Skip to main content

සොබාදහම කොපි කිරීමේ කලාව හෙවත් ජෛව අනුකරණය...



ගැටලු විසඳීමට ස්‌වභාවධර්මය තරම් උපන් හපන්කම් දක්‌වන වෙනත් කිසිදු දෙයක්‌ නැහැ. පරිණාමීය ක්‍රියාවලිය තුළ සතුන් සහ ශාකවලට, කාලගුණ වෙනස්‌කම් ආදි විවිධ පාරිසරික අභියෝග ජයගැනීමට එය උපකාරී වී තිබෙනවා. මේ සඳහා දිගු කාලයක්‌ ගත විය හැකි වුවත් එම විසඳුම්වල ගුණාත්මක බව නම් අති විශිෂ්ටයි. උස්‌, තුරු මුදුන්වලින් පත්‍ර කඩාගෙන කෑමට හැකි පරිදි ජිරාෆයන්ට දිගු බෙල්ලක්‌ පිහිටා තිබීම, ගෙම්බන්ගේ ඇඟිලි අතර පිහිනීමට උපකාරී වන පරිදි පටලයක්‌ සෑදී තිබීම ආදිය මීට උදාහරණ කිහිපයක්‌. නූතන තාක්ෂණික ලෝකය තුළ අප පුරුදු වී සිටින්නේ මොළය වෙහෙසවීමෙන් ම පැනනඟින ගැටලුවලට අවශ්‍ය වේගවත් විසඳුම් සොයාගැනීමටයි. එහෙත් මේ අතිධාවනය නවතා මඳක්‌ නැවතිල්ලේ සොබාදහම දෙස බැලුව හොත් අප විසඳීමට උත්සාහ කරන ගැටලුව අපට බොහෝ කාලයකට පෙර ස්‌වභාවධර්මයා විසින් විසඳනු ලැබ ඇති බව දැකිය හැකියි. ඒවා අනුකරණය කිරීමෙන් පහසුවෙන් මේ ගැටලු විසนගත හැකිවාක්‌ මෙන් ම සොබාදහමේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසිලිමත් වීමෙන් මෙතෙක්‌ අප කල්පනා වත් කර නැති විසඳුම් සොයාගැනීමට ද ඉඩ ලැබෙනවා. මෙහි දැක්‌වෙන්නේ සොබාදහම අනුකරණය කිරීමෙන් නිර්මාණය කරගත් එවැනි තාක්ෂණික විසඳුම් කිහිපයක්‌.


තල්මහ හැඩැති සුළං බලාගාර


වාතය මඟින් ඇති කරන ප්‍රතිරෝධය මැඬ පවත්වාගැනීම නූතන නිෂ්පාදන බොහොමයක්‌ සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌. සුළං බලයෙන් විදුලිය නිපදවන විදුලි බලාගාරවල ටර්බයින පියන්පත් මීට එක්‌ උදාහරණයක්‌. සුළං බලයෙන් කැරකැවීමෙන් විදුලිය නිපදවන අතර එහි චලනයට විරුද්ධ ව වාතයෙන් දක්‌වන ප්‍රතිරෝධය අභිබවා යැමට ද මේ පියන්පත්වලට සිදු වනවා. සුළං බලාගාර ටර්බයින පියන්පත් ගුවන් යානයක තටු මෙන් සුමට පැතලි මතුපිටක්‌ සහිත ව නිර්මාණය කර තිබෙන්නේ මේ නිසයි. එහෙත් මේ හැඩය වඩාත් වැඩිදියුණු කළ හැකි ක්‍රමයක්‌ විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා ඒ, පිට කුදු තල්මහට පින් සිදු වන්නටයි.

