Skip to main content

ජවිපෙන් බිලිගත් සමසමාජයේ අසඩක්ලා

රී ලංකීය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ 1930 දශකයේ ආරම්භයත් සමගය. මාක්ස්වාදී අදහස් දැරූ විදේශ අධ්‍යාපනයක් ලබා සිටි මැද පාන්තික තරුණ කොටස් සමාජවාදය වැළඳගෙන ලංකාවට පැමිණි පසු තරුණ සංගම් තුළත්, සූරියමල් ව්‍යාපරය තුළත්, නාගරික කම්කරු පන්ති ව්‍යාපාරය තුළත් ක්‍රියාත්මක වෙමින් ස්වකීය දේශපාලනය ආරම්භකල ස්ථානයන් දක්වා වමේ ව්‍යාපාරයේ ඉතිහාසය දිවයයි. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන 1931දී ලංකාවට පැමිණ මාක්ස්වාදය ගැන උනන්දුව දක්වන පිරිස් ඒකරාශී කොට ඔවුන් සමඟ එක්වී 1935 දෙසැම්බර් 18වැනිදා ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී විය.

වමේ ව්‍යාපාරයේ සංවිධානාත්මක පක්ෂයක් ලෙස සමසමාජය කරළියට ගෙන ඒමට මුල්වූ අය අතර එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, වර්නන් ගුණසේකර, කොල්වින් ආර්. ද සිල්වා, එඩ්මන් සමරක්කොඩි, රොබට් ගුණවර්ධන,  එස්. ඒ. වික්‍රමසිංහ  ඇතුළු කිහිප දෙනෙක්ම විය. ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය අහසින් කඩා වැටීමක් නොවේ. එය මෙරට සමාජ ආර්ථික තත්ත්වය විසින් සහේතුකව ජනිත කරන ලදී.

dharman02.
වසර 1935 දෙසැම්බර් 18වැනිදා ආරම්භකල ලංකා සමසමාජ පක්ෂයේ සමාරම්භක නායකයින් පිරිසක්(වමේ ඉහළ සිට) පිලිප් ගුණවර්ධන,  එන්.එම්.පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, වර්නන් ගුණසේකර, කොල්වින් ආර්. ද සිල්වා, එඩ්මන් සමරක්කොඩි, රොබට් ගුණවර්ධන සහ එස්.ඒ. වික්‍රමසිංහ.

සමසමාජ පක්ෂය අධිරාජ්‍ය විරෝධී, රදළ සහ ධනේෂ්වර විරෝධී මෙන්ම සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනැගීම අරමුණු කොටගත් පක්ෂයක් වේ. සමසමාජය බිහිවූ තැන සිට වසර 4ක් යන තෙක් වමේ ව්‍යාපාරයත් සමසමාජයත් යනු එකක්ම විය. සමසමාජය දෙකඩ වූයේ 1939දීය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1943 ජුලි 3වැනිදා බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රතිසංස්කරණවාදී සීමාවන්හි කොටුවෙමින් වුවද 1953 අගෝස්තු හර්තාලය දක්වා සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ පීඩිත ජනයාට ශක්තියක් සහ ආශ්වාදයක් සපයමින් ආණ්ඩුවට අභියෝගයන් ඉදිරිපත් කිරීමට සමත්විය. එය වමේ ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැක. වම රටේ දෙවැනි ශක්තිමත් බලවේගය ලෙස පැවතුනද 1956 ශ්‍රිලනිප  ජයග්‍රහණයෙන් පසු එය තුන්වන තැනට වැටිණි. වැඩකරන ජනතාව වර්තමානයේද භුක්ති විදින බොහෝ අයිතීන් සහ වරප්‍රසාද ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වමේ ව්‍යාපාරය ලබාදුන් ජයග්‍රහණයන්ය.

dharman03.

සමසමාජ පක්ෂ සමුළුවකට රෙජි, ඩොරික්, එන්.එම් සහ බර්නාඩ් පැමිණෙමින්.

