කොළඹ තෙත් බිම්වල සිතනවාට වඩා විශාල ජෛව විවිධත්වයක් තිබෙනවා, ඒත් එවැනි සම්පතක් අවට පරිසරයේ ඇති බව කොළඹ නගරවාසීන් වැඩි දෙනෙක් දන්නේ නැහැ
කොළඹ ප්‍රදේශයේ දක්‌නට ලැබෙන තෙත් බිම් සමහරක් දැනට ද ජෛව විවිධත්වය අතින් ඉහළ පොහොසත් බවක් පෙන්වන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා පවසයි.
2015 වසරේ ඒ මහතා ද ඇතුළු කණ්‌ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී පෙනී ගොස් ඇත්තේ බැද්දගාන, තලවතුගොඩ, මාලබේ මෙන්ම නුගේගොඩ වැලිපාක් තෙත්බිම ද අති විශාල ශාක හා සත්ත්ව ජෛව විවිධත්වයකින් අනූන බව ය. තර්ජනයට ලක් වූ ජීවීන් පමණක් නො ව වඳ වී ගොස් ඇතැයි උපකල්පනය කර තිබූ ජීවීන් පවා ඇතැම් විට මේවායින් හමු වී ඇත.
එහෙත් කොළඹ වෙසෙන බහුතරයක් ජනතාව මෙවැනි වටිනාකමක් සහිත උද්‍යාන තමන් අවට පරිසරයෙහි තවමත් පවතින බව නො දනිති.
මහාචාර්ය වීරකෝන් මේ බව අනාවරණය කර සිටියේ පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් ඉකුත් සතියේ කොළඹ තෙත්බිම් අළලා පවත්වන ලද වැඩමුළුවක දී ය. බත්තරමුල්ල වෝටර්ස් එඡ්හි දී පැවැත්වුණු මේ වැඩමුළුව හා සංවාදයට පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතන නිලධාරීහු, රාජ්‍ය නො වන හා සමාජ සංවිධාන ක්‍රියාකාරීහු, විද්වත්තු, මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක් එක් වී සිටිය හ.
මහාචාර්ය වීරකෝන් මෙහි දී සඳහන් කර සිටියේ අගනගර සීමාව තුළ සියයට 15ක පමණ ප්‍රමාණයක් එනම් වර්ග කිලෝමීටර 19ක් පමණ තෙත්බිම් බවයි. කෙසේ වෙතත් මේ බොහොමයකට නීතිමය රැකවරණයක් සැලසී නොමැති බව ද ඒ මහතා පවසා සිටියේ ය. 2016 වසරේ කොළඹ හටගත් ගංවතුරින් වූ හානිය ඩොලර් බිලියන 1.5ක් තරම් විශාල වුවත් තෙත් බිම් නො තිබුණා නම් විය හැකි ව තිබූ හානිය ඊට වඩා බෙහෙවින් ඉහළ එකක් වන්නට තිබුණු බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මහාචාර්ය වීරකෝන්ට අනුව අප බොහෝ විට අවධානය යොමු කරන්නේ තිබෙන සම්පත් රැකගැනීමට නොව නැති සම්පත් අලුතින් ඇති කරගැනීමට ය.
තෙත්බිම් ගංවතුර පාලනය, කැළි කසළවල විෂහරණය, පරිසර උණුසුම අඩු කිරීම, ජලය හා වාතය පිරිපහදු කිරීම ඇතුළු පරිසර සමබරතාව පවත්වාගැනීමෙහි ලා වැදගත් වන ක්‍රියාකාරිත්වයන් ගණනාවකට ම ස්‌වාභාවික ව දායක වෙයි. ඇතැම් රටවල් කෘත්‍රිම ව තෙත්බිම් නිර්මාණය කර මෙකී සේවාවන් ලබාගනිද්දී අප ස්‌වභාවයෙන් ලැබුණු තෙත්බිම් සම්පත ද විනාශ කරමින් සිටින බව 'කොළඹ තෙත්බිම් උපායමාර්ගික සැලැස්‌ම' යන මැයෙන් පැවැත්වූ සිය දේශනයේ දී මහාචාර්ය වීරකෝන් සඳහන් කර සිටියේ ය.
ඒ මහතාට අනුව දේශගුණික විපර්යාස, ජනගහන වර්ධනය සහ ආර්ථික සංවර්ධනය යන ක්‍රියාකාරකම් තෙත්බිම්වල පැවැත්ම කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන සාධක වේ.
උක්‌ත අධ්‍යයනය පාදක කරගනිමින් කොළඹ තෙත්බිම් සංරක්‌ෂණය උදෙසා පස් වැදැරුම් උපායමාර්ගික සැලැස්‌මක් පර්යේෂකයන් විසින් යෝජනා කරනු ලැබ තිබේ.
