Skip to main content

නිරතුරු කලබලකාරී අගනුවර මධ්‍යයේ පිහිටි ශාක හා සත්ත්ව ජෛවවිවිධත්වයෙන් අනූන තෙත්බිම් මධ්‍යස්‌ථානය...


ඉකුත් දා මාධ්‍යවේදීන් සඳහා පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලැබ තිබූ කොළඹ අවට තෙත්බිම් නිරීක්‌ෂණ චාරිකාවේ දී අධ්‍යාපනික වටිනාකමකින් යුක්‌ත වන ලෙස සැකසූ දර්ශනීය තෙත්බිමක්‌ වෙත ද මාධ්‍යවේදීන් රැගෙන යන ලදි. ඒ තලවතුගොඩ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මාවතේ පිහිටි දියසරු උයනයි.

මෙය වගුරු, ජලයෙන් යට වූ කැළෑ බිම්, විල් සහ පොකුණු වැනි තෙත්බිම් වාසස්‌ථාන ගණනාවකින් සමන්විත මෙරට මුල් ම නාගරික තෙත්බිම් මධ්‍යස්‌ථාන අතරින් එකකි. දියසරු උද්‍යානය පිහිටා තිබෙන්නේ ශ්‍රී ජයවර්ධපුර අභයභූමි කලාපය තුළ ය.

1980 දශකයේ රජයට පවරාගන්නා ලදුව වර්තමානයේ මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්‌ථාවෙන් (SLLRDC) පාලනය වන භූමිභාගයක්‌ වන මෙහි සමස්‌ත භූමි ප්‍රමාණය අක්‌කර 65කි (හෙක්‌ටයාර 24). මේ ස්‌ථානය අධ්‍යාපනය, තෙත්බිම සුරැකීම, වනජීවීන් සංරක්‌ෂණය සහ විඩාපත් සිත්වලට මානසික සුවය ලබා දීම යන අරමුණු පෙරදැරි ව ක්‍රියාත්මක වන බව ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කළ පාරිස්‌ථ විද්‍යාඥ (Ecologist) ධම්මි පින්දෙනිය මහත්මිය පැවසුවා ය.

මෑතක දී කොළඹ නගරය තෙත්බිම් නගරයක්‌ ලෙස රැම්සාර් සම්මුතිය විසින් පිළිගන්නා ලදි. දියසරු උයන කොළඹ තෙත්බිම් විද්‍යාත්මක හා තිරසර කළමනාකරණයකින් යුතු ව භාවිත වන බව ලොවට පෙන්නුම් කරන මුල් පෙළේ ආකෘතියකි.

දියසරු උද්‍යානයේ දැක්‌ම වන්නේ මිනිසුන් සහ වනජීවීන් අතර මනා සහජීවනයක්‌ ඇති කරලන සුදුසුතම ස්‌ථානයක්‌ බවට පත් වීම ය.

එහි මෙහෙවර ලෙස සඳහන් වන්නේ අධ්‍යාපනය, විනෝදය හා අත්දැකීම් හරහා නාගරික තෙත්බිම් සංරක්‌ෂණය සඳහා මිනිසුන් තුළ පෙලඹවීමක්‌ ඇති කිරීම ය.

සත්ත්ව හා ශාක ප්‍රජාව අළලා වන අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා විශ්වවිද්‍යාලවලින් ද වෙනත් ආයතවලින් ද පිරිස්‌ මෙහි පැමිණෙති. ඔවුන් සඳහා අධ්‍යයන පහසුකම්වලින් සමන්විත ගොඩනැ`ගිල්ලක්‌ මෙහි ඉදි වෙමින් පවතියි. මසකට වරක්‌ තෙත්බිම් සති අන්තයක්‌ ලෙස නම් කර මෙහි ඇති ජෛවවිවිධත්වයට අදාළ දේශනයක්‌ ද පැවැත්වෙන බව පින්දෙනිය මහත්මිය පැවසුවා ය.



පින්දෙනිය මහත්මියට අනුව මෙහි හඳුන් දිවියෝ පස්‌ දෙනෙක්‌ ගැවසෙති. දුරස්‌ථ සන්නිවේදන තාක්‌ෂණයන් ආධාරයෙන් ඔවුන් යනෙන තැන් නිරීක්‌ෂණය කෙරෙන අතර ඇතැම් විට මොවුන් රාත්‍රි කාලයේ දී නුගේගොඩ වැනි තරමක්‌ දුර බැහැර ප්‍රදේශවලට ද ගොස්‌ නැවත මේ ස්‌ථානයට පැමිණෙන බව වාර්තා වී ඇත.

දියසරු උයන කොළඹ හමු වන වනජීවීන් සැලකිය යුතු ගණනකට නිවහන සපයයි. ඒ අතර විවිධ පක්‌ෂී විශේෂ 80කට ආසන්න සංඛ්‍යාවක්‌, සමනළ විශේෂ 40කට ආසන්න සංඛ්‍යාවක්‌, බත් කූරන් විශේෂ 27ක්‌, මත්ස්‍ය විශේෂ 15ක්‌, උරග විශේෂ 27ක්‌ සහ ක්‌ෂීරපායි විශේෂ ආසන්න වශයෙන් 7ක්‌ වෙයි. (වවුලන් සහ හික්‌මීයන් හැර). තවත් ලොකු කුඩා ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකි.

