Skip to main content

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්.......කොරියාවේ උසම කන්ද නැඟීම



 මේක කලින් ලියමින් හිටිය පෝස්ට් එකක්. ඒත් ඉවර කරේ 2018 ත් අන්තිමට.

2016 චුසොක් නිවාඩුවේ පළවෙනි දවසේ ජේජු ලව් ලෑන්ඩ් එකයි තව ආර්ට් ගැලරි දෙකකුත් බලලා රෑට ජිම්ජිල් එකේ නැවතුණා. පහුවදා උදේ 7ට නැගිටලා ලෑස්තිවෙලා කඳු නැගීම ආරම්භ කරන තැනට යන්න පිටත් වුණා. කලිනුත් කියපු  විදිහට රෝයි ඔක්කොම් ප්ලෑන් කරලා තිබ්බේ. බඩගින්නේ කඳු නගින්න බැරි හින්දා උදේට හොඳට කන්න ඕනේ කියල අපි තීරණය කරා.

කනවා කියල ඉතින් මහලොකුවට වියදම් කරන්නත් බෑනේ. ලාබෙට කන්න තියන හොඳම  විසඳුම CU(see you), GS25  වගේ කඩ වලින් කන එක තමා. CU ,GS25 , Seven Eleven  කියන්නේ හදිස්සියට  ඕන දේවල් ගන්න හැම තැනම වගේ තියන ජාල ගත වෙළඳසැල් සමුහයක්. සුපර් මාර්කට් වගේ පෙනුමක් තමයි මේවගේ තියෙන්නේ. මේවගේ කන බොන දේවල්, එදිනෙදා ඕන කරන දේවල් ගන්න පුළුවන්. නුඩ්ල්ස් කනවනම් උණුවතුර, බර්ගර් වගේ දේවල් රත්කරගන්න microwave එහෙමත් මේවගේ තියෙනවා. අපි නිතරම කන්නේ ඒවගේ තියන සම්පුර්ණ කම වේලක් තියන ලන්ච් පැක් එක. එක කවම බඩත් පිරෙනවා...අනික ලාබයි. රුපියල් වලින් නම් 400ක් විතර. ඇතුලේ ඉඳන් කන්නත් පහසුකම් හදලා  තියෙන්නේ. සමහර තැන් වල නම් එළියේ හට් හගල, බංකු එහෙම දාලත් හදල තියෙනෙවා. ගොඩක් ට්‍රැවල් කරන්න එන අය මේවගෙන් තමා කන්නේ. විශේෂ කෑමක් කන්න ඕනේ උනොත් හරි, තවත්  කාත් එක්ක හරි කනවනම් හරි ඉතින් රෙස්ටුරන්ට් එකකට යනවා. වැදගත්ම දේ තමයි ගම්  නගර කියල වෙනසක් නෑ , හැම තැනම මේ කඩ  ව්‍යාප්තවෙලා තියෙන එක.  මට දැනුන විදිහට ඒ වගේ දේවල් හින්ද ගොඩක් දුරට සමාජ සමානාත්මතාවයක් ඇතිවෙලා තියෙනෙවා. හැම කෙනෙක්ටම සමාන තෝරාගැනීමක්, මිලදීගනීමක් කරන්න ඒක උදවු වෙනවා කියල හිතෙනවා.

ඇත්තටම කිව්වොත් මේ කන්ද ලංකාවේ එහෙම අපි දකින කඳු වලින් ටිකක් වෙනස්. මේක ගිනි කන්දක්. හැබැයි බයවෙන්න දෙයක් නෑ. දැන් අක්‍රියයි. පෘථිවි භූ ගර්භයේ ඉඳන් එලියට ආපු ලාවා ගල් වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. උසින් මීටර් 1950 ක් වෙනවා. ඔන්න ඉතින් තවත් දයක් මතක් වුණා. මේ සංචාරයෙන් පස්සේ ජේජු වලම තිබ්බ සම්මන්ත්‍රණයකදී මට හම්බුණා නේපාල ජාතික ශිෂ්‍යයෙක්. ලංකාවේ වගේම මුහුණුවර හින්ද මං ගිහින් කතාකරා. ටික වෙලාවකින් එයා ඇහුව චුසොක් නිවාඩුවට මොකද කරේ කියලා. මං කිව්වා කොරියාවේ උසම කන්ද නැග්ග කියලා. එත් එක්කම මිනිහ ඇහුවා උස කීයද කියලා. මං  කිව්වා මීටර් 2000ක් විතර කියලා. එයා හිනාවෙලා කිව්වා, අපේ ගෙදර තියෙන්නේ මීටර් 4000 කටත් වඩා උඩින් කියලා. මට කරගන්න දෙයක් නෑ .  ලංකාවෙත් මීට වඩා උස ඒවා තියනවා කියලා ශේප් වුණා.

