Skip to main content

පොදු ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස හැමිල්ටන් ඇළ භාවිත කිරීමේ වැදගත්කම...


 

රටක ආර්ථිකයේ ප්‍රධාන මිනුම් දණ්‌ඩක්‌ ලෙස එම රටෙහි ප්‍රවාහනයේ ඇති කාර්යéමතාව සලකනු ලැබේ. ලෝකයේ ප්‍රවාහන මාධ්‍යයන් කිහිපයක්‌ ඇති අතර වඩාත් ප්‍රචලිත ප්‍රවාහන මාධ්‍යයන් ලෙස ගුවන්, නාවික සහ මාර්ග වර්ගීකරණය කළ හැකි ය. ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස භාවිත වන මාර්ග, යළිත් දුම්රිය සහ මහාමාර්ග ලෙස වෙනස්‌ වේ. එමෙන් ම කේබල් කාර්, උමං, අධිවේගී මාර්ග, ගුවන් පාලම් ආදි විවිධ ආකාරයට වර්තමානයේ මේ ප්‍රවාහන මාධ්‍යයන් තවදුරටත් වෙනස්‌ වී තිබේ.

අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනය යනු මගීන් සහ භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා වන පැරැණිතම ආර්ථික හා පරිසර හිතකාමී මාර්ගවලින් එකකි. මෙය ඇතැම් ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇති එක ම මාර්ගය ද වේ. මේ යටතේ සරල නො වන ඉන්ධන බෝට්‌ටුවලින් සමන්විත යාත්‍රා විශාල වශයෙන් කුඩා සහ ප්‍රධාන අතු ගංගාවල සිට ප්‍රධාන ගංගා දක්‌වා ගමන් කිරීම සිදු වේ. ඒ අනුව මේ ජල මාර්ග, ප්‍රවාහනය, වෙළෙ¹ම, රැකියාව, ආහාර සැපයීම (ධීවර කර්මාන්තය හා වෙළෙඳපොළ වෙත පිවිසීම) සඳහා භාවිත කළ හැකි ය. විශාල වශයෙන් මහාමාර්ගවල සීමාවන් මඟහරවාගැනීම සඳහාත්, අභ්‍යන්තර ගම්බද නගරවලට සන්නිවේදනය සැපයීම සඳහාත් මේ අභ්‍යන්තර ජල මාර්ග යොදාගනු ලබයි.

ඒ අනුව මේ ලිපිය මඟින් අභ්‍යන්තර ජල මාර්ගවල වටිනාකම හා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස හැමිල්ටන් ඇළ යොදාගැනීමට පවතින විභවතා සහ එමඟින් ලබාගැනීමේ හැකියාව පවතින ප්‍රතිලාභ පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරනු ලබයි.

අභ්‍යන්තර ජල මාර්ග පිළිබඳ අධ්‍යයනයන් සිදු කරන මාර්චල් නමැති ප්‍රංශ ජාතිකයාගේ අදහස වනුයේ ජල ප්‍රවාහනය වැඩි වශයෙන් ග්‍රාමීය සංවර්ධනයට හේතු වන බව ය. එහි පවතින වාසි ලෙස ඔහු පෙන්වන්නේ නඩත්තු අවස්‌ථා ප්‍රමාණය අඩුකම, ප්‍රදේශ අතර පවතින හුදකලාව අඩු කිරීම, නව රැකියා උත්පාදනයක්‌ සිදු වීම, ආර්ථික ව හා පාරිසරික ව තිරසාර ප්‍රවාහනයට විසඳුමක්‌ ලෙස මෙය යොදාගත හැකි වීම ආදිය ය.

