Skip to main content

ජීවිත සුරක්ෂිත කරගැනීමේ සමාජ වගකීම...




ජීවිතයක වටිනාකම මෙපමණකැයි මිල කළ නො හැකි ය. ජීවිතය රැකගැනීම සඳහා කෙනකු තමන් සතු සියලු ම මිල මුදල්, වත්කම් පමණක්‌ නො ව අත පය පවා කැප කිරීමට සිදු වුව හොත් ඒවා ද නොපැකිළ කැප කරන බව ඇතැම් ශාස්‌තෘවරුන් පවා දේශනා කර තිබේ. මානව සමාජයේ යහපත උදෙසා එක්‌ මිනිසකුට කළ හැකි දේ සමහර විට කිසිදු භෞතික සම්පතකින් කළ නො හැකි ය. ලෝකයට නව නිර්මාණ, නව අදහස්‌ බිහි කරන වියතකුට පමණක්‌ නො ව යහපත් දරුවකු ගොඩනඟන්නට වෙහෙසෙන අම්මා කෙනකුට, කාරුණික සිනාවක්‌ තවත් කෙනකු වෙනුවෙන් වෙන් කරන්නට කැමැති මිනිසකුට පවා මුළු මහත් ලෝකයේ ම අනාගතය වර්ණවත් කළ හැකි ය. එබැවින් පෞද්ගලික ව පමණක්‌ නො ව සමාජයක්‌ වශයෙන් ගත් කල ද එක්‌ හුදෙකලා මිනිස්‌ ජීවිතයක්‌ පවා අර්ථ සම්පන්න ය.

රජකු වේ වා දුගියකු වේ වා අප සැම සියලු දෙනාට ම ජීවිතයේ වරින් වර අනිවාර්යයෙන් විවිධාකාරයේ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙයි. මෙවැනි අභියෝග හමුවේ සමහර විට කෙනකුට ජීවිතයේ ඇති මේ වටිනාකම අමතක ව යන අවස්‌ථාවන් තිබේ. අපගේ ජීවිත කාලයට සාපේක්ෂ ව ගත් කල මෙවැනි අභියෝග කෙතරම් තාවකාලික වුව ද, සුළු ආකල්පමය වෙනසකින් පවා ජයගැනීමට ඉඩ ඇති වුව ද සමහර විට මෙවැනි අවස්‌ථාවක ගන්නා අවාසනාවන්ත තීරණයක්‌ යළිත් කිසිදු දෙයක්‌ නිවැරැදි කරගැනීමට ඉඩක්‌ නො තබයි. ඒ තමන්ගේ ජීවිතය අවසන් කිරීමෙන් ප්‍රශ්නයට පිළිතුරු සොයාගත හැකි යෑයි සිතන අමනෝඥ තීරණයයි.


ලංකාවේ කළු පැල්ලම

සිය දිවි නසාගැනීම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාවට ඉතා අඳුරු අතීතයක්‌ තිබේ. 1995 දී ලෝකයේ වැඩි ම සිය දිවි හානි කරගන්නන් සිටින රට බවට ශ්‍රී ලංකාව පත් වීම එහි කූටප්‍රාප්තියයි. 1995 වසරේ දී එක්‌ දිනකට 25ක්‌ වැනි ඉතා විශාල ප්‍රමාණයක්‌ සිය දිවි හානි කරගැනීමට කටයුතු කර තිබුණේ අවසානයේ මිනිස්‌ ජීවිත 8,449ක්‌ ලක්‌ මවට අහිමි කරමිනි. කෙසේ වෙතත් මේ සමඟ විශාල අවධානයක්‌ මේ උවදුර පිටුදැකීම සඳහා යොමු වූ අතර සිය දිවි නසාගැනීම වැළැක්‌වීමේ ජාතික කාර්ය බළකායක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පිහිටුවනු ලැබී ය. හරිත විප්ලවයෙන් පසු ශ්‍රී ලංකාවේ බහුල ව භාවිත වෙමින් තිබූ අධි විශැති වල්නාශක ගණනාවක්‌ තහනම් කිරීමට මෙන් ම කනේරු ගස්‌ විනාශ කර දැමීම ආදි කටයුතු කිරීමට පවා මෙහි දී කටයුතු කෙරිණි. එමෙන් ම මනෝ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා පුළුල් හා ශක්‌තිමත් කිරීම මෙන් ම මේ ව්‍යසනයෙන් ගැලවීම පිණිස ප්‍රජාව දැනුම්වත් කිරීමට ද මීට සමගාමී ව වැඩසටහන් දියත් විය.

