Skip to main content

සඳේ ගසා වත් වැනසිය නොහැකි සෙමෙන් පා තබන්නා ටාර්ඩිග්‍රේඩ්...


2019 වසරේ පෙබරවාරි මාසයේ 21 වැනි දා ස්‌පේස්‌ එක්‌ස්‌ සමාගමේ ෆැල්කන් නයින් රොකට්‌ටුව කේප් කැනවරල් තුඩුවෙන් ගුවන්ගත වුණා. ඒ ඉතා සුවිශේෂී භාණ්‌ඩ තොගයක්‌ රැගෙනයි. ඒ අතර වැදගත් ම දේ වූයේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත බෙයාර්ෂීට්‌ නම් කුඩා සඳ යානයයි. මුළු ලොවෙන් ම සඳට පා තබනු ලැබූ හතරවැනි රට බවට පත් වීමේ ඊශ්‍රායල් සිහිනය ද එහි ගැබ් ව තිබුණා. මේ යානය සාර්ථක ව සඳ වටා කක්ෂගත වූ අතර අවසානයේ සඳ මතට ගොඩබැසීමට උත්සාහ කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ දීයි. එහෙත් සියලු දෙනාගේ ම ප්‍රාර්ථනා බොඳ කරමින් චන්ද්‍ර පෘෂ්ඨයට මීටර් එක සිය පනහක්‌ පමණ දුර තිබිය දී එහි සබඳතා ඇනහිටි අතර එය සඳ මතට කඩා වැටුණු බව පසු ව තහවුරු වුණා.

ඊශ්‍රායලයේ ජාතික අභ්‍යවකාශ ඒජන්සියේ ද සහයෝගීත්වය ඇති sච්ජැෂඛ නම් ලාභ නො ලබන ආයතනයක්‌ විසින් අභ්‍යවකාශගත කරනු ලැබූ මේ සඳ යානයෙහි තාක්ෂණික පර්යේෂණ සඳහා වෙන් වූ උපකරණ එතරම් දකින්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට එහි වූයේ ඊශ්‍රායල කොඩිය, ජාතික ගීය, බයිබලයේ පිටපතක්‌, ළමයින් විසින් එම මෙහෙයුම පිළිබඳ ව ඇඳි චිත්‍ර ආදියයි. ඒ එමඟින් අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ ව ඊශ්‍රායලයානුවන් තුළ උද්යෝගය වර්ධනය කිරීම එහි එක්‌ ඉලක්‌කයක්‌ වී තිබුණු නිසයි. එමෙන් ම ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නගරය පාදක කරගත් Arch Mission Foundation නම් ලාභ නො ලබන පදනමේ භාණ්‌ඩ කිහිපයක්‌ ද මේ අතර තිබී තිබෙනවා. මානව වර්ගයාට මුහුණ දීමට සිදු වන විනාශයක දී මානව ශිෂ්ටාචාරය විනාශ නො වී පවත්වාගැනීමේ ඉලක්‌කයෙන් ක්‍රියාත්මක වන මේ පදනම විකිපීඩියා පිටු මිලියන 30ක්‌ අඩංගු දත්ත ගබඩාවක්‌ හා මානව ජාන සාම්පල ඇතුළු ද්‍රව්‍ය තොගයක්‌ මේ මෙහෙයුමට එක්‌ කර තිබෙනවා. ඉලොන් මස්‌ක්‌ 2018 වසරේ දී ටෙස්‌ලා රෝඩ් ස්‌ටාර් රථයක්‌ අභ්‍යවකාශගත කළ විටත් මේ පදනම තම ද්‍රව්‍ය පාර්සලයක්‌ එහි භාණ්‌ඩ කුටීරයට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.


