Skip to main content

පින් මදි වුණු සද්දන්ත කුලේ එවුන්නේ...



 


ගොඩබිම මත වාසය කරන විසල් වූ සත්ත්වයා අලියා ය. මහ සමුදුරේ වාසය කරන තල්මහ විශේෂ කිහිපයකට පමණක්‌ විශාලත්වයෙන් අලියා දෙවැනි වේ. යමක්‌ තදින් ග්‍රහණය කරගත හැකි ආකාරයේ ශාරීරික පිහිටීමක්‌ සහිත හොඬවැල නිසාවෙන් ප්‍රොබොසිඩේ (Proboscidae) කුලයට අයත් වන අලියාගේ ව්‍යාප්තිය ගත් කල, විශේෂ දෙකක්‌ අප්‍රිකානු සහ ආසියානු මහාද්වීප තුළ තමන්ගේ පැවැත්ම සහතික කරගෙන වාසය කරයි. ඒ ඒ මහාද්වීපයන්හි පාරිසරික තත්ත්වයන්ට හැඩගැසුණු ශාරීරික අනුවර්තනයන් ද සමඟින් පැහැදිලි ලෙස කැපී පෙනෙන වෙනස්‌කම් ආසියානු අලියා (Elephas maximus) සහ අප්‍රිකානු අලියා තුළින් (Loxodonta africana) විද්‍යමාන වේ. ආසියානු අලියා ජීවත් වන පාරිසරික සහ දේශගුණික කලාපයන් අනුව යළිත් උප විශේෂ හතරක්‌ ලෙස වෙන් වෙන් ව හඳුනාගත හැකි ය. එනම් ඉන්දියන් උප විශේෂය (Elephas maximus indicus), බෝර්නියෝ උප විශේෂය (Elephas maximus borneoensis), සුමාත්‍රා උප විශේෂය (Elephas maximussumatranus) සහ ශ්‍රී ලංකා උප විශේෂය (Elephas maximus maximus) ඒ යටතට අයත් ය. දුරාතීතයේ ආසියානු මහාද්වීපය තුළ පුළුල් ලෙස ව්‍යාප්ත ව සිටි ආසියාතික අලියා නූතනයේ දී වාර්තා වන්නේ ආසියාතික රටවල් දහ තුනක්‌ ආශ්‍රිත ව ය. එයට මූලිකව ම බලපා ඇත්තේ ආසියාතික අලියාට හිමි වාසස්‌ථාන ඇසුරේ සිදු වන විවිධ මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ඔවුන්ගේ ජීවන පරාසයන් සීමා සහිත වෙමින් පැවැතීම බවත් සඳහන් කළ යුතු ම ය.

ආසියාතික අලි ජීවත් වන ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, වියට්‌නාමය, නේපාලය, මැලේසියාව, බංගලාදේශය, භූතානය, චීනය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය සහ ශ්‍රී ලංකාව අතරින් අප රටට හිමි වන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. සංවර්ධනය වෙමින් පවතින රටක්‌ ලෙස ශ්‍රී ලංකාව සතු ව ඇති භූමියේ ආසන්න වශයෙන් හය දහසකට ආසන්න වන අලි ගහණයක්‌ (අවසන් වරට 2011 වසරේ දී සිදු කළ වන අලි සමීක්ෂණයට අනුව වන අලින් 5,879ක්‌ ගණනය විය) මිනිසුන් මිලියන 21කට ආසන්න සංඛ්‍යාවක්‌ සමඟ වර්ග කිලෝ මීටර් 65,610කට ආසන්න වූ වපසරියේ තමන්ට වෙන් වූ සීමාවෙනුත් (වනජීවී රක්ෂිතවලින්) ඔබ්බට පැමිණ එකිනෙකා සමඟ ගැටෙමින් - නැසෙමින් වුව ද පැවැත්ම සහතික කරගෙන සිටීම සැබැවින් ම අවධානය යොමු කළ යුතු කාරණයකි. එනම් ආසියානු අලින් වාසය කරන රටවල් අතරින් වැඩි ගහණ ඝනත්වයක්‌ අපේ අලි පරපුර තුළ වාර්තා වීමත්, දූපතක්‌ සේ සෙසු ආසියාතික රටවලින් වෙන් ව සිටිනා අප රට තුළ නිවැසි අලින්, ආසියාතික අලියාගේ උප විශේෂයක්‌ ලෙස පරිණාමය වීමත් මෙහි ලා විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය.

