සිකෝ බොක්‌ක ආශ්‍රිත ව ද ඇති වූ කත්‍රිනා සුළි කුණාටුවෙන් 1,600ක පමණ පිරිසක්‌ මිය ගොස්‌ ඇත. කුණාටු අවදානම වර්ෂයේ ඇතැම් කාලවල දී වර්ධනය වන අතර ඒ පිළිබඳව මේ වර්ෂයට අදාළ වාර්තා සඳහන් කරන පරිදි 2019 ජූනි 01 වැනි දා සිට නොවැම්බර් 30 වැනි දා තෙක්‌ අත්ලාන්තික්‌ කුණාටු සමය ක්‍රියාත්මක වන අතර එහි දී ද අත්ලාන්තික්‌ වෙරළ තීරය, මෙක්‌සිකෝ බොක්‌ක හා කැරිබියන් මුහුදු ප්‍රදේශ අවධානයට ලක්‌ කොට ඇත.

හඳුනාගන්නා ලද අවදානම් තත්ත්වය හරහා උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය පිළිබඳ මෙහි දී ප්‍රාදේශික ප්‍රවේශයකින් විමසීම වටී යෑයි හැඟේ. ඇත්තෙන් ම ලෝකයේ වෙරළබඩ ප්‍රදේශවල පවතින අවදානමට පාත්‍ර වීමේ ස්‌වභාවය විෂම වන අතර මුහුදු මට්‌ටමේ සිට ඇති අවම උච්චත්වය වැනි භෞතික මෙන් ම මතු දැක්‌වෙන මානව සාධක එකිනෙකට සම්බන්ධ වන කරුණු ගණනාවක්‌ ඒ සඳහා හේතු වේ. ලොව ඉහළ ම ජන සංකේන්ද්‍රණ, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල (බොහෝ තුන්වැනි ලෝකයේ රටවල) වෙරළබඩ ප්‍රදේශවල දැකිය හැකි ය. සාමාන්‍යයෙන් තුන්වැනි ලෝකයේ නාගරීකරණයේ පවතින අවිධිමත්භාවය අදාළ රටවල වෙරළබඩ කලාප අවදානමට පාත්‍ර වීමේ ස්‌වභාවය වර්ධනය කිරීමට තුඩු දී ඇත. විශේෂයෙන් නගරයේ අවිධිමත් ජනාවාස, අදාළ නාගරික මායිම්වල වූ වෙරළ තීරවල ස්‌ථාපනය වනු දැකිය හැකි ය. මෙබඳු ජනාවාස ශ්‍රී ලංකාවේ ද අගනුවරට ආසන්න වත් ම තදාශ්‍රිත දුම්රිය මාර්ග දෙපස හා වෙරළාසන්න ව දැකිය හැකි අතර සාගර ජල මට්‌ටම ඉහළ යැමක දී මෙන් ම කුණාටුවක දී ප්‍රථමයෙන් ම අවදානමට ලක්‌ වනුයේ මෙවැනි ප්‍රදේශ ය. අවිධිමත් ජනාවාසවල ජීවත් වන්නන්ගේ ජීවන තත්ත්වය, අවදානමක්‌ දරාගැනීමට බොහෝ විට ඔරොත්තු නො දේ. සිය ජීවිකාව, වාසස්‌ථානය ආදි සියල්ල තමාගේ අවිධිමත් නිවසට කේන්ද්‍රික වීම සිදු වන නිසා හදිසි අවදානමක දී අහිමි වන දැවල සාපේක්ෂ වටිනාකම ඉහළ වන අතර ඒවා නැවත ගොඩ නඟාගැනීම ද බාහිර ආධාර නොමැති ව සිදු කිරීම ඉතා අපහසු ය.

