Skip to main content

යුදබිමෙහි නවීන තාක්ෂණය...



යුදබිම හා තාක්ෂණය එකිනෙකින් වෙන් කළ නොහැකි ද්විත්වයක්‌. අතීතයේ දැවැන්ත ගල්කුට්‌ටි බළකොටු වෙත විසි කරන කැටපෝලවල සිට අද මහා නගර එක සැණින් විනාශ කර දැමිය හැකි න්‍යෂ්ටික මිසයිල දක්‌වා යුද ශක්‌තිය දියුණු වී තිබෙන්නේ ඒ ඒ කාලයේ මතු වූ තාක්ෂණික දියුණුවට සාපේක්ෂවයි. ප්‍රබල යුද ශක්‌තියක්‌ තිබීම සැම රටක්‌ ම තම ප්‍රබලත්වය පවත්වාගැනීමේ දී තීරණාත්මක ව බලපාන ප්‍රධාන සාධකයක්‌. එම නිසා යුද්ධයක පැටලී නො සිටියත්, සැම ප්‍රබල රටක්‌ ම තම යුද ශක්‌තිය වැඩිදියුණු කරගැනීමට අඛණ්‌ඩ ව පර්යේෂණ පවත්වනවා. එක්‌තරා අතකින් බැලූ කල එමඟින් තාක්ෂණයේ දියුණුවටත් සිදු වන්නේ විශාල මෙහෙයක්‌. යුද කටයුතු සඳහා වැඩිදියුණු කළ තාක්ෂණික හැකියාවන් ගණනාවක්‌ වෛද්‍ය උපාංග ආදි සාමාන්‍ය ජනතාවගේ හිතසුව පිණිස යොදාගැනෙන ආකාරය අප දැක තිබෙනවා. එමෙන් ම සාමාන්‍ය විද්‍යා ලෝකයේ අත්පත් කරගන්නා සැම නව තාක්ෂණික දියුණුවක්‌ ම තම ආයුධ නවීකරණය කරගැනීමට යොදාගත හැක්‌කේ කෙසේ දැයි සොයා බැලීමට මේ යුද පර්යේෂකයන් අමතක කරන්නේ ද නැහැ.

මෙවැනි නව තාක්ෂණික යෙදුම් හරහා ලොව පුරා යුද කටයුතු සිදු වන ආකාරය විශාල ලෙස වෙනස්‌ වනවා. උදාහරණයක්‌ ලෙස මෑතකාලීන ව කරළියට පැමිණි ඩ්‍රෝන යානා නිසා සෙබළ ජීවිත අවදානමට ලක්‌ කිරීමෙන් තොර ව ඔත්තු බැලීමේ කටයුතු, ප්‍රහාර එල්ල කිරීමේ කටයුතු ආදිය ඉතා පහසුවෙන් කරගැනීමට හමුදාවන්ට හැකි ව තිබෙනවා. මෙවැනි, තමාගේ යුද සෙබළුන් හෝ යුද සම්පත් හෝ අවදානමකට ලක්‌ නො කර දුරස්‌ථ ව සිට එල්ල කළ හැකි ප්‍රහාර කෙරෙහි බොහෝ රටවල වැඩි අවධානයක්‌ යොමු ව තිබෙන අයුරු දැකිය හැකියි. සයිබර් ප්‍රහාර පවා යුද බිමේ ප්‍රබල අවියක්‌ බවට පත් ව ඇත්තේ මේ නිසයි. අනාගතයේ දී අභ්‍යවකාශයේ සිට එල්ල කරනු ලබන කිරණ ප්‍රහාර, භූ කම්පා කෘත්‍රිම ව ඇති කිරීම වැනි අප බලාපොරොත්තු නො වන අන්දමේ යුද උපක්‍රම කරළියට පැමිණීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් මේ ලිපියේ දැක්‌වෙන්නේ දැනට යුද බිමට පැමිණ ඇති සහ පැමිණෙමින් පවතින නවීන තාක්ෂණික යුද උපාංගයි. අද පවතින බොහෝ යුද තාක්ෂණික උපක්‍රම මෙන් මේවා ද වැඩි කලක්‌ නො ගොස්‌ සාමාන්‍යකරණය වීමට ඉඩ තිබෙනවා.


