මැදපෙරදිගට අයත් වන රටවල් ගණනාවක්‌ම තිබේ. "සෞදි අරාබිය", "එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, "බහරේනය", "ලෙබනනය", "කුවේටය" ජෝර්දානය, සිරියාව, ඕමානය, ඉරානය, ඉරාකය එයින් රටවල් කිහිපයක්‌ය. මෙම සෑම රටකම පාහේ විවිධ ලක්‌ෂණ දක්‌නට ලැබුණ ද, රටවල් සියල්ලෙහිම ලක්‌ෂණවල පොදු බවක් ද හඳුනා ගැනීමට පිළිවන. එහෙයින්ම එම සියලුම වූ සුවිශේෂතාවන් මැදපෙරදිගට ආවේණිකවූ ලකුණු ලෙස අර්ථකථනය කිරීමද වැරදි නැත. එම ලකුණු සැමෙකම පාහේ ආගම, භාෂාව, සංස්‌කෘතිය, පරිසරය, ආර්ථිකය මෙන්ම දේශපාලනය ආදී මාතෘකා කිහිපයම ඔස්‌සේ සාකච්ඡාවට බඳුන් කිරීමට පිළිවන.
මේ ආදී වශයෙන් බැලීමේදී ඒ අනුව මැදපෙරදිගට අයත් වන්නාවූ රාජ්‍යයන් සියල්ලෙහිම පාහේ සුලබ ලෙස දක්‌නට ලැබෙන්නේ ඉස්‌ලාම් ආගම වැළඳ ගත් භක්‌තිමත් ජනතාවකි. ඔවුන් අදහන, පුදන හා නිබඳ ගරු සරු දක්‌වන්නා වූ එම දහම වනාහී ඒ ඒ රාජ්‍යයන්හි රාජකීය ආගමද වන්නේය. මෙම ආගම මුලින්ම ලොව තුළ ප්‍රභවය ලැබූයේ ක්‍රිස්‌තු වර්ෂ හත්වැනි සියවසෙහිදී පමණය. එමෙන්ම එය ඒ අවධියෙහිදීම මැදපෙරදිග රටවල ජීවත්වූ ප්‍රධානම ජාතිය වූ අරාබි වැසියන් කෙරෙහිද විප්ලවකාරී ආකාරයකින් බලපෑවේය. මේ ඉස්‌ලාම් දහම අරාබිකරය පුරා ව්‍යාප්ත කිරීමෙහිලා මූලික වූයේ මහමත්තුමාය. ඉස්‌ලාම් ඉගැන්වීම පමණක් නොව මහමත්ද එතෙක් කලහකාරීව විසූ අරාබි ගෝත්‍ර එකට ඒකරාශී කළේය. එම ඒකරාශිත්වය මැදපෙරදිග අරාබිකරයට මහත්වූ ලෝක අධිරාජ්‍යයක් දක්‌වා පරිවර්තනය කිරීමට සමත්වූ බව ලෝක ඉතිහාසඥයන්ගේ මතයයි. මැදපෙරදිග රටවල ජනතාව අදහන ආගම සේම රජයේ ආගම ද ඉස්‌ලාම් දහම වුවත් ඒ සෑම රටකම පාහේ වෙනත් ආගම් ජීවන දර්ශනයකොට ගත් මිනිසුන් ද සුළු වශයෙන් හෝ දකින්නට පිළිවන. ඒ ආගම් අතර හිංදු හා ක්‍රිස්‌තියානි ආගම පමණක් නොව බුදු දහම ද දක්‌නට ලැබීම විශේෂත්වයකි. භාෂාව අනෙකයි. එනම් මැදපෙරදිග