හැටේ දශකයේ මැද භාගයේ පැන නැගුණ විප්ලවිය කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය එම වාම පක්ෂවල වැරදිවල පමණක් නොව ‘නිරවි යුද්ධයේ’ද ප්‍රතිඵලයකි. ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) පැනනැගුණු සෙසු විප්ලවීය කණ්ඩායම් අභිබවා වර්ධනය වූයේ වේගවත් ප්‍රකාශනයක් ලෙසිනි. හැත්තෑවේ දශකය මෙරට ආර්ථික, දේශපාලන, සංස්කෘතික ජීවිතයේ එතිහාසික වකවානුවක් සලකුණු කරනු ලැබීය. 1948 නිදහසින් පසු උපන් තරුණ පරපුර කැරැල්ලක ස්වරූපයෙන් මතුවෙමින් එතෙක් පැවති සම්මත සමාජීය සංස්ථාව ප්‍රශ්න කරනු ලැබීය.  සමසමාජ පක්ෂය 1971 කැරැල්ලේදී එයට එරෙහිව සමගි පෙරමුණ රජයට සහායවීම හේතුවෙන් ජවිපෙ තදබල විවේචනයට සමසමාජය සහ කොමියුනිස්ට් පක්ෂ ලක්විය. ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ල පැන නැගීමෙන් පසු පැරණි වම සහ ජවිපෙ අතර විශාල හිඩසක් ඇති විය.

dharman04.

ජවිපෙ ඝාතනය කල සමසමාජ පක්ෂයේ 19 දෙනා අතරින් පී.ඩී. විමලසේන, නිතිඥ ලෙස්ලි යටන්වල, නිතිඥ අමර වෙල්ලප්පුලි, වීරසේන පිටිගල, සරත් මල්ලිකාද සිල්වා, ඇල්බට් විජේරූප, ඩී. ලුවිස් සිල්වා, එම්.ආර්.හීන්බණ්ඩා, ඩබ්ලිව් එම්. චන්ද්‍රසේන, එන්.කේ.ඩී. ප්‍රඥාරත්න, එන්.ඩී. ජිනදාස, ඩී.ඒ සූරසේන, ජයන්ත විජේතුංග, වර්ණසූරිය සිල්වා, නිමල් ශාන්ත පෙරේරා, කේ.ඒ ජයදේව අමරවීර, බී. රත්නවීර(ඉහළ වමේ  සිට) පක්ෂයෙන් ඉල්ලා අස්වී ප්‍රසිද්ධියේ බැනරයක් දමන ලෙසට සහ නැතිනම් ඝාතනය කරන බවට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔවුන් වෙත එවන ලද නියෝගය ඇතුලත් ලිපි(අවසාන පේලියේ දකුණේ).

වසර 1986 සිට 90 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලේදී  දෙමළ බෙදුම්වාදයට, ඉන්දීය ආක්‍රමණයට සහ ඉන්දු ලංකා ගිවිසුමට සහාය දක්වන වාමාංශිකයින් ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 18වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. මේ අනුව ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට්, නව සමසමාජ, ශ්‍රී ලංකා මහජන පක්ෂද ජනතා සංගමය ඇතුළු ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් සහ කල්ලිද වහාම ක්‍රියාත්මකවන පරිදි ජවිපෙ විසින් තහනම් කල අතර ඒවායේ නායකයින්ට ඉල්ලා අස්වන ලෙසද නොඑසේනම් දැඩි දඬුවම් විදීමට සූදානම් විය යුතු බවද 1988 ජනවාරි 25වැනිදා නියෝගයක් පැනවීය. ඔවුන් අතුගා දමන ලෙස ජනතාව ගෙන් ඉල්ලමින් 1988 පෙබරවාරි 10වැනිදා නිවේදනයක්ද ප්‍රකාශයට පත් කළේය.

dharman05.එජාප ආණ්ඩුවේ 1987 මැයි දින තහනමට එරෙහිව  87 මැයි 1දා තහනම කඩමින් සමසමාජ මූලස්ථානය ඉදිරිපිට ටවුන් හෝල්හිදී පැවති රැළියේදී පොලිසිය කඳුළු ගැස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමෙන් කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වූ සමසමාජ නායක ආචාර්ය කොල්වින් රෝහලට ගෙන යාමේදී.