ගමන් මාර්ගය වෙනස්‌ කළ හැකි උණ්‌ඩ

දුර ඈත සිට තම ඉලක්‌කය සපුරාගන්නා ස්‌නයිපර් තුවක්‌කුකරුවකු වීම පහසු කාර්යයක්‌ නො වෙයි. කිලෝ මීටර් ගණනාවක්‌ දුරින් ඇති ඉලක්‌කයකට වෙඩි තැබීමේ දී උණ්‌ඩයේ ගමන් මඟ, සුළඟ, දුහුවිල්ල ආදි බාහිර සාධක මත වෙනස්‌ ව යා හැකි බැවින් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් වෙඩි තැබීමට තුවක්‌කුකරුවකුට සිදු වනවා. ඉලක්‌කය චලනය වෙමින් පවතින එකක්‌ නම් උණ්‌ඩය ඒ වෙත යන විට ඉලක්‌කයේ පිහිටුම කොතැන පවතිනු ඇත් දැයි පුරෝකථනය කර වෙඩි තැබීම ඉතා අසීරු කටයුත්තක්‌. එහෙත් දැනට ඇති මිසයිල මෙන් ඉලක්‌කය වෙත ළඟා වීමේ දී තම ගමන් පථය ස්‌වයංක්‍රීය ව වෙනස්‌ කරගනිමින් ඉලක්‌කය වෙත ම නිවැරැදි ව ගමන් කළ හැකි උණ්‌ඩ දැන් නිර්මාණය වී තිබෙනවා. ඇමෙරිකාවේ ආරක්ෂක කටයුතු සඳහා අධිතාක්ෂණික උපාංග පිළිබඳ පර්යේෂණ පවත්වන DARPA (DefenceAdvanced Reserch Projects Agency) ආයතනයේ ව්‍යාපෘතියක්‌ ලෙස දියත් ව ඇති EXtreme ACcuracy Tasked Ordnance(EXACTO)) නමින් හැඳින්වෙන උණ්‌ඩය එවැන්නක්‌. වෙඩි තැබූ ඉලක්‌කය, උණ්‌ඩය ගමන් කරන අතරේ දී වෙනස්‌ වුවත් ඒ අනුව තමන්ගේ ගමන්මඟ වෙනස්‌ කරගනිමින් නිවැරැදි ඉලක්‌කය වෙත පතිත වීමට එයට හැකියි. EXACTO උණ්‌ඩයෙහි තාක්ෂණය නිවැරැදි ව හෙළිදරව් කර නොමැති නමුදු සාමාන්‍යයනේ මෙවැනි උණ්‌ඩ ක්‍රියාත්මක වනුයේ ලේසර් කිරණයක්‌ හරහා මුලින් සනිටුහන් කරන ලද ඉලක්‌කයක්‌ තම දෘශ්‍ය උපාංග හරහා සොයා යැමෙනුයි. උණ්‌ඩය ඇතුළත ඇති යාන්ත්‍රණයක්‌ හරහා සමතුලිතතාවට සියුම් බලපෑම් එල්ල කිරීමෙන් මෙයට ගමන අතරතුර තම පථය වෙනස්‌ කරගත හැකියි. මෙයට තත්පරයට තිස්‌ වාරයක්‌ වැනි වේගයකින් තම ගමන් පථය නිවැරැදි කරගැනීමට හැකි යෑයි පැවසෙනවා. මේ තාක්ෂණය හරහා දක්ෂ වෙඩික්‌කරුවකු නො වන අයකුට ද නිවැරැදි ව ම ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව හිමි වනවා. එමෙන් ම මේ හරහා බලාපොරොත්තු නො වන පරිදි අවට සිටින අන් අයගේ ජීවිත විනාශ නො කර නිවැරැදි ඉලක්‌කය පමණක්‌ විනාශ කිරීමේ හැකියාව ලැබීම ද වාසියක්‌.


