Skip to main content

අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන මිථ්‍යාවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය බිලිගැනීමට ඉඩ නො තබමු...



මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කරන බවට චෝදනා එල්ල වන ප්‍රචණ්‌ඩ වන අලින් ඔවුන්ගේ ස්‌වාභාවික වාසස්‌ථානවලින් අල්ලා ගෙන ගොස්‌ රඳවා තැබීම සඳහා අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයක්‌ ඉදි කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඇති ප්‍රකට ජාතික උද්‍යානයක්‌ වන ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ හෙක්‌ටයාර් 3500ක භූමි භාගයක්‌ ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම ජාතික උද්‍යානයේ දිවි ගෙවන අලි ඇතුන් ඇතුළු සෙසු වනජීවීන්ගේ ජීවිතවලට තර්ජන රැසක්‌ එල්ල වීමේ සහ ජාතික උද්‍යානය අවට ගම්මානවල අලි - මිනිස්‌ ගැටුම් උත්සන්න වීමේ අවදානමක්‌ ඇති වී තිබේ. එසේ ම අවස්‌ථා කිහිපයක දී අත්හදා බලා අසාර්ථක වී ඇති අවිද්‍යාත්මක වන අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණ මෙවලමක්‌ වන 'අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන' සඳහා තවදුරටත් මහජන මුදල් මිලියන දහස්‌ ගණනින් වැය කිරීම නාස්‌තියක්‌ වන අතර එමඟින් ද තවදුරටත් මෙරට අලි මිනිස්‌ ගැටුම උත්සන්න වීම නො වැළැක්‌විය හැකි බව අවධාරණය කළ යුතු ය.

ප්‍රචණ්‌ඩකාරී වන අලින් අල්ලාගෙන ගොස්‌ රඳවා තැබීම මඟින් අලි - මිනිස්‌ ගැටුම පාලනය කිරීමට බව පවසමින් මෙරට ප්‍රථම 'අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථානය' 2007 වසරේ දී ඉදි කරනු ලැබුවේ ද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළ ය. උද්‍යානයේ කොටසක්‌ විදුලි වැට සහ අගල් යොදා වෙන් කර මෙසේ අලි ඇතුන් රැඳවීමට දරන ලද උත්සාහය කෙටි කලකින් ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්‌තියක්‌ පමණක්‌ ඉතිරි කරමිනි. ඉන් පසුව රුපියල් මිලියන 500කට වඩා වියදම් කරමින් 2013 වසරේ දී පමණ අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙවැනි ම එළිමහන් හස්‌ති සිර කඳවුරක්‌ ඉදි කිරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැලකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මේ ස්‌ථානය ඉදි කර පවත්වාගෙන යමින් මෙරට අලි - මිනිස්‌ ගැටුමට පිළියම් ලබා දෙන බව පවසමිනි. එහෙත් එය ද අසාර්ථක වූ තැන මේ වන විට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සකස්‌ කරමින් සිටින්නේ නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්‌ටයාර් 3500ක්‌ වැනි විශාල භූමි ප්‍රදේශයක්‌ වෙන් කරගෙන මේ අසාර්ථක අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක්‌ අත්හදා බැලීම මඟින් මහජන මුදල් රුපියල් මිලියන දහස්‌ ගණනක්‌ මකර කටට යෑවීමට ය. රෑ වැටුණු වළේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට ය.

'අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන' නමින් පවත්වාගෙන යන මෙවැනි එළිමහන් හස්‌ති සිර කඳවුරු මඟින් අලි - මිනිස්‌ ගැටුමට පිළියම් නො ලැබෙන බවටත්, එමඟින් සිදු වන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්‌ වීම පමණක්‌ බවටත් ඉතිහාසය ඕනෑ තරම් සාක්‌ෂි දරයි. ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකි ය යන මිථ්‍යා මතය පදනම් කරගනිමින් ඉදි කෙරෙන මේ මධ්‍යස්‌ථානවල අසාර්ථකත්වය මනාව පැහැදිලි වන්නේ දැනට මේ මධ්‍යස්‌ථානවලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන් ගෙන් එකකු වත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බැවිනි. මෙසේ ගාල් කරනු ලබන අලින් තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි - මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව නොකිවමනා ය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යැම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශ කළ යුතු ය.

