Skip to main content

ජාන විශ්ලේෂණයෙන් හෙළිදරව් වන මානව ඉතිහාසයේ සැඟවුණු රහස්‌...


අද ලෝකයේ වැජඹී සිටින නූතන මානවයා වසර මිලියන ගණනක පරිණාමීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌. වානරයාගේ සිට කෙමෙන් කෙමෙන් වෙනස්‌කම්වලට ලක්‌ වෙමින්, නගර, ශිෂ්ටාචාර බිහි වෙමින් ගලා ආ මේ මානව වංශකතාව පිළිබඳ ව දළ අදහසක්‌ අපට තිබෙනවා. එහෙත් එහි තවමත් අනාවරණය නො වුණු රහස්‌ බොහොමයක්‌ තිබෙනවා. පසුගිය කාලය තුළ සිදු වුණු ජාන විශ්ලේෂණ ක්‍රමවේදවල වේගවත් වර්ධනය මේ සැඟවුණු අතීතය දෙසට නව කවුළුවක්‌ විවෘත කිරීමට සමත් වුණා. මෙහි දැක්‌වෙන්නේ එලෙස ජාන තාක්ෂණය හරහා මානව ඉතිහාසය පිළිබඳව හෙළිදරව් කරගැනුණු අපූරු කාරණා කිහිපයක්‌.


නියෑන්ඩතාල් මානවයන් සමඟ ආදර සබඳතා පැවැත්වූ අපේ මුතුන් මිත්තන්

අදින් වසර ලක්ෂ හතරකට පමණ පෙර නියෑන්ඩතාල් මානවයා හා නූතන මානවයා පරිණාමීය වෘක්ෂයේ වෙන් ව වැඩී වර්ධනය වූ අතර බොහෝ කාලයක්‌ තිස්‌සේ සමාන්තර ව යුරෝපයේ හා ආසියාවේ ජීවත් වී තිබෙනවා. නියෑන්ඩතාල් මානවයා අදින් වසර 28,000ක්‌ තරම් මෑත කාලය වන තුරු ජීවත් වූ බවටයි සාක්ෂි තිබෙන්නේ. එක ම පරිසරයේ ජීවත් වූ මේ මානව විශේෂ දෙක එකිනෙකා සමඟ මිශ්‍ර වූයේ ද යන්න ගැන පුරාවිද්‍යාත්මක සාධක සොයාගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි ව තිබුණේ නැහැ. එහෙත් ජාන විද්‍යාඥයන් 2010 වසරේ දී නියෑන්ඩතාල් මානවයාගේ සම්පූර්ණ ගෙනෝමය (Genome) විශ්ලේෂණය කිරීමත් සමඟ මේ සබඳතාව පිළිබඳ ව නිවැරැදි ව කරුණු අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මානව ගෙනෝමය සමඟ මේ ගෙනෝමය සංසන්දනය කිරීමේ දී පෙනී ගොස්‌ ඇත්තේ වසර 50,000කට පමණ පෙර නූතන මානවයන් හා නියෑන්ඩතාල් මානවයන් එකිනෙකා සමඟ අන්තරාභිජනනය වී වර්ගයා බෝ කර ඇති බවයි. කෙසේ වෙතත් අප්‍රිකානු කලාපය තුළ නියෑන්ඩතාල් මානවයා ජීවත් වී නැති බැවින් එම කලාපය තුළ පැවත එන නූතන මානවයන් තුළ නියෑන්ඩතාල්වරුන්ගේ ජාන දකින්නට ලැබී නැහැ.