අපේ රට තුළ නිවැසි අලින්ගේ බාහිර පෙනුම අනුව ඔවුන් (විද්‍යාත්මක වර්ගීකරණයක්‌ නො වේ) කුලවලට බෙදා වෙන් කළ බවත්, ඒ අනුව වන්දනීය කාර්යයන් සඳහාත්, රාජ අමාත්‍යාදීන්ගේ ගමන්-බිමන් ආදිය සඳහාත් යොදාගත් බව පුරාණ ලේඛනවල සඳහන් කර ඇත. එවැනි කුල 07ක්‌ පිළිබඳ ව සඳහන් වේ. මංගල (හොඳ කුලයකි), කාලවක - ගංගෙය - පන්දර (පහත් කුල), පිංගල, ගන්ධ, තම්බර (මධ්‍යම කුල) යනුවෙන් නම් වූ කුල හතක්‌ අපේ රට තුළින් වාර්තා වී ඇත. සිරුරේ වර්ණය, දළවල පිහිටීම, කොන්දේ පිහිටීම, ඇස්‌වල පැහැය, කුම්බස්‌ තලයේ හැඩය, උස - මහත, පාදයේ නිය පිහිටීම, වල්ගයේ පිහිටීම ආදි වූ කරුණු පිළිබඳ ව අලින් කුලවලට වර්ග කිරීමේ දී සැලකිලිමත් වී ඇත. කුමන පදනමක පිහිටා වර්ග කළත්, කුමන නමකින් ආමන්ත්‍රණය කළත් අපේ අලි අපේ රටට සම්පතක්‌ බව යළි යළිත් සිහිපත් කළ යුතු ව ඇත.

උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, පිට මත තබාගෙන හස්‌ති ලීලාවෙන් පා තබා වීදි සංචාරය කරමින් ජනී ජනයාගේ භක්‌ත්‍යාදරයට පාත්‍ර වූයේ අපේ ඇත් පරපුරයි. දුරාතීතයේ රටට විරුද්ධ ව පැමිණි සතුරු ආක්‍රමණයන්ට නො බිය ව මුහුණ දුන් සිංහල යුධ බල ඇණියේ පෙරමුණ ගත්තේ ද අලි ඇත් සේනාවයි. ප්‍රභූ සිටු මැදුරු, නගර සැරසිලි, පූජනීය සිද්ධස්‌ථාන සැරසිලි ආදි ගෘහ අලංකරණයන් සඳහා යොදාගත්තේ ද අලි ඇතුන් සිතුවම් කරන ලද, කැටයම් කරන ලද සහ ගලෙන් කරන ලද ශෛලමය රූප ආදිය ය. සශ්‍රීකත්වයේ සංකේතයක්‌ ලෙස විවිධ අවස්‌ථාවන්වල දී භාවිතයට ගත්තේ ද අලි - ඇත් රූපයි. එබැවින් අලි - ඇත් පරපුරට ජන සමාජය තුළ හිමි වූයේ ගෞරවාන්විත පිළිගැනීමකි. අතීතයේ දී ගෞරවාදරයට පත් වෙමින් තම වාසස්‌ථානයන්හි නිදහසේ ජීවත් වූ සත්ත්වයකුට වර්තමාන සමාජය තුළ හිමි ව ඇත්තේ කෙබඳු තත්ත්වයක්‌ දැයි යන්න නම් ප්‍රශ්නාර්ථයකි.

