Skip to main content

ලොන් මස්‌ක්‌ගේ අලුත් ම හඳුන්වා දීම පරිගණක-මොළ අතුරු මුහුණත නියුරලින්ක්...‌



ඉලොන් මස්‌ක්‌, නව ලෝකයේ පෙරළිකාර චරිතයක්‌ බව නොපැකිළ ව කිව හැකියි. නව නිර්මාණකරණයත් එහි වාණිජකරණයත් අපූරුවට සමබර ව ඉදිරියට ගෙන යන මේ දක්ෂ ව්‍යවසායකයා සමහරුන් සමාන කරන්නේ 'මාර්වල් සුපිරි වීරයන්'ගේ කතා පෙළෙහි එන 'අයන් මෑන්' චරිතයටයි. ජනප්‍රිය විදුලි මෝටර් රථ, රොකට්‌ ප්‍රතිභාවිතය, චන්ද්‍ර සංචරණය, අඟහරු ජනාවාස, අන්තර් මහද්වීපික රොකට්‌ ගමන්, භූගත ප්‍රවාහන උමං, අභ්‍යවකාශ අන්තර්ජාලය ආදී ඔහුගේ වික්‍රමයන්ගේ අලුත්ම පරිච්ඡේදය පසුගිය අඟහරුවාදා හෙළිදරව් කෙරුණා. ඔහු අතගසා ඇති අලුත් ම කටයුත්ත නම් මිනිස්‌-පරිගණක අතුරු මුහුණතක්‌ හඳුන්වා දීමයි.

මිනිස්‌ මොළය හා පරිගණකය එකිනෙක හා සම්බන්ධ කිරීම ඉතා සිත් ඇදගන්නාසුලු අදහසක්‌. මේ හරහා මෙතෙක්‌ මිනිස්‌ වර්ගයා සිහිනෙන් වත් සිතා නැති හැකියාවන් අත්පත් කරගත හැකියි. මේ අදහස විද්‍යා ප්‍රබන්ධවල දශක ගණනාවක පෙර සිට ම කතාබහට ලක්‌ වූවක්‌. 1984 දී පළ වූ විලියම් ගිබ්සන්ගේ 'නියුරොමැන්සර්' විද්‍යා ප්‍රබන්ධ නවකතාව මීට උදාහරණයක්‌. එහි දැක්‌වෙන අන්දමට නව භාෂාවක්‌ කතා කිරීමට අවශ්‍ය වූ විට එම දත්ත අඩංගු චිපයක්‌ කෙළින් ම මොළයට සම්බන්ධ කර එම භාෂාවෙන් කතා කළ හැකියි. මෙවැනි මට්‌ටමකට නො වුණත් මේ දිශානතියට යම්තාක්‌ දුරට සමීප වන්නට යම් යම් පර්යේෂණ මීට පෙර සිදු කෙරී තිබුණා. 2006 වසරේ Brown සරසවියේ පර්යේෂකයන් පිරිසක්‌ ආබාධිත පුද්ගලයකුගේ මොළයට සවි කළ උපාංගයක්‌ මඟින් ඔහුට පරිගණක තිරය මත කර්සරය එහාට මෙහාට ගෙන යන්නට ඉඩ සැලැස්‌වීම මීට උදාහරණයක්‌. කෙසේ නමුත් මීට වසර දෙකකට පෙර ඉලොන් මස්‌ක්‌ගේ සම දායකත්වයෙන් ආරම්භ කරන ලද නියුරලින්ක්‌ (Neuralink) නම් නව සමාගම මේ වන විට වඩා ශක්‌තිමත් හා පුළුල් අන්දමින් මේ සිහිනය සැබෑ කරගැනීම ආරම්භ කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ පිළිබඳ ව පර්යේෂණ පත්‍රිකාවක්‌ එළිදැක්‌වීමට සමගාමී ව පසුගිය 16 වැනි අඟහරුවාදා කැලිෆෝනියා විද්‍යා ඇකඩමියේ දී තම පර්යේෂණ කටයුතු පිළිබඳ ව ලොවට අනාවරණය කිරීමට ඉලොන් මස්‌ක්‌ ඇතුළු එම සමාගමේ ප්‍රධාන පර්යේෂකයන් කටයුතු කර තිබුණා.