අභ්‍යන්තර ජල මාර්ග, ගංගා, වෙනස්‌ කළ ඇළ මාර්ග හා විශේෂයෙන් ඉදි කළ ඇළ මාර්ග ලෙස වර්ග තුනකින් යුක්‌ත වේ. බොහෝ භාණ්‌ඩ ජලය යොදාගෙන අතීතයේ දී ප්‍රවාහනය කෙරුණු අතර මේ සඳහා විශේෂයෙන් යාත්‍රා කුඩා වීම, මහාමාර්ග/වාහන භාවිතය අඩු වීම, ප්‍රවාහන කාලය කෙටි වීම යන සාධක හේතු විය. එහෙත් 18 වැනි සියවසේ දී, නැව් ප්‍රමාණයෙන් විශාල විය. වෙළෙඳ කටයුතු පුළුල් වීම ආරම්භ වූ අතර ප්‍රවාහන වේගය වැඩි වැදගත්කමක්‌ ගනු ලැබී ය.

19 වැනි සියවසේ දී ලෝකයේ දුම්රිය මාර්ග සහ මහාමාර්ග ප්‍රවාහනය සංවර්ධනය කිරීම හේතුවෙන් අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනයේ යම් අඩු වීමක්‌ සිදු විය. එහෙත් වර්තමානයේ දී ජල මාර්ග, ප්‍රවාහනය සඳහා යොදාගැනීමට විභවතාවක්‌ පවතින සංවර්ධිත මෙන් ම සංවර්ධනය වන රටවල් බොහොමයක, ජල මාර්ග, ප්‍රවාහනය සඳහා යොදාගැනීම සුලබ ව දැකිය හැකි ය. එයට හේතුව රටක්‌ එක්‌ ප්‍රවාහන මාධ්‍යයක්‌ මත ම රැඳී සිටීම එම රටේ ආර්ථික සංවර්ධනයේ පරිහානියට හේතුවක්‌ වන බැවිනි. මේ තත්ත්වය ආර්ථික අංශයට පමණක්‌ නො ව සමාජ හා දේශපාලන අංශ සඳහා ද සෘජු ව හෝ වක්‍ර ව හෝ බලපානු ලබයි.

ශ්‍රී ලංකාව තුළ ද යටත්විජිත යුගයට පෙර සහ පසු මේ අභ්‍යන්තර ජල මාර්ග මගීන් සහ භාණ්‌ඩ ප්‍රවාහනයට යොදාගත් බවට ඓතිහාසික වශයෙන් සාක්ෂි පවතියි. ශ්‍රී ලංකාවේ යටත්විජිත යුගයට පෙර විශාල සහ කුඩා ගංගාවන් මුහුදට ගලා බස්‌නා දිශානතිය සහ ඓතිහාසික භූ දේශපාලන ව්‍යqහයේ සැකැස්‌ම සලකන කල අනුරාධපුර සහ පොළොන්නරු අගනගර හා සම්බන්ධ වන බොහෝ මාර්ග, ගංගා හරහා ඉදි කර තිබෙන බව හඳුනාගත හැකි ය. අග නගරයේ සිට උතුරින් ජම්බුකෝලපට්‌ඨන, දකුණින් මාගම, නැඟෙනහිර වෙරළෙහි ගෝකණ්‌ණතිත්ථ හා පල්ලවවංක වරායන් ද, බටහිර වෙරළෙහි මහාතිත්ථ, මගන හා උරුවෙල වරායන් ද පිහිටා තිබීම ඊට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකි ය.

යටත්විජිත යුගයට පසු ශ්‍රී ලංකාව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ජාතීන් විසින් යටත් කරගන්නා ලදි. ලන්දේසීහු, ශ්‍රී ලංකාව තුළ නිවාස තැනීම, වගා කිරීම, ජල මාර්ග ඉදි කිරීම, ව්‍යාපාර කටයුතු සිදු කිරීම ආදියෙහි නිරත වූ හ. පහතරට පළාත් පාලනය කළ ලන්දේසි ජාතිකයන් විසින් කුරුඳු, පුවක්‌ වැනි වෙළෙඳ වටිනාකමක්‌ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඇළ මාර්ග තැනීම සිදු කරන ලදි. බ්‍රිටැනිකා විශ්වකෝෂයේ සඳහන් වන අන්දමට මඩකලපුවේ සිට සමන්තුරේ දක්‌වාත්, මාතර සිට වැලිගම දක්‌වාත්, කොළඹ සිට බෙන්තොට දක්‌වාත් ඇළ මාර්ග ලන්දේසි පාලන කාලය තුළ ඉදි කොට ඇත. මේ ලන්දේසි පාලන කාලය තුළ සිදු කරන ලද වර්තමානයේ භාවිතයට ගත හැකි ශ්‍රී ලංකාවේ පවතින අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස හැමිල්ටන් ඇළ හැඳින්විය හැකි ය. හැමිල්ටන් ඇළ සහ ඒ සමාන්තර මුතුරාජවෙල හරහා යන ඇළ මාර්ගවලින් ලන්දේසීන් මීගමුව, පුත්තලම, කල්පිටිය, මන්නාරම ප්‍රදේශවල සිට භාණ්‌ඩ කොළඹ කොටුවට ප්‍රවාහනය කර ඇත.