ලෝකයෙන් වඳ වී යැමේ අවදානමට ලක්‌ ව සිටින දේශීය වශයෙන් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ ව සිටින හඳුන් දිවියා (Prionailurusviverrinus) මෙහි ගැවසෙන සාමාජිකයෙකි. දිය බල්ලා (Lutra lutra), හැල කිඹුලා (Crocodylus porosus), කළු වඳුරා (Semnopithecus vetulus) යන සත්ත්වයන් ද මෙහි දී දැකබලාගත හැකි ය. උද්‍යානයේ ශාක ජෛවවිවිධත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රාදේශීය තෙත්බිම් ශාක විශේෂ රැසක්‌ දියසරු උයනට හඳුන්වා දී තිබේ. එහි ප්‍රතිඵලය ලෙස මෙහි සත්ත්වයන්ට වාසස්‌ථාන සපයන ශාක විශේෂ 150කට ආසන්න සංඛ්‍යාවක්‌ පවතියි.

පක්‌ෂීන් සලකන කල මෙහි බහුලව ම ගැවසෙන්නේ දම් කිතලා ය. කිරලා, සේරු, දියකාවා ද මෙහි ගැවසෙති. පක්‌ෂි පර්යටන සමයේ දී Rose Starling නම් පක්‌ෂියා නොවරදවා ම මෙහි පැමිණෙන බව පින්දෙනිය මහත්මිය පැවසුවා ය. බළල් සේරා නම් පක්‌ෂියා මෙහි විශේෂයෙන් අභිජනනය කෙරෙන බව ද ඇය පවසයි. පක්‌ෂීන් නැරඹීම සඳහා මෙහි විශේෂ කුරුලු නැරඹුම් මධ්‍යස්‌ථානයක්‌ වෙයි.
කොළඹ අවට පරිසරයේ විරල කෘමියකු වන බත් කූරා ද මෙහි ඇති දිය තටාකවල ජලජ පැළෑටි අතරේ සිත් සේ ගැවසෙනු දක්‌නට හැකි ය.

සමනළ උයන ද මෙහි ඇති ආකර්ෂණීය ස්‌ථානයකි.

මේ ස්‌ථානය ඉතා ම ක්‍රමානුකූල ලෙස නරඹන්නන්ට ප්‍රිය උපදවන හා දැනුම වැඩෙන අයුරින් සකස්‌ කර ඇති බව මාධ්‍යවේදීන්ට දැකගත හැකි විය. පරිසරයේ ඇති ශාක හා සත්ත්ව ප්‍රජාව සම්බන්ධ තොරතුරු අන්තර්ගත පුවරු උද්‍යානයේ තැන් තැන්වල සවි කර ඇත. ඇතැම් ශාක අසල හඳුනාගැනීමේ පහසුව සඳහා ඒවා හැඳින්වෙන නම් සහිත පුවරු සවි කර තිබේ.



දියසරු උයන නරඹන්නන් සඳහා විවෘත කර තිබෙන්නේ 2015 වසරේ සිට ය. උදේ 6 සිට සවස 6 දක්‌වා විවෘත ව ඇති මේ ස්‌ථානය නැරඹීමට වැඩිහිටියන් ගෙන් රුපියල් 100ක්‌ ද දරුවන් ගෙන් රුපියල් 50ක්‌ ද අය කෙරෙයි. කලින් අමතා ම`ගපෙන්වන්නකු වෙන් කරවාගත හැකි බවත් කලින් වෙන් කරවාගෙන පාසල් සිසුන්ට කණ්‌ඩායම් ලෙස පැමිණිය හැකි බවත් පින්දෙනිය මහත්මිය පවසන්නී ය. ඇයට අනුව මේ ස්‌ථානයේ පසුබිම් දර්ශන සහිත ඡායාරූප ගැනීම සඳහා මංගල යුවළවල් ද මෙහි පැමිණෙති. වෙනත් නගරබද උද්‍යානයක තරම් නැතත් පෙම්වතුන් ද මෙහි පැමිණ බංකු මත සාමීචියෙහි යෙදෙමින් ගත කරනු දක්‌නට ලැබෙයි. හබල්වලින් යාත්‍රා කළ හැකි බෝට්‌ටු සවාරි ද මෙහි ඇති විනෝදාත්මක පහසුකම් අතර වේ.

නාගරික කලාපය පිහිටා තිබෙන ස්‌ථානයක්‌ ලෙස දියසරු උද්‍යානය නරඹන්නන්ට, නගරයට ආවේණික රථවාහන තදබදයෙන්, නාගරික ශබ්ද දූෂණයෙන් සහ මානසික ආතතියෙන් නිස්‌කලංක වූ විරාමයක්‌ ලබාගැනීමට කදිම අවස්‌ථාවක්‌ උදා කර දී ඇත. උද්‍යානය නගර මධ්‍යය ආසන්නයේ පිහිටා ඇති බැවින් තෙත්බිමක අසිරිය විඳගැනීම පිණිස නාගරික නරඹන්නන්ට දුර බැහැර ගෙවා පැමිණිය යුතු නො වේ. නරඹන්නන්ට ගහකොළ අතරින් දිවෙන දිය පහරවල යාත්‍රා කරමින් වනදිවි අසිරිය දැක බලාගැනීමට අවස්‌ථාව සලසන බෝට්‌ටු සවාරියක්‌ සහිත කොළඹ පිහිටි එක ම තෙත්බිම මෙය වේ.

ව්‍යාපෘති ඉංජිනේරුවකු යටතේ සිටින 25ක කාර්ය මණ්‌ඩලයකින් පාලනය වන මෙහි වැසිකිළි පහසුකම් සහ ආහාර අනුභව කිරීමට ස්‌ථානයක්‌ ඇතත් ආහාර මිල දී ගැනීමට ස්‌ථානයක්‌ නැතිකම දැනට පවතින අඩුපාඩුවකි.

Comments