නියුරලින්ක්‌ සමාගම මඟින් මෙහි දී මිනිස්‌ මොළයේ තැන්පත් කළ හැකි ලෙස සැකසූ බ1 නම් චිපයක්‌ හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. මිලිමීටර් 4ක දිගකින් හා 4ක පළලකින් යුත් මේ චිපයට ඉලෙක්‌ට්‍රෝඩ දහසක්‌ සම්බන්ධ කර තිබෙනවා. ඉලොන් මස්‌ක්‌ට අනුව මෙවැනි ඉලෙක්‌ට්‍රෝඩ දස දහසක්‌ මේ චිපයට සවි කළ හැකියි. මොළයට සවි කරනු ලැබෙන්නේ මෙවැනි ඉලෙක්‌ටෝඩ 32ක්‌ සවි කර ඇති සියුම් තන්තුවක්‌. මේ තන්තුවක්‌ මයික්‍රො මීටර 4ත් 6ත් අතර විෂ්කම්භයකින් යුතු වන අතර එය කෙස්‌ ගසකින් හතරෙන් එකක්‌ තරම් කුඩා විෂ්කම්භයක්‌. මෙයට පෙර පාකින්සන් රෝගයට ප්‍රතිකාර වශයෙන් මොළය උද්දීපනය කිරීම ස`දහා මොළයට ඉලෙක්‌ට්‍රෝඩ සවි කිරීම සිදු කෙරී ඇති නමුත් ඒ උපරිම වශයෙන් ඉලෙක්‌ට්‍රෝඩ 10ක්‌ පමණයි. හැරත් එම ඉලෙක්‌ට්‍රෝඩවල විෂ්කම්භය මේ ඉලකේට්‍රෝඩ අඩංගු තන්තුවල විෂ්කම්භය මෙන් පනස්‌ ගුණයක්‌ පමණ වනවා.

මේ සියුම් බව නිසා ම මේ ඉලෙක්‌ට්‍රෝඩ අඩංගු තන්තු මොළය තුළට ඇතුළත් කිරීම සාමාන්‍ය පුද්ගලයකුට කළ නො හැකි අතර එම කටයුත්ත කිරීමට ඒ වෙනුවෙන් ම සැකසූ රොබෝවකු නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ රොබෝවාට මොළයේ ඇති රුධිර නාළිකාවලට හානියක්‌ නො පැමිණෙන අයුරින් මේ තන්තු එකින් එක මොළය තුළට ඇතුළු කිරීමට හැකියාව තිබෙනවා. මේ ක්‍රියාවලිය කිසිදු රුධිරය ගැලීමකින් හෝ පටකවලට හානියකින් හෝ තොර ව සිදු වන බවයි පැවසෙන්නේ. එම නිසා මේ ක්‌ෂේත්‍රයේ දැනට ලෝකයේ පවතින නවීනතම තාක්‌ෂණය නියුරලින්ක්‌ සමාගම සතු ව පවතින බව පැවසිය හැකියි.

