Skip to main content

සමාජ සුරක්ෂිතතාව ඉහළ නැංවීමට පෞද්ගලික නිදහස සීමා කිරීම තාක්ෂණයෙන් බලගැන්වෙන චීනයේ ආවේක්ෂණ ජාලය



චීනය ඈත අතීතයේ සිට ම ලෝකයේ අනෙකුත් රටවලට වඩා අසාමාන්‍ය ගමනක්‌ ආ රටක්‌. දැවැන්ත ජනගහනයකින් යුත් මේ රට, ලෝකයට අතීතයේ දී නව නිර්මාණ ගණනාවක්‌ දායාද කර ඇති අතර මෑතකාලීන ව ලෝකයේ යුද හා ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඔවුන් වැළඳගත් කොමිනියුස්‌ට්‌වාදය අත් නො හරිමින් එය අවශ්‍ය පරිදි සංස්‌කරණය කරගනිමින් මෙවැනි තත්ත්වයකට පැමිණීම එහි ලා කැපී පෙනෙනවා. චීනයේ දක්‌නට ලැබෙන්නේ එක්‌ පක්ෂයක්‌ පමණයි. එම නිසා පාලක පක්ෂයට සියල්ල ම පාලනය කළ හැකි අතිවිශාල බලයක්‌ තිබෙනවා. අනාගතයේ දී මේ රට කෙබඳු ආකාරයකින් හැසිරෙනු ඇති ද යන්න පුරෝකථනය කිරීමට අපහසුයි.

කෙසේ වෙතත් චීනය, ලෝකයේ බලවතෙකු වශයෙන් නැඟී සිටීමට විද්‍යාවට හා තාක්ෂණයට කළ හැකි කාර්යභාරය මැනැවින් වටහාගත් රටක්‌. ඔවුන් විද්‍යාවේ හා තාක්ෂණයේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයන්ට නො පැකිළ අනුග්‍රහ දක්‌වන්නේ මේ නිසයි. මේ හේතුවෙන් ජාන ඉංජිනේරු විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය ආදි ක්ෂේ‍ත්‍රවලින් ඔවුන් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණෙමින් සිටිනවා.

චීනය තම රටේ ජනතාව බටහිර රටවල වටිනාකම්වලට අනුරූප ව කටයුතු නො කරන බවට වග බලාගැනීමට විශාල මැදිහත් වීමක්‌ සිදු කරනවා. එහි රජය පුද්ගලයන්ගේ නිදහස්‌ හා විප්ලවකාරී සිතුම් පැතුම් දකින්නේ තම රටේ ස්‌ථාවරත්වයට තර්ජනයක්‌ ලෙසයි. ඒ තර්ජනය මැඬපැවැත්වීම සඳහා රජය තම රටවැසියන්ගේ ක්‍රියාකාරීත්වය හා ඔවුන් නිරාවරණය වන්නේ කුමන තොරතුරුවලට ද යන්න දැඩි ව පාලනය කරන අතර ඊට නො ගැළපෙන නීති විරෝධී කටයුත්තක්‌ කරන්නේ ද යන්න පිළිබඳ ව ඔත්තු බැලීම ද සිදු කරනවා. මෙය ජෝර්ඡ් ඕවල් විසින් රචිත 'එක්‌ දහස්‌ නව සිය අසූ හතර' කෘතියේ එන බිග් බ්‍රදර් චරිතයට සමාන කළ හැකියි (මේ කෘතියේ සිංහල පරිවර්තනයක්‌ ද තිබෙනවා). එම කතාව දිව යන්නේ ද රටවැසියන් සැම කටයුත්තක දී ම අනවරත ව ආවේක්ෂණයට (surveillance) ලක්‌ වන පරිසරයකයි. නවීන තාක්ෂණයේ දියුණුව චීනයේ මේ අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමට හැකි ව ඇති ආශිර්වාදයක්‌ බවට පත් ව තිබෙනවා.