වසර ගණනාවක්‌ තිස්‌සේ කරගෙන ආ මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාවේ සිය දිවි නසාගන්නන් ප්‍රමාණය සාපේක්ෂ ව අඩු වී තිබේ. 2018 වසරේ දී දිනකට සිය දිවි නසාගෙන තිබුණු පුද්ගල සාමාන්‍යය 8ක්‌ වූ අතර සමස්‌ත ප්‍රමාණය 3,200කි. එනම් සැම පුද්ගලයන් ලක්ෂයකට 15 දෙනකු ජීවිත හානි කරගෙන ඇති අතර ලෝකයේ සිය දිවි නසාගන්නන් වැඩි ම රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 15 වැනි තැන ය. 1995 වසරට සාපේක්ෂ ව යහපත් තත්ත්වයක්‌ වුවත් මෙය කිසිසේත් ම සෑහීමකට පත් විය හැකි තත්ත්වයක්‌ නො වේ. අනෙක්‌ අතට ගත් කල ඉක්‌මනින් රෝගියා රෝහලට ගෙනැවිත් ප්‍රතිකාර සැලැස්‌විය හැකි පරිදි ප්‍රවාහන පහසුකම් හා වෛද්‍ය පහසුකම් සැලකිය යුතු ලෙස දියුණු වීම නිසා නැති වන ජීවිත ප්‍රමාණය අවම කරගැනීමට හැකි ව තිබුණත් සිදු වන සැම එක්‌ සිය දිවි නසාගැනීමකට ම සාපේක්ෂ ව තවත් ව්‍යර්ථ කරන ලද සිය දිවි නසාගැනීමේ උත්සාහයන් 10ක්‌ වාර්තා වෙයි. එයින් පෙනී යන්නේ සිය දිවි නසාගැනීමේ අවසන් ප්‍රතිඵලය යම් තරමකින් අඩු වී තිබුණ ද තමාට හානි පමුණුවාගැනීමේ උත්සාහයන් අඩු ව නැති බවයි. මේ නිසා මේ ඛේදවාචකය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා අප සියලු දෙනාගේ පුළුල් මැදිහත් වීමක්‌ සිදු විය යුතු ය.


හේතුව

සිය දිවි නසාගැනීම සඳහා කෙනකු පෙලඹීමට හේතු වීමට කරුණු ගණනාවක්‌ තිබේ. ඉන් පළමුවැන්න මානසික රෝග ය. මෙවැනි මානසික රෝග හා විෂමතා හඳුනා නො ගැනීම හා ප්‍රතිකාර නො ගැනීම නිසා ඒවා වැඩිදියුණු වීම සිදු වේ. විෂාදය වැනි බහුල මානසික රෝග තත්ත්වයන් පවා නිසි ප්‍රතිකාර නො ලැබීමෙන් සිය දිවි නසාගැනීමට උත්සාහ කිරීම වැනි තත්ත්වයකට වර්ධනය විය හැකි ය. එමෙන් ම සමාජයීය වශයෙන් මුහුණ දීමට සිදු වන අභියෝග සමඟ ගනුදෙනු කිරීමට දක්‌වන අසමර්ථ්‍යතාව ය. හැඟීම්බර, ආවේගශීලී පුද්ගලයන්ට සමීපතමයන් ගෙන් අවශ්‍ය කරන සහාය නො ලැබීම ආදිය ද සිය දිවි නසාගැනීම්වලට මඟ පාදයි. මීට අමතර ව මත්ද්‍රව්‍ය භාවිතය මෙන් ම සිය දිවි නසාගැනීම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට ඇති එක්‌ මඟකැයි සිතන සංස්‌කෘතියක්‌ තිබීම ද මේ තත්ත්වය ඇති කිරීමට හේතුවක්‌ වී ඇත.