පිට කුදු තල්මහ සාගරය තුළ වේගයෙන් සැරිසරන, දිය මත පිනුම් ගැසීමට ප්‍රිය කරන සත්ත්වයෙක්‌. ජලය මඟින් ඇති ප්‍රතිරෝධය මඟහැර ජල තලය තුළ වේගයෙන් ලිස්‌සා යැමට ඌට උගේ වරල් උපකාරී වනවා. මේ වරල්වල විශේෂත්වය වන්නේ ඒවා කෙළවර tubercle නමින් හැඳින්වෙන ගැටිතිවලින් සමන්විත වීමයි. මේ හැඩය අනුකරණය කළ හාවර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක්‌ එය ටර්බයින පෙත්තට එක්‌ කිරීමෙන් වැඩි වාසි අත්පත් කරගත හැකි බව පෙන්වා දී තිබුණා. ඇමෙරිකානු නාවික ඇකඩමිය හා ඵෂඔ සරසවිය මේ පිළිබඳ අත්හදා බැලීම් කර තිබූ අතර එයින් පෙනී ගොස්‌ තිබුණේ මේ හරහා වායු ප්‍රතිරෝධය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කරගත හැකි බවයි. සාමාන්‍ය සුළං ටර්බයිනයක්‌ පැයට සැතපුම් 17ක වේගයෙන් සුළං හමන විට ජනනය කරන විදුලි ප්‍රමාණයට සමාන විදුලි ප්‍රමාණයක්‌ මේ නව ටර්බයිනයට පැයට සැතපුම් 10ක වේගයක්‌ ඇති සුළඟක දී නිපදවීමට හැකි ව තිබුණා. මේ හැඩය හරහා වඩා ස්‌ථායී, අඩු ශබ්දයක්‌ නිකුත් වන, වැඩි කල්පැවැත්මක්‌ සහිත සුළං ටර්බයින පෙති නිපදවීමට හැකි ව තිබෙන අතර Whale Power නම් සමාගම මේ ටර්බයින වාණිජ ව නිපදවීමේ කටයුතුවල නිරත වී සිටිනවා.

අධිවේගී දුම්රියේ පිළිහුඬු හිස

අධිවේගී දුම්රිය නිපදවීම පිළිබඳ විශේෂඥතාවක්‌ දරන ජපානයේ ඉංජිනේරුවන්ට තම දුම්රියවල වේගය ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ අලුතෙන් පැනනැඟුණු ගැටලුවකට මුහුණ දීමට සිදු ව තිබුණා. ඒ එම අධිවේගී දුම්රිය උමං මාර්ගයක ගමන් කරන විට වාතයේ ඇති වන ක්ෂණික සම්පීඩන වෙනස නිසා විශාල ශබ්දයක්‌ නිකුත් වීමට පටන්ගැනීමයි. tunnel boom ලෙසින් හඳුන්වනු ලැබූ මේ කම්පන තරංගයේ බලපෑම නිසා ශබ්ද දූෂණය වීම මෙන්ම උමංවල ව්‍යුහයට හානි පැමිණීම් ද සිදු වුණා. මේ ගැටලුව විසඳීමට නම් වාතය ලිස්‌සා යන අන්දමේ තියුණු මුහුණතක්‌ සහිත එන්ජිමක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය වූ අතර ඉංජිනේරුවන් එහි හැඩය තීරණය කළේ පිළිහුඬුවන් ආදර්ශයට ගනිමිනුයි. වේගයෙන් ජල තලය තුළට පිහිනා, මාළුවන් දඩයම් කරගැනීම කරන පිළිහුඬුවාට ජල තලය තුළට පහසුවෙන් ලිස්‌සා යා හැකි අන්දමේ හිසක්‌ සොබාදහම විසින් දායාද කර තිබෙනවා. මේ හැඩයට අනුරූප ව අධිවේගී දුම්රිය නිර්මාණය කළ ඉංජිනේරුවන්ට මේ කම්පන ශබ්දය ඇති වීම වළක්‌වාගත හැකි වූවාක්‌ පමණක්‌ නො ව සියයට 10කින් වැඩි වේගයකුත් සියයට 15කින් විදුලිබල පිරිමැසුමකුත් අත්පත් කරගැනීමට හැකි වී තිබෙනවා.