සතුරු ඇසින් වසන් විය හැකි ආවරණ

සතුරු ඇසින් වසන් වී ගමන් කළ හැකි අධිවේගී ගුවන් යානා කලක පටන් නිපදවනවා. මේවාට රේඩාර් කිරණ ආදියට හසු නො වී සිටිය හැකියි. එහෙත් රාත්‍රී කාලයේ ගමන් කරන යුද ටැංකි, හෙලිකොප්ටර්, නැව් ආදි බොහෝ දේ හඳුනාගැනීමට සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අධෝරක්‌ත කැමරා. මෙවැනි යුද වාහන ධාවනය වීමේ දී ඒවා රත් වී තාප කිරණ නිකුත් කරන අතර සතුරන්ට ඒවා මෙවැනි අධෝරක්‌ත කැමරා මඟින් පහසුවෙන් හඳුනාගෙන ප්‍රහාර එල්ල කළ හැකියි. එහෙත් මෙලෙස සතුරාට අනාවරණය නො වී ඕනෑ ම යුද රථයකට ගමන් කළ හැකි තාක්ෂණයක්‌ ස්‌වීඩන් සමාගමක්‌ විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. මේ ක්‍රමයේ දී සිදු වන්නේ ෂඩාස්‍රාකාර හැඩයෙන් යුත් ADAPTIV ලෙසින් හැඳින්වෙන ටයිල් විශේෂයක්‌ රථය ආවරණය වන පරිදි ඇතිරීමයි. මේවාට අවට පරිසරයේ උෂ්ණත්වයට සමරූපී වන අන්දමින් තම උෂ්ණත්වය වෙනස්‌ කරගත හැකියි. එවිට අධෝරක්‌ත කැමරාවල අවධානයෙන් එය නො පෙනී යනවා. එපමණක්‌ නො ව ටයිල් රාශියකින් සමන්විත බැවින් මෙයට අවශ්‍ය නම් වෙනත් සාමාන්‍ය වාහනයක හැඩයක්‌ පෙනෙන අයුරින් වෙස්‌වලාගැනීම ද කළ හැකි වීම විශේෂත්වයක්‌. එමෙන් ම අවශ්‍ය ඕනෑ ම හැඩයකට උෂ්ණත්ව වෙනස්‌කම් සිදු කළ හැකි නිසා මිතුරු යුද රථවලට කෙටි පණිවිඩ දිස්‌ කිරීමට ද මේ ක්‍රමය යොදාගත හැකි බව නිර්මාපකයන් පවසනවා. දැනට මේ ක්‍රමය යුද ටැංකිවලට යොදා අත්හදා බලා ඇති අතර ඉදිරියේ දී හෙලිකොප්ටර් හා නැව් ආදියට ද යෙදවීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වනවා.