වසන ජනතාවගේ ප්‍රධානතම භාෂාව වී තිබෙන්නේ "අරාබි භාෂාව" යි. මෙය මෙසේ වුවත් වෙනත් භාෂාවන්ගේ මෙන්ම ජාතීන්ගේ ද සංස්‌කෘතියෙන් හා කලාවන්ගෙන් ද ලද හැකි සොම්නස පමණක් නොව රසාස්‌වාදයද ලබාගැනීමෙහිලා මැදපෙරදිග වැසියෝ පසුබට නොවූහ. එහෙයින් වෙනත් භාෂා පමණක් නොව ඒවායින් සැදුම්ලත් සංස්‌කෘතීන්ද නිබඳ මුණගැසුණු විට මේ මැදපෙරදිග ජීවත්වන්නේ අෙන්‍යාන්‍ය වශයෙන් ඒවා හුවමාරු කර ගන්නට ද වූවෝය. මෙලෙස පොදු භාෂාවක් වශයෙන් පැතිරී ගිය අරාබි භාෂාව අලුත් සංස්‌කෘතියක උපත හා ව්‍යාප්තිය කෙරෙහි ද කදිම මාවතක් වූයේය. මැදපෙරදිගට අයත් වැඩිමනත් රාජ්‍යයන්හි ඉංග්‍රීසි, හිංදි, උර්දු හා පර්සියන් වැනි භාෂාද දක්‌නට ලැබෙන්නේ මේ නිසාවෙනැයි කල්පනා කළ හැකිය. මැද පෙරදිගට අයත් රටක් වන එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය මෙයට හොඳම නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙම රාජ්‍යයෙහි ප්‍රධාන භාෂාව ඒ අනුව අරාබි භාෂාවයි. එයට අමතරව පූර්වෝක්‌ත කී භාෂාවන්ද එහි තිබේ.
විවිධාකාරවූ සංස්‌කෘති ද මැදපෙරදිග රටවල විරල නොවේ. මෙහිලාද ගෙනහැර දැක්‌විය හැකි එක් නිදසුනක් වන්නේ මැදපෙරදිගට අයත් තවත් රටක් වන "ලෙබනනය" රාජ්‍යයේ සංස්‌කෘතියයි. මැද පෙරදිගින්ම හොඳම අධ්‍යාපනය පවතින ලෙබනනයේ 87.4% ක් වන සාක්‌ෂරතාවකින් යුත් ජනතාවෝ ඒ ඒ සංස්‌කෘතීන්හි උරුමකරුවෝය. තවදුරටත් සඳහන් කළ හොත් ප්‍රංශ හා ඉංග්‍රීසි භාෂාවලින් ලිsයෑවුණු කවි හා විශිෂ්ට ගණයේ නවකතාවලින්ද මේ මැදපෙරදිග රටෙහි සංස්‌කෘතිය මනා පෝෂිත බවක් ලබා ඇත. එසේම ගැමි නැටුම් හා ජන ගායනාවන්ගෙන්ද මැදපෙරදිග වැඩිමනත් රටවල සංස්‌කෘතිකාංගයනට ආලෝකයක් වැටී ඇත්තේය. පුරාවිද්‍යා අංශයට අයත් ලෙබනනයේ ඇති අන්ජාර් හා ටයර් සුප්‍රසිද්ධ ලෝක උරුමයෝද වෙති. ඒ අතරට වැටෙන අනෙක් ලෝක උරුම දෙක වන්නේ බැල්බෙක් හා බයිබ්ලෝස්‌ය.