ඒ අනුව හැමිල්ටන් ඇළ යනු ලන්දේසීන් විසින් ඔවුන්ගේ වෙළෙඳ කටයුතු සඳහා ඉදි වූවකි. මෙහි ආරම්භය පුත්තලම කලපුවේ සිට වන අතර කොළඹ වරායෙන් අවසන් වේ. ලන්දේසි (ඕලන්ද) ජාතිකයකු වන හැමිල්ටන් නම් වූ ඉංජිනේරුවරයකු විසින් ඉදි කරනු ලැබ ඇති බැවින් මේ ඇළ එනමින් හඳුන්වනු ලබන අතර ඕලන්ද ඇළ ලෙස ද ඇතැම්හු හඳුන්වති. මේ හැමිල්ටන් ඇළේ කොටසක්‌ මීගමු කලපුවෙන් අවසන් ව එතැන් සිට කැලණි ගං මෝය දක්‌වා ව්‍යාප්ත වීමක්‌ සිදු වේ. මුල් කාලයේ මේ ඇළ මුල් කාලයේ කිලෝ මීටර 100ක්‌ පමණ දිගු වන්නට ඇතැයි අපේක්ෂා කෙරෙයි. කුලියාපිටිය හා පුත්තලම ප්‍රදේශ දක්‌වා විහිදුණු මේ ඇළේ සක්‍රිය කොටස්‌ වර්තමානය වන විටත් දක්‌නට ලැබෙන අතර අද වන විට මීගමුව කලපුවේ සිට කැලණි ගං මෝය දක්‌වා කොටස ප්‍රතිසංස්‌කරණය කර තිබේ.

අට වැනි වීර පරාක්‍රමබාහු රජතුමා විසින් 15 වැනි සියවසේ දී කුළුබඩු ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා මීගමුව කලපුව ප්‍රධාන තොටුපොළක්‌ ලෙස පරිහරණය කරන ලදි. පසුව භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඕලන්ද යුගයේ දී ආරම්භ කරන ලද හැමිල්ටන් ඇළ වර්ෂ 1802 දී පමණ එනම් බ්‍රිතාන්‍ය යුගයේ දී භාවිතය අත්හැර දැමිණි.

නැවත මේ හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස යොදාගැනීම සම්බන්ධ ව අවධානය යොමු වන්නේ පසුගිය රජය සමයේ දී ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 2016 වර්ෂයේ සිට 2025 දක්‌වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන 2016 මෙගාපොලිස්‌ ගමනාගමන සැලැස්‌මෙහි විස්‌තර කර ඇති පරිදි මගීන් සඳහා කොළඹ අභ්‍යන්තර ජල මාර්ග කිහිපයක්‌ භාවිත කෙරෙනු ඇති අතර මෙමඟින් මගීන් සහ දේශීය විදේශීය සංචාරකයන් සඳහා වෙනත් ප්‍රදේශවල සිට කොළඹට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන බව දක්‌වා තිබේ. එහි දී වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්‌වාත්, කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්‌වාත්, කොළඹ කොටුවේ සිට කැලණි ගඟේ මට්‌ටක්‌කුලිය දක්‌වාත්, එතැන් සිට හංවැල්ල දක්‌වාත්, මීගමුව වැනි වෙනත් ප්‍රදේශ දක්‌වාත් ගමන් කිරීමේ හැකියාව පවතින බව දක්‌වා තිබේ. මේ ව්‍යාපෘතිය සඳහා මෙගාපොලිස්‌ සහ බස්‌නාහිර සංවර්ධන අමාත්‍යංශය සමඟ ශ්‍රී ලංකා සංවර්ධන බැංකුව ද සම්බන්ධ වී ඇත.