කෘෂිකර්මාන්තය මත පදනම් වූ ජීවන රටාවකට උරුමකම් කී අපේ ආදිතමයෝ ස්‌වකීය පරිභෝජනයන් සඳහා භූමිය නිස්‌කාරණයේ විනාශ නො කළෝ ය. ඉන් පරිසරයට සිදු වූ බලපෑම ද අවම විය. තමන්ගේ ගොවිතැනේ සම්පූර්ණ අස්‌වැන්න කපා, ගෙට ගනු වෙනුවට ඉන් සැලකිය යුතු කොටසක්‌ කුරුලු පාලුව, ඇත් පාලුව ලෙසින් නම් කරමින් ඒ සත්ත්වයන්ගේ පරිභෝජනය වෙනුවෙන් වෙන් කිරීමත්, වන සතා සහ මිනිසා අතර තිබූ සහජීවන පැවැත්මට කදිම නිදසුනකි. වනය මායිමේ හේන් කොටා දිවි සරි කරගත් ජීවන රටාවකට හුරු ව සිටි ආදි සිංහල ගැමියා සමඟ සහජීවනයෙන් කල් යෑවූ අලියා, මිනිස්‌ ජීවිත ආක්‍රමණය කරනා ප්‍රකෝපකාරී සත්ත්වයකු දක්‌වා පත් කිරීම තෙක්‌ සිදු වූ සමාජ පෙරළිය ගැනත් දළ අවබෝධයක්‌ ලබාගත යුතු ම ය.

දුරාතීතයේ දී එනම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත් වීමට පෙර සිහල රජ දවස, වන පෙත් සහ නිවැසි සතා සීපාවාගේ පැවැත්ම ආරක්ෂා කරමින් රට කර වූ අයුරු වර්තමානයට ද ලබා දෙනුයේ මහඟු ආදර්ශයකි. අපේ මුතුන් මිත්තන් වන පෙත් රටේ හදවත සේ සිතමින් කටයුතු කළ අයුරු සහ ඊට අනුබල දෙමින් රට කළ ඇත්තන් එකී බිම් ස්‌වකීය ප්‍රාණය හා සම ව රැකි අයුරුත්, සංවේදී වූ පාරිසරික කලාපයන් 'තහංචි කැළේ' ලෙස නම් කරමින් කිසිදු හෝ මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ සඳහා ඉඩ ප්‍රස්‌ථාවක්‌ ලබා නො දුන් අයුරුත් අතීතාවර්ජනයේ දී මොනවට පසක්‌ වෙයි. මේ සියල්ල ම උඩු යටිකුරු වූයේ අප රට යුරෝපීය ආක්‍රමණයන්ට යටත් වීමට සමගාමී ව ය. ශ්‍රී ලංකාවේ ඉඩම් භාවිතය වාණිජමය මුහුණුවරක්‌ ගත් අතර ලන්දේසි හා ඕලන්ද සමයන්හි දී ස්‌වාභාවික වනාන්තර විනාශ කරමින් ගස්‌ කපා, දැව, දඬු වශයෙන් අපනයනයත්, කුරුඳු වැනි ආර්ථික බෝග සඳහා, වන පෙත් එළි පෙහෙළි වීමත්, දඩයම් කළ වන සතුන්ගේ සම්, ඇත් දත් වැනි සත්ත්ව කොටස්‌ අපනයනයත් ජයට ම සිදු වීම ආරම්භ විය. ඉනික්‌බිති බ්‍රිතාන්‍යයෝ උඩරට රාජ්‍යයට ඇතුළු වී සිරිලක ස්‌වකී ග්‍රහණයට නතු කරගත් හ. පෙර ලන්දේසි සහ ඕලන්ද පාලන සමයන්හි දී පහතරටට සීමා ව පැවැති ස්‌වාභාවික සම්පත් කොල්ලය ඉංග්‍රීසි යටත්විජිත පාලන සමය තුළ දී තෙත් කලාපය සහ කඳුකරය දක්‌වා ම ව්‍යාප්ත විය.

