Skip to main content

ඔෆිස් එකේ වැඩ ගොඩවෙලා.. ඔළුවට නිදහසක් නැද්ද?

එදිනෙදා ජීවිතය තුළ මිනිසා අත්විඳින ගැටලූ අතර මානසික ආතතිය නම් ගැටලූව ඉදිරියෙන්ම පවතී. මිනිසාට වැලඳෙන කායික, මානසික රෝගවලට සියයට අසූවක් පමණම හේතු වන්නේ මානසික ආතතියම බව පිළිගත් මතයයි. විශේෂයෙන්ම වර්තමාන තරගකාරී, සංකීර්ණ සමාජ රටාව තුළ මානසික ආතතිය නිහඩ මාරයකු ලෙස ක‍්‍රියාත්මක වෙමින් ජීවිතවලට බලපෑම් ඇති කරන ආකාරයක් දැක ගත හැකිය. එහෙත් මෙම ලිපියෙන් අපි අවධානය යොමු කරන්නේ ආතතිය පිළිබඳව නම් නොවේ. ආතතිය ඇති වන විවිධ ආකාර තිබේ. ඒ අතරින් රැකියා ජීවිතය ආශ‍්‍රයෙන් ගොඩනැගෙන රැකියා ආතතිය පිළිබඳවයි මේ සටහන.


ඔබත් ඔබගේ රැුකියාව නිසා වෙහෙසට පත් වූ අයෙක් ද? නැතිනම් රැකියාව එපා වී තිබියදීත් වෙනත් විකල්පයක් නොමැති නිසා රැකියාව කරන අයෙක් ද? නැතහොත් රැකියාවේ ඇති පීඩනය නිසා එදිනෙදා ජීවිත කාර්යයන් කර ගත නොහැකි තත්ත්වයට පත් වූ අයෙක් ද? මෙම ප‍්‍රශ්නවලට පිළිතුර ඔව් නම් ඔබ දැනටමත් රැකියා ආතතියේ ගොදුරක් බවට පත් අයෙක් විය හැකිය. එහෙත් රැකියා ආතතියට එකම හේතුව ඔබගේ ක‍්‍රියාකලාපය පමණක් නොවේ. ඒ සඳහා ආයතනික සාධක මෙන්ම ආර්ථික සහ සමාජයීය සාධක ද බලපානු ලබයි. නිදසුනක් ලෙස ආයතනික පරිපාලන ස්වභාවය, එසේම ඔබගේ රැකියා කටයුතු සහ පවුලේ කටයුතුවලදී පවුලේ සමාජිකයන්ගෙන් ලැබිය යුතු නිසි සහයෝගය නොලැබීමෙන් වුව ද රැකියා ආතතිය ඇතිවිය හැකිය. එම සාධක ඔබගේ පාලනයෙන් ඔබ්බෙහි පවතී. එබැවින් වැදගත් වන්නේ ආකල්ප සහ චර්යා හැඩගස්වා ගැනීම තුළින් රැකියා ආතතියට සාර්ථකව මුහුණ දිය හැකි ශක්තිය ඔබ තුළ ගොඩ නගා ගැනීමයි. එය පුද්ගල සංවර්ධන කුසලතාවක් ලෙසින් ද හැදින්වේ. මෙහිදී ඔබගේ ආකල්ප, සිතුම් පැතුම්, වටිනාකම් හා රුචිඅරුචීන්වලට ගැලපෙන රැකියා ක්ෂේත‍්‍රයක් තෝරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත්ය. එය රැකියා ජීවිතය සම්බන්ධයෙන් ඔබ ගන්නා වැදගත් ම තීරණය යි. ඔබ දැනටමත් රැකියාවක නියුතු අයෙකු නම් රැකියා ආතතියෙන් මිදීමට පහත කරුණු අනුගමනය කරන්න.



වෘත්තීමය සංවර්ධන මාවතකට පිවිසෙන්න.

ඇතැම් පුද්ගලයින් කොතෙක් අවස්ථා තිබියදීත් විශ‍්‍රාම ගන්නේ රැකියාව ආරම්භ කළ තනතුරෙන්මය. එය ඉතා හානිදායකය. එබැවින් නිරතුරුවම දැනට නියැලෙන රැකියාවෙන් එහි හෙටක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඔබට යාමට ඇති මාර්ග පිළිබඳ නිතර සොයා බලන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම්, කුසලතා සපුරා ගනිමින්, නව සබඳතා ගොඩනගා ගනිමින් තම රැකියාවට /වෘත්තියට අදාළව යාවත්කාලීන වන්න.


රැකියා ස්ථානයේ ඵලදායි සබඳතා ගොඩනගන්න.