නො වැනසුණු එක ම දේ

ප්‍රධාන එන්ජිමේ ඇති වූ දෝෂයක්‌ සමඟ සබඳතාවන් බිඳ වැටී පැයට කිලෝ මීටර 500ක පමණ වේගයෙන් මේ යානය සඳ මතට කඩා වැටෙන්නට ඇතැයි සැලකෙනවා. කෙසේ වෙතත් මේ ගැටීම සමඟ යානය තුළ අඩංගු වූ බොහෝ දේ විනාශ වී යන්නට ඇතත් රැගෙන ගිය එක්‌ දෙයක්‌ නම් විනාශ නො වී ඇති බව Arch Mission පදනමේ නිර්මාතෘ Nova Spivack විශ්වාසය පළ කරනවා. ඒ ඔවුන් එහි යෑවූ ටාර්ඩිග්‍රේඩාවන් (Tardigrades) තොගයයි. මේ අනුව මිනිසා ගෙන් පසුව සඳ මතට ගිය පළමු පෘථිවි ජීව විශේෂය ලෙස ටාර්ඩිග්‍රේඩාවන් ඉතිහාසගත වනවා.

මේ සතා පිළිබඳ ව ඔබ වැඩිපුර අසා නැතිවාට සැක නැහැ. එහෙත් ලෝකයේ ජීවත් වන සතුන් අතරින් විනාශ කිරීමට අපහසු ම සතා කවුද යන පැනයට පිළිතුර සොයා ගිය හොත් ඔබට ලැබෙන නම වන්නේ ටාර්ඩිග්‍රේඩාවන්ගේ නමයි. සඳ මතට ඇද වැටී වත් විනාශ නො වෙන්නේ ඒ හයිකාරකම් නිසා මයි.


හුරුබුහුටි ක්ෂුද්‍ර ජීවියා

ටාර්ඩිග්‍රේඩාවන් අයත් වන්නේ අන්වීක්ෂවලින් පමණක්‌ දැකිය හැකි ක්ෂුද්‍ර ජීවීන්ගේ ලෝකයටයි. 1773 දී ජර්මානු ජාතික සත්ත්ව විද්‍යාඥ Johann August විසින් මේ සත්ත්වයා මුල් වරට හඳුනාගන්නා ලද අතර මුලින් ම ඊට තබා ඇත්තේ කුඩා ජල වළසා යන නමයි. පසුව ලතින් භාෂාවෙන් සෙමෙන් පියවර තබන්නන් යන අර්ථයෙන් ටාර්ඩිග්‍රේඩාවන් (Tardigrades) යන නම උන්ට තබා තිබෙනවා. විවිධ ටාර්ඩිග්‍රේඩාවන් විශේෂ ලොව පුරා විවිධ ස්‌ථානවල දැකිය හැකි අතර මේ සතුන්ගේ වසර මිලියන 530ක්‌ පැරැණි ෆොසිල හමු ව තිබෙනවා. ප්‍රමාණයෙන් මිලි මීටරයක පමණ දිගක්‌ ඇති මේ සතා පාද අටකින් යුක්‌ත වන අතර ඒ පාද කෙළවර වළස්‌ නිය වැනි නිය පහුරු දැකිය හැකියි. මහත පණුවකු මෙන් දිස්‌ වන උගේ කයේ හිස කොටසේ ආහාර උරා බීම කළ හැකි මුවක්‌ තිබෙනවා. විනිවිද පෙනෙනසුලු ශරීරයක්‌ ඇති ටාර්ඩිග්‍රේඩාවන් ලොව පුරා සැම තැනක ම පාහේ පෙඳ, පාසි හා ලයිකන ආදිය ඇති තෙතමනය සහිත ස්‌ථානවල බහුල ව දැකිය හැකි අතර උන් යෑපෙන්නේ ඇල්ගී වැනි ශාක කොටස්‌වල ඇති දියරමය පෝෂ්‍ය පදාර්ථ උරා බීමෙනුයි. අඩු ප්‍රබලතාවකින් යුතු අන්වීක්ෂයකින් පවා දැකිය හැකි මේ සතුන් බැලූ බැල්මට හුරුබුහුටි ස්‌වභාවයක්‌ දරනවා. ජල වළසුන් (Water bears) එසේත් නැත්නම් පෙඳපාසි ඌරු පැටවුන් (Moss piglets) යනාදි තරමක්‌ හුරතල් නම්වලින් ද උන් ව හඳුන්වන්නේ මේ නිසයි.


