Skip to main content

රෝගය අසාධ්‍ය කරවන යෝජිත ප්‍රතිකර්මය...




වෛද්‍ය අධ්‍යාපනයෙහි ගුණාත්මක භාවය යනු මෑත ඉතිහාසය තුළ දී බොහෝ සෙයින් ම කතාබහට ලක්‌ වූ මාතෘකාවකි. ගුණාත්මක භාවය නිර්වචනය කිරීම පුද්ගලානුබද්ධ ව වෙනස්‌ වේ. එබැවින් වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු සියලු අංශවල ගුණාත්මකභාවය මැන බැලීම සඳහා මිනුම් ද`ඩු සැකසීම අවශ්‍ය ය.

ප්‍රතීතනය (Accreditation) පිළිබඳ අවශ්‍යතාව මතු වන්නේ මෙහි දී ය. ප්‍රතීතනය යනු යම්කිසි ආයතනයක්‌ සඳහා වූ නිර්දේශිත ප්‍රමිතීන් සපුරා ඇතැයි සහතික කිරීම සඳහා පිළිගත් ආයතනයක්‌ විසින් පරීක්‌ෂා කර අනුමත කිරීමේ ක්‍රියාවලියකි.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය මෑතක දී තත්ත්ව සහතික හා ප්‍රතීතන කොමිෂන් සභාවක්‌ යෝජනා කර ඇති අතර, මේ සම්බන්ධ ගැසට්‌ පත්‍රය 2019 ජුනි 17 දින නිකුත් කරන ලදී. යෝජිත පනත් කෙටුම්පත නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ සටහන එම යෝජිත පනත පිළිබඳව කෙරෙන විමසුමකි.

වෛද්‍ය අධ්‍යාපනයෙහි ගුණාත්මක භාවය සුරක්‌ෂිත කිරීම සඳහා දැනට පවතින වැඩපිළිවෙළ

උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ප්‍රතීතනය සඳහා විධිමත් යාන්ත්‍රණයක්‌ දැනට නොමැත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය හෝ උපාධිධාරීන් වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කිරීමේ දී එම වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය හෝ විද්‍යාලවල ගුණාත්මක භාවය තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක්‌ අනුගමනය කෙරෙමින් ඇත. මේ පිළිගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය ආඥා පනතේ නීති රාමුවට යටත් ය. වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් පිළිබඳ නීති රෙගුලාසි සම්පාදනය කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු වේ.


යෝජිත පනත

උසස්‌ අධ්‍යාපනය හෝ විද්‍යාත්මක පර්යේෂණ හා තාක්‌ෂණික ආයතනවල ප්‍රමිති නිශ්චය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, උසස්‌ අධ්‍යාපනය සඳහා වූ තත්ත්ව සහතික කිරීමේ කොමිෂන් සභාවක්‌ පිහිටුවීම ද උසස්‌ අධ්‍යාපන ආයතනවල තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය සඳහා නීතිමය රාමුවක්‌ සැපයීම ද මේ පනතෙහි අරමුණු ලෙස සඳහන් වේ.

මෙහි සඳහන් වන පරිදි, වෙනත් යම් නීතියක ඊට පටහැනි ව කරුණු සටහන් වුව ද එය නො තකා, උසස්‌ අධ්‍යාපනය සඳහා වූ තත්ත්ව සහතික කිරීමේ කොමිෂන් සභාවෙහි තීරණය අවසන් තීරණය වේ. කෙසේ වෙතත්, මේ පනතෙහි අඩංගු බොහොමයක්‌ කරුණු ගැටලු සහගත ය.


යෝජිත කොමිෂන් සභාව

මෙහි දී මූලික ම ගැටලුව වන්නේ මේ කොමිසමට ස්‌වාධීනව කටයුතු කිරීමට හැකි ද යන්න ය. කොමිසමෙහි සංයුතිය සලකා බැලීමේ දී මේ සාධාරණ සැකය තහවුරු වේ. මේ කොමිෂන් සභාවට නිල බලයෙන් පත් වන සාමාජිකයන් සිව් දෙනෙකි. මේ සිව් දෙනා වන්නේ, උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා ය. මීට අමතර ව උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන මූල මණ්‌ඩල සාමාජිකයන් පහළොස්‌ දෙනකු අතුරින් ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයන් නව දෙනකු මේ සඳහා පත් වේ. මේ කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් වන්නේ ද ඉහත සඳහන් නව දෙනා ගෙන් එක්‌ අයෙකි.