            මේ කන්ද අවට විතරක් නෙවේ ජේජු දුපතේ හැමතැනම ලාවා ගල් දකින්න පුළුවන්. මුහුදු වෙරළේ පවා. පහසුවෙන් හොයාගන්න පුළුවන් හින්දම මෙහෙ ගෙවල් වටේට තාප්ප හදල තියෙන්නේ ඒ ගල් එකමත එක තියලා. සිමෙන්ති පාවිච්චි නොකර. ඒ වැඩේට මෙහෙ අය ගොඩක් දක්ෂයි. ආරංචි වෙච්ච හැටියට අලුත් පරම්පරා වලට නම් ඒවගේ අගයක් නෑලු. ඒ වගේමයි මේවා පාවිච්චිකරලා ප්ලේට්ස් වගේ හදලා තියනවා. ජේජු වල ගොඩක් පාරවල් දෙපැත්තේ අර කැට අල්ලනවා වෙනුවට කරන්නේ මේ ලාවා රොක් ප්ලේට්ස් අල්ලන එක.
ඉහල සිට බලනවිට හල්ලා කන්දේ ඡායාරුපයක්
 උදේට හොඳට කාලා දවල්ට කන්නත් එක එක දේවල් ගත්තා. කිම් පප්, චොකලට්, දොඩම්, කෙසෙල්  ,ඔයවගේ දේවල්. කිම් පප් කිවුවේ අර මුහුදු ඇල්ගී වලින් වේලලා හදන ශීට් එක වටේ ඔතල තියන බත් රෝල් වලට. ඒවා මැද්දේ බිත්තර, හැම්, කිම්චි, චීස් එහෙම දාල තියෙන්නේ. ස්නැක් එකක් විදිහටත් ප්‍රධාන ආහාර වේල් වලටත් කොරියානුවන් කිම් පප්  පාවිච්චි කරනවා. කෙසෙල්ගෙඩි නම් මෙහෙ ඒවා නෙවේ. ඔක්කොම පිලිප්පීනයෙන් ගෙන්නන ඒවා. දිග තනි කහපාට කෙසෙල්. ලොකු රසක් නෑ ඒවගෙ. මගේ කොරියන් යාළුවන්ට දවසක් ලංකාවේ කෙසෙල් වර්ග පෙන්නුවම ඒගොල්ලෝ පුදුම වුණා. ඇයි  එකක් කියලද, රතුපාට, කොළ පාට, කහ පාට, දිග, කොට, මහත.... කෙසෙල් වර්ග පෙනුමෙන් පෙන්නන්න පුළුවන් වුනත්, ඒවගේ රස පැහැදිලි කරලා දෙන්න මට අමාරු වුණා . කෙසෙල් කියන පලතුර රසවල් ගණනාවකින් තියනවා කියල කියන කොටත් මේගොල්ලෝන්ට  හිනා යනවා. ඒ තරමට ඒක ඒගොල්ලොන්ට හිතා ගන්න බැරි දෙයක්. මගේ රූමා කිවුවා ඉස්සර කොරියනුවන්ට අග හිඟ  කාලේපවුලේ කට්ටිය  එක කෙසෙල් ගෙඩිය 4 ට 5 ට කපලා ලු   කෑවේ.  ඒ දවස්වල ඒ තරම් කෙසෙල් ගණන්ලු. අදටත් කොරියාවේ කෙසෙල් වැවෙන්නේ නැහැ.
කිම් පප්
 කෑමත්  අරන් අපි මුලින්ම තීරණය කරගෙන  හිටපු, කන්ද නගින ට්‍රැක් එකේ පිවිසුම් දොරටුවට යන්න පුළුවන් බස් එකකට නැග්ගා. ඊට කලින් අපි ඒ පාරේ කවදාවත් ගිහින් තිබ්බේ නැහැ. ඒක වංගු සහිත කඳුකර පාරක්. ඒත් බස්  එක හැටට හැටේ යනවා. ජෙජු සිටි එකෙන් විනාඩි  15ක්  විතර මේ පාරේ ආවට පස්සේ දුපතේ නැගෙනහිර කොටසින් බාගයක් විතර සහ සිටි එක සම්පුර්ණයෙන් දර්ශනය වෙන්න පටන් ගන්නවා. හරිම ලස්සනයි. දැන් ඕගොල්ලන්ට හිතා  ගන්න පුළුවන්නේ, මුහුදු මට්ටමේ ඉදන් සැලකිය යුතු උසකට එන්න ජෙජු දුපතේ වැඩි වෙලාවක් යන්නේ නෑ  කියලා. හේතුව තමා මැද්ද ගිනි කන්දක් වීම. මේ උස වෙනස හින්දම ශීත කාලේදී අපේ පැත්තට (මුහුදට අසන්න කොටසට) හිම නොවටුනත් හල්ලා  කන්ද හිමෙන් වැහිලා තියෙන්නේ.