ටිබෙටියානුවන්ට කඳුකරයේ ජීවත් වීමට උපකාර කළ මිශ්‍ර වීම

සයිබීරියාවේ Altai කඳුකරයේ Denisovan ගුහාව තුළ සොයාගන්නා ලද ඇඟිල්ලක ෆොසිලයක්‌ හරහා එහි නව වර්ගයක මානව විශේෂයක්‌ ජීවත් වී ඇති බව සොයාගනු ලැබුණා. නියෑන්ඩතාල් මානවයන්ට සමීප ඥතීත්වයක්‌ දරන මේ මානව විශේෂය හැඳින්වෙන්නේ ඩෙනිසෝවන් (Denisovan) නමින්. නියෑන්ඩතාල් මානවයා මෙන් ම ඉතිහාසයෙන් වඳ වී ගියත්, අද ටිබෙටයේ ජීවත් වන නූතන මානවයන්ගේ මුතුන් මිත්තන් සමඟ මේ මානවයා අන්තර් අභිජනනය වී ඇති බව ජාන අධ්‍යයන මඟින් හෙළිදරව් වී තිබෙනවා. පර්යේෂණවලින් පෙනී ගොස්‌ ඇත්තේ ටිබෙටියානු ජනතාවගේ EPAS 1 නම් ජානය මේ ඩෙනිසෝවන් මානවයාට සමාන බවයි. අඩු ඔක්‌සිජන් සහිත පරිසරයන්හි දී සිරුරේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට උපකාරී වන්නේ මේ ජානයයි. ලෝකයේ අන් ජනවර්ගවලට වෙනස්‌ ව ටිබෙටියානුවන් සතු ව ඇති මේ ජානය ඔක්‌සිජන් අඩු, උස්‌ කඳු මුදුන්වල පහසුවෙන් ජීවත් වීම සඳහා ඔවුනට උපකාරී වී තිබෙනවා. මේ අනුව කඳුකරයේ ජීවත් වීමට ටිබෙටියානුවන්ට මඟ පාදා ඇත්තේ මේ ඩෙනිසෝවන් මානවයා සමඟ නූතන මානවයා අතීතයේ දී මිශ්‍ර වීමෙන් උරුම වූ ජානමය වෙනස්‌කම්. මේ ආකාරයට නූතන මානවයා නියෑන්ඩතාල් මානවයන් හා ඩෙනිසෝවන් මානවයා සමඟ පැවැත්වූ ලිංගික සබඳතා, අනාගත පරම්පරාවට උරුම වූ ජාන ලෝකයේ විවිධ ජන කොටස්‌වල ප්‍රතිශක්‌තිය, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආදිය වෙනස්‌ කිරීමට හේතු වී ඇති බවට විශ්වාස කෙරෙනවා.


ආදි බ්‍රිතාන්‍යයන්ට තිබී ඇත්තේ කළු සමක්‌

ඇමෙරිකානුවන් මෙන් ම යුරෝපීයයන් ද අප ව්‍යවහාර භාෂාවෙන් හඳුන්වන්නේ සුද්දන් ලෙසයි. ඒ ඔවුන්ගේ සමෙහි ඇති කැපී පෙනෙන සුදු පැහැය හේතුවෙන්. එහෙත් පුදුමයකට මෙන් මේ සුද්දන්ගේ, මවු රට වන බ්‍රිතාන්‍යයේ ආදිතම මුතුන් මිත්තන් සුද්දන් නො ව කල්ලන් ව සිට ඇති බවට ඩී.එන්.ඒ විශ්ලේෂණයන් මඟින් හෙළිදරව් වී තිබෙනවා.

එංගලන්තයේ Cheddar නම් ප්‍රදේශයේ ගුහාවක දී 1903 වර්ෂයේ පුරාණ මානව සැකිල්ලක්‌ සොයාගනු ලැබූ අතර පසුව සොයාගැනුණේ එය වසර 9,000ක්‌ පමණ පැරැණි එකක්‌ බවයි. මෙය බ්‍රිතාන්‍යයෙන් සොයාගත් පැරැණි ම සම්පූර්ණ අස්‌ථි සැකිල්ල වන මෙය හඳුන්වන්නේ චෙඩර් මානවයා (Cheddar Man) නමින්. 2018 වසරේ දී මේ චෙඩර් මානවයාගේ ගෙනෝමය හඳුනාගනු ලැබූ අතර ඉන් පසු ව එම තොරතුරු හරහා විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව ඔහුගේ ස්‌වරූපය, ප්‍රති නිර්මාණය කිරීමට විද්‍යාඥයන් කටයුතු කර තිබුණා. එහි දී හෙළිදරව් වුණේ මේ මානවයා කළු හෝ දුඹුරු හෝ සමක්‌ මෙන් ම කළු හිස කෙස්‌ සහිත නිල් පැහැති ඇස්‌ ඇති අයකු බවයි. මේ අනුව පෙනී යන්නේ මේ යුගයේ දී යුරෝපයේ දඩයමෙන් ජීවත් වූ අය අතර කළු සම සාමාන්‍ය දෙයක්‌ වූ බවයි.


