Skip to main content

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්........නොර්යන්ජින් මාළු මාර්කට් එක....


ආතක් පාතක් නැතුව මේ ලියන ලිවිල්ල ඕගොල්ලොන්ට කොහොම තේරෙයිද දන්නේ නෑ .....ඒ උනත් මේව ලියන්න ඕනේ කියල හිතුනේ මේ ඔක්කොම මතකතියාගෙන ඉද්දි ටික කාලෙකින් අමතක වෙන හින්දා. අනික  මං හැමවෙලේම කැමතියි  එදිනෙදා  ලබන අත්දැකීම් මගේ යාළුවොත් එක්ක බෙදාගන්න තියනවනම්. කොරියාවට ආවට  පස්සේ ඒ ගතිය ගොඩක් වැඩිවුණා. මොකද තනියම ඉද්දි ඒ අවශ්‍යතාවය වැඩිපුර දැනෙන හින්දා.
අපිට ඉතින් ඩයරි  ලියල පුරුද්දක් නැනේ...මේ වැඩේ ටිකක් හරි ලේසි වෙන්නේ  ෆෝන් එකේ මැසේජ්  කොටනවා වගේ ආදාන මෙවලම්   එකෙන් කොම්පියුටර් එකේ ටයිප්  කරන්  යන්න පුළුවන් හින්ද කියලත්  මතක්කරන්න ඕනේ....නැත්තම්  ඉතින් මොන සිංහල  ටයිපින්ද...මේ බ්ලොග් එක නම් ගොඩක් පරණයි. 2014 දී තමා හැදුවේ. එත් පාවිච්චීකරේ  නෑ. මේ වැඩේටම පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා ගත්තේ. තව දෙයක් කියන්න ඕනේ ...මං මේ විස්තර ලියන්න පාවිච්චිකරන්නේ නිදහස් භාෂාවක්...අවශ්‍යතාවය තියෙන්නේ හිතේ තියන දේ කියන්න විතරයි...එකත් කියවන කෙනාට දැනෙන විදිහට ....

මෙහෙට ඇවිල්ල දැන්  අවුරුද්දක්  වෙනවා...අහ්  ඔව්.. අද පෙබරවාරි 28 නේ ...හරියටම 2016 යේ  පෙබරවාරි 28 වෙනිදා  මං ආවේ...අවුරුද්දක ඒවා ලියන්න තියනවා...හිතට එන එක ලියන්න තමා  වෙන්නේ..කියවන කවුරුහරි ඉන්නවනම් ඒකට සමාවෙන්න.....මොකද කිසිදෙයක් පිළිවෙලකට ලියවෙන්නේ නැතිහින්ද ....

මුලින්ම ලියන්න හිතුනේ මමයි  මගේ කැම්පස් එකේ යාලුවෙකුයි  එකතුවෙලා සෝල් වල අවිදින්න දාගත්තු  ට්‍රිප් එකේ එක තැනක් ගැන....අපි දෙන්නම කොරියාවට ආවේ උසස් අධ්‍යාපන කටයුතුවලට. එත් අපි දෙන්න ඉන්නේ තැන් දෙකක. මම ජේජු දුපතේ. ඒ කියන්නේ කොරියානු අර්ධද්වීපයේ දකුණු කෙළවර. යාළුවා ඉන්නේ වයඹදිග වෙරළ තීරයට ආසන්න ඉන්චේයෝන් වල. ඉතින් මං සෝල් එනවනම් ඒක පැයක ගුවන් ගමනක්. යාළුවට නම් දුම්රියෙන් පැයක ගමනක්. සෝල් කියන්නේ දකුණු කොරියාවේ අගනුවර. සෝල් වල ඇවිදින කාට උනත් හිතාගන්න පුළුවන් ඒක කොච්චර සැලසුම් සහගතව හදපු නගරයක්ද කියලා. පොළොව යටට තට්ටු ගණන් විහිදෙන උමං  දුම්රිය මාර්ග ඒකට හොදම උදාහරණයක්...ඒවගෙ  විස්තර මං  පස්සේ වෙලාවක  කියන්නම්.