මෙරට අනගි වනපෙත් කපා, බිම හෙළමින් එතුළ සැරූ, වන රජ දරුවන් (වන අලින්) සෙසු ප්‍රදේශවලට පන්නා දමමින් සුදු ජාතිකයෝ කෝපි වගා කරනු වස්‌ ඒ සඳහා ඉතා සුදුසු උස්‌බිම් සොය සොයා එළි - පෙහෙළි කළ හ. එනමුදු සොබාදහම එයට නැවතීමේ තිත තැබුවේ කෝපි වගාවට කොළ රෝගයක්‌ පතුරුවා හැරීමෙනි. ඉන් නො නැවතුණු සුදු ජාතිකයෝ ඉනික්‌බිති ව කඳුකරය තව තවත් එළි - පෙහෙළි කරමින් තේ වගාව මධ්‍යම කඳුකරය තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නිරත වූ හ. එසමය තුළ මෙරට සිදු වූ පාරිසරික විපර්යාස හමුවේ ස්‌වකීය නිජබිම් අහිමි වීමෙන් අසරණ වූ වනජීවීහු (විශේෂයෙන් ම වන අලි) සුදු දඩයක්‌කාරයන්ගේ දඩයම්, කෙළි බඩු බවට පත් වූ හ. ඉන් බේරෙනු වස්‌ කොටසක්‌ මධ්‍යම කඳුකරය අතහැර රටේ සෙසු ප්‍රදේශයන්ට පලා ගියෝ ය. මුල්කාලීන ව, තෙත් සිහිල් පාරිසරික තත්ත්වයන්ට හැඩගැසුණු අලි, පසුකාලීන ව වියළි පාරිසරික තත්ත්වයන්ට අනුවර්තනය වූ බවත් උපකල්පනය කළ හැකි ය.

මෙදවස, වන අලින් ගෙන් තොර බිමක්‌ සේ ප්‍රකට හොර්ටන් තැන්නේ වර්ෂ 1800 දී වන අලින් තම පැවැත්ම තහවුරු කරගෙන සිටි බවටත්, අසීමිත ව පැතිරුණ තණබිම්වල ඔවුන් නිදහසේ ගැවසුණු බවටත් සාධක හමු වන කාල වකවානුවක්‌ වශයෙන් ද හැඳින්විය හැකි ය. අතීතයේ දී හොර්ටන් තැන්න සහ සමනොළ වනපෙත එකට බැඳී තිබුණු අතර ඒ සමයේ දී එහි වාසය කළ වන අලින්, වනපෙත් දෙක අතර සංක්‍රමණික දිවි පෙවෙතක්‌ ගත කළ බවට සාධක හමු ව ඇත. කාලාන්තරයක්‌ තිස්‌සේ සිදු වූ අනිසි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට මේ වනපෙත් වෙන් වෙන් ව හුදෙකලා බවට පත් ව ඇත. හොර්ටන් තැන්න වනපෙත තුළ වන අලින් වාර්තා නො වූවත් සමනළ වනපෙත තුළ නිවැසි ව දිවි ගෙවන වන අලින් 20කට ආසන්න කණ්‌ඩායමක්‌ වාසය කරයි. යටත්විජිත සමයේ දී වන අලියකු මැරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ද දඩයම්කරු වෙත ලබා දී ඇත. මරා දමා අලියාගේ වලිගය ඉදිරිපත් කරන්නකු වෙයි නම් ඔවුනට රජය සිලිං තුනක්‌ පරිත්‍යාග කරමින් තව තවත් වන අලින් ඝාතනය සඳහා ඔවුන් දිරිමත් කර ඇත. මේජර් විලියම් රොජර්ස්‌ ස්‌වකීය දෛනික සටහන්වල තබා ඇත්තේ තමන් විසින් වන අලින් 1,300කට ආසන්න ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවේ ජීවත් වූ සිව් වසරක කාලය තුළ දී වෙඩි තබා මරා දමනු ලැබූ බවයි. වන සතුන් මරා දමමින් එම සංඛ්‍යාවන් තම දින පොත්වල සටහන් තබාගත් සුදු ජාතිකයන්ගේ ලේඛනයේ ප්‍රමුඛස්‌ථානය සැමුවෙල් බේකර්ස්‌, මේජර් තෝමස්‌ ස්‌කිනර් වැන්නවුන්ට හිමි ව ඇත.