සිය දිවි නසාගැනීමට ප්‍රධාන හේතූන් මෙලෙස ලඝූ කර දැක්‌විය හැකි වුව ද ඉන් මෙහා පවතින සිය දිවි නසාගැනීමක්‌ ක්‍රියාත්මකභාවයට පැමිණවීමට හේතු වන වඩා ආසන්න කාරණා මෙන් ම ඉන් එහා පවතින මේ හේතු අබිබවා ගිය සංකීර්ණ සමාජ ගැටලු ද තිබිය හැකි ය. සිය දිවි නසාගැනීමේ සිතිවිල්ල පැන නැඟුණු විට එය පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක්‌ තිබීම මෙවැනි ආසන්න කාරණාවක්‌ ලෙස දැක්‌විය හැකි ය. උදාහරණයක්‌ ලෙස කෘමිනාශක ද්‍රව්‍ය ඕනෑ ම කෙනකුට සොයාගැනීමට හැකි පරිදි නිවෙස්‌වල තබාගැනීම සිය දිවි නසාගැනීම් වර්ධනය වීමට හේතුවකි. ආවේගයක්‌ පැමිණි සැණින් වැරැදි තීරණයක්‌ ගැනීමට එය පසුබිම සලසයි. එමෙන් ම කිසියම් ප්‍රසිද්ධ චරිතයක්‌ හෝ තමාට සමාන තත්ත්වයක සිටින පුද්ගලයකු සිය දිවි නසාගැනීමක්‌ සිදු කර ඇතැයි මාධ්‍ය වාර්තා ආදිය හරහා දැනගැනීම ද එසේ සිදු කළ ක්‍රම ආදිය දැනගැනීම ද සිය දිවි නසාගැනීමේ විභවයකින් සිටින පුද්ගලයකු ඊට පෙලඹවීමට හේතු විය හැකි ය. මෙහි අනෙක්‌ පස සැලකුව හොත් බැලූ බැල්මට පෙනෙනවාට වඩා සියුම් කරුණු මේ තත්ත්වය උද්ගත වීමට හේතු වී තිබෙනවා විය හැකි ය. උදාහරණයක්‌ ලෙස මරණයෙන් පසු ව කිසිදු දෙයක්‌ නැතැයි හෝ මරණයෙන් පසු ව නැවත උප්පත්තියක්‌ ලබා ගැටලුවලින් තොර නව ජීවිතයක්‌ ලැබිය හැකි යෑයි ආදි ලෙස පවතින ආගමික විශ්වාස මෙවැනි විභවයකින් යුතු පුද්ගලයකුට උත්තේජනයක්‌ විය හැකි ය. එමෙන් ම හොඳ විභාග ප්‍රතිඵලයක්‌, හොඳ රැකියාවක්‌ ආදි ඉලක්‌ක ජයගැනීම ජීවිතයේ එක ම අරමුණ යෑයි කුඩා කල සිට කෙරෙන වැරැදි ආකල්ප සංවර්ධනය ද පසුකාලීන ව අසාර්ථකත්වය පිළිබඳ බිය හරහා සිය දිවි නසාගැනීමට පෙලඹවීමට හේතුවක්‌ විය හැකි ය. මේ සියල්ල අනුව පෙනී යන්නේ කිසියම් පුද්ගලයකු සිය දිවි නසාගැනීමට පෙලඹීම ආදරය බිඳ වැටීම, විභාගය අසමත් වීම වැනි සරල හේතුවකට ලඝූ කළ නො හැකි අතර එය එම පුද්ගලයාගේ ආකල්ප, සමාජ පරිසර වටපිටාව ආදිය සංකීර්ණ හේතු දාමයක ප්‍රතිඵලයක්‌ බවයි.


මිථ්‍යා විසඳුම

සිය දිවි නසාගැනීමට කල්පනා කරන්නකුට ඒ මොහොතේ මේ කාරණය තේරුම් නො ගිය ද සිය දිවි නසාගැනීමකින් ඕනෑ ම ගැටලුවකට පිළිතුරු සොයාගැනීමට හැකි ය යන්න සම්පූර්ණ මිථ්‍යාවකි. ජීවිතය නැති කරගැනීමේ තීරණය ගැනීමට කෙතරම් වීරත්වයක්‌, ආවේගයක්‌ තිබුණ ද ජීවිතය ගිලිහී යන මොහොතේ දී සැම කෙනෙක්‌ ම තම ජීවිතය රැකගැනීමට වෙහෙසෙයි. තමාගේ මෝඩ තීරණය පිළිබඳ ව තමා කෙරෙහි ම පැන නැඟුණු කෝපයකින් හා වේදනාවකින් මිස සතුටින් සැහැල්ලුවෙන් සිය දිවි නසාගත් කිසිවකු නැත. මීට මනා උදාහරණයක්‌ වන්නේ එල්ලී මිය යන අය අවසන් මොහොතේ දී කෙසේ හෝ ඉන් ගැලවීමට උත්සාහ දරා ඇති බව ඔවුන්ගේ මෘත ශරීර අධ්‍යයනය කිරීමේ දී පෙනී යැමයි. එමෙන් ම වස ආදිය පානය කර ජීවිත නැති කරගැනීමට උත්සාහ කර පසුව රෝහල්ගත කරන සැම දෙනා ම පාහේ කෙසේ හෝ තම ජීවිතය රැක දෙන්නැයි වෛද්‍යවරුන්ට ඇවිටිලි කිරීම ද සුලබ සිදුවීමකි.