දැන් කියන්න හදන්නේ නොර්යන්ජින් මාළු මාර්කට් එක ගැන. මේක පිහිටලා තියෙන්නේ සෝල් වල දකුණු ප්‍රදේශයට වෙන්න. උමං දුම්රියේ එනව නම් සෝල් ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි දහයකින් විතර මෙතෙන්ට එන්න පුළුවන්. ඒ එන අතර සෝල් සිටි එක හරහා විශාල වානේ ආරුක්කු පාලම් යටින් ගලා බහින හන් ගඟත් බලාගන්න පුළුවන්. අපි දෙන්න උදේටත් කාල තව කෝපිත් බීල තමා එන්න පිටත් වුනේ. වෙලාව දහයට විතර වෙන්න ඇති. ටිකක් අව්ව පායලා තිබුනත් ශීත ඍතුවේ මැද හින්ද  සීතලයි. මාර්කට් එක ලඟම නොර්යන්ජින් ස්ටේෂන් එක තියන හින්ද ගොඩක් ලේසියි. ස්ටේෂන් එකේ ඉදන් මීටර් 70 ක් විතර පැත්තකින් මාර්කට් එක තියෙන්නෙ. දැන් ඉතින් ඕගොල්ලෝ හිතනව ඇති මොකද්ද මේකේ තියන විශේෂත්වය කියලා. ලංකාවෙත් ඕනෑතරම් මාළු  මාර්කට් තියන එකේ.
ගූගල් සර්ච් හි නොර්යන්ජින් 
මාළු මාර්කට් එක
හන් ගඟට යාබදව එහි පිහිටීම
                                                 

විශේෂත්වය තමයි, අපෘෂ්ඨ වංශී සහ පෘෂ්ඨ වංශී පණ තියෙන කරදිය සත්තු බලාගන්න පුළුවන් එක... ඒ විතරක් නෙවේ...උන්ව මිලට ගන්නත් පුළුවන් සැහෙන ලාබෙට ...මොකටද කියල අහුවොත් ඉතින් ....කෑමට තමා. සමහර විට මේක කියවන කෙනෙක්ට මේ දේ එච්චර දැනුනේ නැති උනත් සමුද්‍ර ජීව විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට මට නම් එතන සජීවී විද්‍යාගාරයක් වගේ. මගේ යාලුවටත් පිස්සු හැදිලා හිටියේ. ඉස්සර කැම්පස් එක ඉස්සරහ මුහුදු වෙරළට ගිහින් සත්තු හොයපු අපිට මේක දැක්කම පිස්සු හැදෙන එක අහන්න දෙයක් නෑ.  මුහුදු කූඩෑල්ලන්, මෘතෝපජීවී පණුවන්, ඉකිරින්,ඉස්සන් වර්ග, බෙල්ලෝ වර්ග, බූවල්ලන්, කුඩා සහ යෝධ කකුළුවන්, විවිධ මසුන්, සහ වියළා සකස්කළ කරෝල වර්ගත් එතන තියනවා. ලංකාවේ අපි මාලුවෙක්, ඉස්සෙක් කාල  නිකන් හිටියට  මෙහෙ අය විවිධාකාර මුහුදු ආහාර කෑමට ගන්නවා. සත්තු වගේම ශාක වර්ගත්....විශේෂයෙන්ම මුහුදු ඇල්ගී වර්ග. කොරියානුවන්ගේ අවුරුදු අසූවක  අනූවක උපරිම ආයු කාලයට ඒවත් බලපානවා ඇති.