අතීතයේ සිදු වූ අලි සංහාරයේ දුක්‌බර කතා එබඳු ය. වර්තමානයේ සිදු වන්නේ එබ`දු වූ ආකල්පයන් මුල් කරගත් අලි ඝාතන නො වූවත් මිනිසා සහ අලියා මුහුණ දෙමින් සිටින්නේ ජීවිතවලින් වන්දි ගෙවනා තත්ත්වයකට බවත් සිහි කටයුතු ය. උද්ගත ව ඇති ගැටලුවේ හේතුව බවට පත් වී ඇත්තේ අලින්ගේ ගැවසුම් බිම් අවුරමින් ජනාවාස බිහි වීම බවත් මෙහි දී සඳහන් කළ යුතු ම ය. එකී වාතාවරණය හමුවේ වනඅලි - මිනිස්‌ ගැටුම පවතින ප්‍රදේශ පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී අවබෝධ වන කරුණක්‌ වන්නේ වනජීවී රක්ෂිතවලින් පිටත ප්‍රදේශ ආශ්‍රිත ව වන අලින්ගේ වැඩි වූ ගැවසීම බව දැක්‌විය හැකි ය. එහෙත් අතීතයේ සිට ශ්‍රී ලාංකේය ජන සමාජය සමඟ සහජීවනයෙන් දිවි ගෙවූ සද්දන්ත පරපුර වර්තමානය වන විට දී ජීවත් වීමේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටීම කණගාටුදායක තත්ත්වයක්‌ නො වන්නේ ද? එහි යථා ස්‌වරූපය කෙසේ ද යත් මේ සද්දන්ත පරපුර අප රට තුළ පමණක්‌ නො ව සමස්‌ත මිහිතලයෙන් ම තුරන් ව යැමේ අවදානම දක්‌වා ම මේ තත්ත්වය උග්‍ර වෙමින් පවතී. ඒ බැව් දිනයේ ඇරැඹුමේ සිට අවසානය දක්‌වා වන අලි - මිනිස්‌ ගැටුම සම්බන්ධ ව අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් ඔස්‌සේ තේරුම්ගත හැකි ය.

