Skip to main content

ධර්මිෂ්ඨ ජේ.ආර්. නිර්වස්ත්‍ර වූ කලවාන අතුරු මැතිවරණයට අවුරුදු තිස් නවයයි.



1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිත ව බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිය බලය අයථා ලෙස පාවිච්චි කළ තවත් අවස්ථාවක් වූයේ මීට අවුරුදු තිස් නවයකට පෙර රත්නපුර, කලවාන ආසනයට ඉදිරිපත් වූ ඡන්ද පෙත්සම හා ඒ හේතුවෙන් පවත්වන්නට සිදු වූ අතුරු මැතිවරණයයි.
කලවාන ඡන්ද පෙත්සම ඉදිරිපත් වූයේ 1977 මහ මැතිවරණයේ දී ඒ ආසනය ජය ගත් එජාපයේ අබේරත්න පිලපිටියගේ පත්වීමට එරෙහි ව ය. පෙත්සම ගොනු කරන ලද්දේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළ සරත් මුත්තෙට්ටුවේගම විසිනි. ඔහු 1970 මහ මැතිවරණයේ දී එජාපයේ අපේක්ෂකයා වූ අබේරත්න පිලපිටිය පරදවා ජය ගෙන 1977 දක්වා කලවාන ආසනයේ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ අතර 1977 මහ මැතිවරණයේ දී පිලපිටියට පරාජය විය.
77 මැකිවරණයේ දී පිලපිටිය ඡන්ද 12098ක් ලබා ගත් අතර මුත්තෙට්ටුවේගම ලබා ගත්තේ ඡන්ද 10436කි. ඒ අනුව ඔහු වැඩි ඡන්ද 1662කින් පරාජය වී තිබිණි. ඒ ප්‍රතිඵලය නොපිළිගත් සරත් මුත්තෙට්ටුවේගම පිලිපිටියගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඡන්ද පෙත්සම ඉදිරිපත් කළේ ය. ඡන්ද පෙත්සම විභාගයට ගත් අතර එයින් මුත්තෙට්ටුවේගම ජය ගන්නා ලකුණු පෙනෙන්නට තිබිණි. එසේ වුව හොත් පිලපිටියගේ මන්ත්රී තනතුර අහිමි වන්නට නියමිත ව තිබුණේ ය.
ඡන්ද පෙත්සම නිසා ජේ.ආර්.ගේ ආණ්ඩුව පත් වූයේ බලවත් අපහසුතාවකට ය. පිලපිටිය නියත වශයෙන් ම නඩුවෙන් පරාජය වන්නට යන බව පළපුරුදු නීතිඥයකු වූ ‍ජේ.ආර්.ට රහසක් නොවී ය. නඩුවෙන් පරාජය වී පිලපිටියගේ මන්ත්‍රීකම අහෝසි වී ගිය හොත් කලවාන ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදු වන බවත් එයින් යූඇන්පියට ජය ගත නොහැකි බවත් ඔහු දැන සිටියේ ය. 77 මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය උපයෝගී කර ගෙන වංචාකාරී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති තනතුරට පත් වූ ඔහු ගැන රටේ ජනතාවගේ ප්‍රසාදය අඩු වී තිබීම ඊට එක් හේතුවකි. අනික් අතට කලවාන ආසනයේ ජනප්‍රිය චරිතය පිලපිටිය නො ව සරත් මුත්තෙට්ටුවේගම ය. අතුරු මැතිවරණයක් පවත්වන්නට සිදු වුව හොත් පිලපිටියට කෙසේ වත් ජය ගත නොහැකි ය. එබැවින් අතුරු මැතිවරණයෙන් යූඇන්පිය පරාජයට පත්වීම තමාගේ බල ආධිපපත්‍යයට සිදු වන බරපතළ හානියකි. එහෙත් ඒ අවදානමෙන් මිදෙන්නට හැකි මාර්ගයක් නොවූ බැවින් ජේ.ආර්. බලවත් අපහසුතාවකට පත් ව සිටියේ ය.