කටුකම්බි ගසා වෙන් කළ සයිබර් අවකාශය

2000 වසරේ දී කරනු ලැබූ එක්‌ කතාවක දී ඇමෙරිකාවේ එවකට ජනපති බිල් ක්‌ලින්ටන්, අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ චීනය ද වඩා විවෘත නිදහස්‌ තැනක්‌ බවට පත් වනු ඇති බවට අනාවැකි පළ කළා. කෙසේ වෙතත් ඒ අනාවැකිය සැබෑවක්‌ බවට පත් වූයේ නැහැ. අන්තර්ජාලය බලාපොරොත්තු වූ පරිදි ම චීනයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම පැතිර ගියත් එහි අන්තර්ගතය බටහිරට ඕනෑ පරිදි නො ව තමන්ට ඕනෑ පරිදි පාලනය කරන්නට චීනය විසින් ක්‍රමානුකූල ව කටයුතු කරනු ලැබුවා. The Great Firewall ලෙසින් හැඳින්වෙන අන්තර්ජාල ආරක්ෂණ පද්ධතියක්‌ හරහා අද චීන රජයේ මතයට විරුද්ධ මත දරන, ඊට එරෙහි ව ජනතාව පොලඹවනසුලු අදහස්‌ ඇති කරන සියලු ම වෙබ් අඩවිවලට පිවිසීම වළක්‌වා ලීමට චීන රජය කටයුතු කර තිබෙනවා. The Newyork Times වැනි ප්‍රකාශනවල වෙබ් අඩවි ද ඊට අයත්. එමෙන් ම බටහිර සමාගම්වලින් නිර්මාණය කරනු ලැබූ ෆේස්‌බුක්‌ වැනි යෙදුම් ගණනාවක්‌ චීනයේ භාවිත කිරීම තහනම් කර තිබෙනවා. කෙසේ නමුත් මෙහි ලා විශේෂත්වය වන්නේ හුදු සීමා පැනවීම් කිරීමට පමණක්‌ කටයුතු නො කර තමාට පාලනය කළ හැකි විකල්ප තාක්ෂණික යෙදුම් ජනතාවට හඳුන්වා දීමට හා ප්‍රචලිත කිරීමට චීන රජය අනුග්‍රහය දක්‌වනු ලැබීමයි. උදාහරණයක්‌ ලෙස ලෝකයේ කවර තැනකින් වුවත් අන්තර්ජාලයට පිවිසෙන ඕනෑ ම කෙනෙකු දන්නා ගූගල් යන වචනය බොහෝ චීන ජාතිකයන් දන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් අතර ජනප්‍රියතම සෙවුම් එන්ජිම වන්නේ චීන සමාගමක්‌ විසින් ම නිර්මාණය කරනු ලැබූ Baidu සෙවුම් එන්ජිමයි. එමෙන් ම චීනයේ දී ෆේස්‌බුක්‌ වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිත කළ නො හැකි අතර ඒ වෙනුවට චීනයේ Tencent සමාගමේ Wechat යෙදුම ඔවුන්ගේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත් ව තිබෙනවා. බටහිර ට්‌විටර් යෙදුම වෙනුවට චීනයේ භාවිත වන්නේ Weibo නම් යෙදුමයි. බිලියන 1.3කට අධික ජනගහනයක්‌ සඳහා සේවාවන් සපයන මේ යෙදුම් චීනය තුළ ඉතා සාර්ථක ව මුල් බැසගෙන තිබෙනවා.