විද්යුත් චුම්බක රේල් තුවක්‌කු

වෙඩි බෙහෙත් පුරවා යකඩ බෝල යොදා පත්තු කළ මුල් යුගයේ කාල තුවක්‌කු කෙමෙන් කෙමෙන් අද දක්‌නට ඇති ඉතා විශාල විනාශයක්‌ සිදු කළ හැකි දියුණු කාල තුවක්‌කු බවට පරිණාමය වී තිබෙනවා. එහෙත් එහි උණ්‌ඩය ප්‍රෙක්ෂaපණය කිරීම සඳහා යොදාගන්නා මූලධර්මය වෙනස්‌ වී නැහැ. ඒ වෙඩි බෙහෙත්වල සිදු වන ක්ෂණික දහනය නැතිනම් රසායනික ප්‍රතික්‍රියාවන් පාදක කරගනිමින් උණ්‌ඩ ප්‍රෙක්ෂaපණය කිරීමේ ක්‍රමයයි. මෙවැනි කිසිදු පුපුරන ද්‍රව්‍යයක්‌ භාවිත නො කර උණ්‌ඩ ප්‍රෙක්ෂaපණය කළ හැකි නවීන කාල තුවක්‌කු ප්‍රභේදයක්‌ දැන් කරළියට පැමිණෙමින් තිබෙනවා. ඒ Electro-magnetic Rail Gun ලෙස හැඳින්වෙන විද්යුත් චුම්බක රේල් තුවක්‌කු. මෙහි දී සිදු වන්නේ විශාල විද්යුත් චුම්බක ස්‌පන්දයක්‌ හරහා නිර්මාණය කෙරෙන තල්ලු කිරීමේ බලය මඟින් සන්නායක පීලි දෙකක්‌ මත රඳවා ඇති ලිස්‌සා යන ආමේචරයක්‌ හරහා උණ්‌ඩය තල්ලු කිරීමයි. මෙමඟින් අවදානම් සහගත පුපුරන ද්‍රව්‍ය ගෙන යැමේ අවශ්‍යතාව නැති වන අතර සාමාන්‍ය කාල තුවක්‌කුවකින් ලබාගත නො හැකි අන්දමේ වේගයක්‌ හා නිරවද්‍යතාවක්‌ ලබාගත හැකියි. ඇමෙරිකාව, චීනය, රුසියාව ආදි රටවල් මෙවැනි අවියක්‌ නිපදවීමට දශකයක පමණ කාලයක්‌ තිස්‌සේ පර්යේෂණ පවත්වා ඇති අතර මේ වන විට ඒවායේ ආරම්භක තුවක්‌කු කරළියට පැමිණෙමින් තිබෙනවා. මේ තුවක්‌කු බොහෝ දුරට නිපදවා ඇත්තේ ප්‍රහාරක නෞකාවල සවි කිරීම සඳහායි. මේවා මඟින් තත්පරයට කිලෝ මීටර් 2.5ක්‌ වැනි අධික වේගයකින් කිලෝ මීටර 200ක්‌ පමණ දුරට පහර දිය හැකි බවයි පැවසෙන්නේ. ඇමෙරිකාව මේවායේ උණ්‌ඩ ලෙස භාවිත කිරීමට Hyper Velocity Projectile- HVP ලෙසින් හැඳින්වෙන අධි වේගයෙන් ගමන් කළ හැකි උණ්‌ඩයක්‌ නිර්මාණය කළ අතර දැන් එය සාමාන්‍ය කාල තුවක්‌කු පද්ධතිවලට ද යොදාගැනෙනවා. ඇමෙරිකාව 2016 වසරේ දී තමන් විසින් නිර්මාණය කරන ලද මේ පන්නයේ තුවක්‌කුවක්‌ සාර්ථක ව අත්හදා බැලූ අතර චීනය සතු ව ද මෙවැනි තුවක්‌කුවක්‌ සහිත නෞකාවක්‌ පවතින බවට පසුගිය වසරේ දී වාර්තා පළ වුණා.