ලෝකයේ වෙරළබඩ නිර්මාණය වූ ආර්ථික මධ්‍යස්‌ථාන, විශාල නගර ආදිය විතැන් කිරීම හෝ එම මධ්‍යස්‌ථානවල කාර්ය නැවත්වීම හෝ සිදු කිරීම නූතන සංවර්ධන පසුබිම් තුළ ප්‍රයෝගික ව අපහසු ය. මේ නිසා එවැනි ප්‍රදේශ ඇතුළු ව වෙරළබඩ කලාපවල, සමුද්‍රය ආශ්‍රයෙන් සිදු වන උපද්‍රව තුළින් විය හැකි ආපදා පාලනයට අද වන විට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන් ජලයෙන් යට වීම පාලනය හා සමුද්‍ර ජලය රට තුළට ගලා ඒම පිළිබඳව එහි දී අවධානයට ලක්‌ වන බව පෙනේ. වෙරළබඩ ප්‍රදේශ සමුද්‍ර ජලයෙන් යට වීම පාලනයට වෙරළ සීමාවේ විශාල ප්‍රාකාර ඉදි කිරීම ඉන් එක්‌ ක්‍රමයකි. නෙදර්ලන්තය මේ ක්‍රමය භාවිත කිරීමේ පුරෝගාමීන් වන අතර අද වන විට ශැංහයි හා ජකර්තා නගර ආශ්‍රිත ව ද විශාල ප්‍රාකාරයක්‌ ඉදි කිරීමට කටයුතු කොට ඇත. ජනාවාස ආශ්‍රිත තෙත්බිම් හා කඩොලාන ප්‍රජාව නිසි පරිදි පවත්වාගැනීම තුළ ජල ගැලීමක දී අතිරික්‌ත ජලය අවශෝෂණයට උපකාරී වේ. තව ද, ජල අවශෝෂණ කාර්ය කෘත්‍රිම ඉදිකිරීම් හරහා ද සිදු වන පරිදි නිර්මිත 'ස්‌පොන්ජි නගර' (Sponge Cities) සංකල්පය නූතනයේ ජල ගැලීම් පාලන උපක්‍රමයක්‌ ලෙස ලොව ඇතැම් නගරවල සිදු වේ. චීනයේ ශැංහයි ඇතුළු නගර රාශියක්‌ මේ උපක්‍රමය යොදාගන්නා අතර මෙවැන්නක දී විශේෂ ව්‍යුහාත්මක සැලසුමක්‌ සහිත ව ඉදි කළ නගරයේ මහා මාර්ග ආදිය හරහා වැසි ජලය ඇතුළු එම මතුපිටට වැටෙන ජලය ඉක්‌මනින් අවශෝෂණයට අවකාශ සලසයි. එවිට ජල ගැලීමකට ආධාර සපයන ජලයේ මතුපිට ගලා යැම පාලනය වේ. නාගරික සැලසුම්කරණය තුළ දී උපද්‍රව අවදානම මෙන් ම උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය පාලනය ද වැදගත් වේ. විශේෂයෙන් තුන්වැනි ලොව රටවල වෙරළාසන්න ප්‍රජාවගේ සමාජ ආර්ථික පසුබිම සංවර්ධනය කිරීම ඒ අතර වැදගත් වේ. ඒ හරහා උපද්‍රවයක දී වැඩි හානි ගෙන දෙන ආකාරයට යම් උපද්‍රවයකට පහසුවෙන් පාත්‍ර වනසුලු ස්‌වභාවය පාලනය කිරීම වැදගත් ය.

ඉහත දැක්‌වූ කාරණාවලට අමතර ව හරිත ආර්ථික උපක්‍රම ඇතුළු ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම පාලනය කරන ක්‍රියාමාර්ග සාධනීය මට්‌ටමකින් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වන අතර එය ද ඉහත දැක්‌වූ ක්‍රියාමාර්ග සමඟ සාජීව මට්‌ටමකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම තුළ වර්ධනය වන උපද්‍රවවලට ඇති අවදානම හා උපද්‍රවවලට පාත්‍ර වනසුලු ස්‌වභාවය පාලනය කරගැනීමට හේතු වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...