කොමිෂන් සභාවේ සංයුතිය සලකා බැලීමේ දී පෙනී යන්නේ එහි වැඩි සාමාජික සංඛ්‍යාවෙක්‌ දේශපාලන බලාධිකාරියට කෙළින් ම හෝ අනියමින් හෝ යටත් පත්වීම් බව ය.

වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක්‌ දේශපාලන පත්වීම් වන මේ කොමිෂන් සභාවේ රැස්‌වීම් සඳහා ඝනපූරණය වන්නේ සාමාජිකයින් පස්‌ දෙනෙකි. අවශ්‍ය නම් සාමාජිකයන් හතරක්‌ පමණක්‌ සහභාගී වී එක්‌ අයකුට SMS මඟින් තම ඡන්දය භාවිත කළ හැකි ය. මේ ක්‍රියා පටිපාටිය මඟින් නිරවද්‍ය නො වන හදිසි තීරණ පහසුවෙන් අනුමත කරගත හැකි ය. එබැවින් මේ සභාවෙහි ගන්නා තීන්දු තීරණවල ස්‌වාධීනත්වය ගැටලු සහගත ය.

පනත මඟින් මතු විය හැකි ගැටලු

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි වෘත්තීය ව්‍යවස්‌ථාපිත ආයතන බල රහිත වීම.

මේ පනත නීතිගත වූ පසු සිදු වන මූලික වෙනස්‌කම් කිහිපයකි. මෙතෙක්‌ වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ ඉතා වැදගත් තීරණ ගැනීමේ අයිතිය මේ කොමිසම සතු වේ.

* උසස්‌ අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීමේ අවම ප්‍රවේශ නිර්ණායක වරින් වර ඇගයීමට ලක්‌ කොට සංශෝධනය කිරීම කොමිසම විසින් තීරණය කරනු ලැබේ.

* සියලු ම විශ්වවිද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතන ප්‍රතීතන කොමිෂන් සභාවට අයදුම් කළ යුතු අතර, ඒ සම්බන්ධ අවසාන තීරණය කොමිසම සතු වේ.

* මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති සියලු ම විශ්වවිද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතන මේ කොමිෂන් සභාවේ පාලනය යටතට පත් වේ.

විශ්ව විද්‍යාල සහ උසස්‌ අධ්‍යාපන ආයතන සඳහා අවම ප්‍රවේශ නිර්ණායකවල විනිවිදභාවය සම්බන්ධ ව ඇති විය හැකි ගැටලු

වර්තමාන තත්ත්වය තුළ උසස්‌ අධ්‍යාපනය සඳහා අවම ප්‍රවේශ නිර්ණායක තීරණය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධිකාරිය යටතේ පවතී. විශ්වවිද්‍යාල සඳහා තෝරාගැනීම් සිදු වන්නේ සිසුන්ගේ උසස්‌ පෙළ ඉසෙඩ් අගය මත පදනම් ව ය.

මේ පනත් කෙටුම්පත බලාත්මක කිරීමත් සමඟ මේ අධිකාරිය දේශපාලනික වශයෙන් බලපෑමට ලක්‌ වූ ඉහත කමිටුවට පවරනු ලැබේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතීන් සැකසීමේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බල රහිත වීම

වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් පිළිබඳ නීති රෙගුලාසි සම්පාදනය කිරීමේ බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු ය. දැනට පවතින ක්‍රියාවලිය එක්‌සත් රාජධානියේ වෛද්‍ය සභාව වැනි පිළිගත් ආයතනවල අනුගමනය කරන ක්‍රියාවලියට සම කළ හැකි වන අතර, වෛද්‍ය අධ්‍යාපනය සඳහා දැනට පවතින අවම ප්‍රමිතිය ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනයේ (WFME) මාර්ගෝපදේශයන්ට අනුකූලව සකස්‌ වූවකි.