එහි ආරම්භය වූයේ වැල්ලවත්ත දුම්රිය ස්‌ථානයේ සිට බත්තරමුල්ල දක්‌වා දියවන්නා ඔයට සම්බන්ධ ඇළ මාර්ග ඔස්‌සේ බෝට්‌ටු සේවාවක්‌ ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා යොදවනු ලැබූ බෝට්‌ටුවලට ගොඩවීම සඳහා වැල්ලවත්තේත් බත්තරමුල්ලේත් ජැටි දෙකක්‌ ඉදි කරන ලදි. එමෙන් ම මෙහි ප්‍රධාන නැවතුම්පොළක්‌ ලෙස විවෘත විශ්වවිද්‍යාලය අසල ජැටිය පත් කරන ලදි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්‌වා විනාඩි 30ක පමණ කාලයකින් ගමන් කිරීමේ හැකියාව තිබුණ ද මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු මේ ගමන් මාර්ගය දෙපස වැඩි වශයෙන් ගොඩනැඟිලි තිබීමත් ප්‍රධාන මාර්ග සමඟ සම්බන්ධ නො වීමත් හේතුවෙන් මගීන්ට අවශ්‍ය ස්‌ථාන වෙත ගමන් කිරීමට වැඩි කාලයක්‌ ගත විය. මේ හේතුවෙන් මේ බෝට්‌ටු සේවාව අසාර්ථක විය.

එහෙත් මේ ලේකාවගේ පර්යේෂණ අත්දැකීම් අනුව හැමිල්ටන් ඇළෙහි මීගමුව කලපුවේ සිට කැලණි ගංගා මෝය (හේකිත්ත ප්‍රදේශය) දක්‌වා කිලෝ මීටර 14.5ක කලාපය තුළ බෝට්‌ටුවකින් ගමන් කිරීමට කිසිදු බාධාවකින් තොර ව හැකියාව පවතින බව තහවුරු විය. ඒ සඳහා හැමිල්ටන් ඇළ යොදාගනිමින් ධීවර වෘත්තියේ යෙදෙන ධීවරයෝ සහ හැමිල්ටන් ඇළ දෙපස ජීවත් වන්නා වූ ප්‍රදේශවාසීහු සාක්‌ෂි දරති. එයට ප්‍රධානතම හේතුව වන්නේ මීගමුව කලපුවේ සිට කැලණි ගං මෝය දක්‌වා පහසුවෙන් බෝට්‌ටුවක්‌ ගමන් කිරීමට අවශ්‍ය පළලකින් හැමිල්ටන් ඇළ සමන්විත වීමයි. (රූපය අංක 1).

එමෙන් ම වැල්ලවත්ත දුම්රිය ස්‌ථානයේ සිට බත්තරමුල්ල දක්‌වා ක්‍රියාත්මක වූ බෝට්‌ටු සේවාව අසාර්ථක වීමට බලපාන ලද ගමන් මාර්ගය දෙපස වැඩි වශයෙන් ගොඩනැඟිලි තිබීමත් ප්‍රධාන මාර්ග සමඟ සම්බන්ධ නො වීමත් හේතුවෙන් මගීන්ට අවශ්‍ය ස්‌ථාන වෙත ගමන් කිරීමට වැඩි කාලයක්‌ ගත වීම යන හේතු සාධක හැමිල්ටන් ඇළෙහි දැකගැනීමට හැකියාවක්‌ නො වේ. එයට හේතුව හැමිල්ටන් ඇළට සමාන්තර ව මහාමාර්ගය පිහිටා තිබීමත් මගීන්ට අවශ්‍ය ස්‌ථානය වෙත පහසුවෙන් ළඟා වීමට හැකියාව තිබීමත් ය.