මේ යෙදුම් සියල්ල පාහේ හඳුන්වා දෙනු ලැබ ඇත්තේ පෞද්ගලික සමාගම් විසින් වුවත් චීනයේ පෞද්ගලික සමාගම්වලට රජයේ ඕනෑ එපාකම් අභිබවා යැමේ හැකියාවක්‌ නැහැ. චීනයේ තාක්ෂණික සමාගම් සියල්ලක ම පාහේ හිමිකරුවන් එහි පාලක පක්ෂයේ සාමාජිකත්වය දරන හෝ එය හා කිට්‌ටු සබඳතා පවත්වන පිරිස්‌ වන අතර ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක ව කරගෙන යා හැක්‌කේ ඔවුන් රජයේ අවශ්‍යතාවන්ට අනුකූල ව කටයුතු කරගෙන යනවා නම් පමණයි. මේ නිසා ඔවුන් රජයේ කටයුතු වලට විරෝධය පළ කරන්නේ නැහැ. චීන රජය විසින් සම්මත කරගෙන ඇති නීති හරහා මෙවැනි සමාජජාල හා සන්නිවේදන අඩවිවල ඇති එහි පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය ඕනෑ ම විටක රජයට ලබාගත හැකියි. මේ හරහා තම රටවැසියන් පිළිබඳ තොරතුරු ඇතුළත් අති දැවැන්ත දත්ත සමුදායකට ප්‍රවේශ වීමට චීන රජයේ බුද්ධි අංශවලට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් සාමාන්‍ය චීන ජනතාව මේ පිළිබඳ ව එතරම් තැකීමක්‌ කරන්නේ නැහැ. රජය ශක්‌තිමත් ආර්ථිකයක්‌ හා ආරක්ෂාකාරී පරිසරයක්‌ ඇති කරනවා නම් පෞද්ගලික තොරතුරු රජය අතට පත් වීමේ වරදක්‌ නැති බවට බොහෝ දෙනෙක්‌ අදහස්‌ දක්‌වනවා. අනෙක්‌ කාරණය නම් කුඩා කල සිට මේ වටපිටාව තුළ හැදෙන වැඩෙන මේ ජනතාව ඉන් එපිට ඇති බටහිරයන් අත්‍යවශ්‍ය යෑයි දකින අන්දමේ නිදහසක්‌ තමාට නැති වීම පිළිබඳ ව උනන්දුවක්‌ නො දැක්‌වීමට හුරු වීමයි. එක්‌තරා පර්යේෂණයක දී චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක සිසුන්ට රජය මඟින් තහනම් කර ඇති වෙබ් අඩවිවලට පිවිසිය හැකි මෘදුකාංග නොමිලේ ලබා දී තිබූ අතර ඔවුන් එවැනි අඩවි කොතෙක්‌ පරිශීලනය කරනු ඇත් දැයි පරීක්ෂා කර බලා තිබුණා. එහෙත් එහි දී හෙළිදරව් වූයේ එවැනි අවසරයක්‌ ලත් විටත් ඒවා පරිශීලනය කරන්නට ඔවුන් ගෙන් යොමු වී තිබුණේ කිහිප දෙනකු පමණක්‌ බවයි. එය ද කෙටි කලකට පමණයි.


සියල්ල දකින ඇස්‌

චීනය, ලෝකයේ CCTV කැමරා නිෂ්පාදනය අතරින් ඉදිරියෙන් ම සිටින රටයි. චීන රජය සතු ව ද කොටස්‌ හා පාලන බලය ඇති Hikvision වැනි සමාගම්වල නිෂ්පාදන අපේ රට ද ඇතුළු ව ලොව පුරා ඉතා බහුල වශයෙන් භාවිත වන අතර ඔත්තු බැලීමට යොදාගැනීමට ඇති හැකියාව නිසා ඇමෙරිකාව මඟින් තහනම් කරනු ලැබූ සමාගමක්‌ බවට ද පත් ව තිබෙනවා.

කෙසේ වෙතත් චීනය ගැන සැලකීමේ දී මෙවැනි කැමරා අතිවිශාල ප්‍රමාණයක්‌ චීනයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැතිරී තිබෙනු දැකිය හැකියි. 2018 වසර වන විට චීනයේ පැවතුණු මෙවැනි කැමරා ප්‍රමාණය මිලියන 200ක්‌ වූ අතර ඒ අනුව සැම චීන වැසියන් හත් දෙනකු නිරීක්ෂණය කරන්නට ම එක්‌ කැමරාවක්‌ තිබෙනවා. කෙසේ වෙතත් චීන රජය විසින් මේ වන විට ක්‍රියාත්මක වීම අරඹා ඇති 2020 වසරේ දී සම්පූර්ණ වීමට නියමිත Sharp eyes නම් වැඩසටහනක්‌ යටතේ කැමරා ප්‍රමාණය මිලියන 300ක්‌ දක්‌වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

චීනයේ දකින්නට ඇති මේ කැමරා පද්ධතිය සාමාන්‍ය කැමරා පද්ධතියක්‌ නො ව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ආදි කෘත්‍රිම බුද්ධි යෙදුම් අන්තර්ග්‍රහණය කරන ලද පද්ධතියක්‌. එබැවින් ඒ හරහා බලධාරීන්ට අවශ්‍ය පුද්ගලයකු හෝ වාහනයක්‌ හෝ ආදිය ස්‌වයංක්‍රීය ව ඉතා ඉක්‌මනින් හඳුනාගත හැකියි. මේ කෘත්‍රිම බුද්ධි යෙදුම්වලට හුදු පුද්ගලයන්ගේ මුහුණු හඳුනාගැනීමට පමණක්‌ නො ව ඔවුන්ගේ වයස, ස්‌ත්‍රී/පුරුෂ බව, ජනවාර්ගිකත්වය ආදි තොරතුරු ද හඳුනාගත හැකියි. එමෙන් ම මේ මෘදුකාංග හරහා හඳුනාගත් එක්‌ පුද්ගලයකු ඊට පෙර දින කිහිපය තුළ ගමන් කළේ කොතැනට ද, කළේ කුමක්‌ ද යනාදි තොරතුරු පහසුවෙන් සොයාගත හැකියි. මේ හරහා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීමට විශාල පහසුවක්‌ ලැබී තිබෙනවා.