රැකියා ස්ථානයේ ඔබ ගොඩනගන සබඳතා යනු ඔබේ රැකියා තෘප්තියේ හෝ ආතතියේ තීරණාත්මක සාධකයයි. එබැවින් හැකිතාක් රැකියා ස්ථානය තුළ ඔබව දිරිමත් කරන ඔබව ශක්තිමත් කරන සුබවාදී පුද්ගලයින් ඇසුරට යොමු වෙන්න. ඔවුන් සමග ඵලදායි සබඳතා ගොඩ න`ගා ගන්න. එය රැකියා ස්ථානයේ කවුරුන් හෝ ආශ‍්‍රය කිරීමට වඩා නිසැකවම ඔබේ ජීවිතයට ශක්තියක් සහ ආලෝකයක් සපයයි.


පවුලේ සාමාජිකයන් සමග ඇති සබඳතා ශක්තිමත් කර ගන්න.

විශ්වාසනීය අයෙක් සමග තම දෛනික කාර්යයන්වල වෙහෙසකාරී බව බෙදා ගත හැකි නම් එය විශාල මානසික සහනයකි. ඔබට වඩාත් විශ්වාසනීය පුද්ගලයන් වන්නේ ඔබේ පවුලේ සමාජිකයින්ය. එබැවින් මව, පියා, බිරිඳ, සැමියා හා දරුවන් සමඟ වඩාත් සමීප සබඳතා පවත්වන්න. එය රැකියා ආතතියට මෙන්ම සෙසු මානසික ආතතීන් සඳහා ද ඵලදායි ක‍්‍රියා මාර්ගයකි.


සංවිධානය වූ ජීවන රටාවකට හුරු වෙන්න.

අප තුළ පවතින අසංවිධිත බව මානසික ආතතියේ මූලික හේතුවකි. ඉතා සරල ක‍්‍රියාකාරකම් තුළින් මෙම අසංවිධිත බව සංවිධානාත්මක බවට පරිවර්තනය කළ හැකිය. කුඩා සටහන් පොතක් භාවිතා කිරීම එක් සරළ ක‍්‍රමයකි. අද දින නින්දට යාමට ප‍්‍රථම හෙට දිනයේ රැකියා ස්ථානයේ දී සහ පෞද්ගලික ජීවිතයේ දී කිරීමට ඇති කාර්යයන් සටහන් කළ හැකිය. මෙය එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීමට, අතපසු වීම්, අමතක වීම් අවම කරගැනීමට, ප‍්‍රමුඛතා හා වැදගත්කම අනුව කාර්යයන් වෙත යොමු වෙමින් කටයුතු කිරීමට මහත් රුකුලකි.


කයින් මෙන්ම සිතින් ද ගෙදර එන්න.

ඇතැම් පුද්ගලයින් නිවසට ආ පසුත් කල්පනා කරන්නේ රැකියා ස්ථානයේ කටයුතු පිළිබඳවය. එය දවස අවසානයේ රැකියා ආතතියෙන් නිදහස් වීමට දැඩි බාධාවකි. එබැවින් රැකියාවට අදාල විශේෂ සැලසුම් කිරීමක් නොමැති සෑම විටෙකම නිවසට ආ පසු කයින් මෙන්ම සිතින් ද ගෘහස්ත කටයුතුවලට හුවමාරු වී එහි සක‍්‍රීය ව නියැලෙන්න. මෙය රැකියා ජීවිතය සහ ගෘහස්ත ජීවිතය අතර තුලිතතාවයක් ඇති කරමින් රැකියා ආතතියෙන් පුද්ගලයා ආරක්ෂා කිරීමට හේතු වේ.



කාර්යයන් අතරතුර ලිහිල් වීම හුරු කරන්න.

එක දිගට වැඩ කිරීම හෝ අධිකව වෙහෙස වී වැඩ කිරීම කාර්යක්ෂමතාව නොවේ. එබැවින් රැකියාව අතරතුර ඒකාකාරී බවක් හෝ වෙහෙසකාරී බවක් දැනෙන සෑම මොහොතකම ඔබගේ සේවා හැකියාව හා ආයතනික පරිසරය අනුව සරළ නිදහස් වීමකට හුරුවෙන්න. ඉරියව් වෙනස් කිරීම, කාර්යයන් මාරු කිරීම, ප‍්‍රබෝධමත් දෙයක් වෙත සිත යොමු කිරීම වැනි සරළ වෙනසක් ඒ සඳහා අනුගමනය කළ හැකිය. ඇතැම් ආයතනවල සේවකයින්ට සේවය අතරතුර මෙසේ සරළ ලිහිලන වෙනසකට අවශ්‍ය ස්ථාන පවා සපයා දී ඇත්තේ රැකියා ආතතිය අඩු කිරීමට එහි ඇති ඵලදායී බව නිසාමය.


පරිපූර්ණත්වයෙන් නොව හැකි උපරිමයෙන් වැඩ කරන්න.