ඉහල සිට මාර්කට්  එකේ එක් තීරුවක් පෙනෙන අයුරු 

මේ මාර්කට් එක පටන් අරන් තියෙන්නේ 1927 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු අනූවක් පැරණියි. මුළු දකුණු කොරියාවේම  තියන විශාලම මාළු මාර්කට් වලින් එකක්. තව ලොකු එකක් තියෙනවා බුසාන් නගරයේ. මෙහි මුලික අරමුණ තොග සහ සිල්ලරට ධීවර නිෂ්පාදන විකිණීම සහ සංචාරක, සංස්කෘතිකමය වටිනාකමක් නගරයට එක්  කිරීම කියන කාරණා. අනික් වැදගත් කාරණාව තමා දිනකට ටොන් 250 -300 ත් අතර ධීවර නිෂ්පාදන මෙහිදී අලෙවි වන බව. පාන්දර එකට විතර තමයි මේගොල්ලෝ වැඩ පටන්ගන්නේ...සිල්ලරට ගන්න යනවනම් හොදම වෙලාව උදේ. අර කිවුවා  වගේ සෝල්  එන සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙක් මෙතෙන්ට එන්න අමතක කරන්නේ නෑ.

සජීවී මුහුදු බෙල්ලන් 

Sea skirts/ tunicates
හැබැයි ඒගොල්ලෝ ගොඩක්  එන්නේ දවල් කෑම වෙලාවට. ඒක හින්දම අපි දෙන්නත් ගියේ දවල් කෑම  වෙලාව අල්ලලා. දැන් ඕගොල්ලෝ බලනවා ඇති ඒ මොකටද කියල....අයෙත් ඉතින් කියන්න තියෙන්නේ.... කන්න තමා. මාර්කට් එකේ ඇවිදලා ඔක්කොම දේවල් දැකබලාගත්තට පස්සේ තමන් කැමති දෙයක් මිලදීගන්න පුළුවන්. දවල් කෑම වෙලාව වෙද්දී, වෙළෙන්දෝ ලඟම නිල්පාට ඒප්‍රන් එකක් වගේ දාගත්ත කට්ටියක් ඉන්නව. ඒගොල්ලෝ වැඩකරන්නේ බ්‍රෝකර්ල විදිහට. අපි ගන්න සත්තුන්ව ඒ වෙලේම උයල දෙන රෙස්ටුරන්ට්ස් ගොඩක් ඒ අවට තියනවා. අර කට්ටියට ඉන්නේ ඒවගේ තැන්  පෙන්නන්න.
ජපානේ එහෙම ගොඩක් ප්‍රසිද්ධ සුෂී ගැන ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. ඒ කියන්නේ නැවුම් අමු මාළු. ඒවා කන්න ආසනම් මෙතන කියාපු තැන. ලංකාවේ අයට නම් එක එච්චර හුරු දෙයක් නෙවේ. මොකද අපි මාළු කන්නේ තුනපහ රසටනේ. එත් මෙහෙ අය කැමති මාළුවාගේ නියම රස බලන්න. පෞද්ගලිකව මම සුෂී වලට එච්චර කැමති නෑ. එත් සැමන් මාළු වලින් හදපු සුෂී සහ සශිමි කන්න නම් ආසයි. සැමන් කිවුවේ ටින් කරපුව නෙවේ. ඇත්ත සැමන් මාළු. උන්ගේ මස් තැඹිලි පාටයි. ඔමේගා -3 තියන හින්ද ගොඩක් ගුණයි කියල තමයි කියන්නේ.
සැමන් සුෂී
යෝධ කකුළුවෝ
දවල් වීගෙන එද්දී අපි දෙන්නටත් බඩගින්නක් දැනුණා. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෝ විදිහට මෙතන තියන ඔක්කොම දේවල් නම් කන්න අපිට බැරිබව තේරුණා. පස්සේ අපිදෙන්නා කතාවෙලා ගාණ  අඩු තැනකින් ඉස්සෝ ගත්තා. ඊටපස්සේ බූවල්ලෝ පස් දෙනෙක් ගත්තා. ඉස්සො නම් ගන්නකොටම  මැරිලා හිටියේ. බූවල්ලෝ නම් පණපිටින්. මං  කලින් මෙහෙදි  දඟලන අඬු තිබුන බූවල්ලෝ සුෂී කාලා තිබුණා. එත් යාළුවා එහෙම කාලා  තිබුණේ නැති හින්ද මට ඕනේ උනා එයාටත් ඒ අත්දැකීම අරන්දෙන්න. එත් එයා කිවුව ඔයා බූවල්ලෝ කන්න මං ඉස්සෝ විතරක් කන්නම් කියල. පස්සේ අපි අර බ්‍රෝකර් කෙනෙක්ට කතා කරල රෙස්ටුරන්ට් එකකට ගියා. එකේ සෙනග පිරිලා හිටියා. මුලින් අපි ගෙනාපු දේවල් කවුන්ටර්  එකට බාරදෙන්න ඕනේ. ඒකට අංකයක් දෙනවා. ඊට පස්සේ ඒවා උයන තැනට ගෙනියනවා. අංකයෙන් හරියටම අපි ගෙනාපු දේවල් අපිටම හම්බෙනවා. ඒගොල්ලෝ අහනවා කොහොමද උයන්න ඕනේ කියල. ඉස්සෝ බාර්බකියු  දාන්න කිවුව අපි. මොකද වෙන ක්‍රම වලට හැදුවොත් උන්ගේ මස් දියවෙලා කන්න දෙයක් ඉතුරුවෙන්නේ නැතිහින්ද. බූවල්ලෝ ටික කන්න හිතුවේ කොරියාවේ සම්ප්‍රදායික විදිහට හදන සුප් එකක් වගේ ක්‍රමේකට. එක හදන්නේ ලොකු ඇතිලියක. ළුණු, සුදුළුනු, තුනපහ, තව කොළ වර්ග එහෙම ඒකට දානවා. එත් එක්කම අර බූවල්ලොත් දාල අපි ඉන්න මේසේ උඩම පොඩි ගෑස් ලිපක් උඩ උයන්න තියෙන්නේ. මෙහෙ කෑම ගොඩක් වෙලා උයන්නේ නෑ. ඉතින් අරක ඉදෙන ගමන්ම කන්න තියෙන්නේ.
දැල්ලන් සහ බූවල්ලන්

