ඊශ්‍රායලයේ ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ ද සහයෝගීත්වය ඇති sච්ජැෂඛ නම් ලාභ නො ලබන ආයතනයක් විසින් අභ්‍යවකාශගත කරනු ලැබූ මේ සඳ යානයෙහි තාක්ෂණික පර්යේෂණ සඳහා වෙන් වූ උපකරණ එතරම් දකින්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට එහි වූයේ ඊශ්‍රායල කොඩිය, ජාතික ගීය, බයිබලයේ පිටපතක්, ළමයින් විසින් එම මෙහෙයුම පිළිබඳ ව ඇඳි චිත්‍ර ආදියයි. ඒ එමඟින් අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ ව ඊශ්‍රායලයානුවන් තුළ උද්යෝගය වර්ධනය කිරීම එහි එක් ඉලක්‌කයක් වී තිබුණු නිසයි. එමෙන් ම ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය පාදක කරගත් Arch Mission Foundation නම් ලාභ නො ලබන පදනමේ භාණ්‌ඩ කිහිපයක් ද මේ අතර තිබී තිබෙනවා. මානව වර්ගයාට මුහුණ දීමට සිදු වන විනාශයක දී මානව ශිෂ්ටාචාරය විනාශ නො වී පවත්වාගැනීමේ ඉලක්‌කයෙන් ක්‍රියාත්මක වන මේ පදනම විකිපීඩියා පිටු මිලියන 30ක් අඩංගු දත්ත ගබඩාවක් හා මානව ජාන සාම්පල ඇතුළු ද්‍රව්‍ය තොගයක් මේ මෙහෙයුමට එක් කර තිබෙනවා. ඉලොන් මස්‌ක් 2018 වසරේ දී ටෙස්‌ලා රෝඩ් ස්‌ටාර් රථයක් අභ්‍යවකාශගත කළ විටත් මේ පදනම තම ද්‍රව්‍ය පාර්සලයක් එහි භාණ්‌ඩ කුටීරයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.
නො වැනසුණු එක ම දේ
මේ සතා පිළිබඳ ව ඔබ වැඩිපුර අසා නැතිවාට සැක නැහැ. එහෙත් ලෝකයේ ජීවත් වන සතුන් අතරින් විනාශ කිරීමට අපහසු ම සතා කවුද යන පැනයට පිළිතුර සොයා ගිය හොත් ඔබට ලැබෙන නම වන්නේ ටාර්ඩිග්‍රේඩාවන්ගේ නමයි. සඳ මතට ඇද වැටී වත් විනාශ නො වෙන්නේ ඒ හයිකාරකම් නිසා මයි.
හුරුබුහුටි ක්ෂුද්‍ර ජීවියා
ටාර්ඩිග්‍රේඩාවන් අයත් වන්නේ අන්වීක්ෂවලින් පමණක් දැකිය හැකි ක්ෂුද්‍ර ජීවීන්ගේ ලෝකයටයි. 1773 දී ජර්මානු ජාතික සත්ත්ව විද්‍යාඥ Johann August විසින් මේ සත්ත්වයා මුල් වරට හඳුනාගන්නා ලද අතර මුලින් ම ඊට තබා ඇත්තේ කුඩා ජල වළසා යන නමයි. පසුව ලතින් භාෂාවෙන් සෙමෙන් පියවර තබන්නන් යන අර්ථයෙන් ටාර්ඩිග්‍රේඩාවන් (Tardigrades) යන නම උන්ට තබා තිබෙනවා. විවිධ ටාර්ඩිග්‍රේඩාවන් විශේෂ ලොව පුරා විවිධ ස්‌ථානවල දැකිය හැකි අතර මේ සතුන්ගේ වසර මිලියන 530ක් පැරැණි ෆොසිල හමු ව තිබෙනවා. ප්‍රමාණයෙන් මිලි මීටරයක පමණ දිගක් ඇති මේ සතා පාද අටකින් යුක්‌ත වන අතර ඒ පාද කෙළවර වළස් නිය වැනි නිය පහුරු දැකිය හැකියි. මහත පණුවකු මෙන් දිස් වන උගේ කයේ හිස කොටසේ ආහාර උරා බීම කළ හැකි මුවක් තිබෙනවා. විනිවිද පෙනෙනසුලු ශරීරයක් ඇති ටාර්ඩිග්‍රේඩාවන් ලොව පුරා සැම තැනක ම පාහේ පෙඳ, පාසි හා ලයිකන ආදිය ඇති තෙතමනය සහිත ස්‌ථානවල බහුල ව දැකිය හැකි අතර උන් යෑපෙන්නේ ඇල්ගී වැනි ශාක කොටස්‌වල ඇති දියරමය පෝෂ්‍ය පදාර්ථ උරා බීමෙනුයි. අඩු ප්‍රබලතාවකින් යුතු අන්වීක්ෂයකින් පවා දැකිය හැකි මේ සතුන් බැලූ බැල්මට හුරුබුහුටි ස්‌වභාවයක් දරනවා. ජල වළසුන් (Water bears) එසේත් නැත්නම් පෙඳපාසි ඌරු පැටවුන් (Moss piglets) යනාදි තරමක් හුරතල් නම්වලින් ද උන් ව හඳුන්වන්නේ මේ නිසයි.
