Skip to main content

ශ්‍රී ලංකාවේ පොල් වගාවේ හෙට දවස...!




පොල් (Cocos nucifera) යන තාල කුලයේ ශාකය අපගේ ජීවිතයට බොහෝ සමීප වී හමාර ය. 2013 වසරේ සිදු කරන ලද කෘෂිකාර්මික සංගණනයට අනුව මෙරට හෙක්‌ටයාර 440,451 වපසරියකින් යුක්‌ත භූමි පෙදෙසක පොල් වගාව ව්‍යාප්ත ව ඇති අතර එය මුළු කෘෂිකාර්මික භූමි පෙදෙසින් 20%ක්‌ පමණ වේ. පොල් ශාකයේ සියලු ම කොටස්‌ ආර්ථිකමය වටිනාකමකින් යුක්‌ත වන නිසා ම එය 'ජීවන ශාකය' (Tree ofLife) මෙන් ම 'කප්රුක' යන නාමයන් ගෙන් හඳුන්වනු ලබයි. පොල්, අප රටෙහි පවතින ප්‍රධාන වැවිලි බෝගයක්‌ වන අතර ම වාර්ෂික ව සැලකිය යුතු විදෙස්‌ විනිමයක්‌ අප රටට රැගෙන ඒමට සමත් බහුවාර්ෂික බෝගයකි. එසේ ම විවිධ වූ රැකියා අවස්‌ථාවන් රැසක්‌ ශ්‍රී ලංකාව තුළ ජනිත කරවීමට සමත් මේ අපූරු වූ බෝගය සියලු ම පුරවැසියන්ගේ ආහාර රස කරගැන්මට මෙන් ම පෝෂණ තත්ත්වය මනාව පවත්වාගැනීමට ද ඉවහල් වේ. ගෙවී ගිය දස වසරක කාලය සලකන විට ශ්‍රී ලංකාව තුළ වාර්ෂික පොල් නිෂ්පාදනය, පොල් ගෙඩි මිලියන 2,450 - 3,056ක්‌ අතර පරාසයක ව්‍යාප්ත ව ඇත. ශ්‍රී ලංකාව තුළ පොල් වගාව සම්බන්ධයෙන් පවතින ආයතනයන්හි ගණනයන්ට අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ගෘහ ආශ්‍රිත පරිභෝජනයට සහ කර්මාන්ත කටයුතු සඳහා පොල් ගෙඩි මිලියන 3,600ක්‌ පමණ වාර්ෂික ව අවශ්‍ය වන බව සොයාගෙන ඇත. මෙයින් 63%ක්‌ පරිභෝජනය සඳහා වන අතර ඉතිරිය කර්මාන්ත කටයුතු සඳහා ය. කෙසේ වුව ද තවමත් එම ඉලක්‌කය කරා ළඟා වීමට අපොහොසත් ව ඇති අප රට ඉන්දුනීසියාව වැනි රටකින් ඌන පූර්ණය සිදු කරගැනීමට කටයුතු කරයි. මෙය කෙතෙක්‌ දුරට පොල් වගාවේ හෙට දවස කෙරෙහි බලපාන්නේ ද යන්න විමසා බලමු.