පළාත් සභා මැතිවරණය 1988 පැවැත්වීමේදී එක්සත් සමාජවාදී පෙරමුණෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් 139 තේරී පත්වූ අතර එසපෙ සාමාජික පක්ෂවන ලංකා සමසමාජ පක්ෂයට මන්ත්‍රීවරුන් 26ක්ද, කොමියුනිස්ට් පක්ෂයට 25ද, නව සමසමාජයට 5ක්ද,  මහජන පක්ෂයට 83ද හිමිවිය. කැරැල්ල නිමාවන විට ජවිපෙ මගින් ඝාතනය කරන ලද 6,577ක් අතුරින් 250කට ආසන්න වාමාංශික දේශපාලන පක්ෂවල නායකයින්, ක්‍රියාකාරිකයින් සහ සාමාජිකයින් අතරින් ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයින් ගණන 19කි. එමෙන්ම සමසමාජ සාමාජිකයින් නොවන එහෙත් පක්ෂ ක්‍රියාකාරින්ගේ හිතවතුන් 3ක්ද මරුමුවට පත්විය. සමස්ථ ලංකා කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ එසපෙ පළාත් සභා මන්ත්‍රී දයාරත්න රනේපුරට ඝාතනය කිරීම සඳහා වෙඩි තැබුවද දිවි ගලවා ගැනීමට ‍ඔහු සමත්වූවද බරපතල තුවාල සිදුවිය.

dharman06.ජවිපෙ 2වැනි කැරැල්ල පැවති 1986/90 කාලයේ සමසමාජ පක්ෂය රැකගැනීමට නායකත්වය දුන් (ඉහළ වමේ සිට) නායක කොල්වින්, ලේකම් බර්නාඩ් සොයිසා, විවියන් ගුණවර්ධන, බැටී වීරකෝන්, මහාචාර්ය තිස්ස විතාරණ සහ භාණ්ඩාගාරික එන්. එස්. ඊ. පෙරේරා.

ජවිපෙ කැරැල්ල ආරම්භවීමත් සමඟම 8කගෙන් යුත් කැරළිකරුවන් පිරිසක් 1987 ඔක්තෝබර් 1වැනිදා පස්වරු 7ට පමණ කොළඹ 2 යුනියන් පෙදෙසේ පිහිටි ලංකා සමසමාජ පක්ෂ ප්‍රධාන කාර්යාලයට කඩාවැදුනහ. එම මොහොත වනවිට සමසමාජයේ කාල්මාක්ස් කම්කරු පාසැල මාසික දේශනය නිමවී සංවාදය ඇරඹුවා පමණි. වසර 1978දී සමසමාජ පක්ෂය මගින් එම ගොඩනැගිල්ල මිලදී‍ගත් අතර සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමට කාල් මාක්ස් කම්කරු පාසැල යටතේ 1983 සිට  මාසික දේශන එහිදී පවත්වාගෙන යනු ලබයි. ජාතික ගැටළුව සම්බන්ධයෙන් 87 ඔක්තෝබර් දේශනය එදින  පවත්වනු ලැබුවේ ලංකා කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ බැටී වීරකෝන් විසිනි. මුලසුන හෙබවූයේ විවියන් ගුණවර්ධනය. එම දේශනයට 30 දෙනෙකු පමණ සහභාගිවූ අතර පසුවරු 5.30ට ඇරඹූ දේශනය 7.00 වන විට නිමා වෙමින් තිබිණි. කඩා වැදුණු කැරළිකරුවන් රැගෙන ආ පෙට්ට්‍රල් දමා සියළු දෙනාම බියවද්දා කාර්යාලයේ ලිපිද්‍රව්‍ය වලට ගිනි තබා පලා ගියහ. එහි සිටි ඉලංගකෝන් සහ චන්ද්‍රලාල් ඇතුළු පිරිස ගින්න මැඩපැවැත්වූහ. රැස්වීමට පැමිණි ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එස්. රාමනාදන් බියවී ජනේලයෙන් බිමට පැනීම නිසා කකුල් ආබාධිතවී රෝහල් ගත කරන ලදී. දෙවන වරටද 1988 ජුනි 1වැනිදා ජවි‍පෙ මගින් සමසමාජ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී.