යුරෝපයට සුදු සම ගෙන ආවේ සංක්‍රමණිකයන්

වසර 10,000කට පෙර කළු හම යුරෝපයේ සාමාන්‍ය දෙයක්‌ ව පැවතුණා නම් පසුකාලීන ව එය සුදු බවට පෙරැළුණේ කෙසේ ද යන්න පිළිබඳ වත්, විද්‍යාඥයන් ජාන විශ්ලේෂණය හරහා අනුමාන කරනවා. ඔවුන්ට එය සිදු ව ඇත්තේ වසර 5,000කට පමණ පෙර ගොවිතැන් ක්‍රම භාවිතය ඇරඹීමත් සමඟයි. අද, රුසියානු හා යුක්‌රේනියානු භූමි ප්‍රදේශවල එකල පැතිරී සිටි සුදු සම සහිත ජනතාව යුරෝපය දෙසට සංක්‍රමණය වී තිබෙනවා. යුරෝපයේ ඇති අඩු හිරු එළිය සහිත තත්ත්වවලට මේ සමේ වර්ණය වාසිදායක වූ අතර කෙමෙන් කෙමෙන් ඊට අදාළ ජාන යුරෝපය පුරා හොඳින් පැළපදියම් වන්නට ඇති.


ක්ෂය රෝගයේ වරද
නො පැවරෙන කොලොම්බස්‌


15 වැනි සියවසේ අගභාගයේ පැරැණි ඇමෙරිකා මහද්වීපය පුරා ක්ෂය රෝගය ඇතුළු මාරක වසංගත ගණනාවක්‌ පැතිර ගිය අතර එය හේතුවෙන් එහි ජීවත් වූ ස්‌වදේශික ජනගහණයෙන් සියයට 90ක්‌ ම මරු දුටුවා. මේ සිදු වීම ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ගේ ඇමෙරිකා ආගමනය හා සමපාත ව සිදු වීම නිසා මේ මරණීය වසංගත ඇමෙරිකානු මහද්වීපයට හඳුන්වා දීමේ චෝදනාව එල්ල වන්නේ ඔහුටයි. කෙසේ නමුත් මෑතකාලීන ජාන අධ්‍යයනයන් හරහා පෙනී ගොස්‌ තිබෙන්නේ කොලම්බස්‌ ඇමෙරිකාවට පැමිණීමට පෙර සිට ම ස්‌වදේශික ඇමෙරිකානුවන් ක්ෂය රෝගයෙන් මිය ගොස්‌ ඇති බවටයි.

විද්‍යාඥයන් මේ සොයාගැනීම කර ඇත්තේ පේරු ආශ්‍රිත ව සොයාගන්නා ලද මානව කොටස්‌ විශ්ලේෂණය කිරීමෙනුයි. මේ මානවයන් අදින් වසර 1,000කට පෙර එනම් කොලම්බස්‌ගේ ආගමනයට වසර 500කට පමණ පෙර ජීවත් වූ අයයි. ඒවා තුළ ක්ෂය රෝගයේ රෝගකාරක සොයාගැනීමට ඔවුන් සමත් ව ඇති අතර ඒවා මුහුදු සිංහයන් හා සීල් සතුන් අතර බහුල ව පැතිර යන ක්ෂය රෝගයට සමාන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව විද්‍යාඥයන් සැක පළ කරන්නේ මේ සතුන් තම සංචාරවල දී අප්‍රිකාවේ සිට නොදැනුවත් ව මේ රෝගය

රැගෙන එන්නට ඇති බවයි. එම සතුන් දඩයම් කර ආහාරයට ගත් පේරුවියානු වැසියන්ට එය වැළඳෙන්නට ඇතැයි සැලකෙනවා. කෙසේ නමුත් මේ හරහා කොලම්බස්‌ මේ වරදට නිවැරැදිකරු ම යෑයි කියන්නට නො හැකියි. ක්ෂය රෝගකාරක ඇමෙරිකාව තුළ පෙර සිට ම පැවතුණත් ඒ වසංගතය පැතිර ගියේ කොලම්බස්‌ ගෙනා රෝගකාරකවලින් වීමට ඉඩ නැත්තේ නැහැ.