දැනට මේ සඳහා හිසකෙස්‌ කැපීමට සිදු වුවත් ඉදිරියේ දී එසේ නො කර ම මේ තැන්පතුව කළ හැකි වනු ඇති බවට මේ එළිදැක්‌වීමේ දී අදහස්‌ දැක්‌වූ සමාගමේ ශල්‍ය වෛද්‍යවරයකු පෙන්වා දුන්නා. එමෙන් ම දැනට හිස්‌කබල විද මේ තැන්පතුව සිදු කළ යුතු වුවත් ඉදිරියේ දී ලේසර් කිරණ හරහා ශල්‍යකර්මයට ලක්‌ වන්නාට නො දැනෙන අන්දමින් පහසුවෙන් හිස්‌කබල සිදුරු කර මේ කටයුත්ත සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. මොළයේ ඇති ස්‌නායුවලට කිසිදු ආකාරයෙන් භෞතික ව සම්බන්ධ වීමක්‌ මේ ඉලෙක්‌ට්‍රෝඩ හරහා සිදු නො වන අතර සිදු වන්නේ ඒවා නියුරෝන ආසන්නයේ පිහිටා තිබීම පමණයි. නියුරෝන අතර පණිවිඩ හුවමාරුවේ දී නිකුත් වන විද්යුත් ස්‌පන්දයන් මේ ඉලෙක්‌ට්‍රෝඩ හරහා ග්‍රහණය කෙරෙනවා. එම දත්ත පරිගණක ඇල්ගෝරිදමවල උපකාරයෙන් පරිගණකයට ගෝචර ද්වීමය කේත බවට පරිවර්තනය කර පරිගණකමය යෙදීම් පාලනය කිරීමට යොදාගත හැකියි.

මේ දත්ත, බාහිරයට ලබාගැනීම සඳහා රැහැන් ආදිය යොදාගැනීමක්‌ සිදු කිරීමට අදහසක්‌ නොමැති බව ඉලොන් මස්‌ක්‌ පවසනවා. වාණිජ ඉල්ලුමක්‌ ඇති වන පරිදි අලංකාර ව තම නිෂ්පාදන බිහි කිරීමට උනන්දුවක්‌ දක්‌වන ඔහු වැන්නකු ගෙන් මෙය බලාපොරොත්තු විය යුත්තක්‌. ඒ අනුව, කන අසල පැළඳි උපාංගයක්‌ වැන්නකින් බ්ලූටූත් තාක්ෂණය හරහා මේ චිපය හා සම්බන්ධ විය හැකියි.

පරිගණක පද්ධති හා මිනිස්‌ මොළය සහසම්බන්ධ කිරීමේ මේ ක්‍රියාවලිය හරහා ඉලොන් මස්‌ක්‌ ඇතුළු කණ්‌ඩායම තමන් ළඟා කරගැනීමට බලාපොරොත්තු වන එක්‌ ප්‍රධාන ඉලක්‌කයක්‌ ලෙස පෙන්වා දෙන්නේ මොළයේ සහ ස්‌නායු පද්ධතියේ ආබාධ නිසා අත් පා අප්‍රාණික ව සිටින රෝගීන්ට බාහිර ලෝකය හා ගනුදෙනු කිරීමට මාර්ගයක්‌ සැකසීමයි. මෙය අද වෛද්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වී ඇති හැකියාවක්‌. මෙබඳු රෝගීන්ට පරිගණකය හැසිරවීමට හැකියාව ලැබෙන්නේ නම් ඒ හරහා අනෙක්‌ අයට පණිවිඩ යෑවීම, නිර්මාණකරණයෙහි යෙදීම, වීඩියෝ ක්‍රීඩා කිරීම වැනි තමා කැමැති විනෝදාස්‌වාද කටයුත්තක යෙදීමට ඉඩ සැලසෙනවා. මෙමඟින් ඔවුන්ට අත්පත් වන සහනය සුළුපටු නැහැ. යාන්ත්‍රික ව සැකසූ ශරීරයක්‌ හෝ තමාගේ ම අක්‍රිය වූ ශරීරය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ද මේ මූලික හැකියාව ඉදිරියේ දී ප්‍රයෝජනවත් විය හැකියි.