dharman07සමසමාජ පාක්ෂිකයින් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට එක්වෙමින්.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී සමසමාජ පක්ෂයේ කරන්දෙණිය ඌරගහ හිටපු පාඨශාලාචාර්ය පියසේන ජයකොඩි‍ගේ නිවසද හම්බන්තොට රංජිත් ජයසේකරට අයත් සූරියවැව නගරයේ රංජිත් සිනමාශාලාවටද මුළුමනින් ගිනිතබා විනාශකරන ලදී. ගාල්ලේ අශෝක වීරසිංහ විසින් පවත්වන ලද අම්බලන්ගොඩ බටපොල රැස්වීමට වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මරමුවට පත්විය. පක්ෂ නායක කොල්වින් ආර් ද සිල්වාගේ අබ්දුල් කපූර් මාවතේ නිවසටද ක්‍රියාකාරිකයින්වූ බදුල්ලේ එච්.එස්. සෝමදාසගේ නිවසටද, මොරටුව විමලසිරි ද මැල්ගේ නිවසටද, මොණරාගල ජෝන් සිරිසේනගේ නිවස ඇතුළු නිවෙස් කිහිපයකටම බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. ජවිපෙ ඝාතන තර්ජන වලට ලක්වූ සමසමාජ පක්ෂයේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන්වන බලපිටිය වැල්ලවවත්තේ අශෝක සිල්වා, අම්බලන්ගොඩ සිරිනාවතී ද සිල්වා, රුවන්වැල්ලේ එච්.ආර්. මිත්‍රපාල, කළුතර ධර්මසේන ප්‍රනාන්දු, පානදුර ඒ.ඩබ්ලිව් ලීලාරත්න යන අයගේ නිවාස වලද  යුනියන් පෙදෙසේ සමසමාජයේ මුලස්ථානය, බො‍රැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානය සහ හෙක්ටර් අබේගුණවර්ධනගේ නිවසද ආරක්ෂිත කඳවුරු ලෙසින් පවත්වාගෙන යන ලදී.

dharman08රජයේ හමුදා විසින් පැහැරගෙන ගොස් වෙඩිතබා මරාදැමූ කැරළිකරුවන් යැයි කියන 24 දෙනෙකුගේ සිරුරු මහනුවරදී 1989 ඔක්තෝබර් මස ප්‍රදර්ශනයට තබා තිබූ අයුරු.

දෙවැනි කැරැල්ලේදී ජවිපෙ ඝාතනය කල ලංකා සමසමාජ පක්ෂයේ 19 දෙනා මෙසේය. සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකුවූ පිළියන්දල බෝකුන්දරදී 1940 ජනවාරි 21 උපන් පහළපතිරගේ දොන්(පී.ඩී) විමලසේන සත් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. රජයේ මුද්‍රණාලයේ සේවයකල පී. ඩී. සීඩින්ගේ පුත්‍රයා ‍වශයෙන් ආධුනිකයෙකු ලෙස රජයේ මුද්‍රණාලයට විමලසේන බැදුණේ 1958 අප්‍රේල් 8වැනිදාය. සමසමාජ පක්ෂයට අයත් මරදානේ ස්ටාර් මුද්‍රණාලයේ කළමණාකරු සහ ජනසතිය මුද්‍රණ කටයුතු බාරව සිටි විමලසේන යතුරු පැදියකින් පැමිණි කැරළිකරුවන් දෙදෙනෙකු විසින් 1989 මැයි 29වැනිදා රාත්‍රී 7ට ඝාතනය කරන ලද්දේ මුද්‍රණාලීය සේවාවේ නියුක්තව සිටියදීය.