බහින තැනට හෝල්ට් එකක් තියල බස් එකේ දොර ගාවට එන්න අපි නැගිට්ටා. එකපාරටම ඩ්‍රයිවර් කෑගහන්න පටන් ගත්තා. ඉක්මනට ඉඳගන්න කියලා. කියන කොටම රෝයි වැටුණා. තායිත් එක්ක මං ඉක්මනට ඉඳගත්තා. රෝයිත් නැගිටලා ලඟම  සීට් එකෙන් ආපහු වාඩි වුණා. ඒ තරමට බස් එක වේගෙන් වංගු ගන්නවා. කොහොම හරි ගමනාන්තයට ආවට පස්සේ බැහැ ගත්තා. වෙලාව උදේ 10 ටත් ලඟයි. උදේ පාන්දරින් ආපු  අයගේ වාහන ගොඩක්  තිබුණා කාර් පාර්ක් එකේ. ටිකක් පරක්කු වෙලා තිබුන හින්ද අපිත් ඉක්මනට වැඩේ පටන් ගත්තා. සාමාන්‍යයෙන් ජෙජු දුපතේ බොහොමයක් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වලදී ඒවාට ඇතුළුවෙන්න ටිකට් පතක් මිලදී ඕනේ. නමුත් හල්ලා කන්ද නගින්න එහම නෑ. තවත් විශේෂ දෙයක් තියනවා. අනික් තැන්වලදී ටිකට් ගනිද්දී අපිට පුලුවන්නම් ජෙජු දුපතේ ජීවත්වෙන කෙනෙක් කියල ඔප්පු කරන්න බාගෙට බාගයක් ඩිස්කවුන්ට් හම්බෙනවා. නැත්නම් සම්පුර්ණයෙන් නොමිලේ යන්න දෙනවා. කොරියානුවන් සහ විදේශිකයින් කියල නැහැ, ඒක හැමෝටම පොදුයි. ඒක හින්දා අපි යන හැම තැනම මෙහෙන් දීල තියන අයිඩෙන්ටිටි කාර්ඩ් එක අරන් යන්නේ.මේ වෙලාවේ මට මතක් වුණා ජෙජු කැම්පස් එකේ ඉන්න ලංකාවේ යාලුවෙක් කිවුව දෙයක්. පින්නවල අලි අනාථාගාරේ ටිකට් ගන්න තැන විදේශිකයෝ ගෙවන්න ඕන මුදල ගහල තියෙන්නේ ඉලක්කම් වලින්ලු. එත් අපේ මිනිසුන්ට යන්න ගෙවන්න ඕනේ ගාන සඳහන් කරලා තියෙන්නේ (රුපියල් පනහයි කියලා) සිංහල අකුරින්ලු. කොහොමද ටිකිරි මොලේ.