පසුගිය දා චීනයේ පැවැති බියර් පානය කිරීමේ උත්සවයකට සහභාගි වීමට පැමිණි දහස්‌ ගණනක්‌ පුද්ගලයන් අතරින් විවිධ

වැරැදිවලට අවශ්‍ය ව සිටි පුද්ගලයන් විස්‌සකට අධික පිරිසක්‌ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය හරහා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. තවත් සමහර නගරවල, මාර්ග නීති කඩන්නන් කැමරා මඟින් හඳුනාගෙන ඔවුන්ගේ ජංගම දුරකතනයට ම දඩ මුදල් පත්‍රිකාව යන පරිදි කටයුතු සලසා තිබෙනවා. මීට අමතර ව එවැනි වැරැදි කළ පුද්ගලයන්ගේ ඡායාරූප නම්ගම් සහිත ව පාර දෙපස ඇති දැවැන්ත ඩිජිටල් පුවරුවල දැක්‌වීමට ඔවුන් කටයුqතු කර ඇති අතර ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ මෙලෙස ප්‍රසිද්ධියේ ලැඡ්ජාවට පත් කිරීම හරහා මෙවැනි වැරැදි අවම කිරීමට කටයුතු කිරීමයි.

ස්‌ථêර ව සවි කළ කැමරාවලට අමතර ව සමහර චීන පොලිස්‌ නිලධාරීන්ට ද මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත ඇස්‌ කණ්‌ණාඩි පැළඳ සිටිනවා දැකිය හැකි අතර දුම්රිය ස්‌ථාන වැනි මහජනයා බහුල ව ගැවසෙන තැන්වල මේ හැකියාවෙන් යුතු පොලිස්‌ රොබෝ යන්ත්‍ර ස්‌ථාපනය කිරීමට ද බලධාරීන් කටයුතු කර ඇති අන්දම දැකිය හැකියි. කෙසේ වෙතත් මේ කැමරා හරහා නිදහස්‌ මතධාරීන්ගේa හා විකල්ප දේශපාලන අදහස්‌ දරන්නන්ගේ සියලු ම ක්‍රියාකාරකම් ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරනු ලබන බවට චෝදනා එල්ල වනවා.


ජනතාවට ලකුණු



මෑත අනාගතයේ බිහි විය හැකි තාක්ෂණයේ අඳුරු පැතිකඩ ගැන කතා කරන Black Mirror කතා මාලාවේ Nosedive කතාංගයේ දැක්‌වෙන්නේ මිනිසුන්ට ලකුණු හිමි වන අනාගතයක්‌ ගැනයි. එහි දී සමාජ මාධ්‍යවල ප්‍රසාදය හා රජයේ දඩ මුදල් ආදිය හරහා පුද්ගලයන්ට ලකුණු හිමි අහිමිව න ක්‍රමයක්‌ ඇති අතර ලකුණු අඩු ප්‍රමාණයක්‌ ඇති පුද්ගලයන්ට ඉහළ පෙළේ මන්දිර මිල දී ගැනීම, සැප පහසු වාහන කුලියට ගැනීම ආදිය කළ නො හැකියි. සමාජ මාධ්‍ය හරහා ලකුණු නො ලැබුණත් රජය විසින් ලකුණු පවරනු ලබන මෙබඳු ම සමාජ සම්මාන පද්ධතියක්‌ (Social Credit System) චීනයේ ද දැන් දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

2014 වසරේ දී චීන රජය මෙබඳු පද්ධතියක්‌ හඳුන්වා දීමට කටයුතු කළ අතර නගර ගණනාවක්‌ දැනටමත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. 2020 වන විට මෙය මුළු රටට ම අදාළ ව ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාවයි. මේ ක්‍රමය හරහා වඩා ආචාරශීලී, නීතිගරුක, ශිෂ්ට සම්පන්න සමාජයක්‌ ගොඩනැඟිය හැකි වනු ඇතැයි මේ ක්‍රමයට සහාය දක්‌වන්නන් විශ්වාස කරන අතර විවේචනය කරන්නන් පවසන්නේ මෙමඟින් මූලික මිනිස්‌ අයිතිවාසිකම්වලට තර්ජනය එල්ල වන බවයි.