කොළඹ කේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ විමලසේන මිය යන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ ශිල්පි සංසදයේ සභාපතිවරයාවූ අතර 1968 දෙසැම්බර් මස දින 23ක් මුළුල්ලේ පැවති දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයට එක්වූ රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ එවකට සම ලේකම්වරයා විය. රජයේ මුද්‍රණාලයේ 1976 පෙබරවාරි මස ආරම්භ කල ඓතිහාසික වැඩ වර්ජනයේදී එයට සහාය දක්වමින් රටපුරා 1976 පෙබරවාරි 20වැනිදා එක්දින සංකේත සහයෝගිතා වැඩ වර්ජනයක් සංවිධානය කිරීමට මුල්වෙමින් වර්ජනයට හරස්කල රජයේ සියළු සැලසුම් පරාජයට පත්කරමින් ජයග්‍රාහීව එය නිමකිරීමටද විමලසේනගේ නායකත්වයට හැකිවිය. අසූවේ ජූලි වැඩ වර්ජනයේදී ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් වශයෙන් එයට ක්‍රියාකාරීව දායකත්වය දුන් විමලසේන අවසානයේ පරාජිත වැඩ වර්ජනයේ මුද්‍රණාලයේ සියළු වර්ජකයින් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට සමත්වූ අතර ඔවුන්ගේ උසස්වීම් පවා ලබාදීමට පාලකයින් පෙළඹවීය. සිය දශක තුනක වෘත්තීය සමිති ඉතිහාසය තුළ වැඩ තහනම්වීම්, සේවයෙන් ඉවත් කිරීම්, අත්අඩංගුවට ගැනීම් සහ නඩු හබ වලට මුහුණදුන් විමලසේන ඝාතනයට ලක්වන විට ජනසතිය පුවත්පත එළි දැක්වීමට කටයුතු කරමින් සිටියේය.

dharman09ජවිපෙ මගින් ඝාතනයට ලක්කල සමසමාජ වෘත්තීය සමිති නායක පී.ඩී. විමලසේන 1976 පෙබරවාරි 20 රජයේ මුද්‍රණාලයේ වැඩවර්ජනයට නායකත්වය දෙමින් එය ජයග්‍රාහීව අවසන් කල අවස්ථාව.

බෙලිඅත්ත වලස්මුල්ලේ අමර වෙල්ලප්පුලි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමසමාජ නායකයෙකු වන අතර හම්බන්තොට, මුල්කිරිගල සහ තංගල්ල උසාවියන්හි ප්‍රකට නීතිඥයෙකි. දෙදරු පියෙකු වූ ඔහුගේ බිරිඳ ගුරුවරියකවූ රූපාය. මානව හිමිකම් නඩුවලටද ක්‍රියාකාරීව දායකවූ නීතිඥ වෙල්ලප්පුලි කැරළිකරුවන් විසින් ඝාතනයට ලක්කලේ 1988 මැයි 8වැනිදා මිද්දෙණිය වැලිපිටියේදීය. වලස්මුල්ල මොරකන්දගොඩ පවුලේ සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදුකල අතර එම අවමඟුල් උළෙල ඇමතූ අය අතර සමසමාජ නායක නීතිඥ කොල්වින් ආර්. සිල්වා සහ ශ්‍රිලනිප හම්බන්තොට නායක නීතිඥ මහින්ද රාජපක්ෂද විය.