ඡන්ද පෙත්සම විභාගයට ගැනෙමින් තිබෙන අතර 1978 සැප්තැම්බර් 24 දා
අබේරත්න පිලපිටිය වාහනයෙන් ගමන් කරමින් සිටිය දී අනතුරකට ලක් විය. අනතුර නිසා ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නට නොහැකි විණි. ජේ.ආර්.ගේ කූට බුද්ධිය වහා ම ක්‍රියාත්මක වූයේ ය. කලවාන ඡන්ද පෙත්සම පරාජය වීමෙන් සිය ආණ්ඩුවට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමට ඔහු පිලපිටියගේ රිය අනතුර ප්‍රයෝජනයට ගත හැකි මාර්ගයක් නිර්මාණය කර ගත්තේ ය. පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අධිකරණයත් ප්‍රජාතන්ත්‍රවාදයත් තුට්ටුවකට මායිම් නොකළ ජනාධිපති ජයවර්ධනගේ සැලැස්ම ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තුන් මසකට වඩා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නොවුව හොත් ඔහුගේ මන්ත්‍රී තනතුර අහෝසි වෙයි. එසේ නොවන්නට නම් ඔහු පාර්ලිමේන්තුවේ අවසරය ඇති ව නිවාඩු ලබා ගත යුතු ය. එහි දී අනුගමනය කෙරෙන පිළිවෙත වන්නේ අදාළ මන්ත්‍රීවරයා වෙනුවෙන් නිවාඩු ලබා ගැනීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තු රැස්වීමට ඉදිරිපත් කර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයකු හෝ විසින් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
රිය අනතුරින් බරපතළ තුවාල නොලැබූ පිලපිටිය ටික දිනකින් සුවය ලබා රෝහලින් නික්ම ගියේ ය. එහෙත් ඔහු යළිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ආවේ නැත. ඔහු වෙනුවෙන් නිවාඩු ලබා ගැනීම සඳහා යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමැති වින්සන්ට් පෙරේරා විසින් හෝ ආණ්ඩු පක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකු විසින් හෝ ඉදිරිපත් නොකරන ලදී. එබැවින් 1979 ජනවාරි 05 දා අබේරත්න පිලපිටියගේ මන්ත්‍රී තනතුර අහෝසි වූ අතර පාර්ලිම්න්තුවේ කලවාන අසුන හිස් විය.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් හිස් වූ කලවාන අසුනට යළිත් අබේරත්න පිලපිටිය නම් කරන ලදී. ඔහු පත් කළ මන්ත්‍රීවරයකු ලෙස කතානායක එම්. ඒ බාකීර් මාකර් විසින් පිළිගත් අතර ඒ අනුව පිලපිටිය කලවාන මන්ත්‍රීවරයා ලෙස යළිත් 1979 ජනවාරි 10 දා දිවුරුම් දුන්නේ ය. ඉන් පසු ව අධිකරණය ඉදිරියේ ඔහුගේ නීතිඥයන් කියා සිටියේ දැන් ඔහු පත් කළ මන්ත්‍රීවරයකු බැවින් ඒ තේරී පත් වීම අහෝසි කළ නොහැකි බවයි. ඡන්ද පෙත්සම විභාග කළ විනිසුරුවරයාගේ මතය වූයේ ඡන්ද පෙත්සම ඉදිරිපත් වී ඇත්තේ 1977 මහ මැතිවරණයෙන් තේරී පත් වීමට අදාළ ව බැවින් පත් කළ මන්ත්‍රීකම නඩු විභාගයට අදාළ නොවන බව ය.
පිලපිටිය යළි දිවුරුම් දී දින 18කට පසු ව 1979 ජනවාරි 28 දා, පිලපිටියගේ තේරී පත් වීම අවලංගු බවට තීරණය කරමින් ඡන්ද පෙත්සම පිළිබඳ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ඔහුගේ නීතිඥයෝ ඒ තීන්දුවට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළහ. 1980 ඔක්තෝබර් 09 දා ශ්‍රේෂ්ඨාධිකරණය මුල් නඩු තීන්දුව අනුමත කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය. 1977 කලවාන මැතිවරණය යථා පරිදි පවත්වා නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය. ඡන්ද පෙත්සමකින් මැතිවරණ කොට්ඨාසයක මන්ත්‍රී ධූරයක් අහෝසි වූ විට ඒ සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු විය. එබැවින් මැතිවරණ කොමසාරිස් එම්.ඒ. පියසේකර විසින් කලවාන ආසනය සඳහා අතුරු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ආසනය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය වෙනුවෙන් 1980 දෙසැම්බර් 10 දා නාමයෝජනා භාර ගන්නා ලෙස රත්නපුර දිසාපතිවරයාට දැනුම් දුන්නේ ය. නීතිය අනුව ඊට එරෙහි වීමට කිසිවකුට නොහැකි විය.