ඒ අනුව හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස භාවිත කිරීමට සුදුසු ය. ධීවරයන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ අදහස්‌ සහ අත්දැකීම් පාදක කරගනිමින් පමුණුගම, බෝපිටිය, උස්‌වැටකෙයියාව සහ හේකිත්ත යන ස්‌ථානයන්හි ජැටි නිර්මාණය කිරීම ඉතා ම යෝග්‍ය වේ. (රූපය අංක 2). (ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයන්ගේ අදහස්‌ සහ අත්දැකීම් ලබාගැනීම හේතුවෙන් මෙය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය විභවතා සහ දුර්වලතා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇත.)

මෙය ක්‍රියාත්මක වීම මඟින් මේ ප්‍රදේශය තුළ විශේෂයෙන් තුඩැල්ල, අලුත් අක්‌කරය, උස්‌වැටකෙයියාව, කුන්ජනාවත්ත, දික්‌ඕවිට, හැඳල, හේකිත්ත යන ප්‍රදේශ තුළ පෙරවරු 6.30 සිට 7.30 දක්‌වාත්, පස්‌වරු 6.30 සිට 7.30 දක්‌වාත් පවතින ප්‍රවාහන තදබදය සඳහා විසඳුමක්‌ ලබාගැනීමට හැකියාවක්‌ පවතියි. තව ද මේ ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක්‌ ස්‌වයං

රැකියා අංශයේ නියුතු වන අතර එම පිරිසෙන් වැඩි පිරිසක්‌ සිය නිවස ඉදිරිපිට සුළු වශයෙන් ව්‍යාපාරික කටයුතු සිදු කරමින් ජීවත් වෙති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් අඩු මුදලකට පහසුවෙන් ලබාගැනීමටත්, ඔවුන්ගේ ආර්ථික මට්‌ටම වර්ධනය කරගැනීමටත් හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස භාවිත කිරීමෙන් හැකියාව ලැබෙනු ඇත.

මෙමඟින් වක්‍රාකාර ව හැමිල්ටන් ඇළෙහි දක්‌නට ලැබෙන්නා වූ අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරගැනීමට ද අවස්‌ථාව ලැබේ. එයට හේතුව මගී ප්‍රවාහනය සඳහා මේ ඇළ මාර්ගය භාවිත කරන්නේ නම් ඇළ මාර්ගය නිරතුරු ව ම පිරිසිදු කිරීම සිදු කළ යුතු වීමයි. එයින් තවදුරටත් ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් ඇති වන ජල ගැලීම් පාලනය කරගැනීමට ද හැකියාවක්‌ ලැබෙනු නො අනුමාන ය.

තව ද මේ ලේකාවගේ පර්යේෂණ අත්දැකීම් අනුව පැහැදිලි වූයේ බොහෝ පිරිස්‌, ප්‍රවාහනය සඳහා අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස හැමිල්ටන් ඇළ භාවිත කිරීමට කැමැත්තක්‌ දැක්‌වුව ද එය පිළිබඳ අවබෝධයක්‌ නොමැති වීම මත එදිනෙදා ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස මෙය භාවිත කිරීමට ඔවුන් තුළ පසුබෑමක්‌ ද දක්‌නට ඇති බවයි. එබැවින් පළමු ව මෙහි ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු අතර එහි දී මේ සඳහා වැය වන මිල ගණන්, ආරක්ෂාව මෙන් ම පහසුව පිළිබඳව වැඩි වශයෙන් දැනුවත් කළ යුතු ය. බොහෝ ප්‍රදේශවාසීන් මෙයට අකැමැති වීමට ප්‍රධාන හේතූන් වන්නේ ඔවුනට මේ පිළිබඳ අදහසක්‌ හෝ අවබෝධයක්‌ නො වීමත්, ජලයේ ගමන් කිරීම මඟින් ජීවිතය අනාරක්ෂිත වේ යෑයි බියක්‌ පැවතීමත් ය.