නිසල නින්ද
 


සඳ මතට ගොඩබට පළමු හා එක ම පෘථිවි ජීවියා ලෙස සැලකිය හැකි වුණත් මිනිසා ගෙන් පසු සඳ මත පියවර තැබූ පළමු ජීවියා ලෙස ටාර්ඩිග්‍රේඩාවන් සැලකීමට නොහැකියි. මීට හේතුව මේ ටාර්ඩිග්‍රේඩාවන් මේ වන විට සිටින්නේ ගුප්ත ජීවන (cryptobiosis) තත්ත්ව යටතේ වීම නිසයි. අසීරු පාරිසරික සාධක ඇති කාල සීමාවන්වල තම ජීවය රැකගැනීමට ස්‌වභාවධර්මයේ සමහර ශාක හා සතුන් තම පරිවෘත්තීය ක්‍රියාවලිය නො දැකිය හැකි තරම් මන්දනය කර මෙලෙස ගුප්ත ජීවන තත්ත්වයට එළඹෙන අතර නැවතත් සුදුසු පාරිසරික තත්ත්ව එළඹුණු පසු සක්‍රීය තත්ත්වයට පැමිණෙනවා. ටාර්ඩිග්‍රේඩාවන් මේ කටයුත්තෙහි ලා අති විශේෂඥයන් ලෙස සැලකිය හැකියි. උන් ශරීරයෙහි ඇති ජලය ඉවත් කරගනිමින් තමන්ගේ අත්, පා හා මුව හකුළුවාගනිමින් කුඩා බෝලයක්‌ බවට පෙරැළෙනවා. මරණයට ලක්‌ වූවාක්‌ බඳු මේ තත්ත්වය යටතේ කිසිදු ආහාරයක්‌ නොමැති ව උන්ට වසර ගණනාවක්‌ නො ව දශක ගණනාවක්‌ වුවත් ගත කළ හැකියි. වසර තිහක්‌ වැනි කාලයක්‌ තිස්‌සේ මෙලෙස ජීවිතය රැකගත් ටාර්ඩිග්‍රේඩාවන් පිළිබඳ ව වාර්තා වී ඇති අතර ශතවර්ෂයක්‌ වුවත් කල් මෙලෙස ජීවත් වීමට උන්ට හැකියාව ඇතැයි සැලකෙනවා. ජලය හා ඔක්‌සිජන් සහිත පරිසරයකට නැවත නිරාවරණය වූ විට උන්ට පැය කිහිපයක්‌ ඇතුළත කිසිවක්‌ සිදු නො වූ විලස නැවත සක්‍රිය තත්ත්වයට පැමිණිය හැකියි.


නො වැනසිය හැකි ජීවියා

 

මේ වියළි ආරක්ෂිත තත්ත්වය යටතේ සිටින ටාර්ඩිග්‍රේඩාවන්ට බොහෝ කලක්‌ ජීවත් විය හැකි වීමට අමතර ව අධික උෂ්ණත්වය, පීඩනය, විකිරණය මෙන් ම රික්‌තයක්‌ සහිත පරිසර තත්ත්ව යටතේ වුවත් අසාමාන්‍ය ලෙස ජීවිතය ගැට ගසාගත හැකියි.

ලොව පුරා සැම තැනක ම පාහේ දැකිය හැකි මේ ක්ෂුද්‍ර සතුන්, ගිනි කඳු තුළ පවා සොයාගෙන ඇති අතර සෙල්සියස්‌ අංශක 151ක්‌ වැනි උෂ්ණත්වයක දී පවා අපහසුවකින් තොර ව ජීවිතය රැකගැනීමට සමත්. එමෙන් ම සෙල්සියස්‌ අංශක Rණ 272ක්‌ (-272 C0) තරම් අධික ශීත පරිසරයක වුවත් එය අක්‍රිය වන්නේ නැහැ. එමෙන් ම පීඩනය සම්බන්ධයෙන් ගත් කල සාගරයේ ගැඹුරු ම තැන ඇති පීඩනය මෙන් හය ගුණයක පීඩනයක්‌ වුවත් මේ ජීවියාට දරාගත හැකියි. අනෙක්‌ ජීවීන් සහමුලින් ම වනසා දැමිය හැකි ඇස්‌ටරොයිඩ ගැටුමක දී වුවත් තම ජීවිතය රැකගැනීමට මේ අනුව ටාර්ඩිග්‍රේඩාවන් සමත්කම් දක්‌වනු ඇතැයි සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ නිසයි.