කෙසේ නමුත් අනාගතවාදියකු ලෙස සැලකෙන ඉලොන් මස්‌ක්‌ වැන්නකුගේ අපේක්ෂාව මෙබඳු තැනකට පමණක්‌ සීමා වීමට ඉඩක්‌ නැහැ. ඔහුගේ අනෙක්‌ ඉලක්‌කය වන්නේ මේ හරහා මිනිසුන්ට තම මොළයේ ක්‍රියාකාරිත්වය රැකගැනීමට හා වර්ධනය කරගැනීමට ඉඩ සැලැස්‌වීමයි. මෙය සමස්‌ත මානව ශිෂ්ටාචාරයට ම බලපාන ක්‍රියාදාමයක්‌ ලෙස පෙන්වා දෙන ඔහු මේ තුළින් අනාගතයේ බිහි වන දියුණු, තාක්ෂණික ලෝකයට ගැළපෙන මානව ප්‍රජාවක්‌ ගොඩනැඟීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. ඔහු පවසන අන්දමට අනාගතයේ දී කෘත්‍රිම බුද්ධිය සහසම්බන්ධ කරගත් මොළයක්‌ සහිත මිනිසුන් ප්‍රජාවක්‌ මේ හරහා බිහි වනු ඇති.

මිනිස්‌ පරිගණක අතුරු මුහුණතක්‌ පිළිබඳ සංකල්පය සමහර විට කෙනකුට තරමක්‌ තැති ගන්වනසුලු අදහසක්‌ විය හැකියි. එහෙත් මේ පිළිබඳව පරෙස්‌සමෙන් බැලූ කල එය එතරම් බිය විය යුතු දෙයක්‌ නො වන බව පෙනී යනවා. ඉලොන් මස්‌ක්‌ පවසන අන්දමට මේ හරහා සිදු වන්නේ අපේ මොළයට සුපිරි පරිගණක ලේයරයක්‌ (ස්‌තරයක්‌) එකතු කිරීමක්‌ පමණයි. එහෙත් අප දැනටමත් එය සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. අප භාවිත කරන ස්‌මාර්ට්‌ ජංගම දුරකතන, ටැබ්, පරිගණක මේ ලේයරයයි. මොළ තැන්පතු හරහා සිදු කෙරෙන්නේ මිනිස්‌ මොළය හා මේ පරිගණක ලේයරය අතර ඇති පරතරය අවම කිරීමයි. අපේ මොළයට දත්ත ග්‍රහණය කිරීමට ස්‌වාභාවික ව ඇති හැකියාවේ තරමට, දත්ත බැහැර (ප්‍රතිදානය) කිරීමට හැකියාවක්‌ නැහැ. උදාහරණයක්‌ ලෙස ජංගම දුරකතනයට පැමිණෙන කෙටි පණිවිඩයක්‌ මිලි තත්ත්පර කිහිපයකින් කියෑවිය හැකි නමුත් නැවත ප්‍රතිඋත්තරයක්‌ ඇඟිලිවලින් සටහන් කර යෑවීමට අපට සැලකිය යුතු කාලයක්‌ ගත වනවා. අනාගතයේ දී මෙවැනි චිප හරහා පරිගණක හා ගනුදෙනු කිරීමේ අපේ මේ මන්දගාමී බව සහමුලින් ම පාහේ උකහා දැමීමට අපට හැකි වනු ඇති. එවැනි කාලයක යතුරු පුවරු හෝ මූසික හෝ යල් පැන ගිය උපාංග බවට පත් වනු ඇති බවට සැකයක්‌ නැහැ. කෙළින් ම සිතකින් සිතකට පණිවිඩ හුවමාරු කරගන්නා, සිතිවිලිවලින් උපාංග පාලනය කරනා ලෝකයක්‌ බිහි කිරීමට මේ තාක්ෂණය උපකාරී වීමට ඉඩ තිබෙනවා. තාක්ෂණය හා බැ`දී පැනනැ`ගිය හැකි එහි අනෙකුත් යෙදීම් ද කෙළවරක්‌ නැහැ.

ඉලොන් මස්‌ක්‌ කෘත්‍රිම බුද්ධියෙන් ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල ගැනත් කලක පටන් අනතුරු හැඟවූ අයෙක්‌. මේ නිපැයුම හඳුන්වා දෙමින් ඔහු පවසන්නේ අනාගතයේ දී කෘත්‍රිම බුද්ධිය රජයන ලෝකයක මිනිස්‌ වර්ගයා කොන් වී මුල්ලකට තල්ලු වීම වළකා ලන්නට මේ හැකියාව උපකාර වනු ඇති බවටයි.

