ශාක පිළිබඳ ව සාමාන්‍යයෙන් අපට දැනෙන්නේ ඒවා ස්‌වභාවධර්මයේ අක්‍රිය ව පවතින කොටසක් ලෙසයි. ඒවා ද ගල් තලාවක් හෝ දිය දහරක් හෝ මෙන්ම ස්‌වපැවැත්ම ගැන අදහසක් නොමැති පරිසරයේ කොටසක් ලෙසයි. එහෙත් ශාක සැම විට ම අවට පරිසරය හා සන්නිවේදනය කරන අතර එයට අනුරූප ව කටයුතු කරනවා. හිරු එළියේ වෙනස්‌කම්, ගුරුත්වයේ වෙනස්‌කම්, පාංශු තත්ත්වයෙහි සිදු වන වෙනස්‌කම් ආදි විවිධ වෙනස්‌කම් හඳුනාගන්නා මේවා ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට ද සමත්. අපූර්ව විවිධත්වයකින් සපිරි ශාක ලෝකයේ සමහර ශාකවල මේ හැසිරීම් වඩා ප්‍රකට ව දැකිය හැකියි. ආහාර ලෙස කෘමීන් උගුලට හසු කරගන්නා බාඳුරා මල්, චලනයක දී වහා තම පත්‍ර හකුළාගන්නා නිදිකුම්බා ආදිය මීට උදාහරණ කිහිපයක්. අවට පාරිසරික තත්ත්වයන් හඳුනාගැනීම හා ඊට ප්‍රතික්‍රියා දැක්‌වීමේ ශාක සතු හැකියාව මිනිසාගේ කටයුතු ඉටු කරගැනීම සඳහා භාවිත කළ හැකි වනු ඇත් ද? ඉහත චිත්‍රපට නම් අනාවැකි පළ කරන්නේ එය එසේ කළ හැකි බවයි. ඒ අනාවැකිය බොරුවක් නො කරමින් දැනටමත් ශාක මේ කටයුත්තට පෙළගස්‌වාගැනීමට විද්‍යාඥයන් කටයුතු කරමින් සිටිනවා.
ශාකවල ක්‍රියාකාරීත්වය ගත් කල එය එක්‌තරා අන්දමක ස්‌වාභාවික පරිපථයක් සේ සැලකිය හැකියි. බාහිරින් දත්ත සංවේදනය කරන එය ඒ අනුව ප්‍රතික්‍රියාවන් ප්‍රදර්ශනය කරනවා. මෙය මූලික වශයෙන් ගත් කල අප දන්නා ඉලෙක්‌ට්‍රොනික පරිපථ ක්‍රියාත්මක වන ආකාරයෙන් වෙනස් වන්නේ නැහැ. එසේ නම් ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව හරහා ශාක හා ගනුදෙනු කිරීම එතරම් ම අපහසු කාර්යයක් විය නො හැකි බව පෙනී යනවා.
මේ අනුව විද්‍යාඥයන් දැන් අලුතෙන් ම අත ගසා ඇත්තේ මේ ශාක ලෝකය හා ඉලෙක්‌ට්‍රොනික ලෝකය අතිනත ගැන්වීමේ කටයුත්තටයි. ශාක හා ඉලෙක්‌ට්‍රොනික පද්ධති එකිනෙක බද්ධ කර දෙමුහුම් නිර්මාණ බිහි කර ලීම මඟින් මේ ස්‌වභාවධර්මයේ අගනා දායාදයන් මානව සිතැඟියාවන් ඉටු කර ලීමට භාවිතයට ගැනීම ඔවුන්ගේ ඉලක්‌කය වී තිබෙනවා. මේ ක්‍රියාවලියට ඔවුන් ගැටගසා ඇති නම ද අපූරු එකක්. ඒ සයිබෝර්ග් උද්භිද විද්‍යාව (Cyborg Botany) යන නමයි. ඉලෙක්‌ට්‍රොනික-යාන්ත්‍රික අවයව මිනිස් ශරීරයකට සවි කරගත් මිනිසුන් පිළිබඳ සංකල්පය අප හඳුන්වන්නේ සයිබෝර්ග් නමින්. එනිසා මේ නව පන්නයේ ශාක සයිබෝර්ග් ශාක ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක් නැහැ.
Comments
Post a Comment