නිසල නින්ද
නො වැනසිය හැකි ජීවියා
ලොව පුරා සැම තැනක ම පාහේ දැකිය හැකි මේ ක්ෂුද්‍ර සතුන්, ගිනි කඳු තුළ පවා සොයාගෙන ඇති අතර සෙල්සියස් අංශක 151ක් වැනි උෂ්ණත්වයක දී පවා අපහසුවකින් තොර ව ජීවිතය රැකගැනීමට සමත්. එමෙන් ම සෙල්සියස් අංශක Rණ 272ක් (-272 C0) තරම් අධික ශීත පරිසරයක වුවත් එය අක්‍රිය වන්නේ නැහැ. එමෙන් ම පීඩනය සම්බන්ධයෙන් ගත් කල සාගරයේ ගැඹුරු ම තැන ඇති පීඩනය මෙන් හය ගුණයක පීඩනයක් වුවත් මේ ජීවියාට දරාගත හැකියි. අනෙක් ජීවීන් සහමුලින් ම වනසා දැමිය හැකි ඇස්‌ටරොයිඩ ගැටුමක දී වුවත් තම ජීවිතය රැකගැනීමට මේ අනුව ටාර්ඩිග්‍රේඩාවන් සමත්කම් දක්‌වනු ඇතැයි සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ නිසයි.
මෙයට අමතර ව මිනිස් වර්ගයාට මරණීය විය හැකි එක්‌ස් කිරණ මාත්‍රාව මෙන් 1,000 ගුණයක මාත්‍රාවකට වුවත් නිරාවරණය වීත් ජීවිතය රැකගැනීමට මේ ගණන්කාරයා සමත්. එමෙන් ම පරිසරයේ ලවණ මට්‌ටමෙහි සිදු වන වෙනස්‌කම්වලට මුහුණ දීමට ද එය සමත්කම් දක්‌වනවා. ටාර්ඩිග්‍රේඩාවන්ගේ මේ ජීවිතය රැකගැනීමේ හැකියාවේ සීමා බලනු පිණිස 2007 වසරේ දී යුරෝපීය පර්යේෂකයන් පිරිසක් FOTON - M3 රොකට් යානය හරහා මේ සතුන් සමූහයක් අභ්‍යවකාශයට ගෙන යනු ලැබූ අතර එහි දී දින 10ක් තිස්‌සේ අභ්‍යවකාශයේ ඇති රික්‌ත පරිසරයට හා විකිරණවලට නිරාවරණය කොට තබනු ලැබුවා. නැවත පොළොවට ගෙන ඒමෙන් පසු පිරික්‌සා බැලීමේ දී පෙනී ගොස් තිබුණේ උන් ගෙන් සියයට 68ක් ම (68%) බාධාවකින් තොර ව එම අභ්‍යවකාශ අභියෝගය ජයගෙන තිබූ බවයි. අභ්‍යවකාශය තුළත් සාර්ථක ව දිවි රැකගැනීමේ මේ හැකියාව, මේ සතුන් අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණි ජීව විශේෂයක් වීමට ඉඩ ඇති ද යන සැකය මතු කර තිබුණා. කෙසේ වෙතත් මේ ජීවීන්ගේ සැකැස්‌ම පෘථිවියේ දුෂ්කර තත්ත්වවලට මුහුණ දීමට සැකසුණු ස්‌වභාවයක් මිස පිටසක්‌වළින් පැමිණීම නිසා ඇති වුණු ස්‌වභාවයක් බව පැවසීමට තරම් විද්‍යාත්මක සාක්ෂි ඇත්තේ නැහැ.
හඳේ දිවි රැකගනී වි ද?
සඳ මත සිදු වූ කඩා වැටීමේ දී ටාර්ඩිග්‍රේඩාවන් දිවි රැකගැනීමට සමත් වූවා යෑයි බොහෝ දුරට විශ්වාස කළ හැකි වුවත් උන් සඳ මත පැතිර යැමට ඉඩක් ඇත්තේ නැහැ. මීට හේතුව උන්ට උන්ගේ ගුප්ත ජීවනයෙන් මිදී යළි සක්‍රිය බවට පත් වීමට අවශ්‍ය තෙතමනය හා ඔක්‌සිජන් සඳ මත දකින්නට නොමැති වීමයි. අනෙක් අතට සූර්ය විකිරණවලට දිගින් දිගට ම Rජු ව නිරාවරණය වුව හොත් මේ ටාර්ඩිග්‍රේඩාවන් එතරම් දිගු කාලයක් ගත නො වී විනාශ වී යනු ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් ටාර්ඩිග්‍රේඩාවන්ගේ සඳ ගමන ජෛව විද්‍යාත්මක ව ගත් කල සුවිශේෂී සිදුවීමක් බවට සැකයක් නැහැ. අනාගතයේ දී වසර ගණනාවක් ගත වන දිගු අභ්‍යවකාශ සංචරණයන් සඳහා මිනිසුන්ට ද ටාර්ඩිග්‍රේඩාවන්ගේ මේ අපූරු දිවි රැකගැනීමේ හැකියාවෙන් පාඩම් ඉගෙනගැනීමට හැකි වීමට ඉඩ තිබෙනවා.
Comments
Post a Comment