මානව වර්ගයාගේ අනාගතය වෙනස්‌ කළ හැකි මට්‌ටමේ විභවයක්‌ ඇති මේ තාක්‌ෂණය ප්‍රායෝගික යෙදීමක්‌ බවට පත් වීමට විශාල කාලයක්‌ ගත නො වනු ඇතැයි සැලකිය හැකියි. මේ චිපය මීයන්ට සාර්ථක ව සවි කරනු ලැබ ඇති බව මේ අවස්‌ථාවේ දී හෙළිදරව් කෙරුණු අතර ඒ පිළිබඳ ව තොරතුරු ඉදිරිපත් කෙරුණා. මීට අමතරව ඉලොන් මස්‌ක්‌ වෙත ඉදිරිපත් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වල දී මේ තාක්‌ෂණය හරහා වඳුරකු විසින් පරිගණකයක්‌ පාලනය කිරීම ද සිදු කෙරී ඇති බව ඔහුගේ අතින් කියෑවීම විශේෂත්වයක්‌. කණ්‌aඩායමේ අනෙක්‌ අයගේ විමතිය ඒ පිළිබ`දව පළ වීමත් සමග පෙනී ගියේ එම කරුණ මේ මොහොතේ හෙළිදරව් කිරීමට අපේක්ෂා නො කළ දෙයක්‌ බවයි. මේ අනුව මේ සමාගම හෙළිදරව් කළ කරුණුවලට වඩා ඉදිරියට ගමන් කර ඇති බව පෙනී යනවා. ලබන වසර එනම් 2020 අගභාගය වන විට මිනිසුන් සම්බන්ධ ව මේ යෙදීම අත්හදා බැලීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා. මානව අත්හදා බැලීම් සඳහා මෙවැනි කෙටි ඉලක්‌කයක්‌ තිබීමත් ඔවුන් තම පර්යේෂණ පිළිබඳ ව විශාල ආත්ම විශ්වාසයකින් සිටින බව පෙන්නුම් කරන්නක්‌.

කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය අද හෙට සම්පූර්ණ වන්නක්‌ නො ව සෙමෙන් සිදු වන ක්‍රියාවලියක්‌ බව ඉලොන් මස්‌ක්‌ මෙහි දී අවධාරණය කිරීමට කටයුතු කළා. මානව පර්යේෂණ සඳහා අවසර ලබාගැනීමේ ක්‍රියාවලියට ඔවුන් තවමත් ප්‍රවේශ වී නැති බවයි එහි දී කියෑවුණේ. නියුරලින්ක්‌ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන Max Hodak ප්‍රකාශ කර තිබුණේ මේ හෙළිදරව්ව සමඟ තම කටයුතුවල මෙතෙක්‌ පවත්වාගෙන ආ රහසිගතභාවය ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූ බවයි. ඔහුට අනුව මේ ඉදිරිපත් කිරීමේ ප්‍රධාන ඉලක්‌කය නියුරලින්ක්‌ සමාගමට නව පර්යේෂකයන් බඳවාගැනීමයි. මේ ක්ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ පවත්වන ලොව පුරා සිටින විවිධ පර්යේෂකයන් තම සමාගමට බඳවාගෙන එහි ඉදිරි කටයුතු වේගවත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

සැලකිය යුතු තරම් දියුණු තාක්ෂණයක්‌ අපට මැජික්‌ ලෙස පෙනී යැමට ඉඩ ඇති බවට වන ආතර් සී. ක්‌ලාක්‌ වරක්‌ පවසා තිබුණා. මානව-පරිගණක අතුරු මුහුණත හරහා අද අප පිය න`ගන්නේ ඒ ඉන්ද්‍රජාලික ලෝකයට විය හැකියි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...