Skip to main content

ඉර බහින හැන්දෑවේ ග්වානම්සා පන්සලට.....





ප්‍රධාන බුදු ගෙය


 මේ පාර කියන්න හදන්නේ  පහුගිය වීකෙන්ඩ් එකක හදිස්සියේ යාළුවො කට්ටියත් එක්ක ගිය පන්සලක් ගැන. ග්‍රීෂ්ම කාලේ නිමා වෙලා දන්නෙම නැතුව සරත් කාලේ ලබලා තිබුණා. මේ කාලෙට හවස් බාගේ ඉඳහිට වැටෙන පොද වැස්ස සාමාන්‍ය දෙයක්. අපි කාටත් නිවාඩු ඉරිදා හවස්කාලේ පන්සල් යමු කියලා පොඩි යෝජනාවක් ආවා. ලංකාවෙදි නම් පෝයට කෙසේවෙතත් මාසෙකට සැරයක් දෙසැරයක් හරි පන්සලකට ගොඩවෙන එක මහදෙයක් නොවුනත් කොරියාවේ ගෙවන මේ කාර්යභහුල ශිෂ්‍ය ජීවිතෙත් එක්ක ඒක විශේෂ අවස්ථාවක්. අනික් අතට ලංකාවේ වගේ හැම තැනම පන්සල් නෑ. ගමනට එක් වුණේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ මගේ යාළුවො සහ තව කෙනෙක්. ඒ මගේ බිරිඳ. පහුගිය මැයි මාසයේ අපි විවාහ වුනත් ඇයට කොරියාවට එන්න ලැබුනේ නොවැම්බර්  අග. මේ වගේ ක්ෂණික ගමන් යන්න අපිට තවත් හේතුවක් තියනවා දැන්. ඒ තමයි මටයි තව ජේජු කැම්පස් එකේ යාලුවෙකුටයි කාර් දෙකක් තිබීම. ඉතින් දහදෙනෙක් වගේ සෙට් වුනොත් ලේසියෙන්ම කාර් වල යන්න පුළුවන්. විවාහවෙලා කොරියාවට ආවට පස්සේ මම කොරියානු රියැදුරු බලපත්‍රය ලබාගත්තා. පස්සේ වෙලාවක ඒ ගැනත් කියන්න හිතාගෙන ඉන්නේ. හරි දැන් කතාව කියන්නම්කෝ.

ඉර බහින හැන්දෑවේ සිහින් පොද වැස්සත් එක්ක ගමන පටන් ගත්තේ ග්වානම්සා (Gwaneumsa) පන්සලට යන්න. පන්සල පිහිටලා තියෙන්නේ ජේජු ජාතික විශ්වවිද්‍යාලයට දකුණු දෙසින්. ප්‍රධාන පාර අද්දරමයි. ඒ ප්‍රදේශයම අයත්වෙන්නේ හල්ලා කන්ද ආශ්‍රිත රක්ෂිතයට. ඒ හින්දා ගමන්මාර්ගය වැටිලා තියෙන්නේ කැලෑවක් මැද්දෙන්. සරත් කාලේ පතනශීලි වනාන්තර වල දකින්න පුළුවන් රතු, කහ, දුඹුරු, සහ තැඹිලි පාටින් මුළු පළාතම වර්ණගැන්විලා.

පන්සලට ඇතුළුවෙන්න දොරටු කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන දොරටුව හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. මොකද එතන තියනවා ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය වුණු විශාල ඉඳි පිළිමයක්. පන්සල් භුමිය ඉතාම නිස්කලංකයි. ඉඳහිට නැගෙන කාක්කෙකුගේ ශබ්ධය හැරෙන්නට ඇහෙන්නේ හුලං හමන ශබ්ධය විතරයි. කාක්කෝ කිවුවහම ලංකාවේ අපිට මතක් වෙන්නේ කුණු නේ. ඒත් මේ ප්‍රදේශයේ ජීවත්වන කාක්කෝ හල්ලා රක්ෂිතයට විශේෂයි. ඔවුන්ගේ නිවහන හල්ලා රක්ෂිතයයි. මේ කොරියානු කාක්කෝ ලංකාවේ කාක්කන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලයි. ශබ්ධයේත් පොඩි වෙනසක් තියෙනවා. තාරතාවයේ අඩු ගතියක්. අපේ කාක්කෝ "කාක්"  කියලා කෑ ගැහුවත් මුන් කෑ ගහන්නේ "කා" කියලා.
ප්‍රධාන දොරටුව අසල පිළිමය



පන්සල් භුමිය පිහිටලා තියෙන්නේ උස් මට්ටම් කීපයකින්. පහළ ඉඳන් බලනවිට ඉහලින්ම තියෙන්නේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්. ඒ ස්ථානයේ ඊට පිටුපසින් තවත් කුඩා ප්‍රතිමා සිය ගණනක් තැන්පත් කරලා තියනවා. පරික්ෂාකාරීව බැලුවොත් ඒවත් එකින් එකට වෙනස් ආකාරයට නිර්මාණය කරපුවා බව පේනවා. සියල්ල සටහන්කරලා තියෙන්නේ කොරියන් වලින් හින්දා අපිට එච්චර පැහැදිලිවුනේ නෑ. නමුත් තුන් දිශාවේ පිහිටි කුඩා පිළිම තුන් පිරිසක් නියෝජනය කරන බව පිළිමවල බාහිර වෙනස්කම් හා සමානකම් වලින් පෙනීගියා. 
විශාල ප්‍රතිමාව පිටුපස ඇති පිරිවර ප්‍රතිමා