දැනට චීන ජනගහනයෙන් සියයට හයක්‌ (06%) පමණ මේ ක්‍රමයට අනුගත ව කටයුතු කරන අතර ලකුණු එක්‌රැස්‌ කරගැනීමේ හා ලකුණු නැති වීමේ ක්‍රමවිධි විවිධ නගරවල වෙනස්‌. සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට උපස්‌ථාන කිරීම, ලේ දන් දීම, ස්‌වෙච්ඡා සේවාවන්හි යෙදීම, මහජන දේපළ ආරක්ෂා කිරීම වැනි දෙයින් තම ලකුණු මට්‌ටම ඉහළ නංවාගත හැකි අතර රිය ධාවනය කරන අතරතුර දුරකතන භාවිතය හෝ දුම්පානය, මහජන දේපළවලට හානි කිරීම, දම්වැල් නොමැති ව බල්ලන් රැගෙන යැම, බිල්පත් කලට වේලාවට නො ගෙවීම ආදිය ලකුණු නැති වීමට හේතු වනවා. සමහර ප්‍රදේශවල ව්‍යාජ ප්‍රවෘත්ති, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හා වැඩි පැය ගණනක්‌ වීඩියෝ ක්‍රීඩා කිරීම වැනි දේ පවා ලකුණු අහිමි වීමට හේතු ලෙස සම්මත කරගෙන තිබෙනවා.

මෙවැනි වැරැදි නිසා, තම ලකුණු ප්‍රමාණය අඩු වූවන් අසාධු ලැයිස්‌තුගත කරන අතර එවැනි අයට ණයගැනීම, ඉහළ පෙළේ හෝටල්වල නවාතැන් ගැනීම, ඉඩම් ගැනීම, අධිවේගී දුම්රිය භාවිතය, සමහර පෞද්ගලික පාසල්වලට දරුවන් ඇතුළු කිරීම ආදිය කළ නො හැකියි. එපමණක්‌ නො ව මෙවැනි 'විශ්වාසය කඩ කළ' පුද්ගලයන්ට සමහර රැකියාවලට පිවිසීමේ අවස්‌ථාව ද අහිමි වනවා. කෙසේ වෙතත් මේ ක්‍රමයට විරෝධය දක්‌වන්නන් චෝදනා කරන්නේ මේ ක්‍රමය විරුද්ධ මත ඇති දේශපාලනික, සමාජ ක්‍රියාකාරීන් නිහඬ කරවීමට යොදාගන්නා බවටයි.

රජයේ මෙවැනි ක්‍රම වේද වලට අමතරව පුද්ගලික සමාගම් වලින්ද මෙවැනි ලකුණු දීමේ ක්‍රමවේද භාවිත කරනවා. ජැක්‌ මා ගේ අලිබබා ව්‍යාපාර වලට අයත් ඈන්ට්‌ ෆයිනෑන්ස්‌ සමාගමද Seasame නමින් මෙවැනි ලකුණු පද්ධිතියක්‌ පවත්වා ගෙන යනවා. අන්තර්ජාලයේ කෙරෙන මිලදී ගැනීම් වල ඉතිහාසය බ`දු තොරතුරු මත මෙලෙස ලකුණු දීම සිදුවන අතර වැඩි ලකුණු ප්‍රමායණයක්‌ හිමි අයට ණය ගැනීමේ කටයුතු ආදිය පහසුවෙන් සිදු කළ හැකියි. මෙම ලකුණු මීට අමතරව වෙනත් යෙදිම් හරහාද භාවිතයට ගැනීමට හැකියි. චීනයේ Baihe නම් සහකරුවන් සොයා දෙන යෙදුම මෙම දත්ත එහි පරිශීලකයන්ට ලබා දෙනවා. එය භාවිතා කරන්නන් තම සහකරු හෝ සහකාරිය විය හැකි අය තෝරන්නේ ඔවුන්ගේ සමාජ ආර්ථික ශක්‌තියේ මිනුමක්‌ ලෙස සැලකෙන මෙම ලකුණුද සලකා බැලීමෙන් අනතුරුවයි. මෙවැනි පුද්ගලික සමාගම් වල මෙවැනි ලකුණු පද්ධති හරහා ජනතාව එවැනි ක්‍රම ප්‍රතිවිරෝධයක්‌ නොදැක්‌විය යුතු සාමාන්‍ය දේ ලෙස පිළිගැනීමට පුරුදු වීමේ වාසිය රජයට ලැබෙනවා. එමෙන්ම යම් දිනක චීන රජය මෙවැනි පද්ධති ජාතික පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමටද ඉඩ තිබෙනවා.