උදව් ලබාගත හැකි අන්දම

සිය දිවි හානිකරගැනීම වළක්‌වා ලීම සඳහා රජය ඇතුළු අනෙකුත් සංවිධාන විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. මේ වන විට සැම දිස්‌ත්‍රික්‌කයක ම මේ සම්බන්ධ ව විශේෂඥ උපදෙස්‌ ලබා දිය හැකි මනෝ වෛද්‍යවරයකු පත් කර සිටින අතර ප්‍රාදේශීය රෝහල්වල පවා මේ පිළිබඳ දැනුම ඇති වෛද්‍ය නිලධාරීන් පත් කිරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම සිය දිවි හානියට නැඹුරු රෝගීන් සමඟ කටයුතු කරන ආකාරය ඇතුළත් මනෝ විද්‍යා විෂය පථයන් වෛද්‍ය විද්‍යාලවල හා හෙද විද්‍යාලවල විෂය නිර්දේශයන්ට ඇතුළත් කර ඇත. එබැවින් සිය දිවි හානි කරගැනීමේ නැඹුරුතාවක්‌ ඇති පුද්ගලයකුට මනෝ වෛද්‍යවරයකු ගෙන් පමණක්‌ නො ව ඕනෑ ම වෛද්‍යවරයකු ගෙන් ඉන් මිදීමට අවශ්‍ය උපදෙස්‌ හා මඟ පෙන්වීම ලබාගත හැකි ය. සිය දිවි නසාගැනීම් වළක්‌වාගැනීමේ උත්සාහය ගුණාත්මක බවින් ඉහළ මට්‌ටමකට ගෙන යමින් ඒ වෙනුවෙන් ම වෙන් කළ දුරකථන සේවාවක්‌ ස්‌ථාපනය කිරීමට ද මේ වන විට කටයුතු කර තිබීම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. දරාගත නො හැකි දුක්‌ වේදනාවක හෝ මානසික පීඩාවක හෝ සිටින ඕනෑ ම අයකුට 1926 යන අංකයෙන් කිසිදු දුරකථන ගාස්‌තු අය කිරීමකින් තොර ව දිවයිනේ ඕනෑ ම තැනක සිට මේ සේවාව හා සම්බන්ධ විය හැකි ය. දිනයේ පැය 24 පුරා ම ක්‍රියාත්මක වන මේ සේවාව සිංහල, දෙමළ, ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන් ම ලබාගත හැකි අතර පුහුණු හෙද කාර්යමණ්‌ඩලයක්‌ හා මනෝ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතර ව 1333 අංකය ඇමතීමෙන් ද මෙවැනි ම උපදේශන ලබාගත හැකි ය. දශක ගණනාවක්‌ තිස්‌සේ සමාජයීය ගැටලු විසඳීම පිණිස සක්‍රිය ව දායක වී ඇති සුමිත්‍රයෝ සංවිධානය ද මෙවැනි අසීරු අවස්‌ථාවක දී මුහුණට මුහුණ හමු වී සංවාදයක නිරත වී විසඳුම් සොයාගත හැකි සමාජ හිතකාමීන් පිරිසකි. 011 - 2 69 66 66 දුරකථන අංකයෙන් ඔවුන් හා සම්බන්ධ වීමට හැකි ය.

ඔබට කළ හැකි දේ

සිය දිවි නසාගැනීමට කිසිවකු නැඹුරු වන්නේ තම සිතේ ඇති කිසියම් දුක්‌ පීඩාවක්‌ දරාගත නො හැකි වීමෙනි. ප්‍රේම සබඳතාවක්‌ බිඳ වැටීමක්‌, ආර්ථික ගැටලුවක්‌, කිසිවකුගේ සිත් රිදවන වචනයකට ලක්‌ වීමක්‌, බලාපොරොත්තු බිඳ වැටීමක්‌ ආදි ඕනෑ ම කරුණක්‌ මෙවන් දුකකට මුල් වී ඇතුවා විය හැකි ය. මේ දුකට හේතු වූ කරුණ බාහිරින් බලන්නකුට සමහර විට ගණනකට ගැනීමට දෙයක්‌ නැති සරල සිදුවීමක්‌ සේ පෙනී ගියත් එයට මුහුණ දෙන්නාට එය දරුණු හිත් වේදනාවකි. මේ තත්ත්වය සිය දිවි නසාගැනීමේ උත්සාහයක්‌ දක්‌වා ඔඩු දිවීම වළක්‌වාගැනීමට හොඳ ම ඖෂධය කරුණාවයි.