තුත්තිරිවලින් උපන් වෙල්ක්‍රෝ



ලැප්ටොප් පරිගණකයේ වයරය දිගහැරීම වළක්‌වාගන්නට, අත්බෑගයේ හෝ පාසල් බෑගයේ පියන වසාගන්නට, පාසල් සපත්තු ලේස්‌ නො දමා තද කරගන්නට, කුඩය දිග නො හැරෙන අන්දමින් ඔතාගන්නට තවත් බොහෝ කටයුතු සඳහා වෙල්ක්‍රෝ පටි ඔබ එදිනෙදා භාවිත කරනවාට සැකයක්‌ නැහැ. බොත්තමකින්, සිප් එකකින් හෝ ඇමුණුම් කටුවකින් කරන කාර්යය ඉතා පහසුවෙන් වෙල්ක්‍රෝ පටියක්‌ යොදාගනිමින් කළ හැකියි. කුඩා බලයක්‌ යෙදීමෙන් එය නැවත පහසුවෙන් දිගහැර ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයක්‌. මේ වෙල්ක්‍රෝ පටි ලොවට දායාද වූවේත් සොබාදහම ආදර්ශයට ගැනීමෙනුයි.

වෙල්ක්‍රෝ පටි නිපදවීමේ ගෞරවය හිමිවන්නේ ස්‌විස්‌ ඉංජිනේරු George de Mestralටයි. එක්‌ දහස්‌ නව සිය හතළිස්‌ ගණන්වල එක්‌ දිනක තම සුනඛයා සමඟ කඳු නැඟීමක නිරත වී නැවත නිවසට පැමිණීමෙන් ඔහුට පෙනී යන්නේ තමාගේ කලිසම හා සුනඛයාගේ ඇඟ පුරා තුත්තිරි වැනි ගෙඩි විශේෂයක්‌ (Burr) ඇලවී ඇති බවයි. මේ පිළිබඳ ව උනන්දුවක්‌ දක්‌වන ඔහු මීට හේතුව කුමක්‌ දැයි එම ගෙඩි අන්වීක්ෂයෙන් පිරික්‌සා බලනවා. එහි දී ඒවායේ තන්තුවල කෙළවර ඇති කොකු වැනි හැඩය මෙසේ කලිසම්වල ඇති සියුම් හිදැස්‌වල පැටලෙන බව එහි දී ඔහුට පෙනී යනවා. එම ඇලීමේ සංසිද්ධිය ප්‍රයෝජනයට ගත හැකි පරිදි කෘත්‍රිම ව යමක්‌ නිපදවීමට ඔහු කල්පනා කරන්නේ ඉන් පසුවයි. එම නිපදවීම පිළිබඳ පර්යේෂණ වසර ගණනාවක්‌ තිස්‌සේ ඇදී යන අතර අවසානයේ ඔහු එක්‌ පැත්තක්‌ කුඩා තොණ්‌ඩු වැනි ව්‍යුහයන් ගෙන් හා අනෙක්‌ පැත්ත නම්‍යශීලී කොකු වැනි ව්‍යුහයන් ගෙන් සමන්විත පටි ද්විත්වයක්‌ සකසනවා. 1955 දී ඔහු මේ සඳහා පේටන්ට්‌ අයිතිය ලබාගන්නා අතර එය ලොව පුරා ජනප්‍රිය යෙදුමක්‌ බවට පත් වන්නේ 1960 ගණන්වල නාසා ආයතනය මේ නිර්මාණය තම ගගනගාමීන්ගේ ඇඳුම්වලට යොදාගැනීමත් සමඟයි. වෙල්ක්‍රෝ ලෙස අද අප මේ නිමැවුම පොදුවේ හැඳින්වූවත් එය සැබෑ ලෙස ම ඔහුගේ නිෂ්පාදනයේ වෙළෙඳ නාමයයි.