මිටි මේස තිබුණ හැමතනම. ගොඩක් ඒවාගේ කට්ටිය ඉඳගෙන තලු මරමරා කනවා. හිස් වෙච්ච මේසයක් බලලා අපි දෙන්නත් ඒක වටේ බිම වාඩි වුණා. එතන හොදයි. ජනේලයක් ගාව. ගොඩනැගිලි අතරින් සෝල් වල උසින් වැඩිම ගොඩනැගිල්ලක් වන ගෝල්ඩන් ටවර් එකත් පේනවා. එකට එහෙම කියන්නේ ඉර එලිය වැටුනම ඒක රත්තරන් පාටින් ආලෝකය පරාවර්තනය කරන විදිහට හදල තියන හින්ද. අපේ අනිත් පැත්තේ මේසෙ  කොරියාවේ නොවන ගැහැණු දෙන්නෙක් මහා තඩි කකුළුවෙක් කමින් ඉන්නව. ඒ එක කකුළුවෙක් දෙන්නෙක්ට කන්න වැඩිත් එක්ක. වෙලාවකට ඒ දෙන්න කකුළු අඬු අස්සේ තියන මස් සුරුස් ගාලා  අදිනවා. කොරියාවට ආපු මුල් දවස්වලනම් මිනිස්සු කනවිට ආපු මේ අසාමාන්‍ය සද්ද අමුතු දෙයක් උනත් දැන් ඒවා එච්චර ගානක් නෑ. එත් අපිට නම් එහෙම කන්න හිතෙන්නේ නෑ. මේ වෙලේ මට මතක් වෙනව මගේ කාමරයේ ඉන්න යාළුවව. එය කොරියන් කෙනෙක්. අපි දෙන්න හොස්ටල් එකේ එකට කද්දී මං  සද්ද නැතුව කන හින්ද එයත් එහෙම කන්න උත්සාහ කරනවා. මං දන්නවා ඒක එයාලට කොච්චර අමාරු දෙයක්ද කියලා. කොටින්ම කියුවොත් නූඩ්ල්ස් රැල්ලක් සුරුස් ගාල  ඇද්දේ නැත්තම් කෑවේ නෑ වගේ තමා.

