Skip to main content

ගෙවත්තේ කුරුල්ලන් දොරට වඩින සමය...


මේ ගෙවතු ආශ්‍රිත ව හමු වන බොහොමයක්‌ කුරුල්ලන්ගේ සුවැදි සමයේ අවසාන කාර්තුවයි. සති කිහිපයකට පෙර 'ගෙවත්තේ ජෛව විවිධත්වය' තුළින් ඉදිරිපත් කෙරුණු අප නිවස ඉදිරිපස තිබූ පිළිහුඬුවන්ගේ කැදැල්ල පිළිබඳ ව ඔබට මතක තිබේ යෑයි සිතමි. මේ වන විට එම කැදැල්ලෙන් පිළිහුඬු පැටවුන් ඉගිල ගොසින් හමාර ය. පසුගිය සතියේ ලිපියෙන් අවුරුදු දා දුටු කරපටි කන් බස්‌සන්ගේ පැටවුන් පිළිබඳව කියවිණි. මීට අමතර ව මෙසේ නිරීක්ෂණය කළ කුරුලු කැදැලි හා ළඟ දී දොරට වැඩි කුරුලු පැටවුන් කිහිපයකගේ ම විස්‌තර කුරුලු ලෝලීන් කිහිප දෙනකු ම පසුගිය දා ඉදිරිපත් කොට තිබුණේ, කැදැලිවලින් දොරට වැඩීම් මේ කාලයේ දී බහුල ව සිදු වන බව පසක්‌ කරමිනි.

මහාචාර්ය සරත් කොටගමගේ 'සිරිලක කුරුල්ලෝ' අත්පොතේ අර්ථ දැක්‌වීම අනුව 'සුවැදීම' (Breed) යනු පැටවකු බිහි කිරීමේ මුළු කටයුත්තට ම පුළුල් ලෙසින් ද පටු ලෙසින් ද යොදාගත හැකි වචනයකි. සහකරු තේරීමේ සිට පෙර පෙම් හැසිරීම් ඔස්‌සේ ලිංගික එක්‌ වීම තෙක්‌ ද ඉන් පසු කැදැලි තේරීම, කැදැලි තැනීම, බිත්තර දැමීම, බිත්තර රැක්‌කවීම, පැටවුන් බිහි කිරීම, පැටවුන්ට කැවීම, පැටවුන් රැක බලාගැනීම, පැටවුන් කූඩුවෙන් පිටතට කැටුව යැම යන කටයුතු සහ අන්තිමේ දී පැටවා නිවහල් සතකු බවට පත් වීම දක්‌වා සියලු කටයුතු පුළුල් අරුතින් සුවැදීමට අයත් වේ. පටු ලෙස අර්ථ දැක්‌වීමේ දී කූඩුව තැනීම ඇරඹීමේ සිට පැටවා කූඩුවෙන් පිට වීම තෙක්‌ වූ සියලු කටයුතුවලට සුවැදීම යෑයි කියනු ලැබේ.

සුවැදීමට, එනම් පැටවකු බිහි කිරීමේ මුළු කටයුත්තට අදාළ කෙරුම් රැසක්‌ කුරුල්ලන් හඳුනාගැනීමට ද උදව් වේ. මේ කෙරුම් අතර සහකරු තේරීම, කැදැලි තැනීම, බිත්තර රැකීම සහ පැටවුන් රැකගැනීම වෙයි. ඒවාට අදාළ ව මානාවන් හොට පිළිහැඬවීම (Beak Rattling - හඬක්‌ නිකුත් වන පරිදි කුරුල්ලකු තම හොටයේ හනු දෙක නැවත නැවත ගටාගැනීම), කොණ්‌ඩයන් සහ පොල්කිච්චන් පියාපත් විසිරවමින් නැටීම, කෑ`දැත්තා සිය කිරිල්ලිය කැදැල්ල තුළ මැටි ගසා සිර කිරීම, කපුටන් සහ දෙමළිච්චන් සමාජ පීරිමේ (Social preening - තම හොටයෙන් එකිනෙකාගේ පිහාටු පීරා දීම/පිරිමැදීම) යෙදීම යන කටයුතු නිදසුන් කිහිපයකි.