හයිපර්සොනික්‌ මිසයිල

දුර ඈත සිට සතුරාට පහර දිය හැකි මිසයිල ලොව පුරා සැම හමුදාවක්‌ සතු ව ම පාහේ ඇති ප්‍රධාන අවි විශේෂයක්‌. විවිධ ප්‍රමාණ, වේග, දුර පරාස ඇති මිසයිල වර්ග තිබෙනවා. මේවා අතරින් මෙතෙක්‌ භාවිතයේ පැවැති වේගවත් ම මිසයිල කාණ්‌ඩය වූයේ සුපර්සොනික්‌ මිසයිල. මේ මිසයිලවලට ශබ්දයේ වේගය මෙන් දෙගුණයක්‌ තුන් ගුණයක්‌ වැඩි වේගයකින් ගමන් කළ හැකියි. එහෙත් දැන් මේ වේග සීමා සිඳ බිඳ දමමින් නව මිසයිල කාණ්‌ඩයක්‌ පැමිණෙමින් තිබෙනවා. ඒ හයිපර්සොනික්‌ මිසයිල. මේවාට ශබ්දයේ වේගය මෙන් විසි ගුණයකින් පමණ ගමන් කළ හැකියි. මෙවැනි අධික වේගයක්‌ යනු නිකුත් කර මිනිත්තු කිහිපයක්‌ ඇතුළත ලෝකයේ ඈත කෙළවරක පිහිටි සතුරු ඉලක්‌කයක්‌ වෙත ළඟා විය හැකි බවයි. එබඳු කෙටි කාලයක්‌ තුළ එවැනි මිසයිලයක්‌ හඳුනාගැනීම හා එය විනාශ කර දැමීමට ප්‍රහාරයක්‌ එල්ල කිරීම ඉතා දුෂ්කර කාර්යයක්‌. දැනට පවතින ප්‍රති මිසයිල පද්ධති කිසිවකට එබඳු සමත්කමක්‌ දැක්‌වීමේ හැකියාවක්‌ නැහැ. හයිපර්සොනික්‌ මිසයිල එක්‌තරා අන්දමකින් මිසයිලයක හා අභ්‍යවකාශ යානයක දෙමුහුමක්‌ ලෙස සැලකිය හැකියි. නාසා ආයතනය 2003 - 2014 කාලයේ අත්හදා බැලූ X - 51A Waverider මෙවැන්නක්‌. මේවායේ භාවිත වන Sජර්පවැඑ ප්‍රචාලක පද්ධතිය සාමාන්‍ය මිසයිලවලින් සහමුලින් ම වෙනස්‌ වනවා. මෙවැනි හයිපර්සොනික්‌ මිසයිල, ගුවන් යානයක රඳවාගෙන ගොස්‌ ඉහළ අහසේ දී මුදාහැරීම හෝ රොකට්‌ටුවක්‌ මෙන් බූස්‌ටරයක්‌ යොදා පොළොවේ සිට ගුවන්ගත කිරීම හෝ සිදු කෙරෙන අතර එය තම ඉන්ධන යොදාගනිමින් ගමන් අරඹන්නේ ඉහළ අහසේ දීයි. ඇමෙරිකාවේ Arrow, Hacksaw, චීනයේ DF-ZF, Starry sky, රුසියාවේ Kinzhal, 3M22 Zircon දැනට වැඩිදියුණු කරමින් පවතින මෙවැනි මිසයිල. පසුගිය වසරේ දී රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් නම් හයිපර්සොනික්‌ මිසයිලයක්‌ අත්හදා බැලීමකට සහභාගී වූ අතර ශබ්දයේ වේගය මෙන් විසි ගුණයක වේගයෙන් ගමන් කළ හැකි එම මිසයිලය මෙතෙක්‌ නිර්මාණය වී ඇති ප්‍රබල ම මිසයිලයයි.


බාහිර සැකිලි පැළඳි සොල්දාදුවන්

යුද බිමේ සටන් වදින සොල්දාදුවන්ට ආයුධ, උණ්‌ඩ, සන්නිවේදන උපකරණ, ජලය, ඖෂධ ආදි භාණ්‌ඩ ගණනාවකින් සමන්විත විශාල බරක්‌ ඔසවාගෙන යැමට සිදු වනවා. මෙමඟින් ඔවුන් අනවශ්‍ය ලෙස කායික ව වෙහෙසට පත් වන අතර එක්‌ වරකට ගෙන යා හැකි පතරොම් ප්‍රමාණය සීමාසහිත වීම නිසා දීර්ඝ මෙහෙයුම්වල දී ගැටලුවලට මුහුණ දෙනවා. අයන් මෑන් (Iron Man) චිත්‍රපටයේ එන යාන්ත්‍රික ඇඳුම වැනි ඇඳුමක්‌ යම් හෙයකින් සොල්දාදුවන්ටත් ඇත් නම් මේ ගැටලුව පහසුවෙන් විසนගත හැකියි. අයන් මෑන් චිත්‍රපටයේ දැක්‌වෙන තරම් තාක්ෂණික දියුණුවක්‌ තවමත් අප අත්පත් කරගෙන නොමැති වුවත් එම සංකල්පය යුද බිමට ගෙන ඒමට යුද තාක්ෂණික විශේෂඥයන් කටයුතු කර තිබෙනවා. ඒ බාහිර සැකිලි (Exoskeleton) සොල්දාදුවන්ට හඳුන්වා දීමෙනුයි. මේ බාහිර සැකිලි වැඩි වශයෙන් භාවිත වන්නේ වයස්‌ගත හෝ ආබාධිත පුද්ගලයන්ට අපහසුවකින් තොර ව තම කටයුතු කරගැනීම සඳහා බාහිරින් සහායක්‌ ලබා දීමටයි. එහෙත් කර්මාන්තශාලාවල සේවය කරන්නන් හා සොල්දාදුවන්ගේ කටයුතු පහසු කරගැනීමටත් දැන් මේවා විශාල ලෙස වැඩිදියුණු කිරීම්වලට බඳුන් වෙමින් පවතිනවා. ඇමෙරිකානු හමුදාවලට හඳුන්වා දී ඇති Human Universal LoadCarrier (HULC) මීට උදාහරණයක්‌. ක්‍රියාශීලීත්වයට බාධාවක්‌ නො වන පරිදි සකසා ඇති මේවා මඟින් හයිෙඩ්‍රාලික්‌ බලය යොදාගනිමින් බර රඳවාගන්නා නිසා සිරුරට දරන්නට සිදු වන්නේ අඩු බරක්‌. ඉදිරියේ දී මේවා විද්‍යා ප්‍රබන්ධ සිනමා පටවල දැක්‌වෙන අන්දමේ වඩා දියුණු මට්‌ටමකට ම පරිණාමය වනු ඇති. යුද බිම මතට පූර්ණ ස්‌වයංක්‍රීය රොබෝවන් යොදනවා වෙනුවට මේ හරහා වඩා විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගත හැකියි. විනාශකාරී අවියක්‌ නො වුණත් මෙවැනි යාන්ත්‍රික ඇඳුම් ඉදිරියේ දී යුද බිමේ හැඩරුව සහමුලින් ම වෙනස්‌ කිරීමට ඉඩ තිබෙනවා.