අපි නගින්න තෝරාගෙන තිබුණේ සොන්පානක් (Seongpanak, 성판악) කියන මාර්ගය. කන්ද පාමුල ඉඳන්ම ගමන් මාර්ගය පැහැදිලිව හදල තියනවා උඩට යනකන්ම.ට්‍රැක් එකෙන් පිට පනින්න අවසර නෑ  කාටවත්ම. මේ හින්ද අවට පරිසරයට හානියක් නෑ. පඩි ගල් වලින් හදල තියෙන්නේ. බැවුම් සහිත තැන්වලදී ලී වලින් ශක්තිමත්ව පාර හදලා. අත් වැටවල්  ඔක්කොම ලීයෙන් හදල තියෙන්නේ.  කෝඩුකාරයින්ට පහසුම මාර්ගය මේකලු. පහල ඉඳන් කඳු මුඳුනට සම්පුර්ණ දුර කිලෝමීටර  9.6 ක්. නගින්න ගතවෙන දළ කාලය පැය 4 යි විනාඩි 30ක්. ඒ කියන්නේ නැගල බහින්න පැය 9ක් වගේ ගතවෙනවා.තැනිතලා ප්‍රදේශ වලදී ලී වලින් හදපු පාරෙන් යද්දී හරිම පහසුයි. අවට කැලෑවේ ගස්කොලන් අතරින් පෙරිලා එන ඉර එලියයි , සරත් කාලයේ හමන සිහිල් සුළඟයි ගතේ විඩාව මෙන්ම සිතේ විඩාවත් නිවලා දානවා.
ගමන් මාර්ගය 
 කන්ද නගින්න මේ පාරට අමතරව තව පාරවල් කීපයක්ම තියනවා. ඔරිමොක් (6.8 Km ), යෝන්සිල් (5.8 Km), ග්වානම්සා (8.7 Km), ඔසන්සෙන්ගක්  (1.3 Km), දොන්නේකෝ (7 Km ) සහ සොක්ගුරාම්  (1.5 Km).


කන්ද නැගීමට ඇති විවිධ ගමන් මාර්ග
මේ පාරවල් වල විශේෂත්වය වෙන්නේ ඒවාට ආවේණික භූ විෂමතාවයත් ඒ අනුව වෙනස්වන ගමනේ විඩාවත් කියන කාරණා. ඊට අමතරව වසන්ත කාලේදී මල් පිපෙන පාරවලුත් මේ අතර තියනවා. ඔරිමොක් පාරේ වසන්ත කාලෙට අසේලියා මල් වලින් වැහෙනවාලු. සොක්ගුරාම් පාර වැටිලා තියෙන්නේ පයින් සහ විවිධ පලල්පත්‍ර ශාක සහිත  ඝන කැලේ මැද්දෙන්. ග්වානම්සා පාරේ ලාවා ගල් කුහර දකින්න පුළුවන්.මේ හින්දම ගුහා ආශ්‍රිත සතුන් සහ වවුලන් පිලිබඳ අධ්‍යනයනය කරන්න්නන්ට මේ පාර වැදගත් තැනක්ලු. සොන්පානක් පාර ප්‍රසිද්ධ කඳුකර මුවන් සුලභව දැකගන්න පුළුවන් හින්දා.



ඇසේලියා මල් පිපෙන කාලෙට
 කොහොමහරි දවල් දොළහ විතර වෙද්දී කන්දේ බාගයක් නැග්ග තැනදී හම්බවෙන ගිමන් හරින ස්ථානයට එන්ඩ අපිට පුළුවන් වුණා. ගොඩක් කාලෙකින් ඒ හැටි ව්‍යායාමයක්  ඇඟට වැටිලා නැති හින්දා ගොඩක් මහන්සියි. එතන ටිකක් නැවතිලා ගෙනාපු කිම්පප්, දොඩම් එහෙම කාලා ආයෙත් කන්ද නගින්න පටන් ගත්තා. මීලගට කියන්න ඕනේ විශේෂම දේ තමයි දවල් එකහමාරට කලින් කන්ද මුදුනට නගින්න ඕනේ. එකහමාරෙන් පස්සේ කන්ද උඩ  ඉන්න දෙන්නේ නෑ. හේතුව තමයි කළුවර වැටෙන්න කලින් ඔක්කොමලා බහින්න ඕනේ හින්දා. සමහර කාලවලදී මේ වෙලාව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. හේතුව තමා ඉර පායන වෙලාවයි බහින වෙලාවයි වෙනස්වෙන එක. ගිමන් හරින තැන ඉදන් මුදුනට යන්න හරියටම අපිට ඉතුරුවෙලා තිබ්බේ පැයක වගේ කාලයක්. උඩට යන්න යන්න ගමන් මාර්ගයේ ආනතිය වැඩිවෙනවා.ඒවගේම මීදුම හින්දා ඉස්සරහට අඩි කීපයක් විතරයි පේන්නේ. ශීත කාලේදි නම් මුළු කන්දම හිමෙන් වැහෙනවා. අපි තුන් දෙනා එකයි කාල වගේ වෙද්දී බොහෝදුරට කන්ද මුදුනටම ආවා. නමුත් එදා කලින්ම සෙනග ආපසු හරවල එවන්න පටන් අරන්. මුදුනට මීටර් කීපයක් තිබිලත් අපිට මුදුනට යන්න බැරි වුණා. කොරියානුවන්ගේ වෙලාව ගැන දන්නවනේ. වෙලවනම් වෙලාව.