මාර්තු සිට අප්‍රේල්/මැයි මාසවල දී ගෙවතු ආශ්‍රිත ව ජීවත් වන බොහෝ කුරුල්ලෝ කැදැලි තැනීම සිදු කරති. ඉතින් මේ කැදැලි තනන සමයේ කෙතරම් දේවල් අපේ ගෙවත්තේ නිරීක්ෂණයට තිබේ ද...?

ඔබත් ඔබගේ ගෙවත්තේ කැදැලි තනන කුරුල්ලන් පිළිබඳව සහ සුවැදි සමය ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් ගැනත් අධ්‍යයනයට උනන්දු වන්න. කෙසේ වෙතත් කැදැලි සහ පැටවුන් නිරීක්ෂණය කිරීමේ දී සහ ඡායාරූප ගැනීමේ දී අප විශේෂයෙන් පරෙස්‌සම් සහගත වීම ඉතා ම වැදගත් වේ. ඡායාරූප ගැනීමේ දී කිසි ම අවස්‌ථාවක කුරුලු කූඩුව අසල ඇති ගස්‌, ගස්‌ අතු, පත්‍ර ආදිය ඉවත් කිරීම. එහා මෙහා කිරීම සිදු කිරීමෙන් වැළකිය යුතු ය. එමඟින් කැදැල්ල අනෙකුත් විලෝපීන්ට නිරාවරණය විය හැකි බැවින්, කැදැල්ලට අනතුරක්‌ වීමට බොහෝ විට ඉඩ තිබේ.

කුරුලු පැටවුන් නිරීක්ෂණයේ දී ද පරෙස්‌සම් විය යුතු ය. බොහෝ විට මාපියන් තම පැටවුන් ආරක්ක්ෂාකාරී තැනක තබා ආහාර සොයා යන අවස්‌ථා තිබේ. එවන් අවස්‌ථාවක තනි ව ම සිටින පැටවුන් ඔබගේ පැමිණීමෙන් කලබල වී එම ආරක්ක්ෂාකාරී තැනින් ඉවත් වීමෙන් ලෙහෙසියෙන් ම විලෝපියකුට ගොදුරු වීමට ඉඩ තිබේ. ඕනෑවට වඩා කිට්‌ටු වීමේ දී කලබල වී පැටවුන් මාපියන් ගෙන් වෙන් වීම ද විය හැකි ය. නිරීක්ෂණයේ දී හෝ ඡායාරූප ගැනීමේ දී හෝ සැම විට ම කුරුල්ලන්ගේ ආරක්ක්ෂාව ප්‍රමුඛ ව සැලකිය යුතු බව මතකයේ තබාගන්න.

කැදැල්ලක්‌ අනතුරට පත් වී තිබුණ හොත් හෝ කුරුලු පැටවකු එළියට වැටී සිටිය හොත් හෝ කළ යුතු හොඳ ම දේ, ගෙදර රැගෙන විත් ආරක්ක්ෂා කිරීමට වඩා මාපිය කුරුල්ලන් වෙත භාර දීමයි. එවන් පැටවකු මුණගැසුණ හොත් හැකියාවක්‌ ඇතොත් නැවත කැදැල්ලේ තබන්න. තුවාල වී සිටී නම් හෝ මාපිය කුරුල්ලන් ඒ අවට නැතිනම් පමණක්‌ ම මෙවන් අනතුරට පත් කුරුල්ලන්ට උදව් කිරීමට උත්සාහ කරන්න. කොළඹ අවටින් මුණගැසුණ කරදරයට පත් කුරුල්ලකු නම් වනජීවී දෙපාර්තමේන්තුව යටතේ අත්තිඩියේ ක්‍රියාත්මක කරදරයට පත් වන සතුන් බේරාගැනීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්‌ථානය (දුරකථන අංක ( 011-3 604 147) වෙත භාර දිය හැකි ය.