කෙසේ වුව ද මේ ඇළෙහි ජලය දෙපසට ම ගමන් කිරීමක්‌ සිදු වෙයි. එනම් මීගමුව කලපුවේ ජල මට්‌ටම ඉහළ අගයක්‌ ගත් විට හැමිල්ටන් ඇළෙහි ජල ගැලීම කැලණි ගං මෝය දෙසටත්, කැලණි ගංගාවේ ජල මට්‌ටම ඉහළ අගයක්‌ ගත් විට හැමිල්ටන් ඇළ ඔස්‌සේ මීගමුව කලපුව දෙසටත් ජලය ගැලීම සිදු වේ. එබැවින් මේ පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කළ යුතු ය. එසේ නො වුණ හොත් ඇතැම් විට මෙය අසාර්ථක වීමට ද හැකියාවක්‌ පවතියි.

මේ අනුව අභ්‍යන්තර ජල මාර්ග වැඩි වශයෙන් යොදාගනු ලබන නෝර්වේ, වෙනිසියුලාව, චීනය, ඉන්දියාව වැනි පෙර අපරදිග රටවල් මෙන් ම ශ්‍රී ලංකාවේ ද අතීතයේ දී භාණ්‌ඩ ප්‍රවාහනයට යොදාගත් හැමිල්ටන් ඇළ අභ්‍යන්තර ජල මාර්ගයක්‌ ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි වේ. එමඟින් හැමිල්ටන් ඇළ අපජලය බැහැර කරන ජල මූලාශ්‍රයක්‌ ලෙස සමාජගත වී පවතින අදහස වෙනස්‌ කරමින් වටිනාකමක්‌ සහිත සම්පතක්‌ බවට පත් කරගැනීමට ද අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත.

හැමිල්ටන් ඇළට අමතර ව සාන්ත බස්‌තියන් තොට, වැල්ලවත්ත, දෙහිවල ඇළවල්, ලේක්‌ හවුස්‌, දියවන්නා ඇළවල් ආදිය අතීතයේ සක්‍රිය ඇළවල් ලෙස තිබී ඇත. ශ්‍රී ලංකාවේ බොහෝ අභ්‍යන්තර ජල මාර්ග පවතින අතර නව පාලම් ඇති කිරීම හා ජල මාර්ග පුළුල් කිරීම ආදිය සිදු කොට නැවත භාවිතයට ගත හැකි පරිදි ඒවා ප්‍රතිසංස්‌කරණය කළ හැකි ය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන ප්‍රදේශ කිහිපයක අභ්‍යන්තර ජල මාර්ග සුළු වශයෙන් යොදාගනු දක්‌නට ලැබේ. එහෙත් මේ තත්ත්වය අතික්‍රමණය කරමින් පොදු මගී ප්‍රවාහනය සඳහා ද විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ නම් ඉතා ම කාලෝචිත ය.

කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්‌නට ලැබෙන්නා වූ මාර්ග තදබදය සහ වායු දූෂණය අවම කරගැනීමට ඇති හොඳ ම සහ තිරසාර විසඳුමක්‌ ලෙස ශ්‍රී ලංකාවට සම්පතක්‌ වශයෙන් ලැබී ඇති අභ්‍යන්තර ජල මාර්ග සැලකිය හැකි ය. මේවා අපජලය බැහැර කරන්නා වූ ස්‌ථාන බවට පත් නො කරමින් ප්‍රවාහනය සඳහා භාවිත කළ යුතු ය. එයින් අපගේ ආර්ථිකයේ වර්ධනයක්‌ ඇති කරගැනීමටත් පරිසර දූෂණය අවම කොට මගීන්ගේ ශාරීරික මෙන් ම මානසික මට්‌ටම යහපත් ලෙස පවත්වාගැනීමටත් හැකියාවක්‌ ලැබෙනු නොඅනුමාන ය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...