ඒ සමඟ ම ජේ.ආර්.ගේ උපදෙස් පරිදි අබේරත්න පිලපිටිය කතානායකවරයා වෙත පෙත්සමක් භාර දුන්නේ ය. කලවාන මන්ත්‍රීවරයා ලෙස 1977 මැතිවරණයේ දී තමාගේ තේරී පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇති නමුත් දැන් තමා පත් කළ මන්ත්‍රීවරයකු බැවින් තමාගේ පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර නැති බව ඔහු ඒ පෙත්සම මඟින් කියා සිටියේ ය. කලවාන අතුරු මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමට නියමිත ව තිබූ දිනට පෙර දින එනම් දෙසැම්බර් 09 දා කතානායක එම්. ඒ. බාකීර් මාකර්, පිලපිටියගේ පෙත්සම පිළිබඳ ව තමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය. කතානායකවරයා සිය තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරමින් කියා සිටියේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙස අබේරත්න පිලපිටිය කලවාන මන්ත්‍රීවරයා බවයි. මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ආසනයට අතුරු මැතිවරණයක් කැඳවා තිබිය දී කතානායකවරයා දුන් ඒ තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වූවකි.
කතානායකවරයා එසේ තීන්දු කළත් මැතිවරණ කොමසාරිස්වරයාට අතුරු මැතිවරණය අවලංගු කළ නොහැකි ය. එබැවින් පසු දා එනම් 1980 දෙසැම්බර් 10 දා කලවාන අතුරු මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර ගන්නා ලදී. කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා ලෙස සරත් මුත්තෙට්ටුවේගම නාමයෝජනා භාර දුන් නමුත් යූඇන්පිය අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත. ඒ වන විට පිලපිටිය කලවාන මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දී සිටි බැවින් යූඇන්පිය අතුරු මැතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නම් එය ම තමන්ට බරපතළ අර්බුදයක් විය හැකි බව ජේ.ආර්. තේරුම් ගන්නට ඇත. නාමයෝජනා භාර ගැනීමෙන් පසු ව එදින ම මැතිවරණ කොමසාරිස් ඒම්.ඒ. පියසේකර කලවාන අතුරු මැතිවරණය 1981 ජනවාරි 12 දා පැවැත්වෙන බව නිවේදනය කළේ ය.
අතුරු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ජේ.ආර් ව්‍යවස්ථා අර්බුදයකට මුහුණ දුන්නේ ය. කලවාන ආසනය වෙනුවෙන් දිවුරුම් දුන් මන්ත්‍රීවරයෙක් දැනට ම පාර්ලිමේන්තුවේ සිටී. ඒ අතර ඒ ආසනය සඳහා ම අතුරු මැතිවරණයක් පවත්වන්නට යයි. ඒ අතුරු මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු තේරී පත් වීමට නියමිත ය. එසේ තේරී පත් වන මමන්ත්‍රීවරයා නීත්‍යනුකූල ව පත් වන්නෙකි. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම සඳහා නීතිමය අයිතියක් ඇත. එහෙත් දැනටත් කලවාන ආසනය සඳහා පත් කළ මන්ත්‍රීවරයකු සිටින තත්වයක් තුළ අලුතින් තේරී පත් වන මන්ත්‍රීවරයා දිවුරුම් දෙන්නේ කෙසේ ද?
එවැනි අර්බුදකාරී තත්වයක් උද්ගත වූයේ පිලපිටිය පත් කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීමට ජේ.ආර්. ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි, නීති විරෝධී, අත්තනෝමතික තීන්දුව නිසා ය.
ඒ අර්බුදය උද්ගත වීමෙන් පසු ව ද ජනාධිපතිවරයා තමාගේ තීරණය අකුලා ගත්තේ නැත. ඔහු ප්රප්‍රජාතන්ත්‍රවාදියකු නම්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්නකු නම් අවම වශයෙන් නීතියට ගරු කරන්නකු වූයේ නම් ඒ අවස්ථාවේ දී හෝ කළ යුතු ව තිබුණේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන ලෙස පිලපිටියට උපදෙස් දීම ය. එහෙත් ඒ වෙනුවට ඔහු තවත් වඩා උද්ධච්ච, ඒකාධිපති තීන්දුවක් ගත්තේ ය. ඔහු ගත් තීන්දුව වූයේ කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කිරීම සඳහා අවකාශ සැලසෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ය.
