මෙලෙස හිටපු ජනාධිපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වරක් ඉන්දීය ආරක්‍ෂක අංශ දැක්වූ කැපවීම සහ ඉන් අපහසුතාවට පත් වූ තවත් අප රටේ කන්ද උඩරට පළාත නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් ඇමැතිවරයෙක් ගැන සිදුවීමක් පැල්පොල විපස්සි හිමියෝ සිහිපත් කළහ.
අසූ ගණන්වල ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධගයාවේ පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා.
ජනාධිපතිතුමා මටත් ආරාධනා කළා උත්සවයේ වැඩ කටයුතු සංවිධානය කරන්න.
බුද්ධගයාවේදී ජනාධිපතිතුමාට මල් වට්ටිය දෙන්න තෝරාගෙන තිබුණේ දැනට වසර කිහිපයකට පෙර කැබිනට් ඇමැතිවරයෙක් වූ කන්ද උඩරට පළාත නියෝජනය කළ එජාප මන්ත‍්‍රීවරයෙක්ට. එතකොට එයා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණේ නැහැ.
ඉතිං සූදානම් කරගත් විදිහට ජනාධිපතිතුමා බුද්ධගයා විහාරයට පැමිණි පසු අර පසුකාලීන දේශපාලන නියෝජිතයා මල් වට්ටිය දුන්නා.
ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාවට ඉන්දීය රජය දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.
අර දේශපාලනඥයා මල් වට්ටිය දී ජනාධිපතිතුමා ළඟින් ඉවතට ගියේ නැහැ. එයා ජනාධිපතිතුමා ගාවම හිටියා. මේක බලන් හිටිය ඉන්දීය ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියෙක් වහාම ඒ දේශපාලනඥයාව අල්ලාගෙන උත්සව සභාවෙන් ඉවතට රැගෙන ගියා.
ජනාධිපතිතුමා බුද්ධගයා විහාරය වැඳ පුදාගෙන උත්සවය පැවැති ශාලාවට ආවා.
ටික වේලාවකින් අපේ සංවිධායක මහත්තයෙක් මට ඇවිත් කිව්වා හාමුදුරුවනේ අර මල් මට්ටිය දුන්න මහත්තයව බුද්ධගයා විහාර භූමිය වත්තේ ගස් බැඳලා කියලා.
ඒක අහලා මම එක පාරටම ඔහුගෙන් ඇහැව්වා ඒ මොන වරදක් කළාටද කියලා.
ජනාධිපතිතුමාට ආරක්‍ෂාව දෙන ඉන්දීය ජාතික ආරක්‍ෂක ප‍්‍රධානියාගේ නියෝගයක් කියලා කියනවා කියා සංවිධායකවරයා මට කිව්වා.
මම වහාම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කළා.
ජනාධිපතිතුමා වහාම ආරක්‍ෂක ප‍්‍රධානියාගෙන් මේ ගැන ඇහැව්වා.
එතකොට ඔහු ජනාධිපතිතුමාට පවසා තියෙන්නේ එම පුද්ගලයා මල් වට්ටිය දීලා ජනාධිපතිතුමා ළඟින් ඉවත් විය යුතු බවට උපදෙස් දී තිබුණත් ඔහු ජනාධිපතිතුමා ළඟම ඉන්න උත්සාහ කළ නිසා උත්සව භූමියෙන් ඉවතට රැගෙන ගොස් මෙසේ ගස් බැඳි බවයි.
ජනාධිපතිතුමා එතකොට කියලා, ඔහු එජාප සාමාජිකයකු බවත් තමා දන්න කෙනෙක් බවත් එනිසා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවට.
නමුත් ආරක්‍ෂක ප‍්‍රධානියා පවසා ඇත්තේ බය වෙන්න එපා ඔබතුමා උත්සවය අවසන් වී පිටව ගිය පසු ඔහු නිදහස් කරන බවයි.
උත්සවය පැයක් විතර තිබුණා. ජනාධිපතිතුමා උත්සව භූමියෙන් පිටව යන ගමන් මට කතා කරලා කිව්වා අනේ හාමුදුරුවනේ අර අපේ මනුස්සයා ගැන බලන්න. එයාව ඉක්මනට ඔය ගස් බැඳලා තියෙන තැනින් ඉවත් කර ගන්න කියලා.
ඉතිං මමත් ජනාධිපතිතුමා උත්සව භූමියෙන් පිටව යන්නට මෝටර් රථයට ගොඩ වූ ගමන් ඉක්මනට ගොස් අපේ කෙනාව නිදහස් කර ගත්තා.
ඉන්දීය ආරක්‍ෂක නිලධාරීන් මට පැවසුවේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ ජනාධිපතිතුමාට අපේ රටේදී කුමක් හෝ කරදරයක් වුණොත් ඒක අපේ රටේ ආරක්‍ෂක අංශයට කැලැලක්. ඒ නිසා අපි අපට සැක හිතෙන අප කියන දේ අහන්නේ නැති ඕනෑම කෙනෙක් තරාතිරම නොබලා ඉවත් කරනවා කියලා. ඒ හින්දා වරදවා වටහා ගන්න එපා. ඒක අපේ රාජකාරිය කියලා ඔවුන් කිව්වා.
මමත් ඒ අයගේ කීම පිළිඅරගෙන අපේ පසු කාලයේදී කැබිනට් ඇමැතිවරයෙක් වූ දේශපාලඥතුමාව නිදහස් කරගෙන ආවා.
අපේ දේශපාලනඥතුමා මට කියනවා හාමුදුරුවනේ මම පැයක් විතර ගස් බැඳලා හිටියා. මේක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
මම ජනාධිපතිතුමා ළඟ හිටියේ ෆොටෝ කිහිපයකට පෙනී සිටින්නයි. ඒක මගේ අනාගත දේශපාලනයට වටින නිසා කියලා එතුමා තම බලාපොරොත්තුව පැවසුවා පැල්පොල විපස්සි හිමියෝ එම සිදුවීම හෙළි කරමින් පැවසූහ.
Comments
Post a Comment