මෙයට අමතර ව මිනිස්‌ වර්ගයාට මරණීය විය හැකි එක්‌ස්‌ කිරණ මාත්‍රාව මෙන් 1,000 ගුණයක මාත්‍රාවකට වුවත් නිරාවරණය වීත් ජීවිතය රැකගැනීමට මේ ගණන්කාරයා සමත්. එමෙන් ම පරිසරයේ ලවණ මට්‌ටමෙහි සිදු වන වෙනස්‌කම්වලට මුහුණ දීමට ද එය සමත්කම් දක්‌වනවා. ටාර්ඩිග්‍රේඩාවන්ගේ මේ ජීවිතය රැකගැනීමේ හැකියාවේ සීමා බලනු පිණිස 2007 වසරේ දී යුරෝපීය පර්යේෂකයන් පිරිසක්‌ FOTON - M3 රොකට්‌ යානය හරහා මේ සතුන් සමූහයක්‌ අභ්‍යවකාශයට ගෙන යනු ලැබූ අතර එහි දී දින 10ක්‌ තිස්‌සේ අභ්‍යවකාශයේ ඇති රික්‌ත පරිසරයට හා විකිරණවලට නිරාවරණය කොට තබනු ලැබුවා. නැවත පොළොවට ගෙන ඒමෙන් පසු පිරික්‌සා බැලීමේ දී පෙනී ගොස්‌ තිබුණේ උන් ගෙන් සියයට 68ක්‌ ම (68%) බාධාවකින් තොර ව එම අභ්‍යවකාශ අභියෝගය ජයගෙන තිබූ බවයි. අභ්‍යවකාශය තුළත් සාර්ථක ව දිවි රැකගැනීමේ මේ හැකියාව, මේ සතුන් අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණි ජීව විශේෂයක්‌ වීමට ඉඩ ඇති ද යන සැකය මතු කර තිබුණා. කෙසේ වෙතත් මේ ජීවීන්ගේ සැකැස්‌ම පෘථිවියේ දුෂ්කර තත්ත්වවලට මුහුණ දීමට සැකසුණු ස්‌වභාවයක්‌ මිස පිටසක්‌වළින් පැමිණීම නිසා ඇති වුණු ස්‌වභාවයක්‌ බව පැවසීමට තරම් විද්‍යාත්මක සාක්ෂි ඇත්තේ නැහැ.


හඳේ දිවි රැකගනී වි ද?

සඳ මත සිදු වූ කඩා වැටීමේ දී ටාර්ඩිග්‍රේඩාවන් දිවි රැකගැනීමට සමත් වූවා යෑයි බොහෝ දුරට විශ්වාස කළ හැකි වුවත් උන් සඳ මත පැතිර යැමට ඉඩක්‌ ඇත්තේ නැහැ. මීට හේතුව උන්ට උන්ගේ ගුප්ත ජීවනයෙන් මිදී යළි සක්‍රිය බවට පත් වීමට අවශ්‍ය තෙතමනය හා ඔක්‌සිජන් සඳ මත දකින්නට නොමැති වීමයි. අනෙක්‌ අතට සූර්ය විකිරණවලට දිගින් දිගට ම Rජු ව නිරාවරණය වුව හොත් මේ ටාර්ඩිග්‍රේඩාවන් එතරම් දිගු කාලයක්‌ ගත නො වී විනාශ වී යනු ඇතැයි විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් ටාර්ඩිග්‍රේඩාවන්ගේ සඳ ගමන ජෛව විද්‍යාත්මක ව ගත් කල සුවිශේෂී සිදුවීමක්‌ බවට සැකයක්‌ නැහැ. අනාගතයේ දී වසර ගණනාවක්‌ ගත වන දිගු අභ්‍යවකාශ සංචරණයන් සඳහා මිනිසුන්ට ද ටාර්ඩිග්‍රේඩාවන්ගේ මේ අපූරු දිවි රැකගැනීමේ හැකියාවෙන් පාඩම් ඉගෙනගැනීමට හැකි වීමට ඉඩ තිබෙනවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...