ජනාධිපති ජයවර්ධනගේ උපදෙස් පරිදි ආණ්ඩු පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා (තුන් වැනි) සංශෝධනය ගෙන ආවේ ය. සංශෝධනය පාර්ලිම්න්තුවට ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනය සඳහා ඉදිරිපත් කළ යුතු විය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සංශෝධන කෙටුම්පත විමර්ශනයට ගත් අවස්ථාවේ නීතිපති සිවා පසුපති කියා සිටියේ ජනවාරි 12 දා පැවැත්වෙන කලවාන අතුරු මැතිවරණයෙන් තේරී පත් වන මන්ත්‍රීවරයකු සඳහා පාර්ලිමේන්තුව තුළ පුරප්පාඩුවක් නැති බැවින් ඒ අඩුව පිරවීම සඳහා අලුතින් පුරප්පාඩුවක් ඇති කිරීමට මේ සංශෝධනය ඉදිරිපත් කරන බව ය.
ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ය. ජනාධිපතිවරයා මෙන් ම කතානායකවරයා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද ප්‍රකාශ කරන ලදී. අබේරත්න පිලපිටිය සම්බන්ධයෙන් කතානායකවරයා දී ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව අගවිනිසුරු නෙවිල් සමරකෝන් ප්‍රකාශ කළේ ය.
ඒ වන විට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 168 දෙනාට අමතර ව තවත් එක් මන්ත්රීයවරයකු හෝ ඇතුළත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලයක් නැති බවත් එබැවින් ඉදිරිපත් කර ඇති සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන්
එය සම්මත කර ගැනීමට අමතර ව ජනමත විචාරණයකට ද ඉදිරිපත් කර සම්මත කරවා ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.
එහෙත් ජේ.ආර්. පරාජය භාර ගැනීමට සූදානම් බව පෙන්වූයේ නැත. ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1981 ජනවාරි 06 දා එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කෙරිණි. එහෙත් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරුණේ නැත. (එනිසා ම එය ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ ද නැත.)
ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගැනීමෙන් දවස් හතරකට පසු ව කලවාන අතුරු මැතිවරණය පැවැත්විණි. යූඇන්පිය ඊට අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ ද ස්වාධින අපේක්ෂකයකු වූ ලයනල් ගුණසේකරට ආධාර කළේ ය. අතුරු මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම වැඩි ඡන්ද 2403කින් ජයග්‍රහණය කළේ ය. ඔහු ඡන්ද 13,419ක් ලබා ගත් අතර යූඇන්පියේ ආධාරය ලැබූ ලයනල් ගුණසේකර ලබා ගත්තේ ඡන්ද 10,016ක් පමණි.
එදින ම අබේරත්න පිලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. එබැවින් ව්‍යවස්ථා අර්බුදය දුරදිග ගියේ නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කරවා ගත් ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුණේ නැති බැවින් එය පාර්ලිමේන්තුවෙන් අනුමත වුව ද නීතියක් බවට පත් නොවූ පනතක් ලෙස ඉතිහාසයට එක් විය.
අද බොහෝ දෙනකුට අමතක වී ඇති එසේ නැත්නම් අමතක කර දමා ඇති කලවාන අතුරු මැතිවරණ සිද්ධිය මෙරට ඉතිහාසයේ රාජ්‍ය නායකයකු තම බලය අයථා ලෙස භාවිත කළ පළමු බරපතළ අවස්ථාව ලෙස සැලකිය හැකි ය. ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ඇති කරන්නට ජනතාව ඉදිරියේ පොරොන්දු දී දැඩි විනයක් ඇති නීතිගරුක පුද්ගලයකු සේ හැසිරෙමින් 1977 මැතිවරණයෙන් බලය ලබා ගත් ජේ.ආර්. ජයවර්ධන අඩු ම වශයෙන් තමා විසින් ම සම්මත කර ගන්නා ලද නීතියට ගරු කරන්නට තරම් වත් සදාචාරයක් නැති පුද්ගලයකු බවට රට ඉදිරියේ නිර්වස්ත්‍ර වී පෙනුණු පළමු සිද්ධිය කලවාන අතුරු මැතිවරණයයි.

Comments

  1. මගේ ෆේස්බුක් පිටුවවට මා ලියූ මේ ලිපිය උපුටා ගන පළ කිරීම ගැන සතුටු වෙමි. එහෙත් මේ ලිපියේ රචකයා වශයෙන් මගේ නම සඳහන් කිරීමේ සදාචාරාත්මක යුතුකමක් මෙය උපුටා ගත් අයට තිබිය යුතු බව මම විස්වාස කරමි. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිශීලනය කරන අය වෙනුවෙන් මා මේවා රචනා කරන්නේ බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී ගවේෂණය කර සොයා ගත් තොරතුරු සහ කරුණු ඇසුරිණි. ඉදිරියට හෝ සදාචාරාත්මක ව ක්‍රියා කිරීමට මෙහි සංස්කාරකවරුන් උත්සාහ ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...