තෙත්බිම්වල වටිනාකම් හඳුනාගෙන මහජනතාව පමණක් නො ව රේ‚ය ආයතන ද ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කොට වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙහි ලා එම දැනුම ද සැලකිල්ලට ගැනීමට සැලැස්‌වීම, තෙත්බිම් තවදුරටත් විනාශ කිරීමේ කටයුතු වළක්‌වාගැනීම හා තිබෙන තෙත් බිම් සංරක්‌ෂණය, හානි වූ තෙත්බිම් යථා තත්ත්වයට පත් කිරීම, තෙත්බිම් සංරක්‌ෂණයට සැම පාර්ශ්වයක ම දායකත්වය ලබාගැනීම සහ තෙත්බිම් නීතිමයව විධිමත් පාලනයකට නතු කිරීම ඒ ක්‍රියාමාර්ග වේ.
මෙකී උපායමාර්ග සැකසීමට පෙර පර්යේෂකයන් කොළඹ තෙත්බිම්වලින් ලැබෙන වාර්ෂික පාරිසරික හා වෙනත් (විනෝදාංශ වැනි) වටිනාකම් මුදලින් කොපමණක් වේ ද යන්න ගණනය කර ඇති අතර එහි දී පෙනී ගොස් තිබෙන්නේ කොළඹ ඇති සියලු තෙත් බිම්වලින් වසරකට ලැබෙන ආර්ථිකමය ප්‍රතිලාභ රු. බිලියන 16-17 වැනි අගයක් බව ය.
කොළඹ තෙත්බිම්
කොළඹ, තෙත්බිම් නගරයක් ලෙස අන්තර්ජාතික රැම්සාර් සම්මුති ලේකම් කාර්යාලය විසින් 2018 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලදි. මෙය රැම්සාර් තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශිත පළමු දකුණු ආසියාතික අගනගරය වීම විශේෂත්වයකි. බැද්දගාන තෙත්බිම, දියසරු තෙත්බිම, හීන් ඇල තෙත්බිම, කොලොන්නාව තෙත්බිම, කෝට්‌ටේ තෙත්බිම, මාදින්නාගොඩ තෙත්බිම, මුල්ලේරියාව තෙත්බිම සහ තලංගම තෙත්බිම යන තෙත්බිම් කොළඹ නගරයට අයත් මෑතක දී ප්‍රකාශිත රැම්සාර් තෙත්බිම් වේ.
කොළඹ නාගරික තෙත්බිම්වල ඇති ශාක විශේෂ 250ක් පමණ අතරින් විශේෂ 9ක් පමණ ද, සත්ත්ව විශේෂ 280ක් පමණ අතරින් විශේෂ 30ක් පමණ ද ශ්‍රී ලංකාවට ආවේණික වේ.
2018 ලෝක බැංකු වාර්තාවට අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ තෙත්බිම් වසරකට සියයට 1.2 බැගින් වැනසෙයි.
සම්මුතියට අනුව මෙකී පිළිගැනීම සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරි වසර 6 ඇතුළත කොළඹ තෙත්බිම් වැනසීම වළක්‌වන ක්‍රියාමාර්ග තදින් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව වගබලාගත යුතු වේ. තෙත්බිම් රැකගැනීම සඳහා දායක වීම රජයේ පමණක් නො ව අප සැමගේ පොදු වගකීමක් බව ජනතාව සිතට ගත යුතු ය.
තෙත්බිම් සංරක්‌ෂණයේ වැදගත්කම
ජෛව විවිධත්වය සංරක්‌ෂණයට දෙශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමට ගංවතුර පාලනයට නාගරික උණුසුම අවම කිරීමට මානසික සහනය ලබාගැනීමට නාගරික පරිසර පද්ධතියේ සමතුලනයට තෙත්බිම් වැදගත් වේ.
ප්ලාස්‌ටික් ඇතුළු කසළ අසූචි මල අපද්‍රව්‍ය බැහැර ලීම අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ආක්‍රමණික ශාක සහ සතුන් ව්‍යාප්ත වීම නාගරික තෙත්බිම් වැනසීමට හේතු වේ.
තෙත්බිම් වැනසීමට අදාළ පැමිණිලි සඳහා විවෘත දුරකථන අංක
පරිසර යුක්‌ති කේන්ද්‍රය - 0710369000, මධ්‍යම පරිසර අධිකාරිය - 0112888999, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව - 1992, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව - 0112 868002, පරිසර පොලිස් ඒකකය - 0112587124
තෙත්බිම් ආශ්‍රිත ව සිදු වන නීති විරෝධී ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීමේ යාන්ත්‍රණය ශක්‌තිමත් කිරීම අරමුණු කරගෙන අත්හදා බැලෙමින් පවතින ස්‌මාර්ට් දුරකථන ඇප් එකක් හඳුන්වා දීම ද උක්‌ත සමුළුවට සමගාමී ව සිදු කෙරිණි. පරිසර යුක්‌ති කේන්ද්‍රයේ ද සහභාගිත්වයෙන් හඳුන්වා දෙනු ලැබ ඇති මේ ඇප් එක CEJ හෝ EJustice ලෙස සෙවුම් කර ඇන්ෙඩ්‍රායිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්‌මාර්ට් ෆෝන්වල Play Store එකෙන් බාගත කළ හැකි ය.
Comments
Post a Comment