හොඳ ද නරක ද

බිලියන 1.3ක්‌ වන ජනගහනයක්‌ පාලනය කිරීම සුළුපටු දෙයක්‌ නො වෙයි. නවීන තාක්ෂණයේ දියුණුව මේ සඳහා චීනයට ආශිර්වාදයක්‌ වී තිබෙනවා. එහෙත් මේ තාක්ෂණය භාවිත කිරීම කෙතරම් දුරකට සදාචාරාත්මක ද යන්න ගැටලුවක්‌. පසුගිය දා චීනයෙන් වාර්තා වූ එක්‌ පුවතක දැක්‌වුණේ පාසලක ළමයින්ගේ ක්‍රියාකාරකම් මැනීම සඳහා මෙවැනි මුහුණු හඳුනාගත හැකි තාක්ෂණය සහිත කැමරා සවි කර ඇති බවයි. ඒ හරහා හොඳින් වැඩ කරන සිසුන් කවුද, අලස සිසුන් කවුද ආදිය සොයා වර්ගීකරණය කිරීම සිදු වනවා. එවැනි තොරතුරු සිසුන් අසාධාරණයට ලක්‌ නො වන අන්දමින් භාවිතයට ගැනෙනු ඇත් ද යන්න සැකසහිතයි. එමෙන් ම කම්කරුවන්ගේ හිස්‌වැසුම්වලට සංවේදක සවි කර ඔවුන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ සොයා මැනබැලීමේ ක්‍රමයක්‌ පිළිබඳව ද පසුගිය වසරේ වාර්තා වුණා. මෙවැනි තොරතුරු හරහා අකාර්යක්ෂම සේවකයන් රැකියාවෙන් පහ කළ හැකි අතර එය සේවකයන් අතර අමානුෂීය තරගයක්‌ ඇති කිරීමට ද හේතු විය හැකියි. මුස්‌ලිම් බහුතරයක්‌ ජීවත් වන චීනයේ Xinjiang ප්‍රාන්තයේ ජනතාවගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා පාලනය කිරීම සඳහා ද මේ තාක්ෂණික උපක්‍රම දැඩි ව යොදාගන්නා බවට චීනයට චෝදනා එල්ල වනවා.

බටහිර රටවල් චීන රජය තම ජනතාවගේ එදිනෙදා පෞද්ගලික තොරතුරුවලට මැදිහත් වීම දකින්නේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පසුබිම සැකසීමක්‌ ලෙසයි. මේ තොරතුරු බලය ඇති පුද්ගලයන්ට තමාගේ වාසිය සඳහා අයථා ලෙස යොදාගත හැකි බව මීට එරෙහි ව ඇති එක්‌ චෝදනාවක්‌. කෙසේ වෙතත් මේ හරහා අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතු විනයගරුක සමාජයක්‌ ගොඩනැඟිය හැකි බව චීන රජයේ අදහසයි. දැනට අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල අනුව එම අදහස ද බැහැර දැමිය හැක්‌කේ නැහැ. මීට හේතුව වරදක්‌ කර හසු වේ ය යන බිය වරද නො කර සිටීමට විශාල පෙලඹවීමක්‌ නිසා. මේ පිළිබඳව එකිනෙකා දකින කෝණය අනුව අදහසකට එළැඹෙනවා මිස නිශ්චිත ව හරි ද වැරැදි ද කියා තීරණයකට එළැඹිය නො හැකියි. සමහර විට තවත් දශක කිහිපයක්‌ ගත වූ අනාගතයක දී, ආපසු හැරී බලා අපට මේ ප්‍රවණතාව යහපත් එකක්‌ වූවා ද අයහපත් එකක්‌ වූවා ද යන්න නිශ්චිත ව කිව හැකි වනු ඇති.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...