කිසිවෙකුට පරිපූර්ණව දෙයක් කළ නොහැකිය. එසේ කිරීමට සිතීමම සිතට මහත් වෙහෙසකි. එබැවින් ආයතනය තුළ ඔබට පැවරෙන කාර්යයන් පරිපූර්ණත්වයෙන් නොව අවංකව ඔබට හැකි උපරිමයෙන් සිදු කිරීම අනවශ්‍ය මානසික වෙහෙසකර බවක් වෙත ඔබව රැගෙන යාම වළක්වයි.


ආයතනගතව සිදු කරන වැරදි පුරුදුවලින් ඈත් වීම.

අපගේ බොහෝ ක‍්‍රියා අප අතින් සිදුවන්නේ පුරුදු ලෙසය. ඒ නිසාම ආයතනයක් තුළ කටයුතු කිරීමේ දී පුරුද්දට මෙන් අපෙන් සිදුවන ඇතැම් ක‍්‍රියා අවසානයේ දී රැකියා ආතති තත්ත්වයක් වෙත අපව මෙහෙයවයි. නිදසුනක් ලෙස ආයතන තුළ සිදුවන කේලාම් කීම, පුද්ගල විවේචන, අනවශ්‍ය කල්ලි ගැසීම්, කැපී පෙනීමට උත්සාහ දැරීම එවැනි ආතතිකාරයකයින් අතරින් කිහිපයකි. මෙවැනි ක‍්‍රියා රැකියාව තුළත් පුද්ගලික ජීවිතය තුළත් ඔබව පීඩාවට පත් කරයි.


සුබවාදි ආකල්පයකට හුරු වීම         

ඇතැම් පුද්ගලයින්ට කොතෙක් ලැබුණ ද මදිය. ඔවුන් කිසිවක සුභවාදී පාර්ශවය නොදකිති. එසේ වන්නේ සුභවාදී ලෙස යමක් දෙස බැලීමට ඇති නුහුරු බව නිසාය. එබැවින් රැකියා ආතතියට මෙන් ම සමස්ත ජීවිතයට ම සාර්ථකව මුහුණ දීම සඳහා සුභවාදී චින්තනයකින් ජීවිතය දෙස බැලීමේ පුරුද්ද ඇති කර ගැනීම ඉතා වැදගත්ය. එසේම එය රැකියවේ නව සාධනීය අංශ කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමටත් රැකියා තෘප්තිමත් බව ඇති කිරීමටත් හේතුවෙයි.


ලිහිලන අභ්‍යාස ජීවිතයට එක්කර ගැනීම

අප ආතතියට පත් ව ඇති බොහෝ අවස්ථාවල ඉන් පීඩාවට පත්වෙමින් ජීවත් වීම හැර අන් කිසි දෙයක් නොකරයි. මානසික ආතතියෙන් ඔබව ආරක්ෂා කරමින්, දරා ගැනීමේ හැකියාව වර්ධනය කරමින්, මානසික සහනශීලීත්වය වඩවමින් හා ඵලදායි ලෙස ක‍්‍රියාත්මක වීමට පහසුව සැලසීමට මෙම ලිහිලන අභ්‍යාසයන් ට සුවිශේෂි හැකියාවක් පවති. මේවා රැකියාව අතරතුර, රැකියාව නිමා වී නිවසට පැමිණි පසු, නින්දට යාමට ප‍්‍රථම, උදෑසන අවධි වූ පසු වැනි ඕනෑම පහසු අවස්ථාවක කළ හැකිය. මේ සඳහා වැය වන්නේ ඉතා සුලූ කාලයකි. ස්වසන අභ්‍යාස, සිරුර පිරික්සුම් අභ්‍යාස, මාංශ පේශී ලිහිලන අභ්‍යාස, රිද්මයානුකූල චලන අභ්‍යාස, සංගීත අභ්‍යාස මේ අතරින් කිහිපයකි. ඉහත සඳහන් කළේ රැකියා ආතතියට පත් නොවී ජීවත් වීමට මෙන්ම රැකියවේ තෘප්තිමත් භාවය ඉහළ නැංවීමට ද හේතු වන සරළ එමෙන්ම ප‍්‍රායෝගික ආතති කලමනාකරන ක‍්‍රියාකාරකම් කිහිපයකි. විශාල ප‍්‍රතිඵලයක් ලැබීමට සුලූවෙන් හෝ දෙයක් ආරම්භ කළ යුතුය. රැකියා අතතියට සාර්ථකව මුහුණ දීමට අද දවසේ ඔබ ආරම්භ කරන සරළ ක‍්‍රියාකාරකම් හෙට දවසේ රැකියාමය සහ සමාජමය තෘප්තිමත් බවක් දක්වා නිසැකවම ඔබව මෙහෙයවනු ඇත.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...