Skip to main content

රට වෙනුවෙන් ඇමැතිකම පූජාකළ ගාමණී ජයසූරිය


කිසියම් අර්බුදකාරී තත්ත්වයකදී හෝ ගැටලු සහගත අවස්ථාවකදී දේශපාලනඥයන් ඒවාට මුහුණදෙන ආකාරය ගැන ජනතාව බලා සිටිති. සිය ඡන්දයෙන් පවත්වන මහජන නියෝජිතයන් තමන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරනු ඇත යන්න ජනතා අපේක්ෂාවයි. ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන යම් යම් ප්‍රතිපත්තිවලට අදාළ ප්‍රශ්නවලදී අතීතයේ මෙරට සිටි ඇතැම් “පරණ ඉස්කෝලේ” දේශපාලනඥයන් බෙහෙවින්ම යුක්ති සහගත ලෙස ක්‍රියා කළහ. ඇතැම්හු ප්‍රතිපත්තිය වෙනුවෙන් තනතුරු අත්හළහ. තවත් අය ප්‍රතිපත්තිමය කාරණා මත ආණ්ඩු සමඟ ගැටුණු අවස්ථාද තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ දිවංගත ගාමණී ජයසූරිය මහතා මෑත ඉතිහාසයේ ප්‍රතිපත්තිමය කරුණක් උදෙසා තනතුර අත්හල නායකයෙකි. එම කතාව පැවසීමට පෙර ජයසූරිය මහතා ගැනද යමක් කිව යුතුය. ඔහු අමද්‍යප ව්‍යාපාරයේ මෙන්ම නිදහස් සටනේද පෙරමුණේ සිටි අනගාරික ධර්මපාලතුමාගේ සමීප ඥාතිවරයෙකි. කලක් බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයාද විය. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙකු වූ ගාමණී ජයසූරිය මහතා වරක් එජාපයේ මහලේකම් පදවියද හෙබවීය. 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ උසස් පදවි දරා අප කතා කරන මෙම සිද්ධිය වනවිට හෙතෙම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා විය. ඔහුට ජේ.ආර්. සමග ප්‍රශ්න තිබුණේ නැත. එහෙත් 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ මෙරට පළාත් සභා පිහිටුවා බලය විමධ්‍යගත කරන්නට ජේ.ආර්. කළ යෝජනාවට මෙන්ම ඉන්දු-ලංකා ගිවිසුමටද ජයසූරිය මහතා තරයේ විරුද්ධ විය. ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට පහර වදින මර උගුලක් ලෙස ඉන්දු-ලංකා ගිවිසුම ඔහු විසින් හඳුන්වා දෙන ලදී.
ඉන්දු-ලංකා ගිවිසුමට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ තවත් ඇමැතිවරු ගණනාවක්ම එරෙහි විය. එයින් ප්‍රධාන චරිත දෙකක් වූයේ ජාතික ආරක්ෂක ඇමැති පදවිය දැරූ ලලිත් ඇතුලත්මුදලි මහතා සහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතාය. ඒ හැර දොස්තර රංජිත් අතපත්තු සහ එම්.එච්. මොහොමඩ් ඇතුළු තවත් ඇමැති පිරිසක් මෙම ගිවිසුමට එකඟවීම අසීරු බව පැවසූහ. මේ කවුරුන් විරෝධය පළකළත් ජේ.ආර්. තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට තරයේ අදිටන් කරගෙන සිටියේය. අගමැති ප්‍රේමදාස මහතා ඇතුළු සෙසු ඇමැතිවරුන්ගේ විරෝධය ජේ.ආර්.ගේ බලය හමුවේ යටපත් වී ගියේය. එහෙත් ජේ.ආර්.ට නම්මවා ගැනීමට බැරිවූයේ අමාත්‍ය ගාමණී ජයසූරිය මහතා පමණි. ඔහු ජේ.ආර්.ට ප්‍රකාශ කළේ තමන්ට ආණ්ඩුව සමඟ වෙනත් ප්‍රශ්නයක් නැතත් හොඳ සිංහල බෞද්ධයකු ලෙස ඉන්දු-ලංකා ගිවිසුමට හෝ එමගින් යෝජනා කරන පළාත් සභාවලට කිසිසේත්ම පක්ෂ විය නොහැකි වගයි.
තමන් කුමක් කීවත් ජනාධිපතිතුමා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තීරණය ඇති බැවින් කැබිනට් මණ්ඩලය තුළ සිට රජය විවේචනය කළ නොහැකි නිසා තමන් ඇමැති පදවියෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වීමට තීන්දු කළ බව ජයසූරිය මහතා ජේ.ආර්.ට කීය. ඉතා අවංක එ.ජා.ප. පතාක යෝධයෙකු මෙබඳු තීන්දුවක් ගැනීම නිසා ජේ.ආර්. තිගැස්මකට ලක්විය. ප්‍රේමදාස සහ ලලිත් කුමක් කරත්දැයි ඔහුට කල්පනා වූවා විය හැක. කෙසේ හෝ ජේ.ආර්. සිය පැරැණි දේශපාලන සගයාට නැවතත් කීවේ “ඔබේ තීන්දුව ස්ථීරද? ඒත් මම කියන්නේ මේ ගැන නැවත සලකා බලන්න කියලා” යනුවෙනි. නමුත් ගාමණී ජයසූරිය මහතාට ඒ ගැන දෙවරක් සිතන්නට වුවමනා වී තිබුණේ නැත. ඔහු කීවේ “මගේ තීරණය අවසන් තීරණයයි. මට මේකට එකඟ වෙන්න කොහෙත්ම බෑ” යන පිළිතුරයි.