අතීතයට සාපේක්ෂ ව වර්තමානයේ සිදු වන අනිසි මානව ක්‍රියාකාරකම් ගොඩබිම මත ජීවත් වන සද්දන්තයන් සහ මිනිසුන් අතරේ ගැටුම් නිර්මාණය කිරීම දක්‌වා උග්‍ර වීමට බෙහෙවින් ම බලපා ඇත. එහි ප්‍රතිඵලය වන්නේ අලි - මිනිස්‌ ගැටුම නිසා අසරණ වන, අලි - ඇතුන් අවසන පරාජය ලැබ අවසන් සුසුම් හෙළීම සහ ඊට වන්දි වශයෙන් වන අලින් මිනිස්‌ ජීවිත බිලි ගැනීම ය. පසුගිය කාල සීමාව තුළ දී සිදු වූ මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම හේතුවෙන් වනාන්තර පෙදෙස්‌ යට වූ බව සත්‍යයකි. සංවර්ධන යෝජනා ක්‍රම සඳහා කැළෑ බිම් එළි වීම, නව නගර බිහි වීම, ජනාවාස ඇති කිරීම, කර්මාන්තපුර බිහි වීම, ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිර්මාණය වීම, මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදි වීම ආදි සංවර්ධන කාර්යයන් හේතුවෙන් වන අලින්ට වාසස්‌ථාන අහිමි විය. ඉනිදු නො නැවතී වන අලින් එක්‌, එක්‌ පෙදෙස්‌වලට සීමා වීම නිසාවෙන් ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවන් වන, ජලය - ආවරණ සහ ගොදුරු බිම් සොයා සිදු වන සෘතු චලනය සඳහා බාධා වීම් ද සිදු විය. ප්‍රධාන වනජීවී රක්ෂිතයක සිට තවත් වනජීවී රක්ෂිතයක්‌ වෙත පාරම්පරික ව සිදු වූ වනඅලි සංක්‍රමණයන් සඳහා භාවිතයට ගත්, වන මංතීරු (අලි මංකඩවල්) ආශ්‍රිත ව මිනිස්‌ ජනාවාස බිහි විය. නිසි ක්‍රමවේදයකින් තොර ව අක්‍රමවත් ව සිදු වූ මෙවැනි මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් තමන්ගේ පාරම්පරික ගමන් මාර්ගයන්ට බාධා එල්ල වන ආගන්තුක ජනාවාස ආක්‍රමණය කිරීමට පෙලඹිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරමාර්ථයක්‌ වන්නේ ද වන අලි - මිනිස්‌ ගැටුම සඳහා උචිත විසඳුමක්‌ වෙත පැමිණීමයි. වන අලි ආක්‍රමණ බහුල පෙදෙස්‌ ඇසුරේ විසඳුමක්‌ ලෙස භාවිතයට ගනු ලබන්නේ විදුලි වැටවල් ස්‌ථාපිත කිරීමේ ක්‍රමවේදයයි. එනම් අලි, ගම් වදින ස්‌ථාන සහ ගැමියන්ගේ ඉල්ලීම පරිදි ගම වට කර විදුලි වැට ඉදිකිරීමේ ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක වන අතර ගල්ගමුවේ ඒරියාව, වෑගෙදර විදුලි වැට සහ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේත්, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේත් ස්‌ථාපිත කර ඇති සෙසු විදුලි වැටවල්, වන අලින්ගේ සෘතු චලනයට බාධාවක්‌ නො වන ආකාරයට ගම වට කර ඉදි කර ඇත. මෙවැනි විදුලි වැටවල්, ග්‍රාමීය ප්‍රජාවගේ සහභාගීත්වය මත සාර්ථක ව ක්‍රියාත්මක වන විදුලි වැටවල් සඳහා උදාහරණ ය. ගම වටේ සක්‍රිය විදුලි වැටක්‌ ඉදි කර ඇති බැවින් ගම තුළට අලි, කඩා නො වදිති. එනිසා ඉන් බාහිර ව ඇති වගාබිම් ආරක්ෂා කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කිරීමේ අවස්‌ථාව ගැමියන්ට හිමි ව ඇත. ගම්වැසියෝ ගොවිතැන් බතක්‌ කරගෙන එදිනෙදා කාර්යයන්හි සාමාන්‍ය පරිදි නිරත වෙති. ගොවිබිම් වෙත කඩා වදිනා අලින් පලවා හැරීම වෙනුවෙන් අලි වෙඩි නිකුත් කිරීම්, අලි ගම්වදින ස්‌ථාන ආශ්‍රිත ව මුර සංචාර සිදු කිරීම, ගම්වදින අලින් රක්ෂිත වෙතට පලවා හැරීම්, ජීවිත හානි - දේපළ හානි සිදු කරනා කලහකාරී අලින් ජීවග්‍රහණයෙන් අල්ලා හොරොව්පතාන වැනි වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම් වෙත නිදහස්‌ කිරීම, වන අලින්ට රේඩියෝ කරපටි පළน ඔවුන්ගේ ගමන් රටාවන් පිළිබඳ ව අධ්‍යයන කටයුතු සිදු කිරීම, අලින්ගේ මූලික අවශ්‍යතාවන් වන ජලය සහ ආහාර ප්‍රභවයන් (සුපෝෂණ කටයුතු) වනජීවී රක්ෂිත ඇසුරේ ස්‌ථාපිත කිරීම කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කර ඇත. රෝගාතුර සතුන් හඳුනාගනිමින් ප්‍රතිකාර සිදු කිරීමත්, එම සත්ත්වයන් පිළිබඳ පසු විපරම් කටයුතු සිදු කිරීමත් දෛනික ව සිදු කෙරෙයි. මවගේ

රැකවරණය අහිමි ව වනයේ අතරමං ව සිටිනා අලි පැටවුන්, උස්‌ මහත් වන තුරු රැක බලාගෙන යළිත් වනයට ම පිටමං කරනා සංකල්පය මුල් කරගෙන ඇත් අතුරු සෙවණ උඩවලව ජලාශය ආශ්‍රිත ව උඩවලව ජාතික උද්‍යානයට මායිම් ව ස්‌ථාපිත කර ඇත. එහි