 ඒ අතරේ වැඩකරන කෙනෙක් ඇවිත් අපේ මේසෙට ඉටි රෙද්දක් දාල එක උඩින් කූල් වතුර, කෝප්ප, තසිම් එහෙම තියලා ගියා. ඊලගට අපේ බූවල්ලෝ ඇතිළිය ගෙනාව. පොඩි ගෑස් ලිපක් මෙසේ උඩ තියලා එකෙන් ඇතිළිය තිබ්බා. ගෑස්  එක ඔන් කළා. ඔන්න දැන් යාළුවා අහක බලාගෙන. මොකද බූවල්ලොන්ගේ අඬු දඟලනවා. බූවල්ලන්ට අමතරව ඒකට ලොකු මාළු ඔලුවකුත් දාලා.  ටික ටික ඇතිළිය රත්වෙන්න ගත්තා. බූවල්ලන්ගේ දැඟලිල්ලත් නැවතුණා. එකෙන් අපු සුවඳට බඩගින්න තවත් වැඩි වුණා. ඒ අතරේ සයිඩ් ඩිෂ් විදිහට කිම්චි, අමු මිරිස්, සලාද කොළ, සුදුළුනු, වසබි සහ සෝයා සෝස් ගෙනත් තිබ්බ. ටික වෙලාවකින් බාර්බකියු කරපු රන් තැඹිලි පාට  වෙච්ච ඉස්සෝ දීසියත් ආවා. වසබි කිවුවේ අර කලින් කිවුව සුෂී කන්න පාවිච්චි කරන කොලපාට ටිකක් සැර සෝස් එකක්. කිම්චි කියන්නේ ගෝව රාබු වගේ ඒවාට විනාකිරි මිරිස් දාල හදන අච්චාරු වගේ කෑමක්. කිම්චි ගැන වෙනම මං පස්සේ කියන්නම්කො. අපේ බූවල්ලෝ ඇතිළිය බුබුළු දදා රත්වෙනවා. එහාපැත්තෙ මේසේ දෙන්න කිවුවා   දැන් ඉදුනා  ඇති කන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ චීනෙ දෙන්නෙක්. අපිට බත් ඔර්ඩර් කරන්න කියලත් කිවුව. බතුත් අරන් අපි කන්න පටන් ගත්තා. සුප් එක පදමට ඇවිත්. බත් එක්ක කද්දී ගොඩක් රසයි. සලාද කොලයක් උඩින් ඉස්සෙක් තියල එකට සෝස් ටිකක් දාල ඕනේ නම් සුදුළුනුයි බත් ටිකකුයි තියල ගුලිකරලා කටේ ඔබාගන්න ඕනේ. එහෙම කද්දී මාර රහයි. ඒ වගේ කද්දී මට හිතෙනවා, ඉස්සර අපි ටීවී එකේ ජපන් කොරියන් මිනිස්සු එහෙම කනවා දකිද්දී , අපිටත් කවද හරි එහෙම කන්න වෙයි  කියල හීනේකින්වත් හිතුනේ නැති බව.
බූවල්ලන් සහිත සුප් ඇතිළිය