ඉහත සඳහන් පොල් ඉඩම් ප්‍රමාණයන් ගෙන් 82%ක්‌ කුඩා පරිමාණ ඉඩම් වන අතර ඉතිරි 18% පෞද්ගලික හා රාජ්‍ය ආයතන මඟින් පාලනය වන මහා පරිමාණ වතු වේ. එසේ ම වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් 70%ක්‌ පමණ කුඩා පොල් ඉඩම් මඟින් ලබා දුන්න ද එය අපගේ වාර්ෂික පොල් අවශ්‍යතාව සපුරාගැනීමට ප්‍රමාණවත් වී නොමැත. අපනයන වෙළෙඳපොළ ගත් කල ශ්‍රී ලංකාවේ දිසිඳි පොල් කර්මාන්තය සඳහා ලෝකයේ හොඳ වෙළෙඳපොළක්‌ පවතින අතර පිළිවෙළින් ඇමෙරිකාව, ජර්මනිය, එක්‌සත් රාජධානිය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ඕස්‌ටේ්‍රලියාව, ප්‍රංශය, කැනඩාව සහ මෙක්‌සිකෝව අපගේ ප්‍රධාන ගැනුම්කරුවෝ වෙති. කැපී පෙනෙන සුදු පැහැයකින් යුක්‌ත වීම, මනා වයනයක්‌ පැවතීම හා ප්‍රනීත රසයකින් යුක්‌ත වීම ආදි කරුණු මේ සඳහා මනා පිටිවහලක්‌ වී ඇත. එමෙන් ම පොල් මදය ආශ්‍රිත ව සිදු කරන නිෂ්පාදනයන් ගෙන් (දිසිඳි පොල්, පොල් වතුර, පොල් ක්‍රීම් සහ කිරි/පිටි, පොල් තෙල්) ශ්‍රී ලංකාව ලෝක අපනයන වෙළෙඳපොළෙහි 4 වැනි ස්‌ථානයත්, දුඹුරු පොල් කෙඳි අපනයනය අතින් ලෝකයේ පළමු ස්‌ථානයත් දිනාගැනීමට සමත් ව ඇති අතර එය අප සැමට මහත් ගෞරවයක්‌ ගෙන දෙන්නක්‌ මෙන් ම විදෙස්‌ විනිමය උපයාගැනීමට හේතුවක්‌ වී ඇත. 2018 වසරේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් (පොල් මදය, පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන, පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන) නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 589.06ක්‌ උපයාගැන්මට අප රටට හැකි ව ඇති අතර 2019 වර්ෂයේ මැයි මස අවසානය දක්‌වා ඇමෙරිකානු ඩොලර් මිලියන 259.52ක්‌ උපයාගෙන ඇත. 2016 වසරේ සිට 2019 වසරේ මේ දක්‌වා අපනයනය කරන ලද භාණ්‌ඩයන් ගෙන් පිළිවෙළින් පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් 5.59%ක්‌, 5.24%, 5.06%ක්‌ හා 5.36%ක්‌ අපනයනය කර ඇති අතර 2016 වසරට පෙර වසර කිහිපයෙහි එහි අගය 5% වඩා අඩු අගයක්‌ ගෙන ඇත.

පොල් ආශ්‍රිත ව පවතින ප්‍රධාන ආයතනයන් වන පොල් වගා කිරීමේ මණ්‌ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණ ආයතනය යන ආයතනයන් පොල් වගාව සහ කර්මාන්තය ආරක්ෂා කරගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරමින් සිටිය ද විවිධ වූ හේතු නිසා එයට බලපෑම් සිදු වෙමින් පවතී. මේ සඳහා සෘජු ව ම දේශගුණික සාධක බලපෑම් ඇති කරන අතර ම ප්‍රධාන ලෙස වර්ෂාව හා උෂ්ණත්වය බලපානු ලබයි. තව ද දේශගුණික වෙනස්‌වීම් පුරෝකථනයට අනුව පරිසර උෂ්ණත්වය ඉහළ යැම පොල් ඵලදාව අඩු වීමට හේතු වන බව අනාවරණය කරයි. උදාහරණයක්‌ ලෙස ගත් කල 2016 හා 2017, කාලයන්හි පැවැති අඩු වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් 