පාරම්පරික වාමාංශික පවුලක සාමාජිකයෙකුවූ නිතිඥ යටන්වල ගමරාලලාගේ ලෙස්ලිගේ මව රුවන්වැල්ලේ සුදු අක්කා නමින් ප්‍රකට කේ.ඒ. ඇසලින් නෝනාය. රාජසිංහ මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ ලෙස්ලි යටන්වල දැරණියගල සමසමාජ සංවිධායකවරයාවූ අතර 1989 ජුනි 15 ඝාතනය ලක්වන විට සබරගමු පළාත් සභාවේ එක්සත් සමාජවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහු ඝාතනයවී සති කිහිපයකට පසු රජයේ මිනින්දෝරුවෙකුවූ යටන්වලගේ ගැබිනි බිරිඳ ප්‍රථම දරුවාවු දියණිය ප්‍රසූත කළාය. අවිස්සාවේල්ල උසාවිය අසළදී 1988 මැයි මස නීතිඥ යටන්වල වෙඩිතබා ඝාතනය කිරීමට කැරළිකරුවන් උත්සාහ කලද බරපතල තුවාල ලබා දිවි රැකගැනීමට ඔහු සමත් විය. මානව හිමිකම් නීතිඥයෙක් වශයෙන්ද ක්‍රියාකාරී මෙහෙයක් ඉටුකල යටන්වලගේ වැඩිමහල් සොහොයුරා වුයේ සමසමාජ පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු නියෝජ්‍ය ඇමති වයි. ජී. පද්මසිරිය.

dharman10රටපුරා දහස් ගණන් තරුණ ඝාතන වලට එරෙහිව 1989 අගෝස්තු 18වැනිදා කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවයකින් පසු සමසමාජ නායිකාවක්වූ විවියන් ගුණවර්ධන එයට සහභාගිවූ ක්‍රියාකාරිකයින් සමඟ බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිටදී. වමේ සිට නුවරඑළිය මන්ත්‍රී එස්.බී. දිසානායක, මොප්සි සංවිධානයේ කැඳවුම්කරු ගලගම ධම්මරංසි හිමි, මාතලේ මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක, විවියන්, දේශවිමුක්ති ජනතා පක්‍ෂයේ ලේකම් නිහාල් පෙරේරා, වෘත්තීය සමිති නායක අලෙවි මවුලානා මෙහි වේ.

කන්තලේ සරත් මල්ලිකාද සිල්වා සමසමාජ තරුණ සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයා සහ ත්‍රිකුණාමලයේ දිසා සංවිධායකවරයා වශයෙන්ද මධ්‍යම කාරක සභිකයෙකු ලෙසද කටයුතු කළේය. සිව්දරු පියෙකුවූ ඔහු කන්තලේ සීනි කම්හලේ වැඩ පරික්ෂකයෙකු වශයෙන් සිටියදී 1982 ජනමත විචාරණයේදී සෘජුව එයට එරෙහිව පෙනී සිටීම නිසා එජාප ආණ්ඩුව මගින් සේවය අහිමි කරන ලදී. කන්තලේ වැව් බැම්ම 1986 කැඩී යාමෙන් පසු ජනතාවට සහන සැලසීමේ කමිටුවේ සංවිධායක ලේකම්ය. කැරළිකරුවන් ඔහුව වෙඩිතබා ඝාතනය කල අතර අවසන් කටයුතු තර්ජන ‍නොතකා විප්ලවීය ආචාරය මැද කන්තලේ සුසාන භූමියේදී සිදු කරන ලදී. එයට විරෝධයක් ලෙසින් කැරළිකරුවන් යළි දේහය සහිත පෙට්ටිය ගොඩදමා තිබිණි. අක්මීමන කලෙයිගාන හන්දියේ ඇල්බට් විජේරූප දුම්රිය දේපාර්තමේන්තුවේ සේවය කල අතර එහි වෘත්තීය සමිතියේ නියමුවෙකි. ගාල්ල දිසා සංවිධායකයෙකුවූ ඔහු ඝාතනය වන විට එක්දරු පියෙකි.