රැකවරණය ලබා ලොකු වී යළිත් වනයට ගොස්‌ වන අලින්ට ම හුරු පුරුදු ජීවිතයට හැඩගැසුණු අලින්, සංඛ්‍යාත්මක ව නම් 100කට නො වැඩි ය. ඒ අතරේ මවු පදවිය ලැබූ ගැහැනු සතුන් ද (16ක්‌ පමණ) වාර්තා වී ඇත. මවු සෙනෙහස අහිමි ව වනයේ අතරමං වූ අලි පැටවුන් 66කට ආසන්න සංඛ්‍යාවක්‌ මේ වන විට දීත්

රැකවරණය ලබනුයේ උස්‌ මහත් ව යළිත් වනයට ම යන අටියෙනි. එනම් අවිනිශ්චිත වූ පුංචි අලි පැටවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක්‌ එක්‌ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව උඩවලව ඇත් අතුරු සෙවණ හරහා ඉටු කරනා නිහඬ මෙහෙවර එබඳු ය.

එළැඹෙන සැප්තැම්බර් මස පොහොය දිනයට සමගාමී ව වනඅලි සමීක්ෂණයක්‌ සිදු කිරීමට ද මූලික සැලසුම් සකස්‌ කර ඇත. අවසන් වරට දෙපාර්තමේන්තුව විසින් වන අලි සමීක්ෂණයක්‌ සිදු කරනු ලැබුවේ වසර 08කට ඉහත 2011 වසරේ දී ය. මේ වසරේ සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළ දී පැවැත්වීමට නියමිත වන අලි සමීක්ෂණයට අනුව ඉකුත් ව ගිය වසර අටකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවේ වන අලින්ගේ ගහණ ඝනත්වය පිළිබඳ ව පැහැදිලි අවබෝධයක්‌ ලබාගත හැකි වනු ඇත. දිවයිනේ ව්‍යාප්ත වන අලින්ගේ සියලු ගැවසුම් කලාප ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති වන අලි සමීක්ෂණයේ දී වන අලින් ස්‌වකීය ජල අවශ්‍යතාවන් සපුරාගන්නා දිය ප්‍රභවයන් ඉලක්‌ක කරගෙන ඒ ආශ්‍රිත ව නිරීක්ෂණ ස්‌ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත. ඉදිරි සංරක්ෂණ කළමනාකරණ සැලසුම් සකස්‌ කිරීමේ දී මෙවැනි සමීක්ෂණ තුළින් ලබාගන්නා දත්ත මහෝපකාරී වේ.

ලොව පුරා තර්ජනයට ලක්‌ වූ සත්ත්ව හා ශාක විශේෂයන්හි ජාත්‍යන්තර වෙළෙนම පිළිබඳව වන, සම්මුතියට අනුව (CITES) ආසියාතික අලින් ආරක්ෂිත කළ යුතු සත්ත්ව ලේඛනයේ පළමුවැනි ලැයිස්‌තුවට ඇතුළත් කර ඇත. ඒ අනුව ඇත් දළ, පණු දළ, දත්, සම්, කෙඳි, නියපොතු ආදි කිසිදු හෝ ශාරීරික කොටසක්‌ වෙළෙนම අන්තර්ජාතික වශයෙන් ද තහනම් කර ඇත. 1979 වසරේ සිට ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්මුතියේ සාමාජිකත්වය දරයි. එමෙන් ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත බල ගැන්වීම හරහා ද වනඅලින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත. වසර 70කට ආසන්න කාල පරාසයක්‌ තුළ ශ්‍රී ලාංකේය වනජීවී සංරක්ෂණය උදෙසා පූර්ණ කාලීන ව කැප වී සිටිනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකේය අලියා සංරක්ෂණය හා බැඳුණු නෛතික බලය හිමි රාජ්‍ය ආයතනය ද වේ.

වනඅලියා ධජධාරී සත්ත්ව විශේෂයක්‌ ලෙස ගෙන සංරක්ෂණයේ දී ප්‍රමුඛතාව ලබා දී ඇත. වන අලින් සංරක්ෂණය යනු ඒ හා බැඳුණා වූ පරිසර ක්‍රියාදාමය ම ආරක්ෂා වීමක්‌ සහ ඒ මත යෑපෙන සෙසු වනජීවීන්ගේ පැවැත්ම සහතික වීමක්‌ බව ද මෙහි ලා සටහන් තැබිය යුතු වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...