ආපහු බහින කොට තමයි තේරුනේ නගිනවට වඩා බහින එක අමාරුයි කියලා. ඒ අස්සේ හයියෙන් වහින්නත් පටන් ගත්තා. අපි තුන්දෙනාටම තිබ්බේ එක කුඩයයි. මම රෝයි එක්ක වේගෙන් බැස්සා. තායිගේ කකුල් දෙක හොදටම අමාරුයි. එයා ආවෙත් හෙමින්. අපි කුඩේ එයාට දීලා වේගෙන් පල්ලම් බැස්සා. වැස්ස පොඩ්ඩක් පායපු ගමන් ටිකක් නැවතිලා ඉන්නවා තායි එනකන්. ඔහොම නැවතී නැවතී කන්ද බැහැලා අවසානේ පහලට එද්දී රෑ හතහමාරට විතර ඇති. බඩගින්නයි සීතලයි ...ඔක්කොටම වඩා කකුල් දෙක රිදෙනවා. දැන් ඉතින් ආපහු ඩෝමෙට්‍රි එකට යන්නත් ඕනේ. ඉක්මනට බස් එකක් අරන් අපි ආපහු එන්න පිටත් වුණා. හොදම හරිය ඊලග දවස් දෙක. ඇවිදගන්න බෑ තුන්දෙනාටම. කකුල් වල පේශි ඇදිලා....තදවෙලා....සෑහෙන ගේමක් දෙන්න වුණා ආපහු යතා තත්වෙට එන්න. තවත් දවස් දෙකක් නිවාඩු තිබ්බ හින්දා අවුලක් වුනේ නැහැ.

අවසානෙදි අපි එක නිගමනයකට ආවා. ඒ තමයි නිතර ව්‍යායාම කරන්න ඕනේ කියලා. අපි හොඳටම දැක්කා අපිත් එක්ක කන්ද නගින්න පටන් ගත්ත වයසක කොරියන් ආච්චිලා සීයලා අපි කන්දේ බාගක් නැගල ඉද්දි ආපහු බහිනවා. ඒගොල්ලෝ කොච්චර ශක්තිමත් හා නීරෝගීද කියලා හිතුණා.

අනිත්දේ තමයි මේ පෝස්ට් එක දාන්න දවස් 3කට කලින් මං ආයෙත් හල්ලා කන්ද නැග්ගා. ඒ ජේජු ජාතික විශ්වවිද්‍යාලයේ ඉන්න ශ්‍රී ලංකික මිතුරන් සමඟින්. මේ පාර නැග්ගේ ග්වානම්සා  පාරෙන්. කලින් පාරට වඩා ගොඩක් අමාරු පාරක්. ඒත් කන්ද උඩටම නැගගන්න  පුළුවන් වුණා.  කියන්න ඕනේ නෑ ඉතින්. මේ ටික ලියන වෙලාවෙත් කකුල් දෙක රිදෙනවා.

සමහර කොරියානුවන් හල්ලා කන්ද අවුරුදු පතා නගිනවා. එකපාරක් මට හම්බුනා තාත්තයි පුතයි ... ඒගොල්ලෝ කියන්නේ පිය පුතු සම්බන්ධතාවය වැඩිකරගන්න මේ වගේ සංචාර යොදාගන්නවා කියලා. මේවෙනකොට හැමෝම දන්නවනේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි සෑහෙන දුරකට සාමදාන වෙලා කියලා. ඉතින් මේ ලඟදි දවසක දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් තමන්ගේ උතුරුකොරියානු සගයා කිම් ජොන් උන්ට  ආරාධනා කරා හල්ලා කන්ද නගින්න එන්න කියලා. මං හිතන්නේ තාම පිළිතුරක් ලැබිල නෑ. කෙසේවෙතත් හල්ලා නගිනවානම් කිම් ජොන් උන්ට ත් හොඳට ව්‍යායාම කරලා එන්න වෙයි.

මං හිතන් ඉන්නේ ආයෙත් නගිනවානම් වින්ටර් එකේ නගින්න. බලමුකෝ.දැනටමත් කොරියන් යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වෙලා ඉන්නේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...