හිගුරක්ගොඩ ගිරිතලේ ගොවි නායකයෙකුවූ එම්.ආර්.හීන්බණ්ඩා ශ්‍රී ලංකා කෘෂිකාර්මිකයින්ගේ සංගමයේ පොළොන්නරුව දිසා සංවිධායකවරයෙකි. එජාප ආණ්ඩුව ගොවීන්ට පැනවූ ජල බද්ධට එරෙහිව පොළොන්නරුව ගොවීන් සංවිධානය කල අතර ‘ජල බදු නොගෙවමු- සිරගෙවල් පුරවමු’ යන සටන් පාඨයෙන් ජල බදු නඩු විභාගයට ගන්නා අවස්ථාවන්හි අධිකරණයන් ඉදිරිපිටදී උද්ඝෝෂණවලද ගොවීන් සමඟ නියැළුනේය. දහසකට ආසන්න ගොවීන් පිරිසක් සමඟ පොළොන්නරුව දිසාපති කාර්යාලය වටලා දැවැන්ත ‍උද්ඝෝෂණයක් පැවැත්වීමටද මුල්විය. ගොවි සටන් හේතුවෙන් පොලිස් පහරදීම් සහ සිරගතවීම් කිහිපයකටම මුහුණදුන් හීන්බණ්ඩා සිය කුඹුරේ සිටියදී කැරළිකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. අගලවත්ත පැලවත්තේ වීරසේන පිටිගල තැපැල් සේවකයෙකු වන අතර සමසමාජයේ දිසා සංවිධායකවරයෙකි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල වීරසේන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කැරළිකරුවන් විසින් 1988දී පිටිගලදී ඝාතනය කරන ලදී.

පැලවත්ත සීනි සමාගමේ සේවය කල ඩබ්ලිව් එම්. චන්ද්‍රසේන මොණරාගල ඉඩම් බහුජාතික සමාගම්වලට පවරාදීම්වලට එරෙහිව කල ජනතා අරගලයේදී එහි ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළේය. සමසමාජ ශාඛා ලේකම්වරයාවූ ඔහු පිහියෙන් ඇණ වෙඩිතබා ඝාතනය කරන ලදී. දික්වැල්ල බතීගම සමසමාජ ප්‍රාදේශීය නායකයෙකුවූ ඩී.ඒ සූරසේන දික්වැල්ල ඩිපෝවේ ලංගම වේලා සටහන් කරුවෙකි. සෑම මැයි දිනයකදීම සමසමාජ ප්‍රධාන ධජය පෙළපාලියේ ඉදිරියෙන්ම රැගෙන යන දෙදෙනාගෙන් අයෙකු වන්නේ ඔහුය. කැරළිකරුවන් ඔහු ඝාතනය කරන ලද්දේ සේවයට යමින් සිටියදීය. රාජගිරිය ස්ටේපල් පාරේ පදිංචි කම්කරු නීති උපදේශකයෙකුවූ ජේ.සී.එම් ඩයස් 1987 පැවති පළාත් පාලන ඡන්දයේදී නාම යෝජනා බාරදුන් සමසමාජ අපේක්ෂකයෙකි. නිවසට පැමිණි කැරළිකරුවන් විසින් බෙල්ල කපා වෙඩිතබා ඔහු ඝාතනය කර තිබුණේ 1989දීය.

