Skip to main content

කැස්පියන් මුහුදු රකුසාගේ අබිරහස

1960 වසරේ ජූනි මාසය. මේ නිරවි යුද සමයයි. තම තමන්ගේ න්‍යෂ්ටික බලය පෙන්වමින්, අවි අමෝරා ගනිමින්, සෝවියට් දේශය (සෝවියට් සමූහාණ්ඩුව) සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකිනෙකාට තම තමන්ගේ බලය පෙන්වන්න විය. කොයිවෙලාවේ කාගෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වේවිදැයි නොදැන ලෝකයා සිටියේ ලොකු බියකිනි. ලෝක බලවතුන් වුණු සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවැතියේ ‘රහස් යුද්ධයකි’. ඒ තම තමන්ගේ බලය පෙන්වමින් පමණක් නොව, එකිනෙකා ගැන ඔත්තු බැලීම් කරමිනි. ‘අභ්‍යවකාශය ජය ගැනීමේ තරගය’ නිරවි යුද සමයේ ඇරැඹුණු අතර, එය අවසන් වූයේ ඇමෙරිකාව පළමුවෙන් සඳ තරණය කිරීමෙනි.
අභ්‍යවකාශ වැඩසටහන ආරම්භ කරමින්, පළමුවෙන් චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවුවේ සෝවියට් දේශයයි. ඇමෙරිකාව රොකට්ටු ආධාරයෙන්, උඩු ගුවනට යැවූ චන්ද්‍රිකා අතරේ ඇමෙරිකා බුද්ධි අංශය හෙවත් සී.අයි.ඒ. ඒජන්සියට අයත් ‘කොරෝනා’ නමින් නම් කළ රහස් චන්ද්‍රිකාව ද විය. ‘කොරෝනා’ යනු ඇමෙරිකා චන්ද්‍රිකා වැඩසටහන් මාලාවේ පළමු වැන්නය. එපමණක් නොව, ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශය යැවූ පළමු ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවය. ‘කොරෝනා’ චන්ද්‍රිකාව, සැතපුම් 100 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ රැඳී සිට ඔත්තු නිරීක්ෂණ කටයුතු ඇරැඹීය. ලක්ෂ අටකට වැඩියෙන් ඡායාරූප ගනිමින් ඒවා එක්රැස් කර ගත්තේය. ඇමෙරිකානුවන් පෘථිවි කක්ෂයේ සිට එනම් අභ්‍යවකාශයේ සිට පෘථිවිය නිරීක්ෂණය කරමින් ලබා ගත් මුල්ම ඡායාරූප මේවාය. තාක්ෂණය නොදියුණු නිසා ඡායාරූප අද මෙන් පෘථිවි විද්‍යාඥයන් අතට කෙළින්ම ලබා ගැනීමේ නොහැකි විය. එහෙයින්, ඡායාරූප ගැනීමෙන් පසු සේයාපටල අඩංගු විශේෂ සිලින්ඩර, පැරෂූට් ආධාරයෙන් චන්ද්‍රිකාවේ සිට පහළට මුදා හැරීම සිදු කරනු ලැබුණි. ඒ, පහළ පාලක මැදිරියෙන් චන්ද්‍රිකාවට ලැබුණු උපදෙස් මතය. මේ සිලින්ඩර විශේෂ තාප ආවරණයකින් වට කර තිබුණු අතර, පහළට එද්දී ඊට සම්බන්ධ පැරැෂූට් දිග හැරිණි. තාප ආවරණයක් යොදා තිබුණේ පෘථිවි කක්ෂයට ඇතුළු පහළට එද්දී, ගිනිගෙන විනාශ වීම වැළැක්වීමටය. ඇමෙරිකා හමුදාවේ විශේෂ ගුවන් යානා සහ ගුවන් හමුදා සෙබළු සූදානමින් සිට පහළට එන පැරැෂූට් සහ සිලින්ර් අල්ලා ගැනීම සිදු කළහ. ඒ, ඒවා වෙනත් පාර්ශ්වයකට අත්වුණොත් එය ඇමෙරිකාවට තර්ජනයක් විය හැකි බැවිනි. සිලින්ඩර් අල්ලා ගැනීමට ඇමෙරිකන් ගුවන් හමුදාව කළ මෙහෙයුම සැබැවින්ම අපූරු වික්‍රමයකි.
කැස්පියන් මුහුදේ බටහිර දෙසට ඉහළින්, චන්ද්‍රිකාව ගමන් කරද්දී ගත් ඡායාරූප,  ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ විශ්ලේෂකයන් හොඳින් පරීක්ෂා කළ අවස්ථාවේදී, අමුතු අපූරු දෙයක් දකින්න ලැබුණි. එය අමුතු හැඩයකින් යුත් යාත්‍රාවකි. මේ යාත්‍රාව මොකක් වුවත්, එය ඇත්තේ, යුද නැව් ඉදිකිරීමේ නැව් තටාංගයකය. බැලූ බැල්මට එහි හැඩය අනුව නම් එය නැවක්, සබ්මැරීනයක් හෝ පාවෙන දොඹකරයක් හෝ නොවෙයි. අහස් යානයක ස්වරූපයක් පෙන්නුම් කළේය. සී.අයි.ඒ. බුද්ධි අංශ විශ්ලේෂකයන් මෙවැනි යාත්‍රාවක් මීට පෙර දැක තිබුණේ නැත. ඒ අනුව, මෙම යාත්‍රාව මුල්කොට ගනිමින් අබිරහසක් නිර්මාණය වන්න පටන් ගත්තේය. මොකක් වුණත්, එය පෙනුමින් විශාලය. පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් එය දිගය. රුසියාව නව ආකාරයක බලගතු අවියක් නිර්මාණය කරනවා යැයි බියක් හටගත්තේය.
