බිත්ති ඔරලෝසුවෙන්, මේස ඔරලෝසුවෙන්, අත් ඔරලෝසුවෙන්, ජංගම දුරකතනයෙන් හෝ විද්යුත් ජනමාධ්‍යවලින් අප බලා, කියවා සහ අසාගන්නා වේලාව කුමක් ද යන්න මෙන් ම එම වේලාවන් නිවැරැදි ද යන්න පිළිබඳ ව මේ දියුණු සමයේ අප දැනුවත් විය යුතු නො වන්නේ ද?
විදුසර පුවත්පතේ පෙර ඔබ කියෑවූ ලිපිවලින් මෙන් ම, පාසලේ 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්‌වා විද්‍යාව විෂයට වෙන් වූ පොත්පත් තුළින් ලබාගත් අවබෝධය අනුව, අප ලෝක ගෝලය (ආසන්න රවුම් අගය ලෙස) පැය 24ක කාලයක් තුළ අංශක 360º කෝණයක් පුරා නැඟෙනහිර දෙසට එක් වරක් අක්ෂය වටා භ්‍රමණය වේ. එනම්, කෝණික භ්‍රමණ වේගය පැය 24කට අංශක 360ºක් නිසා එක පැයක දී භ්‍රමණය වන කෝණය අංශක 360/24, එනම් අංශක 15ºකි. මේ සරල ගණනය කිරීම අනුව ලෝක ගෝලයේ අංශක 15ºක පරතරයකින් පිහිටි දේශාංශ (Longitude) දෙකක් අතර කොටස නැඟෙනහිර දෙසට භ්‍රමණය වීමේ දී එම දේශාංශ දෙකට සූර්යයා උදාව දිස් වන කාල පරතරය එක පැයක් වන බව පැහැදිලි ය (රූපය 1). මේ ගණනය කිරීම් ඉතා නිවැරැදි වන්නේ නිරක්ෂය හා ඒ අසල ප්‍රදේශවලට මාර්තු 22 සහ සැප්තැම්බර් 22 යන දින සඳහා පමණක් බව අවධාරණය කරමි.
නිවැරැදිතාවකින් යුතු, භාවිතයට පහසු, සූක්ෂම වේලා දර්ශක වර්ග රැසක් අද භාවිතයේ ඇත. ඒ ඉතිහාස කතාවේ සඳහන් පරිදි 17 වැනි ශතවර්ෂයේ දී සරල අවලම්බ ඔරලෝසු (Pendulum Clock) ලොවට හඳුන්වා දී ඇතත් 18 වැනි ශතවර්ෂය වන විට විද්‍යාත්මක මිනුම් ගැනීම නිවැරැදි ව කිරීමේ අවශ්‍යතා බහුල වූ නිසා, අවලම්බ ඔරලෝසුවල නිවැරැදිතාව නො සෑහෙන බව පැහැදිලි විය.
කාල මානවල ඊළඟ දියුණු පියවර වූ හෝරා මාන (Chronometer) වසර 1764 දී කල එළි බැසීමෙන් පසු පැවැති ගැටලුවලට යම් පිළිතුරක් ලැබී ඇත. 19 වැනි ශතවර්ෂයේ බහුල වූ නාවික ගමන් බිමන් සඳහා, හෝරාමාන ඉතා ප්‍රයෝජනවත් ලෙස භාවිත විය. එසේ වුව ද 19 වැනි ශතවර්ෂය තුළ ම දුම්රිය ගමනාගමනය සහ සන්නිවේදන තාක්ෂණවල සිදු වූ දියුණුවත් සමඟ, භූගෝලීය විචල්‍යතා හමුවේ සූර්යයා පාදක කොටගෙන වේලාව මැනගැනීම ඉතා අසීරු වූයෙන් 'වේලා කලාප' භාවිතය අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් විය. ගමන් කරන දුර ප්‍රමාණ අති විශාල වන විට ගමනාන්ත වේලාවන් නිවැරැදි ව නිර්ණය කිරීම ම`ගීන්ට මෙන් ම, දුම්රිය රියෑදුරන්ට සහ නාවිකයන්ට ගැටලුවක් වූයෙන් වේලා කලාප (Time Zone)වල අවශ්‍යතාව පැහැදිලි ව පෙනී ගියේ ය.
මේ අතර කිලෝ මීටර් සිය සහ දහස් ගණන් රාජ්‍යයන් අතර ගමනාගමනය සඳහා ඒකාබද්ධ වේලා දර්ශක පද්ධතියක් (United Time System) අත්‍යවශ්‍ය බව ද පෙනී ගියෙන් වේලා කලාපවල භාවිතයට ආරම්භයක් ලැබී ඇත.