පහත දැක්‌වෙනුයේ අප ගෙවතු ආශ්‍රිත ව දැකගත හැකි පොදු කුරුල්ලන් කිහිප දෙනකුගේ සුවැදි සමයන් ලෙස මහාචාර්ය කොටගමගේ 'සිරිලක කුරුල්ලෝ' කුරුලු අත්පොතෙහි දැක්‌වෙන කාලයන් වේ. සමහර කුරුල්ලන් මෙහි දැක්‌වෙන කාලයන්ට අමතරව ද කැදැලි තැනීම සිදු කිරීමට ඉඩ තිබෙන අතර, නිසි ලෙස වාර්තා කළ ඔබගේ නිරීක්ෂණයන් කුරුලු විද්‍යාඥයන්ට තම දත්ත යාවත්කාල කරගැනීමට උපකාරී වනු ඇත. ඒ නිසා ඔබගේ ගෙවත්ත හෝ අවටින් ද මෙවැනි කැදැල්ලක්‌ හෝ පැටවුන් නිරීක්ෂණ, ෙක්ෂත්‍ර පක්ෂ අධ්‍යයන කවය වෙත ලබා දෙන්න. gardenbirdwatch.srilanka@gmail.com.

දෙමළිච්චා - මාර්තු - මැයි (මුල් වතාව) අගෝස්‌තු - නොවැම්බර් (දෙවැනි වතාව).

පොල්කිච්චා ( සුවැදීම අවුරුද්ද පුරා ම සිදු විය හැකි වුව ද මුල් වන්නේ මාර්තු සිට සැප්තැම්බර් මාස.

ඉන්දු කළුකිච්චා ( මාර්තු - සැප්තැම්බර්.

බැම සුදු පවන්පෙන්දා ( අප්‍රේල් - මැයි.

කවුඩා ( පෙබරවාරි - මැයි.

පොළොස්‌ කොට්‌ටෝරුවා ( පෙබරවාරි සිට ජූලි (පළමු) අගෝස්‌තු - සැප්තැම්බර් (දෙවැනි).

රත් කෑරලා (Black-Rumped Flameback) ( මාර්තු - ජූනි (පළමු) අගෝස්‌තු - සැප්තැම්බර් (දෙවැනි).

ගේ කුරුල්ලා ( වසර පුරා ම.

ලෝටන් සූටික්‌කා (Lotenzs Sunbird) ( පෙබරවාරි - මැයි.

ලාතුඩු පිලිළිච්චා ( ජනවාරි - අගෝස්‌තු.

කහ කුරුල්ලා ( ඔක්‌තෝබර් - මැයි.

මයිනා ( මාර්තු - සැප්තැම්බර්.

රෑන ගිරවා ( සුවැදි සමය නොවැම්බර් සිට ජූනි දක්‌වා යෑයි පොදුවේ සැලකුවත් වසරේ ඕනෑ ම විටක පැටවුන් මෙන් ම සුවැදි හැසිරීම් දැකගත හැකි වේ.

ළය සුදු කොරවක්‌කා ( අප්‍රේල් - අගෝස්‌තු.

බමුණු පියාකුස්‌සා ( ඔක්‌තෝබර් - අප්‍රේල්.

මොණරා ( දෙසැම්බර් - මැයි.

රත් යටිමල් කිරළා ( අප්‍රේල් - අගෝස්‌තු.

අළු කොබෙයියා ( සුවැදි සමය අවුරුද්ද මුළුල්ලේ ම වාගේ පැතිරේ. එහෙත් පෙබරවාරි - ජූනි / අගෝස්‌තු - සැප්තැම්බර් මුල් තැන් ගනී.

නීල මහගොයා ( දෙසැම්බර් - මැයි.

කොවුලා ( සුවැදි සමය පොදුවේ අප්‍රේල් - අගෝස්‌තු දක්‌වා.

ඇටි කුකුළා (Greater Coucal) ( සුවැදි සමය පෙබරවාරි - සැප්තැම්බර් (පළමු) / ඔක්‌තෝබර් - දෙසැම්බර් (දෙවැනි).

කරපටි කන් බස්‌සා (Collared Scops Owl) ( පෙබරවාරි - මැයි.

ළය සුදු පිළිහුඬුවා ( දෙසැම්බර් - ජූනි (මාර්තු/අප්‍රේල් මාසවල සුලබයි).

කොණ්‌ඩයා ( මාර්තු - මැයි / අගෝස්‌තු - සැප්තැම්බර්.

බට්‌ටිච්චා ( සුවැදි සමය අවුරුද්ද පුරා ම පවතී. පෙබරවාරි - මැයි මුල් මාස වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...