සී.අයි.ඒ. බුද්ධි අංශ විශ්ලේෂකයන් මෙම අබිරහස් යාත්‍රාව නම් කළේ ‘කැස්පියන් මුහුදු රකුසා’ යන නමිනි. හැඩරුව අනුව නම්, එය මොකක් හෝ පියාසර කළ හැකි විදියේ යාත්‍රාවක් බව ඡායාරූප දිගින් දිගට අධ්‍යනය කිරීමේදී පැහැදිලි විය. ඒත් සාමාන්‍ය අහස් යානයක් වීමට එය ප්‍රමාණයෙන් විශාල වැඩිය. මේ අබිරහස් යානය අඩි 35 ක් හෝ 400 ක් විශාල විය. කෙසේ නමුත් පියාපත්වල දිග අඩි 100 ක් පමණක් විය. එහෙයින් එය ගුවන් යානයක් විය නොහැකියි නේද යැයි තර්ක නැගෙන්න විය. එය ගුවන් යානයක් නම්, පියාසර කරන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් විය. කෙසේ නමුත් එය මුළුමනින්ම වෙනස් ආකාරයේ නව ගුවන් යානාවක් විය හැකි යැයි සී.අයි.ඒ. බුද්ධි අංශය අනුමාන කරන්න විය. එය ඒ වනවිට ඉදිකර තිබුණු බෝයිං 747 ලොකුම මගී ප්‍රවාහන ගුවන් යානය මෙන් දෙගුණයකින් විශාලය. ‘කැස්පියන් මුහුදු රකුසා’ ගුවන් යානයක් නම්, එහි ප්‍රමාණය අනුව බලද්දී, එයට අති විශාල න්‍යෂ්ටික අවි තොගයක් පටවාගෙන යෑ හැකිය. කැස්පියන් මුහුදු රකුසාගේ අබිරහස විසඳා ගැනීම කෙසේ හෝ කළ යුතු විය. නැව් තටාංගයට ගොස් ඔත්තු බලා වැඩි විස්තර ලබා ගැනීම කළ යුතු විය.
සී.අයි.ඒ. බුද්ධි අංශය, කැස්පියන් මුහුදු රකුසාගේ අබිරහස විසඳීමේ අරමුණ ඇතිව, නව මෙහෙයුමක් ඇරැඹීය. මෙහෙයුමට සම්බන්ධ රහස් ව්‍යාපෘතිය නම් කෙරුණේ ‘ඇක්වලයින්’ යනුවෙනි. මෙය අතිශය රහසිගත ඔත්තු නිරීක්ෂණ වැඩසටහනකි. වැඩසටහනට අදාල සියලු අත්හදා බැලීම් සිදු කෙරුණේ ‘ඒරියා 51’ යන නමින් හැඳින්වෙන රහස් කලාපයේදීය. කැමරාවක් එක්ක කුරුල්ලෙක් යවන්න පුළුවන් නම්, ඌට හැකිවේවි අබිරහස් යානයේ සමීප ඡායාරූප ලබා ගන්න යැයි සී.අයි.ඒ. විශ්ලේෂකයන්ට කල්පනා වන්න ඇත. ‘ඇක්වලයින්’ ඔත්තු නිරීක්ෂණ වැඩසටහන ඇරැඹුණේ ඒ අදහසට අනුවය. අද ඇමෙරිකාව ඔත්තු නිරීක්ෂණ සඳහා ඩ්‍රෝන යානා යොදා ගනී. ඔත්තු නිරීක්ෂණයට පමණක් නොව, නිවැරදි ලෙස ත්‍රස්වාදීන්ට පහරදීම ද ඩ්‍රෝන යානා යොදා ගනිමින් කළ හැකිය. ඩ්‍රෝන යානයනක් යනු නියමුවන් රහිත කුඩා යානයකි. එය දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වෙයි.