ඒ භූමියට පහලින් බුදු කුටි පිහිටලා තිබුණා. ඉටි පන්දම් රඳවන, ඔර්කිඩ් මලින් බරවූ මල් පෝච්චි, සිවිලිමේ එල්ලෙමින් තිබු පහන් කූඩු සහ ස්පීකර වලින් සෞම්‍ය ලෙස ගලා එමින් තිබු නුහුරු ස්වරස්ථාන වලින් ගැයෙන ගාථා ඛණ්ඩ සිතට නැවුම් වූ නුහුරු අත්දැකීමක් ලබාදුන්නා. ඒ විතරක් නෙවෙයි. බුදුගේ පැත්තක ග්‍රෑන්ඩ් පියානෝවකුත් තිබ්බා. කොහොම වුනත් පන්සලක් ඇතුළට  ආවාට පස්සේ දැනෙන සන්සුන්බව අඩුවක් නැතුව එතනත් තිබ්බා. 
ප්‍රධාන බුදු ගෙය ඇතුලත

දැන් තිබෙන ග්වානම්සා පන්සල ඉදිකරලා තියෙන්නේ 1908 වර්ෂයේ ජුන්හෙඋන්ජෝ බොන් කියලා කොරියානු ස්වාමින්වහන්සේ නමක්. නමුත් ඊට කලින් ඉඳන් එම ස්ථානයේම කොරියානු කොන්ෆුසියස් ධර්මායතනයක් පැවති බවට සාක්ෂි තියෙනවලු. ඒ ඉතිහාසය ජේසෝන් අධිරාජ්‍ය සමය දක්වා දිවයන එකක්. කෙසේවෙතත් අවුරුදු 200ක් පමණ පැරණි මෙම පන්සල අදවනවිට ජෙජු දුපතේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වෙලා. මෙමඟින් දුපත පුරා විසිරී  ඇති තවත් පන්සල් 30ක් පාලනය වෙනවා.
එදා පන්සල තිබු ආකාරය (http://www.jejugwaneumsa.or.kr)

අවසන් වශයෙන් කොරියානු බුදු දහම ගැනත් පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ. කොරියානු බුදු දහම සැකසිලා තියෙන්නේ මුලික වශයෙන් මහායාන ඉගැන්වීම් වලින්. කලින් සඳහන් කළ බුදුකුටියේ වෙනසම් වලටත් බලපෑම් ඇතිකරන්න ඇත්තේ ඒවා හේතුව ආමිස පුජාවන්ට මූලික තැනක් ලැබෙන හින්දා.  ඒවගේම සෙන් (Zen) දහමේ එන ඉගැන්වීම් ප්‍රමාණයකුත් කොරියානු බුදුදහම තුළ අන්තර්ගතයි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 800 කට පස්සේ තමයි කොරියාවට බුදු දහම ලැබිලා තියෙන්නේ. ඒ වෙනකොට කොරියාවේ තිබිලා තියෙන්නේ ස්වභාවික වස්තූන්  වන්දනාවයි. බුදුදහම සහ පෙර පැවති ආගම අතර ගැටුමක් ඇතිවෙලා නෑ. ඒ වෙනුවට ඔවුන් බුදු දහමට පෙර ධර්මයේ විශ්වාස මුහු කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කඳු කියන්නේ බුදුන්ගේ පෙර භව වල නවාතැන් ගත් ස්ථාන ලෙස සැලකීම දක්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දැනටත් පවතින පන්සල් කඳු ආශ්‍රිතව ගොඩනගලා තියෙන්නේ. ජපානයට යටත්ව පැවති කාලයේත් කොරියානු බුදු දහම යටපත්ව ගිහින් තිබිලා තියෙනවා. හේතුව යටත් භාවයෙන් මිදීම සඳහා කොරියානුවන් මෙහෙයවන්නට බෞද්ධ භික්ෂූන් මුලිකත්වය ගෙන කටයුතු කිරීමයි. පසු කාලීනව ජපානයෙන් නිදහස ලැබුවත් ඇමෙරිකානු ක්‍රිස්තියානි සභා වල බලපෑම මත කොරියානු බුදු දහම පිබිදීමකට ලක්වෙලා නෑ. වර්ෂ 2005 දී රජය මගින් සිදුකල සංගණනයකදී අනාවරණය වුයේ කොරියානුවන්ගෙන් හතරෙන් එකක්  බෞද්ධයන් බවයි. කෙසේ නමුත් කොරියානු ජීවිත පැවැත්ම හා බැඳී ඇති කාරණා රැසකට බුදු දහමේ අභාෂය ලැබිලා තියෙනවා.

කන්දේ පිහිටි රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව සිහින් මීදුම් පටලයකින් වැහෙන්න පටන් අරන් තිබ්බා. ගොම්මන් අඳුර හෙමින් හෙමින් ඇදෙන වෙලාවේ රක්ෂිතය අද්දර මුවන් කිහිප දෙනෙකුත් අපේ නෙත ගැටුණා. අවසන් වශයෙන් කුඩා ගල් කුහරයක තිබ්බ බුදු කුටියක හදුන්කූරු දල්වලා අපි ආපසු එන්න පිටත් වුණා.
අපි සෙට් එක

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...