කළුතර බද්ද ගම් කාර්ය සභාවේ සභාපති වශයෙන් 1954දී කටයුතු කල දේවගේ ලුවිස් සිල්වා සමසමාජ ප්‍රාදේශීය නායකයෙකු වන අතර ව්‍යාපාරිකයෙකි. සමසමාජ පක්ෂය සමඟ 1947 සිට සබදකම් පැවැත්වූ ඔහු 1953 හර්තාලයේදී සුවිශේෂි වැඩ කොටසක් සිදු කළේය. ගල්අස්ස ජනපදය දියුණු කලේද ඔහු විසිනි. නිවස අසළ ලිදේ දිය නාමින් සිටියදී කැරළිකරුවන් පැමිණ පොල්ලකින් පහරදී පිහියෙන් ඇන, වෙඩිතබන ලද්‍දේ  1988 අප්‍රේල්ය. සති කිහිපයක් බරපතල තුවාල සහිතව රෝහලේ ගත කල ඔහු අවසානයේ ජීවිතයෙන් සමුගත්තේය. ලුවිස් සිල්වා‍ගේ ආදාහනය නාගොඩ ගල්අස්ස ක්‍රීඩාංගනයේදී සිදුකල අතර සමසමාජ ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසාද එය ඇමතීය. සිව්දරු පියෙකු වූ ලුවිස් සිල්වාගේ පුත්‍රයෙකුවූ වර්ණසූරිය සිල්වාද සමසමාජ ක්‍රියාකාරිකයෙකුවූ අතර ඔහුද පසුව ඝාතනයට ලක්විය.

හෝමාගම එන්.කේ.ඩී. ප්‍රඥාරත්න විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වු අතර ශ්‍රී ලංකා එක්සත් ගුරු සංගමයේ පළාත් නායකයෙකි. කවියෙකු සහ ලේඛකයෙකු වශයෙන් කටයුතු කල ඔහු ප්‍රදේශයේ ශාඛා සමිති ලේකම්වරයෙකි.කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලද සෙසු අය අතර සමසමාජ තරුණ සමිති ක්‍රියාකාරිකයෙකුවූ ජයන්ත විජේතුංග, සමසමාජ ක්‍රියාකාරිකයින්වූ වලස්මුල්ලේ කේ.ජී.පී අමරවීර, නිමල් ශාන්ත පෙරේරා, බී. රත්නවීර, එන්.ඩී. ජිනදාස, කේ.ඒ ජයදේව අමරවීර ඇතුළු කිහිපදෙනෙක්ම විය.

මිනිස් සමාජයේ ප්‍රතිවිරෝධය සහ ප්‍රචණ්ඩත්වය ඓතිහාසිකය. ශිෂ්‍ඨයැයි පිළිගන්නා වත්මන් සමාජය තුළ පවා දේශපාලන සමාජ කරුණු මත මෙය තව තවත් උත්සන්න කෙරේ. සූරාකෑමෙන් සහ පන්ති භේදයෙන් තොර ‘සමාජවාදී සමාජයක්’ බිහිකිරීමේ පරමාර්ථයෙන් වසර 80 තිස්‍සේ සමසමාජ පක්ෂය නොසැලී යන ගමනද ‘සමාජවාදී සමාජයක්’ පිළිබඳ සිහින දකින මෙරට ප්‍රගතිශීලි ජනතාවගේ ධෛර්ය වඩවන්නකි.

ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයන්වූ බහුතරයටම වාගේ ඇත්තේ අභිමානවත් දේශපාලන ඉතිහාසයකි. ඔවුනට වෙනත්  දේශපාලඥයින්ට මෙන් චෝදනා නොමැත. අපමණ බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ තම මුළු ජීවිතයම සමාජ පෙරළියක් සඳහා කැපකල ඝාතනයට ලක්වූ සමසමාජ පක්ෂ ක්‍රියාකාරිහු අලුත් රටක් සහ අලුත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි අයවේ. නව යටත් විජිතවාදයට එරෙහි නොනිමි සටනේ ඉදිරි තීරණාත්මක මෙහෙවර වෙනුවෙන් වමේ ව්‍යාපාරය කැපවන අවස්ථාවන්හිදී ඔවුහු හිස් අහස් කුසේ දිදුලන පහන් තාරකාවන් සේය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...