පරිසරය වනාහී මුළු මහත් ලොවටම පොදුවූ ජීව වස්‌තුවක් වුවද අනෙක් පසින් එහි දක්‌නට ලැබෙන විශේෂතම ලක්‌ෂණය වන්නේ අසමානත්වයයි. නොයෙකුත් ශාක, සතුන්, පාෂාණ ආදිය පමණක් නොව කාලගුණය හා දේශගුණ සාධකවලින්ද පිරී ඉතිරී ගිය මැදපෙරදිග වියළි දැඩි උණුසුමකට බර දේශගුණයක් පැවතීම එහි දක්‌නට ලැබෙන සුලබතාවකි. මේ සඳහාද වැදගත් තොරතුරු රාශියක් ගෙනහැර දැක්‌විය හැක්‌කේ මැදපෙරදිග රටක් වන ඕමානයෙනි. එහි පවත්නේ බෙහෙවින් වියළි දේශගුණයකි. එම වියළි බවින් එරට වාසීන්ගේ ගත නංවන දාහය සුළු පටු වූවක්‌ද නොවේ. මේ හේතුවෙන් ඕමානයේ පමණක් නොව මැදපෙරදිග පුරාවෙහිත් අතීතයේ නම් නිවාස ඉදිකෙරුණේ එම නිවාස ඇතුළෙහි සීතල ස්‌වභාවය ආරක්‌ෂා වන ආකාරයටය. එනම් මෑතක් වන තෙක්‌ම මැදපෙරදිග නිවාස තැනීමට බෙහෙවින් උපයෝගි කර ගත්තේ වැලි සහ මැටි අනා සකසා ගත් ගඩොලුයි. එම ගඩොලින් තැනූ ගෙවල බිත්ති වඩාත් ගණකම් වීය. එසේම ඒවායෙහි ජනෙල් කවුළුද බෙහෙවින් කුඩා වූයේය. එබැවින් නිවාස ඇතුළත සීතල රැඳී පැවැති අතර තද හිරු එළිය ගෙවල් ඇතුළට වැටුණේද සීමා සහිතවය. වර්තමානය වන විට මැදපෙරදිග වැසියන්ගේ නිවාස ඉදිකිරීමෙහිලා නවීන තාක්‌ෂණය විවිධාකාරයෙන් භාවිතයට ගෙන ඇතත් නිවාස ඉදිකර තිබෙන්නේ මෙකී වියළි වූත්, තද උණුසුම් වූත්, දේශගුණයෙන් ආරක්‌ෂාව සැලසෙන ආකාරයටයි. කෙසේ නමුත් මැදපෙරදිග රටවල ශීත සෘතුවේ වියළි සීත දේශගුණයක්‌ද පවතින අතර කඳුකර ප්‍රදේශයන්හි ඇත්තේ සෞම්‍ය දේශගුණයක්‌ය. මෙම වියළි දේශගුණයට ඔරොත්තු දෙමින් හැදී වැඩෙන ශාක විශේෂ දක්‌නට ලැබීමද මැදපෙරදිග තවත් එක් විශේෂත්වයක්‌ය. රටඉඳි, ඇකේෂියා, කටු පඳුරු, ඕක්, µයින්, ඔලිව් වැනි ගස් මේ අතරට ප්‍රධාන වෙයි.
වර්ෂාව මැදපෙරදිගට වහින්නේම නැති තරම්ය. මඳ වැස්‌සක් හෝ වැටුණොත් ඒ වැස්‌ස වැටෙන්නේ කඳුකරයකට පමණි. කඳුකරවල සිට මේ වැහි වතුර නිම්න දිග හෙමි හෙමින් ගලා බසී. මේ හෙයින් නිම්නවල ඉතා සරුවට තණකොළ සේම රටඉඳි ද වැවේ. වැස්‌ස නැති බැවින් මැදපෙරදිග රටවල ගංගා, ඇළ දොළ හෝ විල් ආදිය ද කිසිවක් දක්‌නට නොලැබේ. වැඩියක් රටවල ජීවත්වන්නන් මුහුදු වතුර බීමට ගන්නේ වාෂ්පීකරණය