හූනු පාද සහිත නාසා රොබෝවන්

පෘෂ්ඨ දෙකක්‌ ඇලවීම සඳහා විවිධ ද්‍රව්‍ය මිනිසා නිපදවා තිබෙනවා. විවිධාකාරයේ ගම් වර්ග, ඇලවුම් ටේප් වර්ග මේ අතර වනවා. එහෙත් මේවා කැමැති විටෙක ගලවා නැවත නැවත භාවිත කරන්නට බැහැ. වෙල්ක්‍රෝ පටි මේ අතින් ඉදිරියෙන් සිටියත් ප්‍රයෝජනයට ගැනීමට නම් අදාළ පෘෂ්ඨයේ, කල් තබා එක්‌ වෙල්ක්‍රෝ පටි ලේයරයක්‌ අලවා තිබීමට සිදු වීම නිසා ඒවා යොදාගත හැකි අවස්‌ථා ද සීමාසහිතයි. අභ්‍යවකාශය මේ ඇලවීමේ අවශ්‍යතාව මතු වන ප්‍රධාන තැනක්‌. අභ්‍යවකාශ යානා, මධ්‍යස්‌ථාන ආදිය පිළිසකර කිරීමට අභ්‍යවකාශයේ ඇවිදින ගගනගාමීන්ට තම උපකරණ ආදිය තාවකාලික ව අලවා තැබීමට තැනක්‌ නොමැති නම් ඒවා ඉතා පහසුවෙන් කෙළවරක්‌ නැති අභ්‍යවකාශයේ නැවත නො පැමිණෙන සංචාරවල නිරත වීමට ඉඩ තිබෙනවා. මේ ගැටලුව විසඳීමට නාසා ආයතනයේ JPL පර්යේෂණායතනය හැරී ඇත්තේ හූනන් වෙතටයි.

හූනන් ඕනෑ ම පෘෂ්ඨයක නො වැටී කරක්‌ ගසන්නට උපන් හපන්කම් දක්‌වන සත්ත්ව විශේෂයක්‌ වන අතර උන්ගේ පාදවල කිසිදු මැලියම් විශේෂයක්‌ වැනි දෙයක්‌ අන්තර්ගත වන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා සැකසී ඇත්තේ සියුම් රෝම විශේෂයකින්. මේවා සෘජු ව පවතිද්දී කිසිදු ගැටලුවක්‌ නැති ව පෘෂ්ඨයක්‌ මත ඇවිද යා හැකි අතර මේ කෙඳි නැවී යන පරිදි බලයක්‌ යෙදූ විට ඒවා හා පෘෂ්ඨය අතර ඇති වන වැන්ඩවාල්ස්‌ බල නිසා එකිනෙක තාවකාලික ව ඇලී යනවා.

මේ මූලධර්මය යොදාගනිමින් ඕනෑ ම පෘෂ්ඨයක්‌ මත ඇලවිය හැකි පාදමක්‌ නිර්මාණය කිරීමට JPL ආයතනය සමත් ව තිබෙනවා. මෙය අභ්‍යවකාශයේ ද සාර්ථක ව අත්හදා බලා ඇති අතර ඉදිරියේ දී බහුල ව යොදාගනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මෙවැනි පාද යෙදූ LEMUR නම් රොබෝවකු පිළිබඳ සංකල්ප චිත්‍රයක්‌ නිකුත් කිරීමටත් එම ආයතනය කටයුතු යොදා තිබුණා. මීට අමතර ව ස්‌ටැන්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක්‌ මේ මූලධර්මය යොදාගනිමින් තමාගේ බර මෙන් 2,000 ගුණයක බරක්‌ ඇදගෙන ගිය හැකි කුඩා රොබෝවකු නිපදවා තිබුණා. මේ රොබෝවාට මේ හැකියාව ලැබී තිබෙන්නේ එහි බඩවතෙහි ඇති මෙවැනි, පෘෂ්ඨය දැඩි ව බදාගත හැකි කොටස උපකාරී කරගනිමින් බර ඇද නැවත එයින් මුදවාගෙන ඉදිරියට ගොස්‌ නැවත බර අදින ආකාරයට චක්‍රීය ව කටයුතු කිරීමට හැකි වීම හරහායි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...