19 වැනි ශතවර්ෂයේ අවසාන වකවානුව වන විටත් ඇමෙරිකා එකසත් ජනපදයේ දුම්රිය මාර්ග සඳහා විවිධ වේලා කලාප භාවිතය අරඹා තිබුණ නමුත් එක් එක් දුම්රිය ස්‌ථානවල ඒවාට ආවේණික ඔරලෝසු වේලාවන් භාවිත කරන ලද හෙයින් ම`ගීනට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇත. භාවිතයේ පැවැති ප්‍රාදේශීය සූර්ය වේලාවන් 300ක් පමණ වූ පද්ධතිය වෙනුවට දුම්රිය නිලධාරීන් දුම්රිය මාර්ග වේලා කලාප (Rail Road Time Zone) 100ක පද්ධතියක් සැලසුම් කළත්, එය ගැටලුවට යථා විසඳුමක් නො වී ය. විටින් විට මේ වේලා කලාප සැලසුම් සංශෝධනය වී ඇති අතර 1883 වසරේ නොවැම්බර් මස 18 වැනි දා ඇමෙරිකා එකසත් ජනපදය සඳහා සම්මත වේලා කලාප සතරක් හඳුන්වා දෙන ලදි.
19 වැනි ශතවර්ෂය වන විට තාක්ෂණික ලෙස දියුණු රාජ්‍යයන් කිහිපයක් ම වේලාව නිර්ණය කිරීමේ විවිධ ගැටලුවලට මුහුණ දී ඇති අතර රාජ්‍යයන් ගණනාවක් ම ඒකීය මධ්‍යාහ්න වේලාවක් (Unique Meridian Time) සඳහා යෝජනා ඉදිරිපත් කොට ඇත. එංගලන්තය, ස්‌කොට්‌ලන්තය සහ වේල්සය සඳහා වෙන වෙන ම සම්මත වේලා පද්ධති භාවිත කළ බ්‍රිතාන්‍ය රාජ්‍ය 1884 වසරේ දී ගෝලීය වේලා කලාප සැලසුමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ලෝක ගෝලය මත වූ ස්‌ථානයක වේලාව නිර්ණය කිරීම සඳහා ජගත් පද්ධතියක් සැලසුම් කිරීමට රාජ්‍යයන් රැසක් ම අවශ්‍යතාව පෙන්වා දුන් අතර ඒ සඳහා න්‍යායාත්මක උපදෙස් සැපයූ විද්වතුන් අතරින් සැන්ඩ්ෆෝඩ් ෆ්ලෙමිං (Sir Sandford Fleming) ප්‍රධාන වී ඇත. 1884 වසරේ ඔක්‌තෝබර් මාසයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ වොෂින්ටන් ඩී. සී. (Washington D.C.) නගරයේ ජාත්‍යන්තර මධ්‍යන්‍ය සම්මන්ත්‍රණය (International Meridian Conference) පැවැත්වීමේ දී ප්‍රධාන දායකත්වය දක්‌වා ඇත්තේ ද ෆ්ලෙමින් ය. එම සම්මන්ත්‍රණයේ දී ජාත්‍යන්තර වේලා පද්ධතියක් (International Time System) සැලසුම් කිරීමට පියවර ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් නිරීක්ෂණාගාරයේ සංක්‍රාන්ති උපකරණය (Transit Instrument) හරහා වැටී ඇති දේශාංශ රේඛාව (Longitude Line) ප්‍රධාන මධ්‍යාහ්න රේඛාව ලෙස සැලකීම මෙන් ම ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාව (Greenwich Mean Time - GMT) ජගත් වේලා සම්මතය ලෙස සැලකීමටත් එම සමුළුවේ දී තීරණය විය.
1884 ඔක්‌තෝබර් සමුළුවේ දී ගත් තීරණ පරිදි ලොවට ම බලපාන පරිදි ජාත්‍යන්තර පැය 24 වේලා කලාප පද්ධතිය භාවිතය ඇරඹී ඇත. ලෝකගෝලය කලාප 24කට වෙන් කරන දේශාංශ තීරණය කොට ඒ ඒ කලාපයට නියමිත වේලාව ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවට ඉදිරියෙන් හෝ පසුපසින් සිටින පැය සංඛ්‍යාව ද සම්මත විය (රූපය 2). වේලා කලාපයක දේශාංශ සීමා අතර වෙනස අංශක 15ºකි. ග්‍රිනීච් දේශාංශයට (එනම් ශූන්‍ය දේශාංශය) දෙපසින් අංශක 7.5º බැගින් වෙනස් වන දේශාංශ රේඛාවලින් වෙන් වන අංශක 15º කලාපය තුළ වේලාව ග්‍රිනිච් වේලාව ලෙස සැලකෙන අතර ඉන් බැහැරට නැඟෙනහිරට සහ බටහිරට පිහිටි අංශක 15ºක දේශාංශ පළල සහිත කලාප තුළ වේලාව ග්‍රිනිච් වේලාවට සාපේක්ෂ ව පැය 1, 2, 3, ....., 24 සංඛ්‍යාවලින් ඉදිරියෙන් හෝ පසුපසින් වන බව සැලකේ.