2016 වර්ෂයේ පොල් ගෙඩි මිලියන 3,011ව පැවැති ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය 2017 වසරේ දී මිලියන 2,450ක්‌ දක්‌වා පහත වැටිණි. ශ්‍රී ලංකාවේ පවත්නා වූ මුළු පොල් ඉඩම් ප්‍රමාණය 57%ක්‌ පවතිනුයේ පොල් ත්‍රිකෝණය වන පුත්තලම, කුරුණෑගල හා ගම්පහ දිස්‌ත්‍රික්‌කයන්හි වන අතර පුත්තලම හා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයන්හි පවතිනුයේ වියළි හා අතරමැදි කලාපයන් ය. නියං තත්ත්වයන් නිසා බොහෝ ලෙස හා මඳ ලෙස තර්ජනයට ලක්‌ වූ ඉඩම් පිළිවෙළින් හෙක්‌ටයාර 88,000ක්‌ හා 108,000 මේ ප්‍රදේශයන්හි පිහිටා ඇත. එසේ ම ගංවතුර තත්ත්වයන් හමුවේ පොල් ගස්‌වලට දින කිහිපයක්‌ නො නැසී පැවතිය හැකි මුත් දිර්ඝකාලීන ව එය ද අපහසු කටයුත්තක්‌ වේ. තව ද නාය යැම් අධික පෙදෙස්‌ (නුවරඑළිය වැනි) පොල් වගාව සඳහා සුදුසු නො වන අතර එම ප්‍රදේශයන්හි ද හෙක්‌ටයාර 2,400ක පමණ පොල් වගාව ව්‍යාප්ත ව ඇත. තව ද මුහුද ක්‍රම ක්‍රමයෙන් රට අභ්‍යන්තරයට කා වැදීම නිසා වෙරළ ආශ්‍රිත ව පැවැති පොල් වගාව සඳහා ඉඩකඩ සිමීත වීම හා පසෙහි ලවණතාව වැඩි වීම නිසා දවසින් දවස පොල් වගාව තර්ජනයකට ලක්‌ වෙමින් පවතී.

එම තත්ත්වයන් තේරුම්ගත් නිසාවෙන් ඉහත කී රාජ්‍ය ආයතන පොල් වගාව රැකගැනීමට විවිධ වූ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර පොල් වගාවේ ඵලදායීතාව වැඩි කිරීමට යෝග්‍ය වන ප්‍රභේද බිහි කිරීම පොල් පර්යේෂණ ආයතනය මඟින් සිදු කෙරෙන අතර එය සැබැවින් ම ඇගයිය යුත්තකි. එසේ ම පොල් වගා කිරීමේ මණ්‌ඩලය පොල් වගාව ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන අතර එය ද ප්‍රශංසනීය කරුණකි. පොල් සංවර්ධන අධිකාරිය පොල් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට, අපනයන වෙළෙඳපොළ සකසා දීමට කටයුතු කරන අතර එය ද ඇගයීමට බඳුන් විය යුතු ය. එනමුදු දැන් දැන් දේශගුණික සාධකයන් ගෙන් ඔබ්බට ගියා වූ හේතුන් නිසා පොල් වගාව සහ පොල් කර්මාන්තය සම්බන්ධයෙන් රතු එළියක්‌ දිස්‌ වන සේයාවක්‌ ඇත. පසුගිය වසරවල පැවැති නියං තත්ත්වය නිසා ගිය වසරේ දී පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 90 සිට 120 වැනි ඉතා ඉහළ මිලක්‌ වාර්තා කළ අතර මේ මොහොත වන විට එයට හාත්පසින් ම වෙනස්‌ වූ අවම අගයක්‌ වාර්තා වේ (රුපියල් 35 - 60 දක්‌වා). මේ මොහොත වන විට එහි තොග මිල රුපියල් 22ක්‌ පමණ අගයක්‌ ගනී. එම නිසා ම පොල් වැවිලි සමාගම් පොල් වගාව සම්බන්ධයෙන් කලකිරී ඇති සේයාවක්‌ විද්‍යමාන වේ. තව ද කර්මාන්තකරුවන් ද කර්මාන්ත කටයුතු සම්බන්ධයෙන් එතරම් තෘප්තිමත් නැති බවක්‌ හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයට වාර්තා විය. මේ නිසා ම ඒ පිළිබඳ ව සොයා බලා පොල් වගාව සහ කර්මාන්තය ආරක්ෂා