කර ලුණු ඉවත් කිරීමෙන් පසුවයි. මෙය Desalination නම්වන ලවණහරණය නමැති වියදම් අධික ක්‍රමයකි. මැදපෙරදිගට අයත් කුවේට් රාජ්‍යයේ මෙම ක්‍රියාවලිය බෙහෙවින් දක්‌නට ඇත. තවද මෙහි කාන්තාරද දැකගත හැකිය. සැකෙවින් පවසතොත් මෙම කාන්තාර වූ කලී කුවේටයට පමණක් නොව සමස්‌ත මැදපෙරදිගටම පොදු වූ ලක්‌ෂණයක් ලෙස සලකන්නට පිළිවන. මැද පෙරදිග කාන්තාර පිළිබඳ කථා කිරීමේදී ඒවා හා බැඳුණු ඔටුවා කිසිසේත් අමතක කළ නොහැකිය. ඔටුවාට දවසකට කාන්තාරයක් තුළ කිලෝමීටර තුන්සියයක් වුවද ඇවිද යා හැකිය. ඔටුවාගේ පිටෙහි ඇති විශාල මොල්ලිය ඔටු රුවක් දුටු කිසිවකුටත් අමතක වූවක් නොවනු ඇත. වැඩි වශයෙන්ම මෙම මොල්ලියෙහි ගබඩා වී තිබෙන්නේ මේදයයි. මේ මේදය නිසා ආහාර හෝ ජලය නැතිව දින ගණනාවක් වුවද ඔටුවාට ජීවත්විය හැකිය. කවර බාධකයකට වුවද ඔරොත්තු දෙමින් දින ගණනාවක් වුවද ගමන් කළ හැකි බැවින් මැදපෙරදිග රටවල වැසියන් ඔටුවා ගමන් බිමන් සඳහා අතීතයේත් යොදා ගත් අතර සුළු වශයෙන් හෝ අද ද යොදා ගන්නා බැවින් ඌ "කාන්තාරයේ නෞකාව" වශයෙන් හැඳින්වේ.
ඔටුවා මැදපෙරදිග වාසීනට පිහිටවන්නේ මෙලෙස ගමන් බිමන් සඳහාම පමණක් නොවේ. ඔටුවා සිය කිරි දියරවලින්ද ඔවුනට සංග්‍රහ සත්කාර කරන්නෙකි. මැදපෙරදිග රටවල බෙහෙවින්ම යෝගට් හා වෙඬරු නිෂ්පාදනය කරන්නේත් මෙම ඔටු කිරිවලිනි. ඔටු ලෝම අතීතයේ රෙදි විවීම සඳහා යොදා ගත් අතර ඔටු හම්වලින් අද ද පසුම්බි හා භාජන සකස් කෙරේ. මැදපෙරදිග ඕමානයේ ඔටුවාගේ මස්‌ද ආහාරයට ගැනෙන අතර එක්‌සත් අරාබි එමීර් රටෙහි එළුවන්, බැටළුවන් මෙන්ම කුකුළන්ද මස් සඳහා ඇතිකරන සතුන්ය. ඇතැම් එළවළු වගා සඳහා ද මෙම දේශයෙහි කාලගුණ දේශගුණ සාධක එතරම් අහිතකර නැත. එමීර් රටෙහි ඒ අනුව කොමඩු වැනි පළතුරුත්, සිරියාවෙහි තිරිඟු, බාර්ලි, කපු, මයිසූර්, කඩල වැනි බෝගත්, ඕමානයෙහි රටඉඳි, අඹ, කෙසෙල්, බණ්‌ඩක්‌කා, වැටකොළු, මුරුංගා වැනි බෝගත් සුලභ ලෙස වගා කරයි. විශේෂයෙන් නිරිතදිග ආසියාවේ මැදපෙරදිග රටක් වන සිරියාවෙහි මුවන්, කැලෑ බළලුන්, ලේනුන්, ඉත්තෑවන්, හාවුන්, පැස්‌බරුන්, රාජාලියන් සේම උකුස්‌සන් වැනි සත්ත්වයන්ද දක්‌නට ලැබේ.