1884 සමුළුවේ දී තීරණය කරන ලද පරිදි වේලා කලාපවලට අනුරූප වේලාවන් සම්මත කරගැනීමේ දී ඒ ඒ රාජ්‍යයන් සිය රාජ්‍යයට සහ අසල්වැසි රාජ්‍යයන්ට පොදු ගැටලු පිළිබඳව සලකා බලා සමුළුවේ දී ගත් තීරණවලට සම්පූර්ණ එකඟතාවක් දක්‌වා නොමැත. ඒ නිසා පැයේ කලාප වෙනුවට විනාඩි 30 හෝ විනාඩි 45 කලාප සම්මත කරගැනීමට සමහර රාජ්‍යයන් පියවර ගෙන ඇත. එසේ ම ඉන්දියාව සහ චීනය වැනි භූගෝලීය ලෙස විශාල රාජ්‍යයන් දේශාංශ අංශක 15º කලාප කිහිපයකට වෙන් වීම නිසා රාජ්‍ය තුළ වේලාවන් කිහිපයක් ම භාවිත කිරීමට සිදු වේ. මේ අවස්‌ථාවල ද ඒ ඒ රාජ්‍ය, විශේෂ සම්මුති වලංගු කරගෙන ඇතත්, අවසාන ලෙස එය ජගත් මට්‌ටමේ සම්මතයක් බවට පත් කර ඇත.
නැඟෙනහිර සහ බටහිර දේශාංශ අතර වෙනස අංශක 55ºක් පමණක් වන චීනය මෙන් ම එම වෙනස අංශක 20ºක් පමණ වන ඉන්දියාව ඒ ඒ රාජ්‍යයට ගැළපෙන එක ම වේලා කලාපයක් අනුව වේලාව පිළිබඳව තීරණ කර ඇති අතර දේශාංශ පරතරය අංශක 38ºක් පමණ වන ඕස්‌ටේ්‍රලියාවේ වේලා කලාප තුනක් වලංගු වන ලෙස, රාජ්‍ය තුළ වේලා එකිනෙක වෙනස් වන පද්ධතියක් සම්මත කරගෙන ඇත.
ග්‍රිනිච් මධ්‍යස්‌ථානය ඇතුළත් වන වේලා කලාපයේ සිට නැඟෙනහිර දෙස කලාපවලට නියමිත වේලාවන් විමසා බැලීමේ දී, ශ්‍රී ලංකා භූමි කොටස පිහිටා තිබෙන්නේ ලෝක ගෝලයේ අංශක 67.5º සහ අංශක 82.5º දේශාංශවලින් මායිම් වන අංශක 15º වේලා කලාපය තුළ නිසා 1884 සමුළුවේ සම්මුති අනුව ශ්‍රී ලංකාවේ වේලාව ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවට (GMT) පැය පහක් ඉදිරියෙන් තිබෙන වේලාව විය යුතු ය. එනම් GMT + 5. එහෙත් රාජ්‍යයන් අතර සාකච්ඡා මඟින් ගත් තීරණයක් නිසා දොa ඉන්දීය රාජ්‍ය තුළ වේලාව වන ග්‍රිනිච් වේලාවෙන් පැය 5 විනාඩි 30ක් ඉදිරියේ තිබෙන වේලාව ශ්‍රී ලංකාවේ ද වේලාව ලෙස සම්මත වී ඇත (රූපය 3).
1884 සමුළුවේ දී ගත් වේලා කලාප තීරණවලට එකඟ ව සිය රාජ්‍යයන් තුළ වේලාව තීරණය කිරීමට සැලසුම් කිරීම විමසා බැලීමේ දී එක් එක් රාජ්‍යයන් වෙන් වෙන් ව තීරණ ගෙන ඇතත් රාජ්‍යයන් රැසක් ම වේලා කලාප සම්මුතියට එකඟ ව කටයුතු කිරීම ආරම්භ කොට ඇත්තේ වසර 1920 දී ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රාජ්‍යයන් ද වේලා කලාප සම්මුතිය අනුව වේලාව මැනීම ආරම්භ කරන්නට ඇත්තේ 1920 වසරේ විය හැකි ය.
මේ යථාර්ථය වටහා ගත්තා නම්, අප අද ඔරලෝසුවලින් කියවන වේලාව කුමක් ද යන්න මීට ශතවර්ෂයකට පෙර (වසර 1920) තීරණය වූ ජගත් මට්‌ටමේ සම්මුතියට එකඟ වන්නකි. ඉන්දීය රාජ්‍යය සහ ශ්‍රී ලංකා භූමිය පුරා සැම ස්‌ථානයක දී ම අප කියවන වේලාව සත්‍ය වශයෙන් ම දේශාංශ අංශක 82ග5 සඳහා නියමිත වූ වේලාවයි.
මේ සත්‍යය අබියස හිඳ එක් එක් ස්‌ථානවලට එක්‌රැස් වී 'සුබ වේලාව' ලෙස යම් වේලාවක් තීරණය කිරීම යථාර්ථයක් ද නැතිනම් මිථ්‍යාවේ ගිලීමක් ද යන්න ඔබ ම විමසා බලන්න.
Comments
Post a Comment