ලේසර් කාල තුවක්‌කු

ලේසර් අවි ද විද්‍යා ප්‍රබන්ධවල බහුල ව දක්‌නට ලැබෙන යුද අවියක්‌. එතරම් ප්‍රබලත්වයකින් යුත් ලේසර් අවි නිපදවෙන්නට තවමත් කල් තිබුණත් මේ වන විට සැලකිය යුතු ප්‍රබලතාවකින් යුතු ලේසර් අවි යුද බිමට පැමිණෙමින් තිබෙනවා. මේ වන විටත් සාර්ථක ව අත්හදා බලා ඇති මෙවැනි එක්‌ ලේසර් අවි පද්ධතියක්‌ වන HELIOS (HighEnergy Laser with Integrated Optical-dazzlerand Surveillance) ඇමෙරිකානු යුද නෞකාවල මේ වසරේ සිට සවි කිරීමට කටයුතු යොදා තිබෙනවා. රුසියාව ද, නැවක සවි කර ඇති මෙවැනි අවියක්‌ කලකට පෙර ප්‍රදර්ශනය කරන්නට කටයුතු කර තිබුණා. මෙවැනි ලේසර් අවිවලින් එල්ල කරන තියුණු ආලෝක ධාරාවන් හරහා එය පතිත වන වස්‌තුව මත තාපය ජනනය කර දැඩි හානි සිදු කළ හැකියි. දැනට නිර්මාණය කර ඇති ලේසර් අවිවල අපේක්ෂාව වන්නේ තර්ජනයක්‌ විය හැකි ඩ්‍රෝන යානා හා කුඩා බෝට්‌ටු මේ හරහා විනාශ කර දැමීමයි. ඩ්‍රෝනයක්‌ වැනි යමක්‌ වෙඩි තබා, බිම හෙළීමට උත්සාහ කරනවාට වඩා මේ ක්‍රමය වඩා සාර්ථකයි. එමෙන් ම උණ්‌ඩ හෝ මිසයිල භාවිත කිරීමේ දී මෙන් නො ව බලය ජනනය කළ හැකි තාක්‌ සීමාවක්‌ රහිත ව ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම මෙහි ඇති වාසියක්‌. තවත් දශක කිහිපයක්‌ යන විට මේවා තවත් විනාශකාරී ප්‍රහාර දියත් කළ හැකි පරිදි වැඩිදියුණු වෙතැයි අපේක්ෂා කළ හැකියි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...