වයිකින්වරුන් ගෙන් පැවත එන අවදානම

අදින් වසර දෙ දහසකට පමණ පෙර ජීවත් වූ රණකාමී යාත්‍රික ගෝත්‍රිකයන් පිරිසක්‌ වූ වයිකින්වරුන් ගෙන් පැවත එන පුද්ගලයන්ට සාමාන්‍ය අයට වඩා Emphysema නම් රෝගය වැළඳීමේ අවදානමක්‌ ඇති බව අධ්‍යයනයක්‌ මඟින් පෙනී ගොස්‌ තිබෙනවා. මීට හේතුව සැඟ ව තිබෙන්නේ වයිකින්වරුන්ගේ සිට පැවත එන ජාන තුළයි.

ඩෙන්මාර්කයේ වයිකින් යුගයේ වැසිකිළි පරීක්ෂා කිරීමෙන් වයිකින්වරුන් පණු රෝගවලින් දැඩි ව පීඩාවට පත් ව සිට ඇති බව පෙනී ගොස්‌ තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස වයිකින්වරුන් තුළ එම පණුවන්ට එරෙහි ව ප්‍රතිශක්‌තිකරණය දැක්‌විය හැකි පරිදි Alpha -1 -Antitrypsin (A1AT) නම් නිෂේධක ජානය වෙනස්‌ වීමට ලක්‌ වී තිබෙනවා. මිනිස්‌ ශරීරය තුළ සෑදෙන ප්‍රබල එන්සයිම මඟින් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට හානි වීම වැළැක්‌වීමට A1AT ඇතුළු මෙවැනි නිෂේධක ජාන අවශ්‍යයයි. වයිකින්වරුන් ගෙන් පැවත එන්නන් තුළ අද ද මේ වෙනස්‌ වූ ජානය දැකිය හැකි අතර පණු රෝග සඳහා ඕනෑ තරම් ඖෂධ ඇති නිසා මෙලෙස වෙනස්‌ වූ A1ATවලින් අද ප්‍රයෝජනයක්‌ නැහැ. එහෙත් ඔවුන් තුළ ඉන්ද්‍රියයන් ආරක්ෂා කළ හැකි අන්දමේ සාමාන්‍ය A1AT අඩුකම නිසා ඉන්ද්‍රියන්ට හානි වී දුම්පානය කරන්නන්ට වැළඳෙන Emphysema වැනි රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස්‌ තිබෙනවා.


පැරැණි රෝමය බිඳ වැටීමට හේතු වූ මැලේරියාව

වරක්‌ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ ව පැවැති රෝමානු අධිරාජ්‍යය, පසු ව යළි නො නැඟිය හැකි ලෙස බිඳ වැටී ගියා. යුදමය හා දේශපාලන අර්බුද ද මීට හේතු වුවත් පර්යේෂකයන් අනුමාන කර තිබුණේ මැලේරියා රෝගයේ පැතිර යැමත් මීට දායක වන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ ව තහවුරු කළ හැකි සාක්ෂි ඔවුන් සතු ව තිබුණේ නැහැ. නමුත් 2011 වසරේ ඉතාලියේ භූමිදානය කර තිබූ ළමා සිරුරු 47ක ජාන විශ්ලේෂණය කිරීමෙන් මේ මතය තහවුරු කරගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා. මේ දරුවන් සියලු දෙනා එක ම කාලයේ මිය ගිය අයවලුන් වන අතර, ඔවුන් දරුණු ව පැතිර ගිය මැලේරියා රෝගයකින් මිය ගොස්‌ ඇති බවයි හෙළිදරව් වී තිබෙන්නේ. මේ වසංගතයෙන් දුර්වල වීම නිසා ගොවීන්ට තම වගාවන් කරගැනීමට නො හැකි වීම මෙන් ම හමුදාවන්ට ආක්‍රමණිකයන්ට විරුද්ධ ව සටන් කරගත නො හැකි වීම ආදි හේතූන් රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමට ප්‍රබල දායකත්වයක්‌ සපයන්නට ඇතැයි සැලකිය හැකියි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...