ඔබේ මිතුරකු, හිතවතකු පමණක්‌ නො ව මඟ තොටේ දී ඔබට හමු වන කවරකු හෝ වේ වා මෙලෙස දැඩි චිත්ත පීඩාවකින් පෙළෙමින් සිටින බවක්‌ පෙනී යන්නේ නම් මඳක්‌ නතර වී ඔහු හෝ ඇය හෝa සමඟ කෙටි වේලාවක්‌ සුහද කතාබහක නිරත වීමට කටයුතු කරන්න. සිය දිවි නසාගැනීමේ මානසික තත්ත්වයක ඔහු හෝ ඇය හෝ සිටින බවක්‌ පෙනී යන්නේ නම් මිත්‍රශීලී ව එම අදහසින් මිදීමට සහාය වන්න. වැඩිදුර උපකාරය සඳහා ඉහත දැක්‌වුණු උපදේශන සේවාවක්‌ වෙත හෝ වෙනත් සුදුසු පුද්ගලයකු වෙත හෝ එම තැනැත්තා යොමු කිරීමට කටයුතු කරන්න. ඔබ ඒ වෙනුවෙන් වැය කරන මිනිත්තු කිහිපය හා කාරුණිකත්වය එම තැනැත්තාගේ ජීවිතය රැක දීමට හේතු වනු ඇත.

සමාජ මාධ්‍ය

සිය දිවි නසාගැනීම හා අදාළ සිද්ධීන් හා ක්‍රම පිළිබඳ ව මාධ්‍ය ඔස්‌සේ අනවශ්‍ය ප්‍රචාරණයක්‌ දීම තව තවත් පිරිස්‌ සිය දිවි නසාගැනීමට පෙලඹවීමට හේතු වන බව පැහැදිලි දත්ත හා අධ්‍යයනයන් මඟින් තහවුරු වී ඇත. මේ නිසා මෙබඳු සිදුවීම් වාර්තා කිරීමේ දී ඒවා මුල් පිටුවේ හෝ විශාල සිරස්‌තල ලෙස වාර්තා නො කරන ලෙසත් සිදුවීමේ ඡායාරූප පළ නො කරන ලෙසත්, පුද්ගලයන්ගේ නම්, සිය දිවි නසාගැනීමට භාවිත කළ ක්‍රමය, සිය දිවි නසාගැනීමට හේතුව ආදිය වාර්තා නො කරන ලෙසත් ආදි ලෙස පැනවූ මාධ්‍ය ආචාරධර්ම සමූහයක්‌ තිබේ. කිසියම් සිය දිවි නසාගැනීමේ සිද්ධියක්‌ වාර්තා කිරීමේ දී එම තැනැත්තාට වීරත්වයක්‌ ආරෝපණය වන ලෙස හෝ එම තැනැත්තා පිළිබඳ ව දැඩි අනුකම්පාවක්‌ ඇති වන ලෙස හෝ වාර්තාකරණයේ යෙදුණ හොත් තවත් පුද්ගලයන් එබඳු වීරත්වයක්‌ අත්පත් කරගැනීමට හෝ අන්‍යයන්ගේ අනුකම්පාව දිනාගැනීම පිණිස හෝ සිය දිවි නසාගැනීමට පෙලඹීමට විශාල ඉඩක්‌ ඇත. මේ දැනුවත්භාවය නිසා දැන් දැන් මාධ්‍ය මේ පිළිබඳ ව වගකීම් සහගත ව කටයුතු කිරීම අරඹා තිබේ. කෙසේ නමුත් අද වන විට සමාජ ජාල හරහා සියලු දෙනා ම පුරවැසි මාධ්‍යකරුවන් වී සිටින බැවින් අප සියලු දෙනා ද මේ අවදානම මැනවින් තේරුම්ගෙන ඊට අනුරූප ව වගකීම් සහගත ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ ව ඇත. උදාහරණයක්‌ ලෙස මීට මාස කිහිපයකට පෙර සිදු වූ එක්‌තරා ලාංකික ජනප්‍රිය නළුවකුගේ සිය දිවි නසාගැනීම සමාජ මාධ්‍ය හරහා දැඩි ව කතාබහට ලක්‌ වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස එය අනුකරණය කරමින් පුද්ගලයන් ගණනාවක්‌ සිය දිවි නසාගැනීමට කටයුතු කර තිබිණි. එබැවින් එබඳු අවාසනාවන්ත ප්‍රතිඵලවලට දායක වීමට ඔබගේ සමාජ ජාල අවකාශයන්හි ඉඩ ලබා නො දීමට මෙන් ම අන් සමාජ ජාල පරිශීලකයන් ද ඒ පිළිබඳ ව දැනුවත් කිරීමට සිත් තබාගත යුතු ය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...