අලි ඇත්තු තමන්ගේ පාරම්පරික වාස භූමිවලට දැඩි ඇල්මක්‌ දක්‌වන අතර තම පාරම්පරික වාසභූමිවලින් අල්ලා වෙනත් ස්‌ථානයකට ගෙන ගොස්‌ දැමුව ද හැකි සැම අවස්‌තාවක ම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරති. ඒ බව මානව පහදා දෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට අවස්‌ථා කිහිපයක දී ගෙන ගොස්‌ දැමූ ගල්ගමුවේ 'තනි දළයා' නම් හස්‌තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්‌ෂේත්‍රයේ රහසක්‌ නො වේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ල වන ඕනෑ ම බාධකයක්‌ ජයගැනීමට කටයුතු කරන අතර එවැනි අවස්‌ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්‌ඩ ඔවුන් වෙත එල්ල වන අවස්‌ථා ද ඇත. එසේ ම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත් වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි අලින් ද පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපළවලට හානි කිරීමට පසුබට නො වන අතර එමඟින් සිදු වන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි - මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.

ඒ මතු ද නො ව සිර කඳවුරේ බාධක බිඳ දැමීමට නොහැකි වන අවස්‌ථාවල මෙවැනි අලි ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්‌ ව රෝගී වී මිය යැමට ද හැකියාව ඇත. එසේ ම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියලු දෙනා ම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ගහන ඝනත්වය වැඩි වී ඔවුන් අතර ගැටුම් ඇති වී අලි ඇතුන් මරණයට පත් වීම සිදු වේ. තව ද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මිය යැම හෝ සදාකාලික සිරකරුවන් බවට පත් වීම හෝ මඟින් එම සතුන්ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීන වීමට හේතු වේ.

හොරොව්පතාන අලි ගාලට ඇතුළත් කෙරුණු අලි ඇතුන් හැටකට වැඩි සංඛ්‍යාවෙන් දැනට එහි ඉතිරි ව ඇත්තේ ඉතා අතළොස්‌සක්‌ පමණක්‌ වන අතර සෙසු අලින්ට කුමක්‌ සිදු වී දැයි වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පවා නො දනියි. එහෙත් අලි ගාල තුළ අලින් විශාල සංඛ්‍යාවක්‌ අකාලයේ මරණයට පත් වූ බව ද ඊට මේ අලි ගාල ඉදි කිරීමේ දී එතුළට අහම්බෙන් කොටු වූ ඇතින්නක සහ පැටවකු ද ඇතුළත් වූ බව ද නොරහසකි. තව ද මේ සිර කඳවුරෙන් මිදී පලා ගිය අලින් නිසා හොරොව්පතාන අවට ප්‍රදේශවල අලි - මිනිස්‌ ගැටුම් විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති බව ද වාර්තා වේ. ඒ අනුව මෙවැනි අලි රැඳවුම් මධ්‍යස්‌ථාන මඟින් අලි ඇතුන් සංරක්‌ෂණය හා අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණය සඳහා කිසිදු දායකත්වයක්‌ නො ලැබෙන බව පැහැදිලි ය.