ආර්ථික අතින්ද ගතහොත් මැදපෙරදිග තරම් එයින් සමෘද්ධ වූ තවත් දේශයක් ලොව කොතැනකත් නැති තරම්ය. එම ආර්ථික සමෘද්ධිමත් බව සිය දහස් ගුණයකින් ඔසවා තැබීමට හොඳින් ඉවහල් වී තිබෙන්නේ මැදපෙරදිග රටවල බහුල විවිධාකාර වූ සම්පත්ය. හුදෙක්‌ම ඒවා මැදපෙරදිගට මිල මුදල් ගලාගෙන එන උල්පත් වැන්න. මැදපෙරදිගට අයත් කවර රටෙක වුවත් එහෙයින් ඛනිජ තෙල් ආකර දුලබ නොවේ. බහරේන්, කුවේට්, සිරියාව, එක්‌සත් අරාබි එමීර්, ඉරාන, ඉරාක මෙම කවර මැදපෙරදිග රටක වුවත් තෙල් සංචිත බෙහෙවින් දක්‌නට ලැබේ. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ධීවර, ඇලුමීනියම්, සිමෙන්ති, රසායන ද්‍රව්‍ය, වෙළෙඳ නැව් අලුත්වැඩියාව, බෝට්‌ටු නිෂ්පාදන, රෙදි කර්මාන්තවලින්ද විශාල ආදායමක් ලැබුණත් එම සියලු ආදායම් අභිබවා එරටට සුවිශාල ධනස්‌කන්ධයක් ලැබෙන්නේ බොරතෙල් අපනයනයෙනි. බහරේනයේද නොයෙකුත් අවශේෂ ආදායම් මාර්ග පැවතුණත් රටට ආදායම්වලින් 60% ක්‌ම ලැබෙන්නේ තෙල් සහ පෙට්‍රොaලියම්වලින්ය. මැදපෙරදිග සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී අරාබි රාජ්‍ය සංවිධානය ගැන ද කතා නොකර බැරිය. මැදපෙරදිග රටවල්ද ඇතුළු ඉස්‌ලාමීය රටවල් 21 ක් ඒකරාශීවීමෙන් අරාබි රාජ්‍ය සංවිධානය බිහිකරගෙන ඇත. මෙම රටවල් සංඛ්‍යාව දැන් පනහකට වඩා වැඩිවී ද තිබේ. කෙසේ වුවත් අරාබි රාජ්‍ය නායක සමුළුව නියෝජනය කළ රටවල් අතර ඛනිජ තෙල් සම්පතින් අනූන රටවල්ද ගණනාවකි. ඒ රාජ්‍යයන් අතරින් වැඩිම ප්‍රමාණයක් මැදපෙරදිග රාජ්‍යයන් වීමද සුවිශේෂත්වයකි. සවුදි අරාබිය, ඉරාකය, ඉරානය, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය එම මැදපෙරදිග රටවල් අතරින් කිහිපයකි. මැදපෙරදිග රාජ්‍යයන්හි දේශපාලනය ඒකාකාරී දේශපාලන චින්තනයක් හෝ දර්ශනයක් අනුව ගොඩනැඟුණක් නොවේ. එය මැදපෙරදිග රාජ්‍යයන්ගේ පමණක් නොව මුළු මහත් අරාබි ලෝකයේම එක්‌සත් බවට බලවත් තර්ජනයක් වී ඇතැයි ජගත් දේශපාලන විචාරකයන්ගේ අදහසයි. තවදුරටත් පැහැදිලි කළහොත් මැදපෙරදිග අරාබි රාජ්‍යයන් බොහොමයක්‌ම පාහේ දරන්නේ එකම දේශපාලන මතවාදයක් නොවේ. එනම් මැදපෙරදිග එක අරාබි රාජ්‍යයක් බටහිරට ලැදි දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවිට තවත් රාජ්‍යයක් අනුගමනය කරන්නේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රාජ්‍යයන්ගේ දේශපාලන මූලධර්මයෝයි. මේ අතර මැදපෙරදිග ඇතැම් රටවල් මධ්‍යස්‌ත ප්‍රතිපත්තියක් අනුගමනය කරන විට තවත් රාජ්‍ය දැඩි අන්තවාදී පිළිවෙත් ද අනුගමනය කරනු දැකගත හැකිය
Comments
Post a Comment