මේ පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ අවම ප්‍රමිතීන් සැකසීම ඉහත කමිටුව විසින් තීරණය කරනු ලබන අතර එහි ගුණාත්මකභාවය ගැටලු සහගත ය.


විදේශ අරමුදල් අනිසි ලෙස භාවිත වීමේ හැකියාව

වර්තමානයේ දී විශ්වවිද්‍යාල සඳහා ලැබෙන සියලු ම අරමුදල් සහ ප්‍රදාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලට තැන්පත් කෙරේ. මේ අරමුදල් රජයේ මූල්‍ය ප්‍රතිපත්ති හා රෙගුලාසිවලට අනුව භාවිත කරනු ලැබේ.

මේ පනතට අනුව, 'ඕනෑ ම ප්‍රභවයකින් ප්‍රදානයන් හෝ දායක මුදල් හෝ ලබාගැනීම සහ සියලු නීත්‍යනුකූල ක්‍රම මඟින් අරමුදල් රැස්‌ කිරීම සහ කොමිෂන් සභාවේ රාජකාරි හා කාර්යයන් ඉටු කිරීම සඳහා එම අරමුදල් යෙදවීම' සඳහා ඉහත කොමිසමට බලය පැවරේ. ස්‌වාධීන තීරණ ගැනීම සඳහා පත් කරනු ලබන කමිටුවකට මේ ආකාරයෙන් 'ඕනෑ ම ප්‍රභවයකින් ප්‍රදානයන් හෝ දායක මුදල් හෝ ලබාගැනීම' පිළිබඳ බලය පැවැරීම කිසිසේත් සිදු නො විය යුත්තකි.

මෙහි වගකීම තනි කොමිෂන් සභාවකට පැවරීම තුළ, අරමුදල් පරිහරණය කිරීමේ ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවය පිළිබඳව ගැටලු මතු විය හැකි ය.


වෛද්‍ය අධ්‍යාපනයේ තත්ත්ව ආරක්‌ෂණය සඳහා සිදු විය යුත්තේ කුමක්‌ ද?

වත්මන් ගෝලීය සන්දර්භය තුළ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රතීතනය සහ තත්ත්ව සහතික කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. මේ සඳහා පිළිගත හැකි ප්‍රතීතන වැඩසටහනක්‌ ස්‌ථාපිත කිරීම සඳහා අවශ්‍ය සියලු සම්පත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු ව ඇත. මේ තත්ත්වය යටතේ

1. දේශපාලන බලපෑමෙන් තොර කොමිසමක්‌ පිහිටුවීම සහතික වන ලෙස මේ නීති කෙටුම්පත සංශෝධනය විය යුතු ය.

2. කොමිෂන් සභාවේ සාමාජිකයන් බඳවාගැනීමේ ක්‍රියාවලිය මනා විනිවිදභාවයකින් සහ අපක්‌ෂපාතිත්වයෙන් යුක්‌ත විය යුතු ය.

3. උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අභිමතය පරිදි නො ව, විවෘත දැන්වීම් මඟින් කොමිෂන් සභාවේ සාමාජිකයන් බඳවාගැනීමේ ක්‍රියාවලිය සිදු විය යුතු අතර එය මනා විනිවිදභාවයකින් යුක්‌ත විය යුතු ය.

4. වෛද්‍ය විද්‍යාලවල තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ පුහුණුවේ තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලිය දෙකක්‌ ලෙස සැලකිය යුතු අතර ඒ අංශයන් එකිනෙකින් ස්‌වායත්ත ව සිදු විය යුතු ය. මෙහි දී වෛද්‍ය විද්‍යාල ප්‍රතීතනය සිදු විය යුත්තේ පිළිගත් අධ්‍යාපන මූලධර්ම හා ප්‍රමිතීන්ට අනුකූල ව වන අතර වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රතීතනය සිදු විය යුත්තේ ඒ සම්බන්ධ වන ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අදාළ ව ය.

පවතින ගැටලු සඳහා පිළියමක්‌ ලෙස රැගෙන එන මේ පනත ඉහත දුර්වලතා නිවැරැදි කිරීමකින් තොර ව බලාත්මක කිරීම මඟින් සිදු වන්නේ ගැටලු සහගත තත්ත්වය තවදුරටත් තීව්‍ර කිරීම පමණි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...