ජයසූරිය මහතා පහසුවෙන් තීන්දු වෙනස් කරන පුද්ගලයෙකු නොවන බව දැන දැනත් ජේ.ආර්. ඔහු ආණ්ඩුව තුළ රඳවා ගැනීමේ උත්සාහය අත්හලේ නැත. මෙම කතාබහෙන් දින දෙකකට පසු එලීනා ජයවර්ධන ආර්යාවද කැටුව ජේ.ආර්. ජයවර්ධන මහතා ගාමණී ජයසූරිය මහතාගේ නිවෙසට ගියේය. එහි ගොස් ජයසූරිය මහතා සහ එම මහත්මිය මුණගැසී ජයවර්ධන යුවළ පෙරුත්ත කළේ ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ආයාචනා කරමිනි. විශේෂයෙන්ම ජයසූරිය මහත්මිය ලවා ස්වකීය ස්වාමි පුරුෂයාගේ අදහස් වෙනස් කිරීමට ජේ.ආර්. ලොකු උත්සාහයක් දැරීය. එහෙත් දැඩි ප්‍රතිපත්තිගරැක දේශපාලකයෙකු වූ ජයසූරිය මහතා ජේ.ආර්.ට අවනත වූයේ නැත. ස්වකීය තීරණය වෙනස් නොකරන බවත් පසුදින ඇමැති පදවියෙන් හා මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන බවත් ජනාධිපතිවරයාට පැවසූ ගාමණී ජයසූරිය මහතා තමන්ට පක්ෂය ගැන කනගාටුවක් ඇතත් රට ජාතිය අංක එක යැයි සඳහන් කළේය. තමන් ඉවත් වන්නේ පක්ෂයට හානි කොට විනය කඩකළ හෝ නීති විරෝධී කාර්යයකට දායක වූවකු ලෙස නොවන බව වැඩිදුරටත් කී ජයසූරිය මහතා මේ තීරණය ගැන තමා තුළ ඇත්තේ දුකක් කණස්සල්ලක් නොව ආඩම්බරයක් බවද කීය. හරියටම මේ සිද්ධියෙන් දිනකට පසු ගාමණී ජයසූරිය මහතා ඉන්දු-ලංකා ගිවිසුමට හා පළාත් සභා යෝජනාවට තමන් විරුද්ධ බව කියමින් ඔහු දැරූසියලු තනතුරුවලින් ඉල්ලා අස්විය.
එය රටේ දේශප්‍රේමී ජනතාවගේ පැසසුමට හා ගෞරවයට හේතු වූ තීන්දුවකි. අනතුරැව ජේ.ආර්. සිය බලය පාවිච්චි කොට කෙසේ හෝ මෙම අණපනත් සම්මත කර ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජේ.ආර්. ගේ තීන්දුවට එරෙහිව අදහස් දැක්වූයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පමණි. ඒ එවක හක්මන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ මහින්ද යාපා අබේවර්ධන මහතා සහ කඹුරැපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ චන්ද්‍රකුමාර් විජයගුණවර්ධන මහතා පමණි. පසුව ඔවුන්ටත් ජේ.ආර්.ගේ බලය හමුවේ විරෝධය හකුලාගන්නට සිදුවිය. ඉන් අනතුරුව ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කොට සම්මත කෙරුණි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් ඊට එරෙහිව මාරාන්තික සටනක් දියත් කළේය. එ.ජා.ප. නායකයන් බුරුතු පිටින් ඝාතනය කළහ. මෙම ඝාතන මාලාව ආරම්භ වූයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා මහමඟදී මරාදැමීමෙනි. අනතුරුව තත්ත්වය උග්‍ර වී ප්‍රශ්න මෝරා යද්දී රත්ගම පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ඩබ්ලිව්. සෝමරත්න මහතාද ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය.
එකල ජේ.ආර්. ජවිපෙ මර්දනය කළ ආකාරය ගැන විවෘතව දෝෂාරෝපණය කළ කෘතහස්ත දේශපාලනඥයකු වූ මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතාටත් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජේ.ආර්. ගෙන් නියෝග ලැබුණි. 1988 වනවිට ජේ.ආර්.ට රට පාලනය කරගත නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයක් කරා තල්ලු විය. උතුරත් දකුණත් ඇවිලුණ දෙකොණ විලක්කුවක් බවට රට පත්ව ඇතැයි අගමැති ප්‍රේමදාස ප්‍රසිද්ධියේම කීය. අවසානයේ ගිනිගත් රට ප්‍රේමදාසට බාරදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නිහඬවම පුටුවෙන් බැස ගියේය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...