‘ඇක්වලයින්’ යනු ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයේ ඩ්‍රෝන යානා වැඩසටහනේ ආරම්භයයි. ඇන්වලයින් ව්‍යාපෘතිය යටතේ නිර්මාණ වූ ඩ්‍රෝන යානයේ හැඩය කුරුල්ලකු වැනිය. පියාපත්වල දිග අඩි 8.5 කි. කුරුල්ලකු මෙන් මෙම කුඩා ඩ්‍රෝන යානයට සුළඟේ පා වී යා හැකි විය. කැමරාවක් සවි කළ පළමු නියමුවන් රහිත දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක යානාව මෙයයි. අද මෙන් නොව, තාක්ෂණයේ දියුණුවක් නොතිබුණු එදා මෙවැනි යානයක් නිවැරදිව පියාසර කිරීම අභියෝගයකි. සිදු කළ අත්හදා බැලීම් සියල්ල අසාර්ථක විය. ඒ, යානය කඩා වැටුණ නිසාය. ඒ සමඟ ‘කැස්පියන් මුහුදු රකුසා’ගේ අබිරහස විසඳන්න ආරම්භ කළ ඇක්වලයින් ව්‍යාපෘතිය අසාර්ථක විය.
අන්තිමේදී, ඇක්වලයින් ව්‍යාපෘතිය අමතක කර දමා, ‘කොරෝනා’ චන්ද්‍රිකාව උපයෝගී කර ගනිමින් ‘කැස්පියන් මුහුදු රකුසා’ගේ අබිරහස විසඳන්න සී.අයි.ඒ. බුද්ධි අංශය තීරණය කළේය. ඒ අනුව, ලබා ගත් නව පැහැදිලි ඡායාරූප හොඳින් අධ්‍යනය කරද්දී, කැස්පියන් මුහුදු රකුසා මොකක්දැයි තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණි. එය නැවක් හෝ සබ්මැරීනයක් නොවීය. ගුවන් යානයක් ද නොවීය. එය අලුත් විදියේ අමුතු විදියේ යානයක් විය. එය ගුවන් යානයක් සහ නැවක් එක් කරමින් නිර්මාණය කරන ලද අති දැවැන්ත යානාවකි. එය පියාඹන බෝට්ටුවකි. පියාසර කරන්න හැකියාව තිබුණේ බිම් මට්ටමේ හෝ මුහුදු මට්ටමේ හෝ සිට අඩි කිහිපයක් ඉහළින් පමණි. මේ දෙමුහුන් යානයට ගුවන් යානයක් සේ ඉහළ යා නොහැකිය. එය නිර්මාණය කර තිබුණේ හරි අපූරු ආකාරයකටය. එපමණක් නොව, ඉතා පහළින් පියාසර කරද්දී රේඩාර්වලට හොරා ඕනෑ තැකට යෑමට ද හැකියාව මෙම යානය සතු විය.
ගුවන් යානයක වේගයෙන්, ප්‍රබල යුද නැවක ගෙන යා හැකි ආයුධ තොගයක් ගෙන යෑමටත් මෙම දෙමුහුන් යානයට හැකිවිය. රේඩාර්වලට හසු නොවී පහළින් යා හැකි මෙම යානය සෝවියට් සමූහාණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ හරි අපූරු යුද අවියක් විය. පෙර දැනුම් දීමකින් තොරව, පැය 3 ක් ගතවිමටත් පෙර ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ වෙත පැමිණෙන්න මෙම යානයට හැකියාව ඇත. කැස්පියන් මුහුදු රකුසා යන නමින් ඇමෙරිකානුවන් නම් කළ මෙම දෙමුහුන් යානය ගැන ලොවට අනාවරණය වූයේ වසර ගණනාවකට පසු මෑත කාලයේය. යානය අත්හදා බැලීම් සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා ප්‍රසිද්ධියට පත් විය. සෝවියට්වරුන් මෙම යානය නම් කර ඇත්තේ එක්රොනෝ ප්ලේන් යනුවෙනි. එදා සෝවියට්වරුන් නොයෙක් නොයෙක් මාදිලියේ මෙවැනි යානා බළඇණියක් නිර්මාණය කිරීමට සැලැසුම් සකස් කර තිබුණු බව ද පසුව දැනගන්න ලැබුණි. ලෝකයේ වාසනාවට සෝවියට් රුසියාවේ මෙම එක්රොනෝ ප්ලේන් බළඇණිය නිර්මාණය වූයේ නැත. ඒ, අත්හදා බැලීම්වලදී එක්රොනෝ ප්ලේන් යානා අසාර්ථක වූ බැවිනි. සිදුවුණු අනතුරු කිහිපයක් මුල්කොට ගනිමින් එක්රොනෝ ප්ලේන් නිර්මාණ ව්‍යාපෘතිය රහසේ ආරම්භ කළාක් මෙන් රහසේම අවසන් කිරීමට සෝවියට් රුසියානුවෝ කටයුතු කළහ. අවශ්‍ය ප්‍රමාණයට මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම ව්‍යාපෘතිය අතහැර දැමීමට තවත් එක් ප්‍රධාන හේතුවක් වූ බව පසුව දැනගන්න ලැබුණි. ‘එක්රොනෝ ප්ලේන්’ දෙමුහුන් යානයේ රහස අනාවරණය වූයේ ‘කොරෝනා’ චන්ද්‍රිකාවේ පිහිටෙනි. චන්ද්‍රිකාව නොතිබුණා නම්, එක්රොනෝ ප්ලේන් ව්‍යාපෘතිය අදටත් ලොවට රහස් වනු ඇතැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය කියයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...