තව ද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය වැනි මෙරට ප්‍රකට හස්‌ති වාසභූමියකින් විශාල බිම් ප්‍රමාණයක්‌ මෙවැනි ව්‍යාපෘතියකට වෙන් කරගැනීම එහි නේවාසික අලි ගහනයට ද මරු පහරක්‌ එල්ල කරයි. මින් පෙර වළව වම් ඉවුර ව්‍යාපාරය යටතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ජීවත් වූ අලි ඇතුන් තුන් සියයකට අධික ප්‍රමාණයක්‌ මේ ජාතික උද්‍යානයට ගාල් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙහි ජීවත් වූ අලි ඇතුන් කුසගින්න සහ විවිධ රෝගාබාධ හේතුවෙන් මරණයට පත් වූ බව සියලු දෙනා ම පාහේ දනී. දැනට එහි ඉතිරි ව සිටින්නේ එයින් බොහෝ ආයාසයෙන් දිවි ගැටගසාගත් අලි ඇතුන් පිරිසකි. නැවත මේ ආකාරයෙන් අලි ගාලක්‌ සඳහා ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ පාරම්පරික හස්‌ති වාසභූමි උදුරාගැනීම හේතුවෙන් එම සතුන් ආහාර හිඟයට මුහුණ දී මරණයට පත් වීම නොවැළැක්‌විය හැකි ය. එසේ ම මේ ආහාර හිඟය සහ වාසභූමි අහිමි වීම හේතුවෙන් හොරොව්පතානේ සිදු වුණාක්‌ මෙන් අලි ඇතුන් පෙරටත් වඩා වැඩි ශීඝ්‍රතාවකින් ගම් වැදීම හේතුවෙන් ජාතික උද්‍යානය වටා ගම්මානවල අලි - මිනිස්‌ ගැටුම් ඉහළ යැමට ද මේ අසාර්ථක ව්‍යාපෘතිය හේතු වේ. වසරකට අලි ඇතුන් පහළොවක්‌ පමණ මෙසේ සිරගත කෙරුණ ද එමඟින් අලි - මිනිස්‌ ගැටුමට කිසිදු පිළියමක්‌ ලැබී නොමැති බවට දිනෙන් දින ඉහළ යන අලි මිනිස්‌ ගැටුම් සහ එමඟින් රටට අහිමි වන අලි - මිනිස්‌ ජීවිත සාක්‌ෂි දරද්දී පවා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අඳුරේ අතපතගාමින් සිටීම විමතියට කරුණකි.

එවැනි පසුබිමක්‌ තුළ මහජන මුදල් රුපියල් මිලියන 2000ක්‌ පමණ නාස්‌ති කරමින් අසාර්ථක අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කිරීමට හැකියාවක්‌ නැත. මේ සඳහා මුලින් ලෝක බැංකුව මඟින් මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිත ව තිබුණ ද, ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පිළිබඳව අවබෝධ වීම හේතුවෙන් පසුව ඔවුන් එය ප්‍රතික්‌ෂේප කළ බව දැනගන්නට ලැබේ. එහෙත් එයින් ද පසුබට නො වූ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් මේ වන විට තම දෙපාර්තමේන්තුවේ ක්‌ෂේත්‍ර නිලධාරීන් තම දහදිය මහන්සියෙන් ගොඩනැ`ගූ වනජීවී අරමුදලේ මුදල් මඟින් මේ අසාර්ථක ව්‍යාපෘතිය ක්‍රියාවට න`ගන්නට උත්සාහ දරමින් සිටින්නේ ඔවුන් තුළ සැබැවින් ම අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණයට ඇති උනන්දුව නිසා ම ද යන්න ගැටලුසහගත ය.

එබැවින් 'අලි රැඳවුම් මධ්‍යස්‌ථාන' මිථ්‍යාවට යට වී මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කිරීමෙන් සහ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය නැවතත් අලි ඇතුන්ට මරු කතරක්‌ කිරීමෙන් වැළකී වඩාත් විද්‍යාත්මක අලි - මිනිස්‌ ගැටුම් කළමනාකරණ ක්‍රමවේදයකට යොමු වීම වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අද දවසේ කාර්ය භාරය බව අපි අවධාරණය කරමු. දඩබ්බර අලි ඇතුන් සිර කර අලි - මිනිස්‌ ගැටුම යටපත් කර තැබීමට අසාර්ථක උත්සාහයක නිරත වීම වෙනුවට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ යුත්තේ තම අතීත අත්දැකීම් හා දැනුම අවබෝධය සම්පිණ්‌ඩනය කොට වඩාත් යථාර්ථවාදී දීර්ඝකාලීන විසඳුම් ක්‍රියාවලියක්‌ වෙත ප්‍රවේශ වීම ය. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සඵලදායක විසඳුමක්‌ හමස්‌ පෙට්‌ටියෙන් පිටතට ගෙන ක්‍රියාත්මක කිරීම ය. අලි ඇතුන් යනු ශක්‌තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ත්ව විශේෂයක්‌ බව වටහාගෙන අලි ඇතුන් සංරක්‌ෂණය හා සංවර්ධනය මනා ලෙස ගලපා ගනිමින් ඉදිරියට යැම ය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...