කරගනු වස්‌ අධ්‍යයනයක්‌ දියත් කළ අතර මේ වන විට එහි දත්ත එක්‌රැස්‌ කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. එහි දී පොල් ගෙඩිවල මිල උච්චාවචනය වීමට බලපාන හේතු, ඒ නිසා සිදු වන බලපෑම් සහ ගෙවතු වගාවන් තුළ පොල් වගා කිරීමේ විභවතාව සොයා බැලීම සිදු කරනු ලබයි. මේ වන විට පර්යේෂණයට අදාළ ව ප්‍රධාන පුද්ගල සාකච්ඡා සහ ප්‍රශ්නාවලි ඇසුරින් දත්ත එක්‌රැස්‌ කිරීම සිදු කෙරෙමින් පවතී. එහි දී අනාවරණය වූ මූලික කරුණු අනුව ගෙවී ගිය වසරේ කර්මාන්ත සඳහා ප්‍රමාණවත් පොල් නොමැති වීම නිසා ඉන්දුනීසියාවේ පොල්, මෙරටට ආනයනය කර නැවතත් ප්‍රතිඅපනයනය කර ඇත. කෙසේ වුව ද මේ සඳහා විදෙස්‌ අපනයන වෙළෙඳපොළෙහි ප්‍රසාදයක්‌ නො ලැබී ඇත අතර එය ද දිසිඳි පොල් කර්මාන්තය සඳහා බලපෑම් ඇති කර ඇත. එනයින් මේ පිළිබඳ ව සොයා බැලීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි දිසිඳි පොල් කර්මාන්තශාලා 50ක්‌ ද ඉදිරියේ දී සම්මුඛ සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත ය. තව ද මෙහි දී අනාවරණය වූ කරුණක්‌ ලෙස දේශීය පරිභෝජනය සඳහා පාම් ඔයිල් අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආනයනය කරන බව ද එබැවින් දේශීය පොල්වලින් තෙල් නිෂ්පාදනයට කර්මාන්තකරුවන් යොමු නො වන බව ද වාර්තා විය. පාම් ඔයිල් සඳහා රජය මඟින් බද්දක්‌ පැනවුව ද ආනයනකරුවන් විවිධ වූ අනිසි ක්‍රියාමාර්ග හරහා බදු ගෙවීමෙන් වැළකෙන බව ද වාර්තා විය. පොල් වැවිලිකරුවන්ගේ සංගමයට අනුව 2000 වසරේ දී දේශීය පරිභෝජනය සඳහා අවැසි තෙල් ප්‍රමාණයෙන් (මෙටි්‍රක්‌ ටොන් 84,000) 50%ක්‌ පාම් ඔයිල් ලෙස ආනයනය කර ඇත. 2010 වසරේ දී එසේ ආනයනය කරන ලද පාම් ඔයිල් ප්‍රමාණය 60% වන විට 2018 වසරේ දී එය 88%ක්‌ පමණ වී ඇත. මේ වන විට එහි තත්ත්වය තවත් වැඩි වී ඇති අතර දිගින් දිගට ම පාම් ඔයිල් ශ්‍රී ලංකාව තුළට පැමිණීම නිසා අනාගතයේ දී කොප්පරා හා පොල් තෙල් කර්මාන්තය දැඩි තර්ජනයකට ලක්‌ වෙමින් පවතින බව පිළිබිඹු වේ. මේ මොහොත වන විට පොල් ගෙඩියක්‌ නිෂ්පාදනය කිරීමට යන වියදම හා ගත් කල පොල් ගෙඩියක්‌ සඳහා ලැබෙන විකුණුම් මිල ඉතා අඩු අගයක්‌ ගැනීමට ද ඉහත කී අසීමාන්තික පාම් ඔයිල් ආනයනය හේතු වන බව මූලික කරුණු විමසීමේ දී අනාවරණය වී ඇත. එසේ හෙයින් පොල් වගාවේ තිරසර හෙට දවසක්‌ උදෙසා දේශීය වැවිලිකරුවන්, නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමක්‌ වන අතර අදාළ බලධරයන්ගේ අවධානය ද මේ සඳහා යොමු විය යුතු ය. ඒ උදෙසා කළ හැකි දැ පිළිබඳ ව හෙක්‌ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මඟින් දියත් කෙරෙමින් පවතින අධ්‍යයනය තුළින් සාක්ෂාත් කරගැනීම අපගේ බලාපොරොත්තුව වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...