ඉස්සන් සහ සයිඩ් ඩිෂ්
අහ් තව දෙයක් කියන්න ඕනේ. කූරු දෙකෙන් නැත්නම් චෝප්ස්ටික් වලින් කන එක ගැන. උපන්දාසිට අතින් කාපු අපිට ඒක ටිකක් අමාරුයි. සමහර විට ටිකක් නෙවේ ගොඩක් අමාරුයි. මෙහෙට ආපු දවස්වලම මගේ කොරියන් යාළුවෝ ප්‍රැක්ටිස් කරන්න කියලා චෝප්ස්ටික් අරන් දුන්නා. ඒ චෝප්ස්ටික් වල  කූරු  දෙක එකට සෙට් කරලා  හදලා තියෙන්නේ. තව ඇඟිලි දාගන්න මුදු වගේ රවුම් තුනකුත් තියනවා. බරත් අඩුයි. මුල් දවස්වල නම් ඕකෙන් කෑවත් පස්සේ මට හිතුණා ඒක මතක සටහනක් විදිහට ලාච්චුවේ දාලා තියාගන්න ඕනේ කියලා. ඒ වෙනුවට මං  හුරු වුණා එක කූරකිනුයි හැන්දෙනුයි කන්න. බලන අයටනම් ඒක මහ අමුතු දෙයක් වුනත් මට ඒ ක්‍රමේ ගොඩක් ලේසි වුණා. ඒත් මහාචාර්යතුමත් එක්ක එහෙම කන්න යද්දි අමාරුවෙන් වුනත් චෝප්ස්ටික් පාවිච්චි කරනවා. නැත්තම් ගෑරොප්පුවක්  ඉල්ලගන්නවා.

චීනෙ දෙන්න කාලා  ඉවරවෙලා යන්න ලෑස්ති  වුණා. අපි ඉතින් කෑවේ බොහොම හෙමින්. අරදෙන්නා නැගිට්ටා විතරයි තව දෙන්නෙක් එතන ඉඳගත්ත. දවල් දොළහට විතර හින්ද සෙනග වැඩි වුණා. අලුතෙන් ආපු දෙන්න කපල් එකක්. ඒගොල්ලෝ එද්දීම  සුෂී දීසියක් ගෙනත් තිබුණ. රෙස්ටුරන්ට් එකෙන් ඒගොල්ලෝ සෝජු ඔර්ඩර් කරා. සෝජු කියන්නේ මෙහෙ ජනප්‍රියම අරක්කු වර්ගය. ඇල්කොහොල් ප්‍රතිශතය 21% යි. අපි ඉතින් ඒ දෙන්නා  දිහා එහෙන් මෙහෙන් බලන් හිටියා. දෙන්නා චියර්ස් කියල වැඩේ පටන්ගත්තා. කෙල්ලත් බොනවා කොල්ලට දෙවෙනි නොවෙන්න. ඒ අතරේ සුෂී කනවා. ඔය අතරේ අපි දෙන්න කතා වුණා ඊළඟපාර යෝධ කකුළුවෙක් අරන් කන්නයි සෝජු බොන්නයි. ඒ අතරේ අපේ රටවල් වල සංස්කෘති ගැනත් ඉතින් කතා වුණා. මොකද අර වගේ කෙල්ලෙක් අරක්කු බොනවා දැක්කොත් නැන්දම්මගෙන් අහගන්න වෙන ඒවා ගැන. කොහොම වුනත් මේක තමා සංස්කෘතික විවධත්වය. ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. එත් ඒ මිනිස්සු තමන්ට ගැලපෙන විදිහට ජීවන පැවැත්ම හැඩගස්වාගෙන ඉන්න බව පේනවා. කෑම කාලා ඉවරවෙච්ච අපි දෙන්නත් රෙස්ටුරන්ට් එකේ ගාස්තුව ගෙවලා ආපහු එන්න පිටත් වුණා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...